රබර් කර්මාන්තය, ගෝලීය සබඳතා සහිත සම්පත් පදනම් වූ නවීන තාක්ෂණය මුසුවූ කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි වැදගත් භූමිකාවක් ඉටු කරයි. මෙම කර්මාන්තය ස්වාභාවික රබර් නිෂ්පාදනයේ සිට අගය එකතු කළ රබර් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය දක්වා ශීඝ්‍ර පරිවර්තනයකට ලක්ව ඇති බැවින් මෙහි පරිවර්තනයේ උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා රබර් කර්මාන්තය මනා ලෙස හැඩ ගස්වා කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.
අපනයන ඉපැයීම හා රැකියා උත්පාදනය අතින් බැලූ කල ශ්‍රී ලංකාවේ දෙවන වැදගත් වැවිලි භෝගය ලෙස රබර් හඳුන්වා දිය හැක. පසුගිය දශකය තුළ කාලගුණික විපර්යාස, කළමනාකරණ අකාර්යක්ෂමතා, අඩු ඵලදායීතාවය හා රබර් වගා කිරීම සහ කිරි කැපීම පිළිබඳ නිසි තාක්ෂණික ක්‍රම උපයෝගී කර නොගැනීම ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනයේ පහළ බැසීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. එබැවින් ගෝලීය තත්ත්වයන් සමග සැසදීමේ දී, ඵලදායිතා වර්ගීකරණයකට අනුව ශ්‍රී ලංකාව පහළ මට්ටමක පවතින අතර ශ්‍රී ලංකාවේ රබර් වගාවන්ගේ භූමි ඵලදායිතාවය හෝ කිරි අස්වැන්න වැනි මිනුම් ලෝකයේ පවතින සාමාන්‍ය අගයන්ට වඩා පහළ මට්ටමක පවතී.
ශ්‍රී ලංකාවේ මුළු රබර් නිෂ්පාදනය සඳහා කුඩා පරිමාණ රබර් ගොවීන් සැලකිය යුතු දායකත්වයක් ලබා දේ. එනමුත් රබර් වගාවෙහි ඇති අකාර්යක්ෂම කළමනාකරණය, අඩු ඵලදායිතාවය සහ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර නොගැනීම වැනි දුර්වලතා මත ගොවීන් හට අඩු අස්වැන්න හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ගැටලු හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එම නිසා, රබර් නිෂ්පාදනයේ ඵලදායීතාවය, ලෝකයේ භාවිතා වන නව තාක්ෂණික මෙවලම් හා ක්‍රමවේදයන් පිළිබඳ කුඩා පරිමාණ රබර් වතුහිමියන් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක්ව ඇත.
එබැවින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් කුඩා පරිමාණ රබර් වතු හිමියන්ගේ ඵලදායීතාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා වැඩමුළු මාලාවක් 2019 වසරේ දී සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. එහි පළමු පියවර ලෙස “නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් කුඩා පරිමාණ රබර් වතු හිමියන්ගේ ඵලදායීතාව වැඩි දියුණු කිරීම“ යන වැඩමුළුව 2019 මැයි 31 වන දින තෝරාගත් කුඩා පරිමාණ ගොවීන් 40 දෙනෙකු සඳහා කෑගල්ලේ දී පැවැත්වීමට කටයුතු කෙරිනි.
කුඩා පරිමාණ රබර් වතු හිමියන් අතර නවීන තාක්ෂණික මෙවලම් හා ක්‍රමවේදයන් භාවිතය ප්‍රචලිත කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කිරීමත් ලාභදායී වගාවක් ලෙස පවත්වා ගෙන යාමත් ජාතික රබර් නිෂ්පාදනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කර්මාන්තය සඳහා තිරසාර හා අඛණ්ඩ සැපයුම් දාමයක් සහතික කිරීමත් ප්‍රධාන අරමුණු වේ.
මෙකී වැඩමුළුව සඳහා අන්තර්ගතය සැකසීම හා සම්පත් දායකත්වය රබර් පර්යේෂණ ආයතනය විසින් ලබා දෙනු ලබන අතර අධීක්ෂණ කටයුතු රබර් සංවර්ධන නිලධාරීන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය විසින් සිදු කෙරේ. එමෙන්ම, මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීම උදෙසා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සම්බන්ධීකරණය කරනු ලැබේ.
මෙම වැඩමුළුවට සහභාගී වන ගොවීන් හට කිරි කැපීමට සුදුසු කාලය, අඩු තීව්‍රතා කැපීම, අස්වනු උත්තේජක භාවිතය, වැසි ආවරණ යෙදීම, ස්වාභාවික රබර් මිල උච්චාවචනය, ස්වාභාවික රබර් සඳහා ලෝක ඉල්ලුම වැනි මූලික කරුණු පිළිබඳ දැනුම ලබා ගැනීමට අවස්ථාව ලබා දේ.
මෙමගින් ගොවීන් ලබාගත් දැනුම ක්‍රියාවට නැංවීම පිළිබඳව අඛණ්ඩව හා සමීපව අධීක්ෂණය කරනු ලැබේ. මෙම ගොවීන් 40 දෙනා විසින් තම රබර් වගාවන් තුළ නියමු පරීක්ෂණ සිදු කරනු ලබන අතර අස්වනු විශ්ලේෂණය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
තවද ඊට සහභාගී වන ගොවීන් දිරි ගැන්වීම සඳහා රබර් කර්මාන්තයට අවශ්‍ය උපකරණ හා මෙවලම් ලබා දෙනු ඇත. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රබර් කිරි කැපීමේ පිහිද රබර් පර්යේෂණ ආයතනය මගින් අවශ්‍ය රසායනික ද්‍රව්‍යද ලබා දීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් භාවිතයෙන් රබර් භාණ්ඩ නිෂ්පාදන හා අපනයනය කරනු ලබන ප්‍රමුඛතම ආයතනයක් වන කැම්සෝ ලෝඩ්ස්ටාර් (පුද්) සමාගම විසින් උදෑසන කිරි කැපීමට අවශ්‍ය හිස් පළඳන ලාම්පු පරිත්‍යාග කිරීමත් මෙහි දී සිදු කරනු ලබයි.
මෙම වැඩමුළු මාලාවේ දෙවන අදියර මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, රබර් පර්යේෂණ ආයතනය හා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සැලසුම් කරමින් පවතී.