රාජපක්ෂ මහතාට සාධාරණය අහිමිද?
පනහ දශකයේදී දුර බැහැර බණ්ඩාරවෙල වැනි ප්‍රදේශයකින් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම යනු අති දුෂ්කර කාර්යයකි. අද ඇති පහසුකම්වලින් දහයෙන් එකක්වත් එදා මෙවැනි දුර බැහැර ප්‍රදේශවල තිබුණේ නැත.අධ්‍යාපන පහසුකම්ද පැවැතියේ ඉතා පහළ අඩියකය . එවැනි වාතාවරණයක දරුවකු සාර්ථකව පාසල් අධ්‍යාපන කඩඉම් පසුකර සරසවි වරම් ලැබීම අතිශය විශිෂ්ට අවස්ථාවකි. . එවකට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර් එම් පී පී රාජපක්ෂ මහතා ඒ විශිෂ්ට ඉලක්කය ජයගත්තේය. එසේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයයෙන් පසුව රාජපක්ෂ මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත රැකියාවක් වෙත එළඹෙන්නේ 1960 වර්ෂයේදීය රාජ්‍ය සේවයට එක් වූ රාජපක්ෂ මහතා තම රැකියාව කළේ ඉතාමත් උනන්දුවෙන් සහ කැමැත්තෙන්. වගකීම් සහගතව රැකියාව කළ ඔහුට කෘෂිකර්ම ක්ෂේත්‍ර බලධාරීන්ගේ මෙන්ම ගොවින්ගේද අවධානය සහ කැමැත්තක් තිබුණි. ඒ නිසා තම රැකියාව රැකියාවකට වඩා එහා ගිය සේවයක් කර ගත් බව රාජපක්ෂ මහතා පවසයි.
හැට දශකයේදී සේවයට බැඳුණු රාජපක්ෂ මහතාට දශකයක් එකහමාරක් ගත වූ පසු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛණයේ ඉහළ තැනක් හිමිවුවද. පසුව සිදු වූ පෙත්සම් සිද්ධියක් නිසා ජ්‍යෙෂ්ඨත්වය පහළ හෙළීමක් සිදුවූ අතර ඒ තත්ත්වය තුළ රාජපක්ෂ මහතාට පසුව සේවයට බැඳුණු පිරිස් වෙත පවා ජ්‍යෙෂ්ඨත්ව ලේඛණයේ ඔහුට වඩා ඉහළ ජ්‍යෙෂ්ඨත්වයක් හිමි බවට අනු පිළිවෙල අංක ලැබුණි. ඒ තත්ත්වය නිසා ඔහුට එවකට හිමිවීමට තිබූ උසස් වීම් සහ වරප්‍රසාද රැසක් අහිමි විය. එසේ සිදු වුයේ පෙත්සමේ කරුණු විභාගයකින් පවා තොරවය.එය මනුෂ්‍යත්වය අතින් ගත්තද රටේ වලංගු නීතිය අතින් ගත්තද අසාධාරණයකි වරදකි.
පසුගිය අවුරුදු පනහකට ආසන්න කාලයක් පුරා රාජපක්ෂ මහතාට මෙම අසාධාරණයට දිගටම මුහුණ දීමට සිදුවිය. එදා තරුණයකු ලෙස සේවයට එක් වූ රාජපක්ෂ මහතා අද අසූවන විය අභියස සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වුවත් අද පවා ඔහු සාධාරණය පතා සටන් කරන්නේ තමන් වෙනුවෙන් පමණක්ම නොවේ
“මට අවශ්‍ය වෙලා තියෙන්නෙ සල්ලිවත් වැඩි පෙන්ෂන් එකක් විතරක් නොවෙයි. නැවත කෙනෙකුට මේ වගේ අසාධාරණයන් නැවත නොවන තැනට කටයුතු කිරීමයි. “
රාජපක්ෂ මහතා වියපත් වුවද ඔහුගේ අධිෂ්ඨානය බලවත්ය. දිගින් දිගටම මාධ්‍ය හරහාත් ලිඛිතවත් ඔහු බලධාරීන් සමග තම සටන අඛණ්ඩව සිදු කරගෙන යන්නේ එහෙයිනි. කවර තත්ත්වයක් තුළ වුව රාජපක්ෂ මහතා තම දුෂ්කර ඉලක්කය වෙත ගමන් කිරීමට තවමත් උත්සාහ කරයි.
ඔහු මුලින්ම සටන ආරම්භ කරන්නේ 1997 වර්ෂයේදීය එවකට පැවැති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව පෙර සිදු වූ දේශපාලන පළිගැනීම් සහ අසාධාරණකම් විමර්ශන වැඩපිළිවෙළක් සූදානම් කර තිබුණි. ඒ පෙර පාලනයේ සිදු වූ අසාධාරණකම් පිළිබඳව සොයා බලා නිසි පියවර ගැනීමටය.
කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා වූ සමරවීර විරවන්නි මහතා 1997 වසරේදී රාජපක්ෂ මහතා ගේ අභියාචනාව ගැන සලකා බලා කෘෂිකර්ම ඉඩම් සහ වනසම්පත් අමාත්‍යාංශයේ එවක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණි. එහි සඳහන් වූයේ මෙසේය.
“රාජපක්ෂ මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගෙන් සෑහෙන අසාධාරණකම් සිදුවී ඇති බව අදාල අභියාචනය පරීක්ෂා කිරීමේදී පෙනී යන බැවින් මේ පිළිබඳව විධිමත් පරික්ෂණයක් කළ යුතුව ඇත. ඒ සඳහා දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව පරික්ෂණ කමිටුවක් පත් කර විධිමත් පරික්ෂණයක් පවත්වා රාජපක්ෂ මහතාට සිදු වී ඇති අසාධාරණ මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු කර මා වෙත එවන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි“
එවකට නියෝජ්‍ය ඇමැතිවර වීරවන්නි මහතාගේ නිර්දේශයට පවා නිසි ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් කටයුතු කළේ නැත. එසේ හෙයින් නියෝජ්‍ය ඇමැතිවරයකුට පවා නිරාකරණය කර ගැනීමට නොහැකි වූ අසාධාරණය අදත් රාජපක්ෂ මහතා පෙළමින් තිබේ.
1981 දී ලැබිය යුතු උසස්වීම් පවා ඔහුට නොලැබී යාම පුදුමාකාර දෙයකි මෙම නිලධාරියා ට දිගින් දිගටම අසාධාරණයට ලක්වීම කනාගාටුවට කරුණකි. ඔහු වසර දහයකින් කනිෂ්ඨ කිරීම ඔහුගේ මානව හිමිකම් පමණක් නොව ස්භාවික නීතිය පවා උල්ලංඝණය කිරීමක් ලෙස සඳහන් කළ හැකිය. රාජපක්ෂ මහතා සඳහන් කරන ආකාරයට ඔහුට මෙම ඉරණම අත්ව තිබෙන්නේ කූට ආකාරයෙන් ඔහුගේ අදාළ ලිපි වෙනස් කිරීම නිසාය. එය එසේ නම් එය බලවත් වරදකි. වහාම නිවැරැදි කළ යුත්තකි. අවුරුදු තිෙහකට වැඩි කාලයක් රාජ්‍ය සේවය වෙනුවෙන් කැපවී සේවය කර තමන්ට අයිති උසස් වීම් විශ්‍රාම ශ්‍රේණිය පව අහිමි ව සිටින රාජපක්ෂ මහතා වැන්නන්ට සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය පරීක්ෂණ සහ සොයා බැලීම් ඉක්මනින් කළ යුතුය යන්න සාධාරණ අදහසකි. රාජපක්ෂ මහතා සඳහන් කරන ආකාරයට කූට ලෙස වෙනස් කරන ලද වාර්තා නිසා උසස් වීම් සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා හෝ රාජපක්ෂ මහතා ට ඉදිරිපත් විමට අවස්ථාව ලැබී නැත.
1989 දි ප්‍රමාද වී පුරප්පාඩු 24 සඳහා සම්මුඛ පරීක්ෂණයක් සඳහා රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කැඳ වූ අතර එහිදී ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරීන් වෙත උසස් වීම් ලබා දී රාජපක්ෂ මහතා නොතකා හැරීමද බලවත් අසාධාරණයක් බව ඒ මහතා සඳහන් කරයි. මේ ගැන රාජපක්ෂ මහතා මෙන්ම අගතියට පත් සෙසු අයද පසුවන්නේ දැඩි කනස්සල්ලකිනි.මේ කාලය තුළ විවිධ අකටයුතුකම් කම් සහ නොසලකා හැරීම්වලට මුහුණ දුන් රාජපක්ෂ මහතාට ඔහුගේ සැඳෑකාලයේදී හෝ සාධාරණයක් ඉටු කිරීම කළ යුතුය. ඒ ගැන විවිධ ඉල්ලීම් කර ලිපි රැසක් පසු ගිය ආණ්ඩු කාලයේ ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතද යවා තිබේ. රාජපක්ෂ මහතා සඳහන් කරන ආකාරයට දහවතාවකට වඩා ජනාධිපති කාර්යාලය වෙත ලිපි යොමු කර ඇති අතර අවසාන ලිපිය යොමු කර තිබෙන්නේ 2018 අවුරුද්දේය. එම ලිපියට පිලිතුරු ලිපයක් යොමු කරන ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කර තිබෙන්නේ ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවය. එහෙත් මෙතෙක් එම ලිපියට සතුටු දායක ප්‍රතිචාරයක් ලැබී නැත.
2018 සැප්තැම්බර් 20 වන බ්‍රහස්පතින්දා දින දිනමිණ පුවත්පතේ රාජ්‍ය සේවය පිණිසයි තීරයේ රාජපක්ෂ මහතාට සිදු ව ඇති අසාධාරණය පිළිබඳව දීර්ග විස්තරයක් පළ වූ අතර ඒ ගැන අප පුවත්පත එවකට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මහනුවර ආර් එස් කේ කීර්තිසේන මහතා වෙත යොමු කළ අතර එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා අප පුවත්පත වෙත පවසා තිබුණේ රාජපක්ෂ මහතා ගේ සිදුවීම සම්බන්ධ යෙන් නිරීක්ෂණ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට යොමු කරන බවය.
“අපි මේ ගැන තොරතුරු රැසක් සොයා ගත්තා අපි දැන් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තාවක් ඉදිරිපත් කරනවා .. මේ ප්‍රශ්නය ගැන එක එක කාලයේ අමාත්‍යංශ ලේකම්වරු විවිධ ආකාරයේ කෝණවලින් බලා තියෙන්නේ.ඒ නිසයි මේ ප්‍රශ්නයට වෙලා තියෙන්නෙ..පැරැණි වාර්තා සියල්ල දැන් අමාත්‍යාංශයට යොමු කර තිබෙන්නේ නුදුරේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙසක් ලැබේවි..“
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර මේ වන විට අවුරුද්දකට අධිකය. එහෙත් මෙතෙක් රාජපක්ෂ මහතාගේ ගැටලුවට විසැඳුමක් ලැබී නැත. අවුරුදු තිහකට අධික කාලයක් රාජපක්ෂ මහතාගේ ප්‍රශ්නය ඇදි ඇදී ගොස් ඇත්තේ මේ ආකාරයටය.
රාපක්ෂ මහතා සඳහන් කරන ආකාරයට ඔහු ආයතන සංග්‍රහයට අනුව තම සේවා කාලය සපුරා ඇත. එනිසා ඔහුට මේ ආකාරයට අස්ථාන චෝදනා එල්ල කරමින් පීඩා කිරීම වරදකි.සිදු වු අසාධාරණය නොවන්නට ඒ මහතාට ඉහළ වැටුපක් ලබා ගැනීමටත් විශ්‍රාමික අවදියේදී සැලකිය යුතු දීමනාවක් ලබා ගැනීමටත් හැකියාව තිබුණි. එහෙත් උද්ගතව ඇති තත්ත්වය නිසා ඔහුට තම උගත්කමට ජ්‍යෙෂ්ඨත්වයට සරිලන වැටුප් තලයක සහ තනතුරක සිටීමට තිබු හැකියාව නැතිවී තිබේ . ඒ සියල්ල ගැන විමසා බලද්දි ඔහුගේ මානව අයිතීන් පවා උල්ලංඝණය වූ බවක් පෙනේ. එයට අමාත්‍යාංශ මට්ටමින් කඩ්නම් පරීක්ෂණයක් කළ යුතුය. රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ සාධාරණ පරික්ෂණයකි. එහිදී තමා සාධාරණ නම් අහිමි වැටුප් සහ වරප්‍රසාද ගැන අවධානය යොමු කළ හැකි බවය. එහෙත් අවුරුදු තිහක් පුරා ඔහුට අහිමිව තිබෙන්නේ එම යුක්තියයි. විෂය භාර ඇමැතිවරු ජනාධිපතිවරු අගමැතිවරු බලයට පැමිණ ඉවත්ව ගොස් තිබේ. එහෙත් රාජපක්ෂ මහතා ගේ ප්‍රශ්නය ගැන විමර්ශනයක් ලක් කර නැත. දැන් රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ තම ප්‍රශ්නය සේවාවන් පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකා කටයුතු කරන ලෙසය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමකාලීන ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මෙන්ම සහ රාජපක්ෂ මහතාගේ සේවා කාලය සලකා බැලිමේදී ත් ඔහු සමග සරසවියේ සිටි සෙසු සගයන් ගේ ජ්‍යෙෂ්ඨතාවය අනුව එක පෙළ සිටිය යුතු වුවද එය එසේ නොවීම ගැටලු සහගතය. රාජ්‍ය සේවය තුළ අවුරුදු දහයකින් කනිෂ්ඨ වීම යනු මහා අපරාධයකි. ඔහුට මේ ඉරණම අත්ව ඇත්තේ වරදක් කළ බවට නිසි පරික්ෂණයකින් ඔප්පු වීම නිසා නොව නිර්නාමික පෙත්සමකට ඉහළ බලධාරීන් ක්‍රියාත්මක වීමය. මෙවැනි දේට ගමේ භාෂාවෙන් කියන්නේ සහගහන අපරාධ කියාය. එනිසා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒ සඳහා පිළිගත හැකි ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතුය. දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ලෙස වැඩබැලීමට පත් වුවද පසුව එම පත්වීමද අවලංගු කරනු ලැබීය.
“අද සමහරු හිතනව මේ ප්‍රශ්නයට අපි වගකියන්න ඕනැ නැහැ කියල“
“ඒත් ඒක වැරැදියි ප්‍රශ්නය පරණ වෙන්න පුළුවන් ඒත් වින්දිතය මම ..මට මේ අවුරුදු තිහේදි කොච්චර දේවල් අහිමි වුණාද..
“දරුවන්ට උගන්වන්න තිබූ මුදල් ප්‍රමාණය සමාජ තත්ත්වය ඇතුළු බොහෝ දේවල් නැති වුණා...
සැබෑ ලෙසම නිර්නාමිකව ලද පෙත්සමකට නිසි පරීක්ෂණයක් නොකර සේවකයකුට හෝ නිලධාරියකුට විරුද්ධව චෝදනා එල්ල කර විනය ක්‍රියාමාර්ග ගැනීම සදාචාරවත් නොවන පිළිගත් රාජ්‍ය සේවා විනය අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. එහෙත් රාජපක්ෂ මහතාට එරෙහි ව සිදු වූයේ එවැනි අවනඩුවකි. සිදුවීම පැරැණි යැයි කියා එම සිදුවීම යට ගැසීම හෝ නොතකා සිටීම නොකළ යුත්තකි.
එනිසා ජනාධිපතිතුමා අගමැතිතුමා හෝ විෂය භාර ඇමැතිවරයා හෝ මේ ගැන අවධානය යොමු කළ යුතුය. එසේ වුවහොත් අවුරුදු තිහක් පුරා රාජපක්ෂ මහතාගේ සේවය අවතක්සේරු කරමින් පදනම් විරහිතචෝදනා කරමින් සිදුකළ කටයුත්තේ වරද නිවරද බව ගැන පැහැදිලි අර්ථ කථනයක් ලබා ගත හැකි වනු ඇත. ඒ සඳහා කළ යුතු එකම දේ වන්නේ ඉක්මනින් පරීක්ෂණයක් පැවැත්වීමය. ඉන්පසු වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරිමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. රාජපක්ෂ මහතාට පමණක් නොව මෙවැනි අසාධාරණකම් සිදු වූ සියල්ලන්ටම සමගින් යුක්තිය ඉටුවනු නියතය.
සටහන උදිත ගුණවර්ධන
ඡායා ශාන් රඹුක්වැල්ල