Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බුද්ධිමය කියැවීමකට-චයිනා ටවුම!

$
0
0
ජුනි 5, 2019 01:00
රන්ජන් අමරරත්න

පැරැණි සිංහල කෙටිකතාව ගෙන බැලුවහොත්, ජී.බී.සේනානායක මහතා ආඛ්‍යානයට මුල් තැනක් දුන් අතර, මාර්ටින් වික්‍රමසිංහ මහතා තියුණු සංවාදවලට මුල්තැන දුන්නේ ය. එරික්ගේ කෙටිකතා වඩාත් සමීපවන්නේ ජී.බී. සේනානායකගේ සම්ප්‍රදායට බව පෙනී යයි.

කෙටි කතාව හැඳින්විය හැක්කේ බුද්ධි විෂය සාහිත්‍යාංගයක් හැටියට ය. සාහිත්‍ය - කලා නිර්මාණවල මූලික කාර්යය වින්දනය වුව; එය ඉක්මවා ගොස් ජීවිතය හා ලෝකය විශ්ලේෂණය කිරීම කෙටිකතාවේ ගතිකයක් වී ඇති බව එහි ක්‍රම - විකාශය දෙස බලනවිට පෙනී යයි. ලෝකයේ විශිෂ්ට කෙටිකතා විවරණය කරන විට පෙනී යන්නේ ඒවා බොහෝ විට පුද්ගල චර්යා රටා විමර්ශනය කිරීමටත්, සිදුවීම් විශ්ලේෂණය කිරීමටත් මහත් ආයාසයක් දරා ඇති බව ය. පුද්ගල චර්යා රටා විමර්ශනය කිරීමෙන් ජීවිතයේ සංකීර්ණතා ප්‍රකට වෙයි. සිද්ධි විශ්ලේෂණය කිරීමෙන් ඒවායෙහි විහිළුකාර ස්වරූපය පැහැදිලි වෙයි. සමස්තය ගත්කල කෙටිකතාව දාර්ශනික තලයක පිහිටන බව ද, ඊට යම් සූත්‍රගත කිරීම් ඇති බව ද පැහැදිලි වෙයි.

වින්දනයට හෝ ප්‍රහර්ෂයට හෝ මූලික තැන නොදෙන බැවින්, කෙටිකතාව ජනප්‍රිය ම සාහිත්‍යාංගයක් වන්නේ නැතැ’යි තර්කයක් ගොඩනැගිය හැකි ය. දහනව වැනි සියවසේ දී යම් ජනප්‍රියත්වයක් හිමි කරගත් ලෝක කෙටිකතාව, පසුව නවකතාවට පරාජය වී පසුබාන්නට පටන් ගත්තේ ය. එහෙත්, විසිඑක් වැනි සියවසේ දී එය නැවතත් කලඑළි බසින්නේ පාඨකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරමින් ය. 2018 දී අමෙරිකන් සාහිත්‍ය සමාජය තුළ කෙටිකතා සංග්‍රහ දහයක් දොළහක් පමණ ප්‍රබල සංවාදයකට ලක් විය. ඒ අතර, “ඕල් ද නේම්ස් දේ යූස් ෆෝ ගෝඩ්” නම් කෙටිකතා සංග්‍රහය ද වෙයි. චරිතවල විවිධාකාර හැසිරීම් රටා නිරූපණයටත්, සිද්ධි වි‍ශ්ලේෂණයටත් එහි එන කතා බලවත් පරිශ්‍රමයක් දරා තිබේ.

ඉහත විස්තරය ලියා තබනුයේ; එරික් ඉලයප්ආරච්චි මහතාගේ “චයිනා ටවුම” නම් කෙටිකතා සංග්‍රහයේ විමසුමට පූර්විකාවක් වශයෙනි. කෙටිකතා දහ අටකින් සමන්විත මේ කතා සංග්‍රහය, සිංහල කෙටිකතාවේ විශේෂ ලකුණක් ලෙස නිර්ලෝභීව හඳුන්වා දිය හැකි ය. එකිනෙකට වෙනස් අත්දැකීම් ඒ - ඒ - කතාවලට පාදක වී ඇත. ජීවිතයේ සංකීර්ණතා නිරූපණය කරන චරිත ගණනාවක් අපට මෙහි දී මුණ ගැසෙති. එලෙස ම ලොව ස්වරූපය හා රිද්මය වටහාගත හැකි සිදුවීම් ගණනාවක් ද අපට මෙහිලා හඳුනාගත හැකි ය. “චයිනා ටවුම” කතා සංග්‍රහයෙන් මතුකර ගත හැකි සංවාද දෙස බලන විට, පහත සඳහන් මාතෘකා හතර මත ඒවා ගොනු කළ හැකි ය.

(I) පුද්ගල චර්යා රටා හා සංකීර්ණ චෛතසිකය

(II) සිද්ධි තුළ පවත්නා විකාර රූපී ස්වාභාවය

(III) පරිණත කතා සම්ප්‍රදාය හා සංයමයෙන් යුතු

භාෂාව

(IV) සත්‍ය සිදුවීම්වලට හා ඇත්ත චරිතවලට

සමීප වීම

“තනි කකුල”, “කඩ දෙක” හා “කිරි මුහුද” යන කතා තුනටම මරණයක් මූලික වී ඇත. මරණය යන සංසිද්ධිය විවිධාර්ථවත් ය. තනි කකුල කතාවේ එන තරුණයා බිම් බෝම්බයකට හසු වී මිය යයි. ඔහුගේ නම සිසිර කුමාර ය. තරුණයා මාර්ග සංවර්ධනයේ නියුතු කොන්ත්‍රාත්කරුවකු ළඟ තාවකාලික රැකියාවක් කරන අතර, බිම් බෝම්බයකට හසුවන්නේ වංගුවක් අසලදී ය. පිපිරීමෙන් පසු එම වංගුව කුමාර මරපු වංගුව ලෙස නම් කෙරේ. ප්‍රධාන සිදුවීමට පෙර අවශේෂ සිදුවීම් පෙළක් ඔස්සේ නිරීක්ෂණය වන්නේ, පුද්ගල චර්යා රටාවන් ය.

මෙහි එන කොන්ත්‍රාත්කාරයා වන ලෝරී අබේනායක සංකීර්ණ චර්යා රටා සහිත මිනිසෙකි. ඔහු තමන්ගේ ඉතිහාසය මකා දමා ඇත. එබැවින් ඔහු පිළිබඳ විවිධ ආරංචි පැතිරෙයි. එහෙත් ඔහු කිසිවක් ගණනකට ගන්නේ නැත. වරෙක ඔහු කම්කරුවකු සේ වැඩ කරයි. තව වරෙක සේවකයෝ කැටුව මත්පැන් බී විනෝද වෙති. තවත් වරෙක පරඅඹු සේවනයට යයි. ඔහුගේ ලිංගික චර්යා ගත්කල විකාර රූපී ය. ස්ත්‍රී සේවනය සඳහා විය පැහැදම් කරන අබේනායක, පෙරළා සිසිර කුමාර නම් තරුණයා කෙරෙහි ද ලිංගික ආකර්ෂණයෙන් බැඳෙයි. ඔහු තරුණයා වෙනුවෙන් ද විය පැහැදම් කරයි. නූතන සමාජ පරිසරය විසින් නිර්මාණය කරනු ලබන පුරුෂයා කවරකු ද යන ගැටලුව අප හමුවේ දිග හැරෙයි.

ඉහත සඳහන් කතා තුනේ දී ම මරණය නම් සංසිද්ධිය පිළිබඳ යම් හැඟීමක් ඇති කිරීමට කතුවරයා පෙලැඹී ඇත. මරණය සංකීර්ණ මාතෘකාවකි. “කඩ දෙක” කතාවේ පොත් වෙළෙන්ඳා මරණයට පත් වන්නේ අහඹු සිදුවීමකින් ය. “තනි කකුල” කතාවේ කුමාර මරණයට පත් වන්නේ ද අහඹු සිදුවීමකින් ය. මරණය පිළිබඳ එක් ස්වභාවයක් ඉන් නිරූපණය කෙරේ. “කිරි මුහුද” කතාවේ දී තරුණියක් දිවි නසා ගනී. ඒ ප්‍රේම සම්බන්ධයක් කැඩී යෑම නිසා ය. පෙම්වතා ඉතාලියේ වැනීසිය අසල බෝට්ටුවක සිටිය දී, පෙම්වතිය ශ්‍රී ලංකාවේ ගඟකට පැන දිවි නසා ගනී. ඇය ගඟට පනින්නේ පෙට්ටියක් ද තුරුලු කරගෙන ය. ඒ මොහොතේ ම පෙම්වතා රැගෙන ගිය පෙට්ටිය ද වැනීසියේ දිය තටාකයට පෙරැළී යයි. මෙයින් කියැවෙන්නේ මරණය පිළිබඳ ආකස්මික සබඳතාවක් ද? මරණයට අදාළ විශ්වාස හා ඇදහීම් ගැන ද කතුවරයාගේ නිරීක්ෂණය යොමු වී ඇත.

‘මුදුව’ කතාව ගැහැනුන්ගේ සිත විවරණය කරන කතාවක් සේ ගත හැකි ය. මියුරියල් නම් මැදි වයසේ කාන්තාව කියන ලෙස, ඇගේ දෙවැනි පුරුෂයා මියුරියල් කෙරෙහි තදින් බැඳී ඇත්තේ ඇය සතු මනරම් ඇඟිලි නිසා ය. වි‍ශේෂයෙන් මංගල මුදුව සහිත ඇඟිල්ල නිසා ය. පුරුෂයා එම ඇඟිල්ල ගෙන නිතර සිප ගනී. මේ කතාව අසා සිටින “මනු” නම් තරුණිය ද මියුරියල්ගේ ඇඟිලිවලට ආශක්ත වෙයි. ඇය මියුරියල්ගේ මුදුව සහිත ඇඟිල්ල ගෙන පිරිමදියි. එය සිපගැනීමේ ගුඪ ආශාවක් ද මනුගේ සිත තුළ පහළ වෙයි. මෙය මිනිස් චෛතසිකය පිළිබඳ ගැඹුරු කියැවීමක් ලෙස ගත හැකි ය.

“නගරයට - නගරයක්” කතාවෙන් විවරණය කෙරෙන්නේ පුද්ගලයා සතු සහජත්වය පිළිබඳ හැඟීම යැයි කිව හැකි ය. එහි එන මිතුරන් දෙදෙනාට තමන්ගේ නගරය සුන්දර බව ද, අනෙකාගේ නගරය අසුන්දර බව ද පෙනෙයි. එකෙක් මීගමුවේ ය. අනෙකා වේයන්ගොඩ ය. වේයන්ගොඩට එන මීගමුවේ මිතුරා එය අපායක් ලෙස දකී. මීගමුවට යන වේයන්ගොඩ මිතුරා එය ගඳගහන ස්ථානයක් ලෙස හඳුන්වයි. මිනිසා ඇතුළු සත්වයෝ තම පරිසරයට සංගත වෙති. එය හඳුන්වන්නේ සහජත්වය ලෙස ය. ‘නේටිවිසම්’ යනු‍වෙන් එය ඉංග්‍රීසියෙන් හැඳින්වේ. කතාවෙන් පැහැදිලි වන්නේ පුද්ගල චර්යා කෙරෙහි කතුවරයා දක්වන නිරීක්ෂණය යි.

කතුවරයා සිද්ධි විශ්ලේෂණය කරන්නේ එම සිදුවීම්වල අතිශය සියුම් තැන් ස්පර්ශ කරමින් ය. එය නූතන කෙටිකතාවේ කැපී පෙනෙන ලක්ෂණයක් සේ සැලැකිය හැකි ය. “නාසිසස්ගේ ළමා කාලය” නම් කතාවට පසුබිම් වන්නේ පාසලක විවෘත කිරීමේ උත්සවයකි. එහි ආරාධිත අමුත්තා වන්නේ පාසලේම ආදි ශිෂ්‍යයෙකි. ඔහු අතිශය කපටි පුද්ගලයකු වන අතර, අමුත්තාගේ අතීත කතාව හොඳින් ම දන්නා මිත්‍රයා උත්සවයේ සංවිධායකයෙකි. මේ සංවිධායකයා උත්සව අවස්ථාවේ පාසල අසල මූකළානට වැදී ඉබාගාතේ ඇවිදියි. මිතුරා අතීතය සිහිපත් කරන්නේ ඉබාගාතේ ඇවිදින අතර ය. මිතුරාගේ පසුතැවීම, කෝපය, කලකිරීම පාඨකයාට දැනෙයි.

මිතුරා ඉබාගාතේ ඇවිද යන බවක් බැලූ බැල්මට පෙනුණ ද, ඔහුගේ ගමනට ඉලක්කයක් තිබේ. ඒ පියවතී නම් ගැහැනියගේ නිවෙස ය. පියවතී යනු අතීතයේදී ආරාධිත අමුත්තා අතින් දූෂණයට ලක් වූ ගැහැනියකි. මිතුරා මහත් අපහසුවෙන් පියවතීගේ නිවෙසට සමීප වනවිට දකින්නට ලැබෙන්නේ, ආරාධිතයාගේ බෙන්ස් රථය පියවතීගේ නිවසෙහි මිදුලේ නවතා ඇති බව ය. සිදුවීම්වල ඇති විකාර රූපී බව, කතුවරයා විසින් නිරූපණය කරයි.

චයිනා ටවුම මේ කතා සංග්‍රහයේ එන ප්‍රශස්තම නිර්මාණය ලෙස සැලැකිය හැකි ය. එම කතාව පාඨකයා අතරට ගෙන එන්නේ මීයෙකි. මීයා සංකේතයක් ලෙස පවතී. මීයා සාම්ප්‍රදායික - පරණ ගුලක සිට අලුත් පරිසරයකට ප්‍රවේශ වෙයි. එය චයිනා ටවුම ලෙස හඳුන්වා ඇත. අලුත් පරිසරයේ දී මීයා මුහුණ දෙන අත්දැකීම එක අතෙකින් චමත්කාරජනක ය. තව අතෙකින් අවදානම් සහගත ය. මිථ්‍යා විශ්වාස, ඇදහීම්, පුරුදු මෙන් ම, නව ප්‍රවණතා ද මීයාගේ වාසියට ම පවතී. එහෙත්, මේ වාසිය තාවකාලික වෙයි. අවසන් ලෙස මීයා ඇදී යන්නේ බරපතළ ඛේදවාචකයක් කරා ය. කොළඹ නගරය ආශ්‍රිතව ඉදිවන වරාය නගරයේ අනාගතය මේ කතාවට ඇතුළත් වෙතැ’යි කෙනකු සිතන්නට පුළුවන. මීයා නූතන පරම්පරාවට සමාන කරන්නටත් පුළුවන.

“චයිනා ටවුම” කතාව මනා පෙළ ගැස්මක් සහිත කතාවකි. එහි යටි පෙළෙන් දේශපාලන අර්ථ ගණනාවක් මතුවෙයි.

“ඒ මාලිගාවේ ජේඩ් අධිරාජයා වැනි ධනවත් චීන නැව් හිමියෙක් පදිංචිව සිට ඇත. ව්‍යාපාරික ක්‍රෑරත්වය නිසා ඔහු ෂයිලොක් ලෙස ප්‍රසිද්ධව සිටි අතර වැනිස් වෙළෙන්ඳන් වැනි තරුණ ව්‍යාපාරිකයෝ ඔහුට ගොදුරු වී සිටියහ. එහි භූගත මන්දිරයක විසූ අපේ නෑයන් අහංකාර මීයන් බවට පත්වුණු නිසා අපි ඔවුන් සමඟ ඉළව් - මඟුල් අත්හැරියෙමු.

(චයිනා ටවුම)

කතුවරයාගේ විශේෂ අවධානයට ලක්වන තවත් සාධකයක් ලෙස සැලැකිය හැක්කේ රට හා සමාජය තුළ සිදුවන ආර්ථික හා දේශපාලනික වෙනස්කම් ය. ඔහු ඒවා සංකේත මඟින් ද, විස්තරාත්මකව ද විග්‍රහ කරයි.

එරික් ඉලයප්ආරච්චි මහතා මේ කතා සංග්‍රහය සඳහා යොදාගෙන ඇත්තේ, පරිණත සම්ප්‍රදායක් හා සංයමයෙන් යුතු භාෂාවකි. ඔහුගේ පරිණත සම්ප්‍රදාය ගොඩනැඟෙන්නේ ශක්තිමත් ආඛ්‍යානයක් මත ය. බොහෝ කෙටිකතාකරුවන්, සිද්ධි නාට්‍යාකාරයෙන් දැක්වීමට ද,තියුණු සංවාද සඳහා ප්‍රමුඛ තැනක් ලබා දෙන්නේ වුව, එරික් මහතා ඒ ක්‍රමය කණපිට පෙරළයි. ඔහු ශූර නිරූපණ සඳහා යොදාගෙන ඇත්තේ ආඛ්‍යානය පමණි.

“මිනිස් වර්ගයා ඔවුන්ගේ ඉතිහාසයට සිතින් ගමන් කරන්නට බොහෝ සෙයින් කැමැති බව මම දැන සිටි කාරණයක් විය.”

(පිටුව 55 - චයිනා ටවුම)

පැරැණි සිංහල කෙටිකතාව ගෙන බැලුවහොත්, ජී.බී.සේනානායක මහතා ආඛ්‍යානයට මුල් තැනක් දුන් අතර, මාර්ටින් වික්‍රමසිංහ මහතා තියුණු සංවාදවලට මුල්තැන දුන්නේ ය. එරික්ගේ කෙටිකතා වඩාත් සමීපවන්නේ ජී.බී. සේනානායකගේ සම්ප්‍රදායට බව පෙනී යයි.

කතුවරයා සතු තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, සත්‍ය සිදුවීම් හා ඇත්ත චරිත ආශ්‍රයෙන් කතා ගොඩනැ‍ඟීම ය. ඒවා කතුවරයාගේ සැබෑ අත්දැකීම් ලෙස හඳුනාගන්නටත් පුළුවන. නගරයට - නගරයක් කතා‍වේ එන චරිත දෙකෙන් එකක් කතුවරයා ය. අනෙක් චරිතය වේයන්ගොඩ ජීවත් වන ප්‍රකට පරිවර්තකයෙකි. මේ කතා අව්‍යාජ ලෙස ද පාඨකයාට සිතන්නට යමක් ඉතිරි කරන ලෙස ද ගොඩනඟා තිබීම වැදගත් ය. මෙහි එන කතාවලින් වැඩි හරිය පරිපාකයට පත් වූ ප්‍රබන්ධ ලෙස හඳුන්වා දිය හැකි ය.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>