ශාලිත ගුණවර්ධන
පුංචි තිරය මත දිග හැරෙන ටෙලිනාට්‍ය අතර කාලයෙන් කාලයට සමාජය තුළ කතාබහක් ගොඩ නගන්නට හැකි නිර්මාණ දක්නට ලැබේ. මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන සුදු ඇඳගෙන කළු ඇවිදින්, සමාජයේ සෑම තරාතිරමක්ම ආවරණය කරමින් වෙනස් ආරක කතා තේමාවක් සමග ආලින්දයට ගොඩ වෙන ටෙලි නිර්මාණයකි. එහි රංගදාස ගේ චරිතය හරහා අපට මුණ ගැසෙන ශාලිත ගුණවර්ධන සමග කළ කතාබහකි මේ.
l වෙනත් ටෙලි නිර්මාණ සමඟ ගත් විට සුදු ඇඳගෙන කලු ඇවිදින් ඔබ දකින්නේ කොහොමද?
සුදු ඇදගෙන කලු ඇවිදින් පිටපතේ සිට ම වෙනස් නිර්මාණයක්. බිත්ති හතරකට කොටු වුණු කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී සොබා දහමට බද්ධ වෙමින් මනසට කතා කරන, සෑම මිනිසෙක් තුළම සැඟවුනු සුදු කලු රූපය මතුකරන කතාවක්. පිටපත් රචකයාගේ භූමිකාවත් සමගම අධ්‍යක්ෂ වරයාගේ භූමිකාවටත් පණ පොවන ප්‍රවීණ අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහාතා මෙය මිනිස් ජීවිතය නිර්මානත්මක් අයුරින් විග්‍රහ කරන අපූර්වත්වයෙන් අනූන කෘතියක් බවට පත් කරන්නට සමත් වී තිබෙනවා. අනෙත් අංශ සියල්ලමත් උපරිම කැප කිරීමකින් එම කටයුත්ත සාර්ථක කරන්නට දායක වීමත් නිර්මාණ රසය වැඩි දියුණු කරන්න හේතුවක්. වෙනත් නිශ්පාදකවරුන් ට වඩා මෙහි නිශ්පාදකවරුන් නිර්මාණය පිළිබඳව අවදානය දක්වනවා.
l වර්ථමානයේ බිහිවෙන ටෙලි නාට්‍ය ගමන් කරන දිශාව ඔබ දකින්නේ කෙසේද?
මම රංගන ශිලපියෙක් සහ අංග රචනා ශිල්පියෙක් යන අංශ දෙකෙන්ම ක්ෂේත්‍රය නියෝජනය කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය පහල මට්ටමක තියෙන රටක කලාව විතරක් ඉහළින්ම වැජඹෙන්නේ නැහැ. මේ ක්ෂේත්‍රය හොඳ මාවතක ගෙනයන්න, හොඳ නිරිමාණ බිහි කරන්න පුළුවන් දක්ෂ නිර්මාණ කරුවෝ අප අතරේ ඉන්නවා. ඒ සඳහා ඔවුන්ට සුදුසු වටපිටවක් තිබිය යුතුයි. විදේශීය නාට්‍ය රැල්ල බලෙන් නවත්තන බැහැ. හොඳ දේශීය නිර්මාණ බිහි කිරීම තුළින් පමණයි එය වෙනස් කරන්න හැකියාවක් ලැබෙන්නේ. එවිට ප්‍රේක්ෂකයෝ අපේ නිර්මාණත් සමග රැඳේවි. රූපවාහිනී නලිකාවලටත් මෙහි වගකීමක් තිබෙනවා. නිවැරදි සහ ගුණාත්මක දේ සමාජගත කරන්න ඔවුන් ඉදිරිපත් විය යුතුයි.
l සුදු ඇඳගෙන කලු ඇවිදින්හි ඔබේ භූමිකාව ගැනත් සඳහන් කරනවා නම්,
රංගා නමැති කිලිනොච්චියේ දමිළ ගම්මානයක සිට පැමිණි යුද්දය නිසා පාසල් ගමන අතරමඟ නැවතුණු, අම්මා( විණා ජයකොඩි )එක්ක තනිවුණු ජීවිතයක් ගෙවමින් වින්කලයක් කරන නිහඬ, හැමෝටම උදවු කරන, බුද්ධිමත් තරුණයෙක්. රංගා හරහා දිවෙන්නේ පවතින කලබලකරී තත්වය තුළ සහජීවනය වර්ධනය කරන්නට වෙහෙසෙන චරිතයක්.
l ඔබේ රංගන ජීවිතයේ ගමන් මග සඳහන් කළොත්,
මගේ ලොකු අක්කා එයා සංගීත විශාරද වරියක්. ඇයගේ ආභාෂයෙන් මට කලාව ගැන ආශාවක් ඇති වුණා. ඒ ආශාව ඔස්සේ ඉදිරියට එන්න පාසලෙන් ලොකු රුකුලක් ලැබුණා. ජාතික රුපවහිනියේ රජත රශ්මි තරගවලට ප්‍රදේශීය මට්ටමෙන් ඉදිරිපත් වී අවසන් වට දක්වා තරග කරන්නට අවස්ථාව හිමි වුණා. තරුණ සේවා සභාවෙන්, ගිහාන් ප්‍රනාන්දු , ධර්මප්‍රිය ඩයස්, රජිත දිසානයක, ජයන්ත චන්දසිරි, මහත්වරුන්ගෙන් ගුරුහරුකම් ලැබුණා. වේදිකාව මට විශේෂයි. එය රංගන පාසලක් වගේ දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් වෙන්න නිකන් බැහැ වගේම රංගන් ශිල්පියෙක් වෙන්නත් විෂය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් අවශ්‍යයි. අපි තවම පැලවෙන ගස්. මේක කිසි දවසක පරතෙර දැකිය නොහැකි පුළුල් විෂයයක්.
l කලා ජීවිතයෙන් ඔබ්බට ගෙවෙන ජීවිතය ගැනත් යමක් සඳහන් කරනවා නම්,
මගේ ගෙවල් කෑගල්ලේ හරිම ලස්සන ගම්බද වටපිටවක. අම්මයි තාත්තා අක්කලා දෙන්නෙක් සිටින පවුලේ මම තමයි බාලයා. කලා ජීවිතයට ගෙදරින් ලොකු පිටිවහලක් ලැබුණා වගේම කිසිම දේකට බලපෑමක් නොකර නිදහස දුන්නා. මේ දිනවල මාරක ළිඳේ සවාරියක් වේදිකා නට්‍යටත් සම්බන්ධ වි සිටිනවා. ජිවිතේ එන විදියට ඒ මොහොත් සතුටින් ඉන්න උත්සහ දරනවා.
දිල්රූ ජයසේකර