ආචාර්ය ඒ. එස්. ජයවර්ධන වාර්ෂික ගුණ සමරු දේශනය මෙවර පවත්වන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසිනි.
මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඒ. එස්. ජයවර්ධන, කොළඹ රාජකීය විද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ලන්ඩන් බිස්නස් කොලීජිය ඔස්සේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හදාළ ලෝ පතළ ආර්ථික විද්‍යාඥයෙකි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වොෂින්ටනයේ නේවාසික අධ්‍යක්ෂවරයකු ලෙස 1981 සිට 1985 දක්වා කටයුතු කළ ජයවර්ධන මහතාගේ බල වපසරියට ඉන්දියාව, බංගලිදේශය සහ ශ්‍රී ලංකාව අයත් විය. එහෙයින් ඔහු නිකම්ම නිකං ආචාර්යවරයෙක් නොව සම්භාව්‍ය ආර්ථික ආචාර්යවරයෙකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත්වූ ඒ මහතා 1985 නොවැම්බරයේ සිට 2004 දක්වා එම තනතුර දැරීය ඔහු මහ බැංකුවේ 10 වන අධිපතිවරයා ය. වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජයවර්ධන මහතා යටතේ කටයුතු කළ නිලධාරියෙකි. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අංශයේ හැඩතල සකස් කිරීමේදී ගත් උත්සාහය ඔහු සිය දේශනයේදී පැහැදිලි කෙළේය. මුදල් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් තනතුර ද මහ බැංකු අධිපති තනතුරට අමතර වශයෙන් දැරූ ජයවර්ධන මහතා 1997 ආසියා මූල්‍ය අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව සවිබල ගැන්වූ අන්දම කුමාරස්වාමි මහතා විස්තර කැර දුන්නේය. එසේම මුදල් පනතේ ඇතැම් කරුණු සංශෝධනයට 2002 දී ජයවර්ධන මහතා ඉදිරිපත් වූ බවත්, ලෝකයේ සෙසු රටවල් සමඟ කාලානුරූපව එකට ගමන් කළ හැකි ආර්ථික මඟකට ඔහු ශ්‍රී ලංකාවේ පසුබිම සකස් කළ බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කෙළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාකප්පල් කිරීම සඳහා කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය පිළිබඳවද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එහිදී කරුණු දැක්වීය. මේ ප්‍රහාරය එල්ල වූයේ ඒ. එස්. ජයවර්ධන මහතා එහි සභාපතිව සිටියදීය. එනම් 1996 ජනවාරි 31 වන බදාදා ය.
පළමු ප්‍රහාරය
එදින උදෑසන 10.50 ට මරාගෙන මැරෙන ත්‍රස්ත කණ්ඩායමක් පුපුරණ ද්‍රව්‍ය ලොරියක් ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුළු කර ත්‍රස්ත ප්‍රහාරයකින් මහ බැංකු ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කිරීම ත්‍රස්තවාදීන්ගේ සැලැසුම විය. එහෙත් කල්වේලා ඇතිව යොදා තිබුණු පිවිසුම් බාධක නිසා එම ලොරිය බැංකු පිවිසුම අසලදී පුපුරා විශාල හානියක් සිදුවිය.
මෙහිදී බැංකු ගොඩනැගිල්ලට අලාභහානි සිදුවූ අතර බංකු සේවකයෝ 41 ක් මිය ගියහ. එසේම ගනුදෙනුකරුවන් කීප දෙනෙක් ද මිය ගියහ. බැංකු සේවකයෝ 8 දෙනෙක් සදහටම අන්ධභාවයට පත් වූහ. එසේම බැංකු සේවකයෝ 11 දෙනෙක් අංගවිකලභාවයට පත්වූහ.
කොටි ත්‍රස්තවාදීන් රටේ ආර්ථික දේහයේ හදවත මෙන් ම, ආර්ථිකය හැසිරවීමේ බුද්ධි ප්‍රවාහය ද සිඳ බිඳ දමා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයෙන් අතු ගා දැමීමට මේ බැංකු ප්‍රහාරයෙන් අදහස් කළත් ඒ. එස්. ජයවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරීහු පසුවදාම බැංකු කටයුතු ආරම්භ කළහ. රාජගිරියේ බැංකු අභ්‍යාස ගොඩනැගිල්ල තුළ තම බැංකු කටයුතු ඇරැඹූ ඔවුහු විදේශ රටවල් සමඟ කෙරෙන ගනුදෙනු වහා ආරම්භ කළහ. අනතුරුව සියලු අන්දමේ කටයුතු යළි ප්‍රකෘතිමත් කළා පමණක් නොව කැඩී බිඳී ගිය මහ බැංකු ගොඩනැගිල්ල ද නව ඉදිකිරීම් සහිතව විවෘත කළහ.
ශ්‍රී ලංකාවට එල්ල වූ පළමු ත්‍රස්තවාදී ආර්ථික ප්‍රහාරයට එසේ මුහුණ දුන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය තුළ කිසිදු පසුබෑමකින් තොරව ක්‍රියා කිරීමෙන් ජාත්‍යන්තරයේ ආර්ථික විශ්වාසය ද, ආයෝජක විශ්වාසය ද තහවුරු කරගත් අතර දෙවන ආර්ථික ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ පාස්කු දිනදීය. එය ද සුළු පටු ආර්ථික ප්‍රහාරයක් නොවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයට එල්ල වූ මේ ප්‍රහාරයෙන් සංචාරකයෝ 40 කට වැඩි පිරිසක් මරුමුවට පත් වූහ. ඒ සමඟ රටවල් රාශියකින් ශ්‍රී ලංකාවට එරෙහි ගමන් වාරණ උපදේශ නිකුත් වුව ද මේ වන විට රටවල් රාශියක් එම වාරණ ඉවත් කර තිබේ. එය සංචාරක ආදායම් ඉහළ යෑමට අනිවාර්ය හේතුවකි. එසේම අගමැති මෝදි ශ්‍රී ලංකා සංචාරය ද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂක තත්ත්වය ස්ථාවරත්වයට පත්ව ඇති බව පිළිබිඹු කිරීමකි.
පසුගිය සිකුරාදා වන විට මහා බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට එරෙහි ගමන් වාරණ ලිහිල් කළ අතර මැයි 28 වනදා ඉන්දියාව, ජර්මනිය සහ ස්විස් රට සිය ගමන් වාරණ ලිහිල් කළහ. කල් ඇතිවම චීනය ගමන් වාර ලිහිල් කළ අතර අමෙරිකාව සිය වාරණ තුන්වන පරිමාව දක්වා ලිහිල් කෙළේය. මෙසේ වාරණ ලිහිල් කළ රටවල් බොහොමයක් සිය නිවේදනයන් මඟින් කියා සිටියේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා සිය සහාය දක්වන බවයි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ටොම් බර්න් මාධ්‍යයට පවසා තිබුණේ තම කාර්යාලය විසින් ගමන් වාරණ ලිහිල් කිරීම සංචාරක ආදායම වැඩිකිරීමට අනිවාර්යයෙන්ම හේතුවන බවයි.
නෙදර්ලන්තය 2014 සිට වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වන සංචාරකයන් ප්‍රමාණයන් සහිත රටකි. 2014 එරටින් ලංකාවට පැමිණියේ සංචාරකයන් 24196 ක් පමණි. එහෙත් 2015 එම සංඛ්‍යාව 32742 දක්වා ඉහළ ගියේය. 2018 වන විට ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි නෙදර්ලන්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 57160 දක්වා ඉහළම මට්ටමට පැමිණ සිටියදී අයි. එස්. ත්‍රස්ත ගිනිගෙඩිය කඩාපාත් විය. ජර්මනිය ඉහළ ආදායම් සහිත රටක් නිසා වැඩි ක්‍රය ශක්තියක් සහිතය.
මේ අනුව ඉදිරි ශීත කාලයේදී යුරෝපීය සංචාරක අංශය වඩාත් ක්‍රියාකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම ආණ්ඩුව සංචාරක කර්මාන්තයේ සෑම අංශයකම පාහේ පුනරුත්ථාපනයට තුඩු දෙන විවිධ සහන පැකේජ සහ ණය ක්‍රම ද, සහනාධාර ද ඉදිරිපත් කර තිබේ. එසේම සිය ව්‍යාපාරික නොනගත කාලය වඩාත් ඵලදායී කර ගැනීමේ අරමුණින් බොහෝ සංචාරක හෝටල, කුඩා හා මධ්‍යම පරිමාණ ලැඟුම්හල් දැන් ඒවායේ අලුත්වැඩියා හා පුළුල් කිරීම් අරඹා ඇත. සිය අරමුදල් වැඩිකර ගැනීම සඳහා තවත් හෝටල් කොටස් වෙළෙඳපොළ ඔස්සේ පියවර ගනිමින් සිටිති. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිමා CIMA කණ්ඩායම සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී ව්‍යාපාරික විශ්වාසය සහ අන්තර්ජාතික විශ්වාසය තහවුරුව ඇති බව කීවේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මැයි මස අගදී සිය ප්‍රදානයන්ගේ වාරිකය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ස්ථිර කළැයි කී ඔහු එය ජාත්‍යන්තරයේ විශ්වාසය පළවීමක් ලෙස හඳුන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරයෙන් පසු පවත්වන ලද බැඳුම්කර අලෙවි කිරීම් සඳහා ආයෝජකයන්ගේ විශ්වාසය පළවී යැයි ද වාහන ආනයනය අඩුවීම නිසා වෙළෙඳ හිඟයේ පරතරය අඩු වී යැයි ද කීය.
සංචාරක විශ්වාසය
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් අතට හැරීම සලකුණු කරන තවත් සිදුවීමක් ගිය සතියේ වාර්තා විය. ජර්මානු සංචාරකයන් 900 ක් රැගත් එම්. එස්. යුරෝපා නෞකාව පසුගිය සතියේ හම්බන්තොට වරායටත් අනතුරුව කොළඹ වරායටත් පැමිණියේය.
පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම සංචාරක නෞකාව එයයි. හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගත් මේ සංචාරක පිරිසේ බහුතරය ජර්මන් ජාතිකයෝය.
ජර්මනියේ හපාග් ලොයිඩ් සමාගමයට අයත් මේ යාත්‍රාව සංචාරක කර්මාන්තයේ සම්මාන කීපයක් දිනාගෙන ඇත. ඉහළ පෙළේ ධනවතුන් සඳහා සංචාරක කටයුතුවල නිරත එම නෞකාවේ නිලධාරීහු ශ්‍රී ලංකාවේ තව තවත් සංචාර ඉදිරියේදී අරඹන බවට ප්‍රතිඥා දුන්හ.
දකුණේ විවිධ ස්ථානවල සංචාරයේ යෙදුණු මේ සංචාරක පිරිස කොළඹ නගරයේ සාප්පු සවාරිවල ද නිරත වූහ.
මේ අතර ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා ඇමැති හර්දීප් සිංග් පූරි පීටීඅයි පුවත් සේවයට පවසා තිබුණේ ශ්‍රී ලංකා ඉන්දියා අමතර ගුවන් ගමන් සේවාවන් ඉතා කඩිනමින් අරඹන බවයි. ත්‍රස්ත ප්‍රහාරය නිසා එම ගුවන් ගමන් නතර කරන ලදී.
අයි. එස්. ත්‍රස්ත ප්‍රහාරයේ ආර්ථික බලපෑම හරි හැටි අවබෝධ කරගත හැකි වන්නේ 2019 තුන්වන සහ හතරවන ආර්ථික කාර්තුවලදීය. දැන් 2019 වසරේ අඩක් ගෙවීමට ආසන්නය. ජූලියේ සිට දෙසැම්බරය දක්වා වන ඉදිරි මාස තුළ දක්නට ලැබෙන ආර්ථික චිත්‍රය කෙබඳු ස්වරූපයක් ගන්නේදැයි දැන් දැන් ආර්ථික ක්ෂේත්‍රයේ කතාබහ පවතී.
වසර අග වන විට ඡන්ද විමසීම් පැවැත්වෙන බවට වාර්තා පළවේ. ඡන්ද විමසීම් යනාදිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්දම සහ එහි ඇති ආර්ථික ඵලවිපාක ජාතික ආර්ථිකයටත් නිෂ්පාදනයට සහ මූල්‍ය විනයටත් බරපතළ ප්‍රශ්න ඇතිකරවන බව අත්විඳ ඇති නමුත් අපේ රටේ ඇතැම් දේශපාලන ක්‍රියාමාර්ග රටේ ආර්ථික සංවර්ධනයට වඩා ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේ දේශපාලන ව්‍යාපෘතීන්ටය. එහෙයින් වසරේ දෙවන බාගයේ සංවර්ධන ඉලක්ක සහ දේශපාලන ව්‍යාපෘති අතර ඇතිවන තරගයකින් ආර්ථික ඉලක්ක පසුබෑමේ අනතුරක් පවතී.
ආර්ථික විද්‍යාඥ නිමල් සඳරත්න මහතා ඉකුත් දා සිදුකළ ආර්ථික විග්‍රහයකදී ද මේ බව මතක් කර තිබුණි.
2019 ගෝලීය ආර්ථිකය හැකිලී යන බවට ලෝක බැංකු වාර්තාවක් පළවී ඇත. මේ වාර්තාව පදනම් කරගත් විශ්ලේෂණයක් ඉන්දියාවේ හින්දු පත්‍රයේ පළවිය. ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළ ඉලක්ක සංශෝධනය කරමින් නවතම වාර්තාව පවසන්නේ ගෝලීය ආර්ථිකයේ 2019 වර්ධනය 2.6 දක්වා පහත වැටෙන බවයි. එහෙත් ඉන්දියාවේ ආර්ථීක වේගය 2019, 2020 සහ 2021 යන වර්ෂයන්හි නොකඩවා සියයට 7.5 සීමාවේ පවතින බවට ද අනාවැකි පළකරන ලෝක බැංකු වාර්තාව 2019 දී එක්සත් ජනපද ආර්ථිකය සියයට 2.9 මට්ටමක පවතිනු ඇතැයි 2018 දී පුරෝකතනය කළත් 2019 දී 2.5% දක්වා පහත වැටෙන බව කියයි. එසේම 2020 හා 2021 දී ද එය පහත වැටෙන බව කියයි. ඉන්දියා මැතිවරණයට පෙර පළවූ මේ වාර්තාව කියා සිටියේ ඉන්දියා මැතිවරණයෙන් පසු දේශපාලන අස්ථාවරත්වයක් සිදුවුවහොත් එමඟින් ආර්ථිකයට හානියක් සිදුවන බවයි. එහෙත් ඉන්දියාවේ එවැන්නක් සිදුවූයේ නැත. එරට දේශපාලන තත්ත්වය තවත් ස්ථාවර විය.
නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන් මන්දිරයේදී පැවැති මෝදි අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ පිරිස අතර නේපාලයේ ප්‍රකට ව්‍යාපාරික බිනෝද් චෞද්රි ද විය.
බහුජාතික ගතිලක්ෂණ සහිත නේපාලීය සමාගමක් වන සීජී කෝපරේෂන් සමාගම් පොකුරේ සභාපතිවරයා වන චෞද්රි ශ්‍රී ලංකාවේ විවිධ ආයෝජනයනට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උත්සන්නව පැවති 1988 තරමේ දී ඔහු කොළඹ සංචාරක හෝටල ක්ෂේත්‍රයේ ආයෝජනයට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ තව තවත් සංචාරක හෝටල කර්මාන්තයට සම්බන්ධවීමට අපේක්ෂාවෙන් සිටින චෞද්රි ව්‍යාපාරික මාධ්‍යයන්ට පවසා ඇත්තේ මෝදි අගමැතිවරයාගේ ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාව පමණක් නොව කලාපයම නව දියුණුවක් ලබන බවය.
චෞද්රි පවුල සතු වෙළෙඳ සමාගම් සංඛ්‍යාව 130 කට අධිකය. මූල්‍ය, බලශක්ති, අධ්‍යාපන, ආගන්තුක සත්කාර සේවා සහ වැවිලි අංශයට සම්බන්ධ ඔහුගේ සමාගම් මහාද්වීප හතරක රටවල් 30 ක් පුරා විසිර තිබේ. රටවල් 12 ක සංචාරක හෝටල් 125 කි. ඔවුනගේ ව්‍යාපාරික ඉතිහාසයට වර්ෂ 140 ක ඉතිහාසයක් තිබේ. සේවකයෝ 14000 කි. රාජස්ථාන ප්‍රදේශයේ සිට නේපාලයට සංක්‍රමණය වූ රෙදිපිළි වෙළෙන්දකු වූ බුරාමුල් චෞද්රි මේ සමාගම් පොකුරේ ආරම්භක නිර්මාතෘවරයාය.
ශ්‍රී ලංකාවේ ඉදිරි ආයෝජන රැසකට සම්බන්ධ වන බවට ද චෞද්රි ව්‍යාපාරික මාධ්‍යයන්ට අනාවැකි පළ කෙළේය. ව්‍යාපාරික ආරංචි මාර්ග පවසන අන්දමට ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ඔවුනගේ ආයෝජන ක්ෂේත්‍රය වීමට හොඳ හැටි ඉඩකඩ තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ
වෙළෙඳපොළ ගනුදෙනු දින හතරකට සීමා විය. බදාදා නිවාඩු දිනයකි. සිකුරාදා ගනුදෙනු අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5298 තුළ ස්ථාපිත විය. සතියකට පෙර 5310 කි. වසරකට පෙර 6354 කි.
සඳුදා පිරිවැටුම රුපියල් දසලක්ෂ 188 කි. අඟහරුවාදා පිරිවැටුම රුපියල් දසලක්ෂ 184 කි. බ්‍රහස්පතින්දා දසලක්ෂ 126 කි. සිකුරාදා දසලක්ෂ 170 කි.
ජූනි 07 වනදා ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පවසන පරිදි සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 167.2 කි. සිකුරාදා විදේශීය මිලදී ගැනීම රුපියල් දසලක්ෂ 54.2 කැයි රොයිටර් වාර්තාව කියයි.
හැටන් වැවිලි සමාගමයේ බහුතර කොටස් ප්‍රමාණයක් රුපියල් බිලියනයකට මිලදී ගැනීමට ලෝටස් රිනිවබල් එනර්ජි සමාගමය පසුගියදා සමත් විය. මේ ගනුදෙනුවේදී එක කොටසක් රුපියල් 8.30 බැගින් මිලදී ගත් ලෝටස් රිනිවබල් එනර්ජි යනු ඉන්දියාව, ශ්‍රී ලකාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන සමාගමයකි.
මුහුදු මට්ටමෙන් අඩි 4800 කට උසින් වන හෙක්ටයාර 5000 ක භූමි භාගයක පිහිටි වතු 14 ක් හැටන් වැවිලි සමාගමයට අයත් ය.
ඉකුත් මැයි 3 - 4 තේ වෙන්දේසියට තේ කිලෝ දසලක්ෂ 7.6 ක දැවැන්ත තේ තොගයක් ඉදිරිපත් විය. එය ඊට පෙර වෙන්දේසියට සාපේක්ෂව කිලෝග්‍රෑම් දසලක්ෂ 0.8 ක වැඩිවීමකි.
ජපානය සහ ජර්මනිය ඉහළ කඳුකරයේ තේ සඳහා විශාල උනන්දුවක් දැක්වූහ. මේ අතර ඉරාන තේ අපනයනය පිළිබඳ සාකච්ඡා මාලාවක් සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් එරට බලා පිටත්වීම මේ සතියේ සිදුවේ. එසේම කොරියා ශ්‍රී ලංකා තේ වෙළෙඳ කටයුතු වර්ධන කටයුතු සඳහා ද ළඟදීම පියවර ගනු ඇත.
පසුගිය සතියේදී ලාභාංශ එක්කරන ලද සමාගම් මෙසේය.
ෆෝට්රස් රිසොට් සමාගමය පී. එල්. සී. සිය එක් කොටසකට රුපියලක් බැගින් වූ ලාභාංශයකි. ගෙවීම ජූලි මස 8 වන දින.
එල්. වී. එල්. එනර්ජි ෆන්ඩ් පී. එල්. සී. එක් කොටසකට රුපියල් හතරක ලාභාංශයකි. ගෙවීම ජූලි මස 8 වන දින.
වැලිබල් ෆයිනෑන්ස් පී. එල්. සී. එක් කොටසකට රුපියල් හතරක ලාභාංශයකි. ගෙවීම ජූනි මස 24 වන දින දී.
කරුණාරත්න අමරතුංග