අමාත්‍යවරුන් පිරිසක් සිය ධූරවලින් ඉවත්වීම, එම ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවලට වැඩ බලන අමාත්‍යවරුන් පත්කිරීම,අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් රට මුහුණ පා ඇති තත්ත්වය, කැබිනට් මණ්ඩලය රැස් නොකිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හේතුවෙන් පැනනැඟී ඇති ගැටලු ආදිය සම්බන්ධව නගර සැලසුම්කරණය, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍ය ලකී ජයවර්ධන මෙසේ අදහස් දක්වයි.
* විපක්ෂයත් පාස්කු ප්‍රහාර තේරීම් කම්ටුව ඉල්ලුවා
* කතානායකතුමා සියලුම පක්ෂවලට තේරීම් කාරක සභාවට ඇරයුම් කළා
* එජාපය ප්‍රශ්නවලින් පැනල යන්නේ නැහැ
* කතාවලදී පරිස්සම් වුණොත් ප්‍රශ්න අඩු වෙනවා
* ආණ්ඩු කරද්දී ප්‍රශ්නවලටත් මුහුණදෙන්න වෙනවා
* මීට කලිනුත් කැබිනට් රැස්වීම් නැතිවෙලා තියෙනවා
මුස්ලිම් අමාත්‍යවරුන් අමාත්‍යධුරවලින් ඉවත්වීමෙන් පසු එජාපයේ මැති ඇමැතිවරු පිරිසකට එකී අමාත්‍යධුර ලැබීම ගැන ඔබේ අදහස කුමක් ද?
මුස්ලිම් අමාත්‍යවරු ඉවත් වුණේ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණ කරන්න කියලයි. ආණ්ඩුවේ අමාත්‍යධුරවලින් ඒ පුරප්පාඩු වුණ අමාත්‍යධුරවලට රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරන්න ජනපතිවරයා පියවර ගත්තා. මටත් අවස්ථාවක් ලැබුණා වැඩ බලන අමාත්‍යධුරයක රාජකාරි කරන්න. ඒ නිසා අමාත්‍යාංශයේ මෙතෙක් කරගෙන ආ වැඩ ඒ ආකාරයෙන් ම ඉදිරියට ගෙන යාමේ අදහසින් තමයි මම ඉන්නේ.
අගමැතිවරයා මේ අමාත්‍යධුරවලට ඉදිරිපත් කළ නම් ජනපතිවරයා ප්‍රතික්ෂේප කළා ද?
එතැන තියෙන ඇත්ත ම කතාව මම දන්නෙ නැහැ. ඒ නිසා මට ප්‍රකාශයක් කරන්න අමාරුයි. මොකද අපි ඒක දැක්කෙ නැහැ.
කොහොම නමුත් ඔබතුමාට ලැබෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. නැඟෙනහිර විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විටත් මතබේදයක් ඇතිවෙලා තියෙනවා. එය පවරගන්න අවශ්‍ය කටයුතු කරනවා ද?
ඒක විශ්වවිද්‍යාලයක් නෙවෙයි. විශ්වවිද්‍යාලයක් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබිලත් නැහැ. තවම ඒක ගොඩනැඟිල්ලක් විතරයි. අමාත්‍යවරයා විදිහට මම මේ ගැන හොයලා බලනවා. දැනට ඒක විශ්වවිද්‍යාලයක් නෙවෙයි.
මුස්ලිම් අමාත්‍යවරු ඉවත්වීම එජාපයේ පිරිසට අමාත්‍යධුර පිරිනමන්න කරපු රඟපෑමක් කියලා සඳහන් වුණා?
විවිධ අය විවිධ කතා කියනවා. නමුත් මේ රටේ මහජනතාව සත්‍ය තත්ත්වය දන්නවා. මුස්ලිම් අමාත්‍යවරුන්ට මුහුණ දෙන්න සිදුවුණ අර්බුදකාරී තත්ත්වය මත තමයි ඒ තීන්දු තීරණ අරන් තියෙන්නේ. මුස්ලිම් අමාත්‍යවරු ගත්ත තීරණය ගැන ජනතාවගෙ පැත්තෙන් බැලුවොත් ඔවුන්ට සැනසීමක් ලැබිලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ගැන ජනපතිවරයාගේ විරෝධයක් තියෙනවා. ඒ ගැන මොනව ද කියන්නේ?
පාස්කු ඉරිදා ප්‍රහාරය මේ රටේ පුරවැසියන් අපේක්ෂා කළ ප්‍රහාරයක් නෙවෙයි. නමුත් ඒ අවාසනාවන්ත සිදුවීමට මේ රටේ සියලු දෙනාට මුහුණ දෙන්න සිදු වුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි කියලා ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂ කණ්ඩායම් යෝජනා කළා. ඒ යෝජනාවට අනුව තමයි තේරීම් කාරක සභාව පත් වුණේ. නමුත් ඒ ගැන කෙරෙන ප්‍රශ්න කිරීම් තුළ ගැටලු පැන නැඟිලා තියෙනවා.
ජනපතිවරයා ඉලක්ක කරගෙන ප්‍රශ්න කිරීම් කෙරෙනවා කියලයි කියන්නේ?
විවිධ පක්ෂවල විවිධ මන්ත්‍රීවරු ඉන්නවා. එහෙම තැනක යම් යම් ප්‍රශ්න මතුවෙන බවකුත් පේන්න තියෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ ඉබ්‍රහයිම් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වුණ කෙනෙක්. තේරීම් කාරක සභාවටත් ජවිපෙ ඉන්නවා. සාධාරණ විමර්ශනයක් සිදු වෙයි ද?
මැතිවරණවලට ඉදිරිපත්වෙන අපේක්ෂකයෝ පස්සෙ කාලයක කරන දේවල් ගැන දේශපාලන පක්ෂයකට දකින්න හෝ වගකියන්න විදිහක් නැහැ. ඔහු ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ 2015දී. ඊට පස්සේ පක්ෂයට සම්බන්ධ කටයුතු සිදුකරලා නැහැ කියලා ඒ පක්ෂය කියනවා. දීර්ඝ කාලයක් ගියාට පස්සෙ ඕනෑම අපේක්ෂකයෙක් වෙනස් වෙන්න පුළුවන්. ඉබ්‍රහයිම් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ජවිපෙට ප්‍රශ්නයක් ද කියන එක ගැන කියන්න බැහැ. කතානායකතුමා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලට තේරීම් කාරක සභාවට ආරාධනා කළා. ඒ නිසා ඒ කාටවත් මේ ගැන මොකුත් කියන්න බැහැ.
ජනපතිවරයා කැබිනට් මණ්ඩලය අත්හිටෙව්වා. ආණ්ඩුවේ අර්බුදය තවත් උග්‍රවෙලා නේද?
මෙහෙම දේවල් ඉතිහාසයේ සිදු වෙලා තියෙනවා. සතියක් කැබිනට් එක කැඳෙව්වෙ නැහැ කියලා රට අරාජික වෙන්නෙ නැහැ. මේ සිද්ධිය ඉතිහාසයේ සිදු වුණ පළමු සිදුවීම නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ලබන සතියේ කැබිනට් මණ්ඩලය ජනපතිවරයා කැඳවයි කියලා.
පසුගිය කාල පරිච්ඡේදය පුරාම ආණ්ඩුවේ අර්බුද ගණනාවක් පෙන්නුම් කළා. පසුගිය වසරේ ඔක්තෝබර් 26 සිද්ධිය, අප්‍රේල් 21 ප්‍රහාරය සහ ජනපතිවරයා කැබිනට්ටුව වාරණය කිරීම ඒ අතර ප්‍රධානයි?
ආණ්ඩුවක් කරගෙන යනකොට ප්‍රජාතන්ත්‍රවාදී රටක විවිධ ප්‍රශ්න පැන නඟින්න පුළුවන්. එවැනි අවස්ථා ගණනාවකට අපේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වුණා. ඔබ මතු කළ ප්‍රශ්න සියල්ලට අපේ රජය මුහුණ දුන්නා. ඒ ඒ ප්‍රශ්න විවිධාකාර අර්බුද.
මේ එළියට පනින්නේ ආණ්ඩුව ඇතුළේ තියෙන අර්බුදය ද ?
නැහැ නැහැ. මේවා ආණ්ඩුවේ අර්බුද කියලා කියන්න බැහැ. අප්‍රේල් 21 ප්‍රහාරය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුව කියන්නෙත් තනි පක්ෂයක් නෙවෙයි. මේ අර්බුද කොයි රටෙත් ඇති වෙනවා. ඉතිහාසය ගැන කතා කළත් අපිට මේ වගේ අර්බුද දකින්න ලැබෙනවා. මැතිනිගෙ ආණ්ඩුවෙත් මේ ප්‍රශ්න තිබුණා. මේවා දේශපාලනයේ ඇතිවෙන ස්වභාවික සිදුවීම්.
බදියුදීන් හිටපු ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා මඟහරින්න තේරීම් කාරක සභාව උත්සාහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා?
නැහැ. විපක්ෂයත් එකඟ වෙලා තමයි මේ තේරීම් කාරක සභාව පිහිටෙව්වෙ. හිටපු ඇමැතිවරයාට එරෙහිව එල්ල වෙන චෝදනා ගැන විමර්ශනය කරනවා. රජයට කිසිම වුවමනාවක් නැහැ කිසිම චෝදනාවක් මඟහරින්න.
නැඟෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා කියලා තිබුණා ලෝකයේ මහ ජාතිය අපි කියලා?
එතුමා කියන්නේ ලෝකයේ බලගතු ජාතියක් කියලයි. අපේ රටේත් මුස්ලිම්වරු යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. මේ කතා තුළ යම් යම් ප්‍රශ්න මතු වෙනවා කියලා දැන් හොඳටම පේනවා. ඒ නිසා කතා කරද්දී කතාව ගැන සීමාවල් තියා ගත්තා නම් හොඳයි. එහෙම නැති වුණොත් නැති ප්‍රශ්න ඇති වෙනවා.
තව්හිද් ජමාත් සංවිධානයට ආධාර උපකාර කළා යැයි හිටපු ආරක්ෂක ලේකම්ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා කරලා ආණ්ඩුවට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න හදනවා කියලත් චෝදනාවක් තියෙනවා?
2009 ඉඳල ම මේ සිද්ධි එකිනෙක පැටලීගෙන එනවා. ඒවා විමර්ශනය වේගන යද්දී සත්‍ය තොරතුරු තියෙනවා කියලත් පේනවා. පවතින සෑම ආණ්ඩුවක්ම සිදුවන සෑම සිදුවීමකට ම වගකියන්න ඕනෑ. ඒ නිසා තමයි දැන් ආණ්ඩුව මේ තේරිම් කාරක සභා දාලා ඉදිරියට යන්නේ.
ජනාධිපතිවරණය නියමිත වෙලාවට තියනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා. එජාපයේ අපේක්ෂකයා කවු ද?
අපේ පක්ෂයට නායකයෝ ගොඩක් ඉන්නවා. තවමත් ජනපති අපේක්ෂකයා කවුද කියලා තෝරලා නැහැ. අපට උදව් කරන්න පක්ෂ ගණනාවක් ඉන්නවා ඒ නිසා පක්ෂයෙන්ම කෙනෙක් ඉදිරිපත් වෙයි. එජාපය තමයි මේ රටේ ප්‍රබලම සහ විශාලම පක්ෂය ඒ නිසා පක්ෂයේ නායකයෙක් එක්ක අපි මැතිවරණයට යනවා.
ඔය කියන ප්‍රබල පක්ෂයේ ආණ්ඩුව අසමත් කියලා ජවිපෙ විශ්වාසභංගයක් ගේනවා?
විපක්ෂයේ වගකීම තමයි පවතින ආණ්ඩුවට ගහන එක. ආණ්ඩුවේ කකුලෙන් අදින එකයි, ඉස්සරහට යන්න නොදෙන එකයි විපක්ෂයේ වැඩක්. ජවිපෙ කියන්නෙත් ඒ වගේ වැඩ කරන පක්ෂයක්. ඒ අය මොන ගැටේ ගැහුවත් ආණ්ඩුව වැටෙන්නෙ නැහැ. අපි නියමිත කාලය එනකල් යනවා.
ඔබ විෂය පථය යටතේ ජල කළමනාකරණ අමාත්‍යාංශයත් තියෙනවා. කඳුකරයේ ජල මූලාශ්‍ර විනාශ වෙනවා කියලා පරිසරවේදීන් පෙන්නලා දුන්නා. ඔබ ඒ ගැටලුවලට විසඳුම් දෙනව ද?
මතුවෙලා තියෙන සෑම ගැටලුවකට ම මම අනිවාර්යෙන් ම උත්තර දෙනවා. ජල අවශ්‍යතාවය තියෙන සැමට ම පිරිසුදු පානීය ජලය ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. 2015දී අපි රජය බාර ගන්නකොට මේ රටේ ජනතාවට ජල අවශ්‍යතාවයෙන් සපයලා තිබුණේ 45%ක්. අපි අද වෙනකොට ඒක 50% දක්වා වර්ධනය කරලා තියෙනවා. 2020 වෙනකොට ජල සම්පාදනය 65%දක්වා වර්ධනය කරන්න අපි අපේක්ෂා කරනවා.
ඉදිරි මැතිවරණයකදී ආණ්ඩු බලය අරගෙන බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න එජාපයට පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා ද?
එජාපය කියන්නෙ ප්‍රශ්නවලින් පැන යන පක්ෂයක් නෙවෙයි. අවුරුදු 70ක් විවිධ ආණ්ඩු රට පාලනය කළා. එජාපයත් ඒ කාලය තුළ අවුරුදු 32ක් රට පාලනය කළා. ඒ කාලය තුළ එජාපය මේ රටට කරපු වැඩ කොටස ජනතාව දන්නවා.
1994 දී පැවැති එජාප රජය පෙරළලා දාන්නේ 17 වසරක ශාපය අවසන් කියලයි. 2015දී රාජ්‍ය බලය ලබා ගන්නෙත් එජාපය මූලික වෙලා අද වෙනකොට ජනතාව රජය ප්‍රතික්ෂේප කරන තැනට පත් වෙලා කියලයි කියන්නේ?
1994 වෙනකොට එජාපය අවුරුදු 17ක් රට පාලනය කළා. 94දී අපිට අහිමි වුණේ එක මන්ත්‍රී ආසනයක් විතරයි. ඒකෙන් පේනවා රටේ ජනමතය අපේ පක්ෂයට තිබුණා කියලා. එදා ජනතාවත් එජාපය ප්‍රතික්ෂේප කළේ නැහැ.
දේශපාලන පක්ෂවල අර්බුදවලට අද ජනමාධ්‍ය ලොකු ප්‍රචාරයක් දෙනවා. ප්‍රවෘත්ති වාර්තා දිහා හොඳට බලන්න. හැම වැඩසටහනකටම ආණ්ඩුවේ නියෝජනයට වඩා විපක්ෂයේ නියෝජනය වැඩි යි. එතැන දී වැඩි දෙනෙක් ආණ්ඩු විරෝධි මත පළ කරනවා. ඒවා නැවත නැවත ප්‍රචාරය කරනවා. ඒත් රජය එක ස්ථාවරයක එකම මතයක ඉන්නවා. මාධ්‍ය වෙනස් වුණාට ජනතා මතය වෙනස් වෙලා නැහැ. 2015දී එජාපයට ලැබුණ ජන පදනම අදත් ඒ විදිහටම තියෙනවා. මගේ අදහස නම් රට පාලනය කළ යුත්තේ එක පක්ෂයක්. එහෙම නැතිව අරන් යන පාලනය අර්බුද ගොඩක්. ජනතාවට වැඩක් කරන්න බැහැ.
ඡායාරූප - ගයාන් පුෂ්පික