Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සංගීත චිකිත්සාවෙන් විවර කළ නව දොරටු

$
0
0
ජන 18, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

ජන සංගීතවේදය (Ethnomusicology) යනු ඉතා පුළුල් විෂයය පරාසයකි. නිදසුනක් ලෙස බටහිර සම්භාව්‍ය සංගීතය, හින්දුස්ථානි රංගධාරී සංගීතය වැනි එක් විෂයය ධාරාවක් ඉන් ආවරණය කෙරෙන්නේ නැත. ඒ වෙනුවට බටහිර සම්භාව්‍ය, හින්දුස්ථානි, ජන සංගීතය ආදී සෑම ශෛලයක්ම හැදෑරීම ඊට අයත්ය. එය විශ්ව සංගීතය පිළිබඳ හැදෑරීම වශයෙන් හඳුනාගත හැකිය. ජන සංගීතවේදයට දේශීය , කලාපීය, අන්තර් ජාතික ආදී වශයෙන් සීමා මායිම් නොමැත. එකකට එකක් උසස් හෝ පහත් යනුවෙන් වර්ගීකරණය කිරීමට ද නොහැකිය. ජන සංගීතවේදියාට දේශීය සංගීතය ගැන මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ ද අවබෝධයක් තිබිය යුතුය. ජන සංගීතවේදියාගේ ආරම්භය ඇත්තේ දේශීය සංගීතය හැදෑරීම තුළය.

ජනසංගීතවේදයේදී කිසියම් සංස්කෘතියක් තුළ ඒ ඇසුරින් සංගීතය බිහි වන අයුරු හදාරයි. නිදසුනක් ලෙස ගොයම් කවි දැක්විය හැකිය. එතැන සංස්කෘතියක් තිබේ. ජනසංගීතවේදියා හදාරන්නේ හුදෙක් ඵලය නැත්නම් නිෂ්පාදනයට නොවේ. ඊට අදාළ ක්‍රියාදාමයම හදාරයි. එබැවින් ජන සංගීතවේදියාට සමස්තය ගැනම යම් අවබෝධයක් තිබේ.

මෙහිදී අප වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය (Medical Ethno musicology) පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවලදී බොහෝ දුරට එය යොමු වන්නේ ඒ හා සම්බන්ධ විෂයයට හෝ විෂයයන්ට පමණි. වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතවේදය ඊට වෙනස්ය. එහිදී අංශ තුනක් අත්‍යවශ්‍යයෙන්ම සම්බන්ධ වේ.

එනම් සෞම්‍ය ප්‍රවර්ධනය, සංගීතය සහ සංස්කෘතික පසුබිමය. මේ අංශ තුන පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදියාට අවබෝධයක් තිබිය යුතුය. පර්යේෂණද අංශ තුනටම අදාළය. මේවා අතර අන්තර් විෂයයික සම්බන්ධතාවක්ද පවතී.

මෙහිදී වඩාත් මූලික වන්නේ සංස්කෘතික පසුබිම හඳුනා ගැනීමය. ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය නිවැරදිව තෝරා ගත හැකි වන්නේ එමඟිනි. වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය වෛකල්පිත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. එනම් බටහිර වෛද්‍ය විද්‍යාව හෝ ආයුර්වේදය වැනි ප්‍රධාන ධා‍රාවේ ප්‍රතිකාර ක්‍රමවලින් බැහැරය. රෝගියාගේ ස්වභාවය අනුව විවිධ සංගීත සාම්පල යොදමින් ගැලපෙන සාම්පලය තෝරා ගත යුතුය. එහිදී, ජන සංගීතය බටහිර රොක්, පොප් වැනි විවිධ සංගීත ශෛලීන් භාවිත කළ හැකිය. වැදගත් වන්නේ මේ අතරින් රෝගියාට ගැලපෙන ශෛලිය හඳුනා ගැනීමය. රොක් සංගීතය ප්‍රිය කරන අයකුට ජන ගී භාවිත කිරීම ප්‍රතිඵල රහිතය. බටහිර රටවලදී බොහෝ විට භාවිත කරන්නේ බටහිර සම්භාව්‍ය සංගීතයයි. රෝගියා මුස්ලිම් ජාතිකයකු නම් ඔහුගේ සංස්කෘතික ආගමික පසුබිම ගැන අවබෝධයකින් ප්‍රතිකාර ක්‍රමය තෝරාගත යුතුය. සෙසු ආගමික සංස්කෘතික පසුබිම්වලටද එය අදාළය.

ප්‍රතිකාර ලෙස භාවිත කරන සංගීත ශෛලියේ ශබ්ද, නාද රටා ආදියට ද කෙනකු සංවේදී විය හැකි ය. එවිටද එය ඵලදායක බලපෑමක් ඇති කරයි.

සංගීත චිකිත්සාව පිළිබඳ අපේ රටේ ද යම් අවධානයක්, උනන්දුවක් තිබීම වැදගත් කාරණයකි. එය හැදෑරීම සඳහා ද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යම් නැඹුරුවක් පවතී. මේ විෂයය සම්බන්ධයෙන් අපේ රටේ නැඹුරුවක් ඇති වී එතරම් කාලයක් ගත වී නැතත් ඊට වසර 60 – 70 ක ඉතිහාසයක් තිබේ. එබැවින් දියුණු රටවල විධිමත් මට්ටමින් සංගීත චිකිත්සාව භාවිතයට ගැනේ. වෛද්‍ය විද්‍යාලවල, මනෝ චිකිත්සක ආයතන හා සායනවල එය භාවිත වන අයුරු දැකිය හැකිය.

සංගීත චිකිත්සකවරයකු වීමට නම් ඊට බලපත්‍රයක් ලබා ගත යුතු වේ. තමන් සංගීත චිකිත්සකයකු ලෙස හැඳින්වීමට බොහෝ දෙනා කැමැති වනු ඇතත් එම බලපත්‍රය ලබා ගැනීමෙන් තොරව පිළිගත් මට්ටමින් එහි නියැළීමට නොහැකිය.

වසර ගණනාවකට පෙර ආචාර්ය ලසන්ති විසින් මෙරටදී සංගීත චිකිත්සාව පිළිබඳ පර්යේෂණ සිදු කළ අතර වෛද්‍ය රුවන් ඒකනායක ඈ සමඟ පවසා ඇත්තේ මාසයකට වතාවක් රටේ පිළිගත් සංගීතඥයකු කාඩියොලොජි ඒකකයට ගෙන්වා වැඩ සටහනක් පවත්වන බවය. හෘදය සැත්කමකින් පසු සුවය ලබා සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වන අය ද තමන්ට හෘදයාබාධය වැළැ‍ඳෙන විට කරමින් සිටි කාර්යය නැවත කිරීමේදී ඊට බිය වෙති. ඔවුන් ශාරීරිකව සුවය ලබා ඇතත් නියමිත මානසික සුවය ලබා නොමැත. මෙවැනි අයට සංගීත චිකිත්සාව මඟින් සැලසෙන යහපත විශාලය. වැඩ සටහන් නිමාවේදී ඔවුන්ට නිකරුණේ බලා සිටීමට ඉඩ නොදී ප්‍රතිචාර ලබා ගැනීම ද සිදු වේ. එම ප්‍රතිචාරය අත්පොළසන් දී සතුට ප්‍රකාශ කිරීමක්, ගීතය රස විඳීමෙන් පසු තමන්ට දැනුණු හැඟීම වදන්වලට පෙරළීමක් විය හැකිය. මේ කවරක් වුවද වැදගත් වන්නේ ප්‍රතිචාර දැක්වීමය. නාරි හා ප්‍රසව වෛද්‍ය උපාලි මාරසිංහ මහතාද ගැබිනි මවුවරුන් සඳහා පිරිත් හා සංගීතය රස විඳීමට ඉඩ සලසමින් මානසික සැහැල්ලුවක් ඇති කර ගැනීමට ඔවුහු යොමු කළහ. රෝහලේ දරු ප්‍රසූතිය සඳහා සූදානමින් දින කිහිපයක් නතර වී සිටීමට සිදුවන මවුවරුන් ගේ සිත ඇත්තේ ගෙදරය. ස්වාමියා හා දරුවන් ආහාර ගන්නට ඇතිද නැතිනම් කුසගින්නේද වැනි කොතෙකුත් ප්‍රශ්න ඔවුන්ගේ සිතට නැ‍ඟේ. මෙහි දී සිදු වන්නේ ඔවුන් ඉදිරිපිට ඇති විශාල කාර්යයට තවමත් ඔවුන් සිතින් සූදානම්ව නොසිටීමය. එවිට එම කාර්යය අපහසු වේ. වෛද්‍ය උපාලි මාරසිංහ ඊට පිළියමක් ලෙස යෙදුවේ පිරිත් හා යාතු කර්ම ඇතුළු සංගීතය ශ්‍රවණය කිරීමට මවුවරුන්ට ඉඩ සැලසීමය. එමඟින් තම සිත් සන්සුන් කර ගැනීමට ඔවුන්ට හැකි වූ බව පැහැදිළි විය. එය දරුවා බිහි කිරීමේ ක්‍රියාවලිය සැහැල්ලුවෙන් සිදු කිරීමට බලපෑවේය.

එහිදී, මෙය සිදු කළේ සංගීතයට ඇති සං‍වේදී බව තේරුම් ගැනීමෙනි. සංගීත චිකිත්සාව සාර්ථකව භාවිත කළ හැකි තවත් අවස්ථාවක් නම් ආතති කළමනාකරණයයි. අතිශයින් කාර්යබහුල හා සංකීර්ණ සමාජ වටපිටාවක සිටින බොහෝ දෙනකුට ආතතිය ප්‍රශ්නයකි.

ආතතිය ඕනෑම වයසක සිටින අයකුට ඇති විය හැකි තත්ත්වයකි. හුදෙකලා වීම නොතකා හැරීම වැනි නොයෙක් තත්ත්ව නිසා අසරණභාවයට පත් වන්නන් ඉන් අසහනයට පත්ව සිය දිවි නසා ගන්නා මානසික තත්ත්වයකට පවා ඇද වැටේ. එය වළක්වාගත යුතුය. මානසික ව්‍යාකූලතාව නිසා ප්‍රශ්නවලට මුහුණපාන අවස්ථා කොතෙකුත් වාර්තා වේ. විනාඩි 3 – 4 ක ගීතයක් සංගීත ඛණ්ඩයක් රසවිඳි පමණින් එවැනි මානසික තත්ත්වයක සිටින අයකු යථා තත්ත්වයට පැමිණේවි යැයි අපේක්ෂා කළ නොහැකිය. අදාළ පුද්ගලයාගේ මානසික තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් යුතුව මෙය ක්‍රියාත්මක කිරීමට සිදු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පැරසිටමෝල් ලබා ගැනීමෙන් උණ හිසරදයට සහනයක් ලද හැකි බවට විශ්වාසයක් ද ගොඩනැඟී තිබේ. මෙලෙසට පුද්ගලයා ප්‍රිය කරන සංගීත ශෛලිය හඳුනා ගනිමින් මෙය ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම පවුලේ පසුබිම හා සංගීත රුචිකත්වය ද අදාළ කරගත යුතු වේ. ඉන්දියානු රාගධාරී සංගීතය ප්‍රිය කරන අයකුට බටහිර සම්භාව්‍ය සංගීතය විඳීමට සැලැස්වීමෙන් ඔහු තව තවත් ආතතියට ලක්විය හැකිය. චිකිත්සකයකු මේ පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කළ යුතු වන්නේ එබැවිනි. විවිධ සංගීත ශෛලීන් සහ සම්ප්‍රදායන් ගැන චිකිත්සකවරයකුට දැනුවත් බවක් තිබිය යුතු වන්නේ මේ නිසාය.

සංගීත චිකිත්සාව හා වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතය පිළිබඳ තවමත් අපේ රටේ ප්‍රමාණවත් අවබෝධයක් හෝ දැනුමක් ගොඩනැඟී නැත. දේශීය සංගීත සම්ප්‍රදාය ඔස්සේ දැනටමත් අප සතු දැනුමට තව දුරටත් දෙස විදෙස් සංගීත ශෛලීන් හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුමද එකතු විය යුතුය. ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගතව සිටි සහ විදේශ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ හා අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධව සිටි කාල සීමාව තුළ සංගීත ඥානය හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලැබේ. එලෙස ලද දැනුම මෙන්ම අත්දැකීම් අපේ පරපුරත් සමඟ බෙදා ගැනීම කළ යුතුය. විශේෂයෙන් එහිදී වත්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සමඟ කටයුතු කිරීම වැදගත්ය. සංගීතය පිළිබඳ විවිධ පරාසයන්හි දක්ෂතා ඇති දරුවන් පර්යේෂණ කාර්යයන් සඳහා මෙහෙයවීමද පහසුවෙන් කළ හැකිය. මේ ක්ෂේත්‍රයේ අපේ රට තුළ ඇති හිස්තැන් එමඟින් යම් පමණකින් හෝ පුරවාලීමට හැකි වන බවට දැඩි විශ්වාසයක් තිබේ.

(ආචාර්ය ලසන්ති මනරංජනී සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි)

ඡායාරූපය-නිශ්ශංක විජේරත්න 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>