ක්‍රිකට් ලෝක කුසලානය ලොව කළඹද්දී, රන්වීර් සිංගේ ලෝකය කැළඹෙන්නේ ‘83 ක්‍රිකට් ශූරතාව සමඟ ය. 1983 දී ඉන්දියාව ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේ කපිල් දේව්ගේ නායකත්වයෙනි. රන්වීර් ‘83 සිනමා පටයේ කපිල් දේව් බවට පත් වන්නේ ය. ක්‍රීඩා ලෝලී රන්වීර් මේ චරිතය රඟන්නේ මහත් කැමැත්තකින් සහ උනන්දුවෙනි.
ඔහු පවුම් 2000කට (ඉන්දියානු රුපියල් ලක්ෂ 1.75කට) ක්‍රිකට් ලොව දෙවි සචින් ටෙන්ඩුල්කාර්, වසීම් අක්‍රම් සහ විවියන් රිචඩ්ස් යන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් අත්සන් කළ පිත්තක් මෑතකදී මිලදී ගත්තේ ය. එපමණක් නොව, සචින්, විවියන්, ෂේන් වෝන් හමුවී ඔවුන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටියේ ය.
‘83 සිනමාපටයේ රන්වීර්, කපිල් දේව් වෙද්දී, ඔහුගේ බිරිය රෝමි භාතියා ලෙස පෙනී සිටින්නේ සැබෑ ජීවිතේ බිරිය දීපිකා පදුකෝන් ය.දෙදෙනා විවාහයෙන් පසු එකට තිරයේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
මගේ බිරියට වඩා තිරයේ බිරිය ලෙස රඟපෑමට තවත් තාරකාවක් සිටිනවාදැයි රන්වීර් විමසන්නේ ය. ඔහු මේ සුබ ආරංචිය ප්‍රේක්ෂකයන්ට රැගෙන ආවේ, ට්විටර් වෙබ් අඩවියෙනි. සිනමාපටය 2020 අප්‍රේල් 10 වැනිදා හින්දි, දමිළ, තෙළිඟු බසින් තිරගත වීමට නියමිත ය. මේ සුබ ආරංචිය සමඟ රන්වීර් , දීපිකා තමන්ට පිති ප්‍රහාරයක් එල්ල කරන විනෝද ජනක වීඩියෝවක් ද සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබිණි.