Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

The Good,The Bad &The Ugly

$
0
0
ජුනි 17, 2019 01:00

මීට දශක කිහිපයකට කලින් ආපු ගොපලූ චිත්‍රපටවල බොහෝවිට අඩංගු අංගයක් තමයි standoff එහෙම නැත්නම් Mexican standoff තුවක්කුකරුවන් දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් එකිනෙකා දිහාවට තමන්ගේ තුවක්කු මානාගෙන ඉන්නවා. දෙන්නෙක්ට වැඩියෙන් ඉන්නවනම් එක්කෙනෙක් ගාව බොහෝ විට අත්දෙකේම තුවක්කු. මේ විදියට මරණය ඇඟිලි තුඩක තියාගෙන ඔවුන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා.

ආතතිය සහ මානසික පීඩනය වැඩි නිසා පරුෂ වචනත් කටින් පිටවෙනවා. තුවක්කුකරුවන්ගෙ ආතතිය ප්‍රේක්ෂකයාට දනවන්නේ ශබ්දය ඉහළ නැංවූ මෙක්සිකානු ජන සංගීතය පසුබිමින් යොදලා, එහෙම නැත්නම් ඔවුන්ගේ දාඩිය දාපු මූගුරුවලයි, එහෙ මෙහෙ දුවන ඇස් බෝලවලයි සමීප රූප පෙන්නලා. ඔවුන්ට යම්කිසි එකඟතාවකට එන්න පුළුවන් වුණොත් බොහොම පරිස්සමට තුවක්කු පහත දාලා විසිර යනවා. නමුත් බොහෝවිට සිද්ධ වෙන්නේ ඉවසීමේ උපරිමයටම ගිය එක තුවක්කුකරුවෙක් පීඩනය දරාගන්න බැරුව කොකා ගැස්සීම. පිපුරුමේ කම්පනයට අනෙක් අයටත් ඒ දේම වෙනවා. දරුණු තුවාල සහිතව බේරුණු වාසනාවන්තයෙක් ඇරෙන්න අනෙක් හැමෝම මිය යනවා.

මීට දශක හයකට හයහමාරකට පෙර මේ විදියේ ස්ටෑන්ඞ් ඕෆ් එකක් සිද්ධ වුණා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර. වෙඩි බෙහෙත් පුරවපු අත් තුවක්කු වෙනුවට ඔවුන්ට තිබුණේ න්‍යෂ්ටික අවි. තත්ත්වය නරක අතට හැරුණොත් සිදුවිය හැකි දරුණුම ප්‍රතිඵලය න්‍යෂ්ටික යුද්ධයකට ලෝකය ඇදී යාම. මානව ශිෂ්ටාචාරය එහෙම් පිටින්ම අතුගා දමන්න මෙවැනි යුද්ධයකට හැකියාව තියෙනවා. ලෝක බලවතුන් අතර සීතල යුද්ධයේ උච්ඡතම අවස්ථාවක් වෙච්ච කියුබානු මිසයිල අර්බුදයේ දින දහතුනක් පුරාවට මේ මිලිටරි ස්ටෑන්ඩෝෆ් එක දියත් වුණා.

සිද්ධියට පසුබිම හැදෙන්නේ ඇමෙරිකානු CIA ඔත්තු සේවය 1961 දී මෙහෙයවපු කියුබානු ආක්‍රමණය (Bay of pigs invasion) සාර්ථකව මැඩලපු කැස්ත්‍රෝ ප්‍රමුඛ කියුබාව, ලෝක බලවතුන්ගෙන් තමන්ට වඩාත් ලැදි රුසියාවට තමන්ගෙ රටේ න්‍යෂ්ටික අවි පිහිටුවීමට ඉඩදීමට එකඟවීමත් සමඟ. අසල්වාසී රටක න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විදියට ජෝන් එෆ්. කෙනඩි ප්‍රමුඛ ඇමෙරිකාව සැලකුවා. තවදුරටත් රුසියාවෙන් ආයුධ ගෙනඒම වැළැක්වීමට ඇමෙරිකානු යුද නෞකා නාවික බාධකයක් ලෙස රැස්වුණා. කෙසේ වෙතත් රුසියාව මේක දැක්කේ තම හමුදාවට අන්තර්ජාතික මුහුදු සීමා තරණය කිරීමේ අයිතිය කඩ කිරීමක් ලෙස. රුසියානු අගමැති නිකීටා කෲෂෙෆ් ඇමෙරිකානු ජනාධිපතිට ලියුමක් ලියුවා. සීතල යුද්ධයේ තීරණාත්මක ම දවස් 13 මීළඟට ඇරඹුණා.

කියුබාවේ තියෙන න්‍යෂ්ටික මිසයිල ඇමෙරිකාව දෙසටත්, ඉතාලියේ සහ තුර්කියේ අටවා තිබෙන න්‍යෂ්ටික මිසයිල රුසියාව දෙසටත් යොමුවෙලා තියෙන්නේ. මීට අමතරව දෙපාර්ශ්වයේම යුද නෞකා, අහස් යානා වගේම සබ්මැරීන් ඕනෑම ප්‍රහාරයකට සූදානම් වෙලයි හිටියේ. එක බොත්තමකින් අවුරුදු ගණනාවක් ඈතට දිවෙන මානව ශිෂ්ටාචාරයක් එක මොහොතකින් අළු දූවිලි කරල දාන්න දෙපර්ශ්වයටම හැකියාව තියෙනවා. ජෝන් එෆ්. කෙනඩි හා නිකීටා කෲෂෙෆ් එකිනෙකාට ලියුම් යවමින් යම්කිසි එකඟතාවයකට එන්න සාකච්ඡා කරනවා.

මේ අතරම කියුබන් මුහුදේ තිබුණු රුසියන් සබ්මැරීන් යාත්‍රාවක් තුළ න්‍යෂ්ටික යුද්ධයකට ඔන්න මෙන්න සිදුවීමක් වුණා. දිනය 1962 ඔක්තෝම්බර් 27, ඇමෙරිකානු යුද නෞකාවක රේඩාර්වලට ගැඹුරු මුහුදේ ගමන් කරන සබ්මැරීනයක් හසුවුණා. නමුත් සබ්මැරීනය කුමන රටට අයත් ද දන්නෙ නෑ. යුද නෞකාව ගැඹුරු මුහුදේ පිපුරුමක් ඇති කරල අනන්‍යතාව තහවුරු කර ගන්න ඉහළට එන්නයි කියල සබ්මැරීනයට සංඥා කළ නමුත් සබ්මැරීනයේ හිටපු හමුදා නිලධාරීන් මෙය හඳුනාගත්තෙ නෑ. ගැඹුරු මුහුද නිසා මොස්කව් නුවර සමඟ සන්නිවේදනයත් ඇනහිටලයි තිබුණේ.

පිපුරුම නිසා නිලධාරීන් න්‍යෂ්ඨික යුද්ධය ඇරඹී ඇති බව අනුමාන කළා න්‍යෂ්ටික මිසයිලයක් දියත් කිරීමට සූදානම් කරන්න. සබ්මැරීන් කපිතාන්වරයා සොල්දාදුවන්ට අණ දුන්නා, නමුත් මිසයිලය එල්ල තීරණය කිරීම කපිතාන් ඇතුළුව ප්‍රධාන අණ දෙන නිලධාරීන් තුන්දෙනාම ඒකමතිකව කළ යුතුයි. කපිතාන් සහ දේශපාලනික නිලධාරියා ඊට කැමැත්ත පළ කළත් වැසීලී ආ’කීපොෆ්, දෙවන අණ දෙන නිලධාරියා ඊට තරයේම විරුද්ධ වුණා. ඔහු තර්ක කළේ මුහුදු ස්ථරයට ගොස් මොස්කව්වලින් අණ ලැබෙන තුරු බලා සිටිය යුතු බවයි. ගොඩක් දෙනෙක් නොදන්නවා වුණත් කපිතාන් ආ’කීපොෆ්ගේ මේ තීරණය නිසා මහා විපතකින් ලෝකය බේරුණා.

මේ අතර ඇමෙරිකන් ආණ්ඩුවේ නීතිපති ජෙනරල් වගේම ජෝන් එෆ්. කෙනඩිගේ සහෝදරයා රොබර්ට් එෆ්. කෙනඩි හොර රහසේම ඇමෙරිකාවේ රුසියන් තානාපතිත් සමඟ සාකච්ඡාවක් සූදානම් කළා. වඩාත් උණුසුම් සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවකට පැමි‍‍ණෙන්න දෙපාර්ශ්වයට හැකි වුණා. රුසියාව තමන්ගෙ මිසයිල කියුබාවෙන් ඉවත් කර ගන්නත් ඇමෙරිකාව ඔවුන්ගේ මිසයිල ඉතාලියෙන් හා තුර්කියෙන් ඉවත් කර ගන්නත් පොරොන්දු වුණා. එලෙස ලෝක දේශපාලනයේ උණුසුම්ම දවස් දහතුනක ස්ටෑන්ඩෝෆ් එකක් අවසන් වුණා. මේ සිදුවීම කෙනඩි ගේ හා කෲෂෙෆ්ගේ දේශපාලන කළමනාකරණ හැකියාව ඉස්මතු කරන අවස්ථාවක් වගේම ඊටත් වඩා, සිදුකළ හැකි විනාශකාරී ප්‍රතිඵලවලට සාපේක්ෂව ලෝක දේශපාලන සබඳතාවල ඇති අස්ථිරභාවය ප්‍රකට කරන්නක්.

 

 

හරිත දිසානායක


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>