හිමායා බණ්ඩාර
රංගන ශිල්පිනී හිමායා බණ්ඩාර ප්‍රේක්ෂක ඔබ අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ දෙවැනි ඉනිමේ "සොනාලි ටීචර්"ගේ චරිතයෙනි. ඇගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "සාම කුමරු කතාව"බෞද්ධ ළමා චිත්‍රපටිය මේ දිනවල තිරගත වන්නේ, සතුටුදායක අන්දමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්. හිමායා බණ්ඩාර හා මේ පිළිසඳර ඇගේ නවතම සිනමා අත්දැකීම පිළිබඳවයි.
l මොනවද අලුත් කලා කටයුතු?
මම මේ දවස්වල මුකුත් වැඩ භාරගත්තෙ නෑ. මොකද ලබන මාසේ අලුත් නිර්මාණයක රූගත කිරීම් පටන් ගන්නවා. ඒ වෙනුවෙන් සූදානම් වෙමින් තමයි ඉන්නෙ. මම රංගනයෙන් දායක වුණු "සාම කුමරු කතාව"බෞද්ධ ළමා චිත්‍රපටියත් මේ දිනවල තිරගත වෙනවා. ඒ රඟපෑම වෙනුවෙන් බොහොම සතුටුදායක ප්‍රතිචාර ලැබෙනවා. මාධ්‍ය දර්ශනයේ පටන් ම හොඳ ප්‍රතිචාර ලැබුණා. හැමෝම කතාබහ කළා මගේ රඟපෑම ගැන.
l "සාම කුමරු කතාව"බෞද්ධ ළමා චිත්‍රපටියට දායක වෙන්න ලැබීම පිළිබඳ ඔබට දැනෙන හැඟීම?
ලොකු කැපකිරීමක් කරලයි මම මේ චිත්‍රපටියට සම්බන්ධ වුණේ. මුලින් ම කළේ මස් මාළු කන එක නැවැත්වීම. මම නිරූපණය කළ "පාරිකා"කියන චරිතය නිර්මාංශ චරිතයක්. චරිතයේ විදිහට ම පෞද්ගලික ජීවිතය හැඩගස්වා ගන්න හිතුණා. මේ නිර්මාණයට සම්බන්ධ වුණු කිසිම කෙනෙක් චිත්‍රපටියේ රූගත කිරීම් අවසන් වෙනකල් ම මස් මාළු කෑවෙ නෑ. දර්ශන තලවල රූගත කිරීමත් අතිශය දුෂ්කර කටයුත්තක් වුණා. කැලේ ගස් ගල් උඩ, අව්ව වැස්ස කිසි දෙයක් බලන්නෙ නැතුව තමයි රූගත කිරීම් කළේ. මං හිතනවා ඒ කරපු කැපකිරීම්වල ප්‍රතිඵල අද වෙනකොට ලැබිලා තියෙනවා කියලා. විශේෂයෙන් ම මතක් කරන්න ඕනෙ මේ චිත්‍රපටයේ නිෂ්පාදක, උදාර පල්ලියගුරුව. ඔහු තමයි මාව මේ චිත්‍රපටියට සම්බන්ධ කරගත්තෙ. ඒ වගේ ම අධ්‍යක්ෂක නිශාන්ත සෙනෙවිරත්න ඇතුළු මේ නිර්මාණයට දායක වුණු අනිත් හැමෝමවත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා. හැමෝගෙම සහයෝගය ඇතුවයි මම මේ චරිතය සාර්ථකව නිරූපණය කළේ.
l මේ සිනමා පටය ගැන ඔබේ අදහස?
මේ චිත්‍රපටිය හැම කාලෙට ම ගැළපෙන නිර්මාණයක්. මව්පිය වන්දනාව, මව්පියන්ට සැලකීම කියන්නේ, නිම කරන්න බැරි විදිහෙ පුණ්‍ය ක්‍රියාවක්. මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ මව්පියන්ට සැලකීමේ ආනිශංසයි. මං හිතනවා මව්පියන් තමන්ගේ දරුවන්ට මේ චිත්‍රපටිය අනිවාර්යයෙන් පෙන්විය යුතුයි කියලා. ඒකෙන් දරුවො ඉගෙනගන්නවා මව්පියන්ට සලකන්න ඕනෙ විදිහත්, මව්පියන්ට සැලකීමේ ආනිශංස කොච්චර ද? කියලත්. වර්තමානයේ වැඩිහිටි නිවාසවල ඉන්න මව්පියෝ දිහා බැලුවහම දැනෙන්නේ ලොකු දුකක්. වේදනාවක්. මේ වගේ චිත්‍රපටියක් දරුවන්ට පෙන්නුවොත් දැන් හැදෙන දරුවො තමන්ගේ මව්පියන්ව වැඩිහිටි නිවාසවල නතර කරන ප්‍රතිශතය යම් තාක් දුරට හරි අඩුවෙයි කියලා මම හිතනවා.
l මේ ඔබ දායක වූ පළමු වැනි සිනමා නිර්මාණය. සිනමා නිළියක් වීම ඔබට මොන වගේ අත්දැකීමක් වුණාද?
මට එක පැත්තකින් විශාල ආඩම්බරයක් දැනෙනවා, මේ වගේ වැදගත් චරිතයක් හරහා සිනමාවට අවතීර්ණ වීම ගැන. ඒ චරිතය ඇතුළෙ මට කරන්න දෙයක් තිබුණා. සාමාන්‍යයෙන් මට සතුටක් හරි දුකක් හරි දැනුණොත් මම ඒ මොහොත නියම විදිහට වින්දනය කරනවා. ඊට පස්සෙ මම ඒක අමතක කරලා දානවා. ඒ සතුට හෝ දුක මම දිගු කාලීනව අරගෙන යන්නෙ නෑ. මේ මොහොතෙ මම ඒ දිහා මධ්‍යස්ථ විදිහට බලා ඉන්නවා. මෙවැනි චරිතයක් හරහා සිනමා නිළියක් වීම ගැන සියුම් ආඩම්බරයක්, සතුටක් තමයි මට දැනුණෙ.
l මින් පෙරත් ඔබ මවකගේ චරිතය නිරූපණය කළා?
මුලින් ම කියන්න ඕනෙ, මම හිතන්නෙ නෑ මට අම්මා කෙනෙක්ගේ චරිතය ගැළපෙනවා කියලා. නමුත් මේක සිනමා නිර්මාණයක්නෙ. ඒ වෙනස ඇතුළෙ මටත් වෙනස් දෙයක් කරන්න ලැබුණා. මේ චිත්‍රපටයේ වගේ ම "උමතු හෝරාව"ටෙලි චිත්‍රපටයෙත් මම නිරූපණය කළේ මවගේ චරිතය. ඒක රාජ්‍ය සම්මාන ලැබූ නිර්මාණයක්. මම රඟපෑ ටෙලි චිත්‍රපටියෙ සහ සිනමාපටයෙ මවකගේ චරිතයක් තමයි මට නිරූපණය කරන්න ලැබුණෙ. එතනදි, මම විවාහක වෙලා නැතත් දරුවො ලබලා නැතත්, තාම පොඩි වයසක හිටිය වුණත්, මට ඒක ලොකුවට දැනුණෙ නෑ. මට ඕනෙ වුණේ මගේ චරිතය හරියට කරන්න විතරයි. හිතනවා මම ඒ දේ කළා කියලා. මම කරන්නේ අම්මගේ චරිතය ද? පෙම්වතියගේ චරිතය ද? කියලා හිතුවෙ නෑ.
l "පාරිකාගේ"චරිතය ඔබට දැනුණු ආකාරය ගැන කිව්වොත්?
"පාරිකා"කියන්නෙ බුදුවෙන්න පෙරුම් පිරූ බෝධිසත්ව චරිතයකට ප්‍රාණය දුන් මවකගේ චරිතයක්. ඒ චරිතය මට හැකි අයුරින් තමයි මම නිරූපණය කළේ. පන්සිය පනස් ජාතක පොතේ සාම ජාතකයේ එන ඒ චරිතය ඇත්තට ම මට විග්‍රහ කරන්න පුළුවන් විදිහෙ චරිතයක් නෙවෙයි. "පාරිකා"කියන්නේ බෝධිසත්ව මවක්. මට දැනෙන විදිහට ඒ චරිතය තියෙන්නේ අපිට හිතාගන්නවත් බැරි මට්ටමක. නමුත් මට දැනෙන විදිහට, මට හැකි උපරිමයෙන් මං ඒ චරිතය නිරූපණය කළා. පාරිකාගේ චරිතය විග්‍රහ කිරීම නම් මට කරන්න අපහසුයි.
l රූගත කිරීම් සිදු කෙරිලා තිබෙන්නේ සුන්දර වගේ ම දුෂ්කර ප්‍රදේශයක. දුෂ්කරතා නිසා අපහසුතාවයට පත් වුණු අවස්ථාවන් එහෙමත් ඇති?
මේ චිත්‍රපටය වැඩිපුරම රූගත කළේ මහනුවර දිගන ප්‍රදේශයේ. දර්ශන තලවලට ගියා ම සෙරෙප්පු දැම්මෙ නැති නිසා මගේ කකුල් දෙකේ ම දියපට්ට දැම්මා. අව්වට පිච්චිලා මගේ මුළු හම ම කළු වුණා. මම ලේසියෙන් අව්වට ගියාට කළු වෙන කෙනෙක් නෙවෙයි. නමුත් මේ චිත්‍රපටිය රූගත කරන අතරතුරේ අව්වට නිරාවරණය වෙලා, මම සෑහෙන්න කළු වෙලා හිටියා. මම පුංචි කාලේ ඉඳලා ම ගස්ගල් උඩ දඟලන චරිතයක්. ඒ නිසා මට ඒ පරිසරයේ රූගත කිරීම් කරන එකේ විශාල අසීරුතාවයක් දැනුණෙ නෑ. ගමේ ගංගාවල රූගත කිරීම් කරද්දි ගඟේ බැහැලා නෑවා. ඒ වගේ දේවල් මට අමුතු දේවල් නෙවෙයි. මොකද මම ගමක හැදුණු කෙනෙක්. ඒත් සමහර අවස්ථාවලදි ලොකු කළු ගලක් උඩ තිබුණු පුංචි පැල්පතක අපිට රූගත කිරීම් කරන්න වුණා. එතන රූගත කිරීම් කරද්දි නම් මට ලොකු අපහසුතාවයක් දැනුණා. මොකද ඒ අවට කැලේ දිවියො, සර්පයෝ එහෙම ගොඩක් හිටියා. මම සර්පයන්ට හරි ම බයයි වගේ ම මට සර්පයන්ව අප්පිරියයි.
l හිමායා බණ්ඩාර කියන චරිතය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වෙන්නේ "හිම කඳුළු"ටෙලිනාට්‍යයෙන්?
ඔව්. ගිහාන් රෝහණගේ "හිම කඳුළු"ටෙලිනාට්‍ය හරහා මම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2009 දි. මේ වෙද්දි ටෙලිනාට්‍ය විස්සකට විතර රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අතරින් පහළවක් විතර තමයි විකාශය වුණේ. තවත් ටෙලිනාට්‍ය පහක් විතර ඉදිරියේ දී ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් වෙයි. රඟපෑ චරිතවලින් වඩාත් ම ප්‍රේක්ෂකයන්ට සමීප වුණේ, දෙවෙනි ඉනිමේ "සොනාලි ටීචර්"ගේ චරිතය. ඒ වගේ ම "මුතු පලස"ටෙලිනාට්‍යයේ "සප්නා", "ලොක්කි"ටෙලිනාට්‍යයේ "සුලෝචනා", "මුතුවැස්ස"ටෙලිනාට්‍යයේ "අංජු","ශනි බලවත්"ටෙලිනාට්‍යයේ "සුලෝචනා"වගේ චරිතත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත්තා කියලා මම හිතනවා.
l ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ආධුනිකයන් සමඟ ඔබ ගනුදෙනු කරන ආකාරය?
ප්‍රවීණ ආධුනික හැමෝමත් එක්ක මම සහයෝගයෙන් වැඩ කරනවා. නමුත් අසාධාරණයක් දැක්කොත් ප්‍රවීණයි ද? ආධුනිකයි ද? කියලා බලන්නෙ නෑ. මට කතා කරන්න හොඳයි කියලා හිතුණොත් ඒ අසාධාරණය වෙනුවෙන් මම කතා කරනවා. ඒ හැරුණම කා ගැනවත් නරකක් කියන්න නෑ. මම හැමෝමත් එක්ක සාමන්‍ය විදිහට සහයෝගයෙන් වගේ ම සුහදව වැඩ කරගෙන යනවා.
l රංගනය හැරුණු විට ඔබට ඇති අනෙක් කලා හැකියාවන් මොනවද කියලා කිව්වොත්?
නර්ථනය පොඩි කාලේ හැදෑරුවත්, පස්සෙ කාලෙදි මට නර්ථනය හැදෑරීම මඟහැරුණා. ඉතිං මට නර්ථනය සම්බන්ධයෙන් තියෙන්නේ සාමාන්‍ය හැකියාවක්. ඒත් මට හොඳට සිංදු කියන්න පුළුවන්. මම ලංකාවේ සංගීත ප්‍රසංගවලට ගියාමත් පිටරටවල ප්‍රසංගවලට ගියාමත් මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගීත ගායනා කරනවා.
සංවාදය - කාංචනා සිර්වර්ධන