ආර්යන් කුලරත්න
සිනමාව තරු පිරුණ අහසකි. එහි කාලයෙන් කාලයට තරු පායා බැසයයි. ඇතැම් තරු අඩු දීප්තියකින් දැල්වෙන විට කලාතුරකින් දීප්තිමත් තරුද දැල්වේ. කැලුම් ආර්යන් කුලරත්න දිදුලන ලකුණු පෙන්වන සිනමා අඹරට අලුතින්ම පායා ආ තරුවකි. පසුගියදා ප්‍රදර්ශනය ඇරඹූ ‘ගෝරි’ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ ඔහුය.
l සිනමාව කෙරෙහි නැඹුරුවක් ඇතිවුණේ කොහොමද?
මගේ පියා නිමල් කුළරත්න චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. අපේ පවුල සතු ව්‍යාපාරයක් ලෙස සිනමා ශාලා තිබුණා. ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂ වරු, නළු නිළියෝ නිතර අපේ නිවසට ආවා. මං වැඩුණේ එහෙම පසුබිමක් ඇති පවුල් පරිසරයක. ඒක තමයි සිනමා ක්ෂේත්‍රය කෙරෙහි සහ රංගනය කෙරෙහි නැඹුරුවක් ඇතිවන්නට මූලික හේතුව. ළමා කාලයේ පාසල් නිමාවී බොහෝ විට අපසතු සිනමා ශාලාවලින් චිත්‍රපට නැරඹුවා. ඒ අවස්ථාවල සිනමා ශාලාවේ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් රංගන ශිල්පීන් කෙරෙහි දක්වන ප්‍රතිචාර රංගනයට යොමුවීමේ ආශාව තව තවත් වැඩිදියුණු කළා.
l රංගනයට මූලික අඩිතාලම සැකසුණේ කෙසේද?
දැනට වසර දහයකට අධික කාලයක සිට මම මෝස්තර නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. 2010 වසරේ මෑන් හන්ට් තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමඟ රූපවාහිනී වෙළඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතර නාලක විතානගේ ඔහුගේ 'රූපාන්තරණ'චිත්‍රපටයේ චරිතයක් සඳහා මෝස්තර නිර්මාණ ශිල්පියෙකුගේ ස්වරූපය ඇති කෙනෙක් සොයමින් සිටි අවධියක ඒ චරිතය සඳහා මට අවස්ථාව හිමි වුණා. ඒ ඔස්සේ මම සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. ඉන්පසු නාලකගේම 'නිලංජනා'චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්න අවස්ථාව හිමිවුණා. එසේ ආරම්භ කළ ගමන මේ වනවිට චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙමින් ඉදිරියට ඇවිත්. නාලක විතානගේ විසින් අධ්‍යක්ෂණය කර ඉදිරියේ තිරගත වීමට නියමිත 'ඊතළය'චිත්‍රපටයෙහි ප්‍රධාන චරිත නිරූපනයට අමතරව එහි නිෂ්පාදකවරයා ලෙසත් කටයුතු කළා. ඉවසීම සහ කැපවීම මත තව බොහෝ දුරක් යන්න තියෙනවා.
l මෑතක දී තිරගත වීම ඇරඹූ ඔබ ප්‍රධාන චරිතය නිරූපනය කරන 'ගෝරි'චිත්‍රපටය ගැනත් සඳහන් කළොත්.
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ 'හර්ෂ උඩකන්ද'ගේ නිර්මාණයක් වන ‘ගෝරි’ මැර දේශපාලනයට එරෙහිව ක්‍රියාත්මක වන නීතිගරුක පොලිස් නිලධාරියෙකු සහ ගැටුමක් නිසා කුඩා දැරියකගේ ජීවිතයට සිදුවන බලපෑම වටා ගෙතුනු ක්‍රියාදාම චිත්‍රපටයක්. අනූව දශකයෙන් පසු පොලිස් වීර චරිතයක් සිනමාවට නැගෙන පළමු අවස්ථාව ‘ගෝරි’. එහි තරාතිරම නොබලා වරදට දඬුවම් කරන වීර පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපනය කරන්නට ලැබීම මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්.
l ඔබට වැඩි අවස්ථාවක් හිමිවන්නේ ක්‍රියාදාම චරිත සඳහා එයට හේතුව.
මම වැඩි ප්‍රියතාවයක් දක්වන්නේත් එවන් චරිතවලට. කුඩා කාලයේ සිටම ටයිකොන්ඩෝ සටන්කලාව ඉගෙනගත් නිසා එවැනි චරිත නිරූපනය කිරීම පහසුයි. ඇක්ෂන් හීරෝ කෙනෙක් ලෙස ක්‍රියාදාම චරිත තුළින් ඉදිරියට යන්න අපේක්ෂා කරනවා.
l ආදරය ගැන ඔබේ අදහස?
පවුලේ එකම දරුවා ලෙස ආදරය අවශ්‍ය තරමටත් වඩා පවුල තුළින් ලැබුණා. ජීවිතයේ එක් එක් කාලයට ආදරය සම්බන්ධ අපේක්ෂා වෙනස් වෙනවා. සෑම වයසකම සෑම තරාතිරමකම පුද්ගලයෙකුට ආදරය ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක්.
සංවාදය-දිල්රූ ජයසේකර