Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රටට වැඩකළ ජනතා ජනපති

$
0
0
ජුනි 21, 2019 01:00

ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන්ගේ 94 වන ජන්ම සමරු උත්සවය ජුනි 23 වන දිනට යෙදී ඇත. ඒ නිමිති කර එතුමන් වෙතින් ඉටුවූ සුවිසල් ජන මෙහෙවර පිළිබඳව ආවර්ජනයක යෙදෙමින්, කෘතවේදීත්වය පළ කිරීමට ගනු ලැබූ ප්‍රයත්නයක් ලෙසින් මෙම ලිපිය සැකසිණි.

නායකයකු බිහි කරන්නේ සහජය සහ පරිසර සාධක මුල්වීමෙන් පමණක් නොවේ. සමකාලීන ජන විඥානය හඳුනාගැනීමේ තීව්‍රතාවය හා ජාතියක අනාගත පැවැත්ම සහතික කළ හැකි දර්ශනයක් හා මානව හිතවාදී පෞද්ගලික දෘෂ්ටියකින් පරිපූර්ණ වූ ස්ථිරසාර ක්‍රමවේදයක්ද මගිනි. එය ප්‍රායෝගිකව සකර්මන්‍යකළ හැකිවාක් මෙන්ම අනාගත නායකත්වයට ද අනුගමනය කළ හැක්කක් විය යුතුය. එවන් නිර්මාණාත්මක විශිෂ්ඨතරයෝ ඉඳහිට හෝ දැයක නායකත්වයට පත්වෙති. දිවංගත අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිතුමා දිවමන්ව සිටි යුගය විසින් පැවරූ කාර්යය ඉටුකළ යුග පුරුෂයකු වූ අතර, දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදු සමකාලීන ජන විඥානය ඉක්ම වූ දේශයේ සනාතන ජන විඥානය බවට පත්වූ මහා යුග පුරුෂයෙකි. එතුමා අද සිටියා නම්....? යන හැඟීම හැමවිටම ජනතා හදපත්ලේ නින්නාද වන සෙයක් අපට හැ‍ඟෙයි. අපට දැනෙයි.

දේශපාලනය පටු වූවක් හෝ පුළුල් වූවක් නොවේ. ඒ වූ කලී රටකට ජීවනාලිය ලබාදෙන යාන්ත්‍රණයක් වෙයි. එම යාන්ත්‍රණයේ නියම වූ කවර දේශපාලන වර්ණයකට හෝ පක්ෂයකට හිමිකම් කීවද අද රටට තවත් එබඳුම යුග පුරුෂයකුගේ අවතීර්ණය සිදුවිය යුතුව ඇති බව ද අවධානය කරනු රිසියෙමි.

වසර දෙදහස් පන්සියයක අඛණ්ඩ ප්‍රවාහයක් වූ දේශීය ඉතිහාසයෙහි අපේ මතකයට එක්වරම නැගෙන චරිත ඇත්නම් ඒ ඉතාම සුලු සංඛ්‍යාවකි. මන්ද ඉතිහාසයක් අර්ථවත් වන්නේ පුද්ගල ක්‍රියාකාරිත්වයේ ප්‍රබලතාවය මත වන බැවිනි. මෑත අවදියේදී අප ඉතිහාසයට එක් වූ එවන් ප්‍රබල චරිතයක් වූයේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය.

මෙරට සෑම මිනිසකුගේම ජීවිතයට එතුමා ඇතුළු වී තිබිණි. මෙය අපූර්වතාවයකි. අනාගතයේ බිහිවන දරුවන් එතුමා පිළිබඳව හදාරා සිය ජීවිතයට ප්‍රේමදාස ආදර්ශය එකතු කර ගනු ඇත.

පරිපාලන සේවයේ නිලධාරින් වශයෙන් විවිධ දේශපාලන නායකයන් මුණගැසීමට අපට සිදුවේ. අපට අවශ්‍ය වන්නේ පක්ෂය හෝ වර්ණය හෝ නොව නායකත්වයේ දර්ශනය, සැලැස්ම හා ක්‍රියාකාරී සහභාගිත්වයයි. පක්ෂයකට මෙන්ම පුද්ගලයකුට කිසියම් සමාජ දෘෂ්ටියක් තිබිය යුතුය. එය මානවවාදී වූ තරමටම ජනතාවට සමීප විය හැකි වෙයි. සැබෑ දේශපාලකයාත්, නිලධාරියාත් ජනතාව අතර සිටිමින්, ජනතාවට නායකත්වය දෙමින් ජාතික සංවර්ධනයේ සිය මෙහෙය ඉටුකළ යුතුව ඇත. ඉතිහාසයේ අපට ඉඩක් ලැබෙන්නේත්, පරපුරෙන් පරපුරට ජනතාව අතර රැඳී සිටීමට හැකි වන්නේත් එවිට පමණි.

එතුමා ජීවතුන් අතර සිටියදී බොහෝ සති අන්ත ගත කළේ මහනුවරය. එම වකවානුවේ මා මහනුවර නාගරික කොමසාරිස් ලෙසින් රාජකාරියේ නියැළී සිටි බැවින්, සෑම සති අන්තයකම මහනුවර නගරයේ සංවර්ධනයට අදාළ නිරීක්ෂණ චාරිකා සඳහා එතුමන් සමඟ සහභාගිවීමේ සුවිශේෂී අවස්ථාව මට හිමිව පැවතිණි. නුවරට සැපත් වූ සතිඅන්තවල එතුමන් නැවතීමට තෝරා ගත්තේ මහේශාක්‍ය මහනුවර රජ ගෙදර නොවේ. රජපිහිල්ල මාවතෙහි උස් ශිඛරයක පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අයත් සුඛෝපභෝගී නොවූ සංචාරක නිවාසයක්ය. මෙම ස්ථානයට මුළු මහත් මහනුවර නගරයම ඉතාමත් චමත්කාර අන්දමින් දිස්වේ. දළදා මාලිගාවට ප්‍රතිවිරුද්ධ දෙසින් තුරු හිස් මුදුන් අතරින් මතු වූ අතහැර දමා තිබූ කිසියම් ඉදිකිරීමක් එතුමන්ගේ අවධානයට යොමුවිය.

ඇලෙක්සැන්ඩර් නිරිදුන් ඉපදුනේය යුද්ධ කළේය. මලේය ප්‍රේමදාස ජනපතිඳුන් ඉපදුනේය. ජනපති විය මලේය යැයි කිසිවෙකුට කිව නොහැකිය. මන්ද එතුමා ජීවිත කාලයම රටේ ජනතාවත් අනාගත පරපුර ජීවත් කරවීමත් සඳහාම වැඩ කළ කෙනෙකු වූ බැවිනි.

එතුමා සුවිශාල සමාජ මෙහෙවරක යෙදෙමින් අතිශය කාර්ය බහුල දිවියක් ගත කළ ජන නායකයෙකි. එහෙත් සෑම පුර පසළොස්වක දිනකම ශීල සමාදානයෙහි යෙදෙන්නට එතුමන් සිය කාලය වෙන් කර ගත්තේය. ඒ සඳහා එතුමන් තෝරා ගත්තේ වික්‍රමසිංහපුර නිසල පරිසරයක පිහිටි චිත්ත විවේකාශ්‍රමයයි. බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් වැඩ සිටියේ චිත්ත විවේකාශ්‍රමයේය. උන් වහන්සේ ඇසුරෙන් එතුමන් නොමද දහම් දැනුමක් උකහා ගත්තේය.

මා පිය කැපකරු ක්‍රමය තුන්වෙනි ලෝකයටම අවශ්‍යම ක්‍රමදාමයක් වෙයි. අනාගත සුරක්ෂිතතාව සැමවිටම අවශ්‍යතාවක් වන බැවිනි. අනෙක් අතට උදාගම් ආශ්‍රයෙන් එතුමා කවර තරමක් ගම් සහ ග්‍රාමීය වෙහෙර විහාර හදන්නට ඇත්ද? අපේ ඉතිහාසයේ මෙන්ම මෑත භාගයේ වැව් වෙහෙර විහාර හැදුවේ මෙතුමා බව අනාගත ඉතිහාසකරුවන් සඳහන් කරනු ඇත. ඇතැම් අය සැණකෙලියක් ලෙස හුවා දැක්වූ උදාගම් ව්‍යාපෘතිය තුළ සංවර්ධන ක්‍රියාදාම රාශියක් තීව්‍රව ඒකරාශි වී තිබිණි.

උදාගම් සංකල්පය මත ගම් දනව්වල මහාමාර්ග වැඩි දියුණු විය. පොල්අතු සෙවිලි කළ පියසි උළුවලින් ආවරණය විය. මැටි බිත්ති සහ ගොම ඇතිරූ ගෙබිම සිමෙන්තියෙන් ශක්තිමත් විය. වල්බිහිවී තිබූ ගෙවතු සහ ජලය නොමැති නිවාස සඳහාද ජල යෝජනා ක්‍රම ඇරඹිණි. පාසැල්, තැපැල් කන්තෝරු, බස් ගාල්, පොදු වෙළෙඳසැල් පෙර පාසැල් ආදී ජන ජීවිතයට අත්‍යාවශ්‍යම පොදු ආයතන වැඩි පහසුකම් ඇතිව සංවර්ධනය කෙරිණි. තම ගම කේන්ද්‍රීය කොටගෙන උදාගම් පැවති හැම දිස්ත්‍රික්කයක්ම සුවිශාල සංවර්ධන ක්‍රියාදාමයන්ට බඳුන් විය. ගැමි ආර්ථිකය නැංවිනි. ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ අතීතය ප්‍රදර්ශනය කර ජනතා සිත් සතන්හී දැය වෙනුවෙන් අභිමානයක් ‍ගොඩනගන්නට උදා ගම් වැඩපිළිවෙළ ඉටුකළේ සුවිසල් කාර්යභාරයකි.

ගමේ පෞරාණික ජනකලා නැටුම් ගැයුම් වැයුම් ජනතාව අතරට ගෙනයාමටද ගම් උදා සංකල්පය තුළින් ලැබ දෙන්නේ නොමද රුකුලකි.

ජනතා මෙහෙවර වෙනුවෙන් දවසේ පැය 24 න් වැඩිම කාලයක් අවදියෙන් සිටි එතුමා තම වෙහෙස තුනී කර ගත්තේ නිර්මාණකරණයන්හි නියැලෙමිනි.

සුවිසල් වගකීම් සම්භාරයක් දරමින් අතිශය කාර්යබහුලීය දිවි පෙවෙතකට හුරුව සිටි එතුමා පොතක් පතක් ලියන්නට කාලය වෙන්කර ගත් අපූර්වතාව අප සම්භාවනාවට බඳුන් විය යුතුවේ. එතුමා තුළ නිසඟයෙන්ම පැවති ආත්ම විශ්වාසය, සංයමය, උපේක්ෂාශීලීත්වය සහ දේශ වාත්සල්‍යයේ සුවඳ එතුමාණන්ගේ නිර්මාණයන් තුළින් මැනවින් උද්වහනය වේ.

මෙම අති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාණන් අතින් රචිත සාහිත්‍ය කෘති රාශියකි. ඇති නැති සමාජවාදය, ජූරිය ඔබයි, රන්මිණි මුතු, ජීවන කඳුලු, ප්‍රේමදාස කථා කරයි, පෙම්වතිය, පරෙවියෝ ඉගිලෙති. රස ගී සිතිවිලි, ගොලු මුහුද, රන් සිලු ආදී ලෙසින් එතුමාණන්ගේ නිර්මාණකරණය පෙළ ගැස්විය හැකිය. එතුමන් අතින් රචිත ඉංග්‍රීසි කෘතීන් ද කිහිපයකි.

අප රටේ සුවිශේෂ වරප්‍රසාද ලත් පෙළපත් ස්වල්පයක් හැරෙන්නට මුළු මහත් පොදු ජනතාවම ප්‍රේමදාස ජනපතිදුන්ට බෙහෙවින්ම ඇලුම් කළහ. එහි ඇත්තේ දේශපාලන දර්ශනයක් නොව ශ්‍රමාභිමානී තත්ත්වයකි. ජගත් නිවාස වසර නිසා ලෝක පුරවැසියකු වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විරල ගණයේ මිනිසෙකි. ඒ නිසාම මහා වංශගත මිනිසෙකුද වෙයි. මෙම අපූර්ව එඩිතර මිනිසා ජාතියකට අරමුණක් දෙමින් අභාවයට පත් වූවද මතු මතුත් සිංහ ධජයේ සිහ රූ මෙන් එතුමන් ජාතිය සමඟම සංවේදීව සිටිනු නිසැකය.

ආචාර්ය ගාමිණී කාරියවසම් 
අධ්‍යක්ෂ ජනරාල්-ටවර් රඟහල පදනම


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>