ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව රට රටවල ප්‍රචාරණය විය යුතු ය. සංචාරක ආකර්ෂණය දිනාගත හැක්කේ එවිට ය. විදෙස් සංචාරකයින් තුළ මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ විශ්වාසයක් සේ ම විශේෂ කැමැත්තක් ඇති කරවිය හැක්කේ එවිට ය. ශ්‍රී ලංකාව ආරක්ෂිත සේම, සුවදායී පරිසරයකින් හෙබි සංචරණයට සුදුසු රටක් යන පණිවිඩය ලෝකයට සන්නිවේදනය කිරීමේ වැඩ පිළිවෙළ අප විසින් දිගින් දිගට ම පවත්වාගෙන යා යුතු ය. ඒ, ශක්තිමත් ප්‍රචාරණ නියෝජිත ආයතනයක් මඟිනි.
ශ්‍රී ලංකාව අතීතයේ පටන්ම විදේශීය ආකර්ෂණය නොමඳ ව දිනාගත් දිවයිනක් වන අතර ග්‍රීසිය, පෘතුගාලය, ඕලන්දය, මැද පෙරදිග, එංගලන්තය වැනි රටවලින් අතීතයේ පටන් විදේශිකයන් මෙරටට පැමිණි බවට සාක්ෂි හමුවේ. ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මෙන් ම මෙරට ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකම් ද සංචාරක ආගමනයට හේතු සාධක විය. යහපත් දේශගුණික තත්ත්වය, ආධ්‍යාත්මික සුවය හා සරල ජීවිතය, ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය, විවේකය, ඓතිහාසික වටිනාකම ආදී කරුණු අරබයා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය ගොඩනැඟිණි. එය අපට විදෙස් විනිමය ළඟා කරගත හැකි ප්‍රධාන මාර්ගයක් වන අතර වර්තමානය වන විට සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රැසක් විදේශ විනිමය විශාල වශයෙන් ස්වකීය රටවල් කරා අද්දවා ගැනීමේ ක්‍රමෝපායක් ලෙස සංචාරක ව්‍යාපාරය උපයෝගී කරගනී.
මෙරට සංචාරකයින්ගේ පැමිණීම කර්මාන්තයක් වශයෙන් වර්ධනය වීම ආරම්භ වූයේ 60 දශකයේ සිට ය. එතැන් පටන් එළැඹි දශක කිහිපය තුළ මෙරට සංචාරක කරමාන්තයේ වූ නැඟීම් මෙන් ම බැසීම් දේශීය ආර්ථිකයට අඩුවැඩි වශයෙන් සිදු කරන බලපෑම සැලකිය යුතු මට්ටමක පවතී. 1977න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘතභාවය ද සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් වූ බව පැහැදිලි ය. ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව, නෙදර්ලන්තය වැනි රටවලින් වැඩි වශයෙන් සංචාරකයෝ මෙරටට ඇදී ආහ. මෙරට දර්ශනීය වෙළර තීරය, මධ්‍යම කඳුකරය, ආගමික හා සංස්කෘතික ස්ථාන, ඓතිහාසික නටඹුන්, ප්‍රණීත ආහාරපාන සංචාරකයන්ගේ සිත්ගැනීමට සමත් වූ සාධක අතර වේ.
වක්‍ර ආදායම්
නගර අලංකරණය, මාර්ග හා ගුවන් තොටුපළ පුළුල් කිරීම,වෙරළබඩ දර්ශනීය ස්ථාන ආරක්ෂා කිරීම සංචාරක ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵල ලෙස දියුණු වූ අතර මෙරට උඩරට පහත රට බලිතොවිල්, වෙස් මුහුණු ආදී කලාවන්ගේ ද නවතාවයක් ඇති වීමට ද සංචාරක ව්‍යාපාරය බලපෑ බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. සංචාරක කර්මාන්තය හේතුවෙන් ඇති වූ හිතකර තත්ත්වයන් සේ ම අහිතකර තත්ත්වයන් ද ඇති නමුත් අහිතකර තත්ත්වයන් අවම කරගනිමින් අප දිගින් දිගට ම සංචාරක කර්මාන්තය දියුණු මට්ටමකට ගෙන යා යුත්තේ, සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ ඒ ආශ්‍රිත නොයෙකුත් කර්මාන්ත දියුණු වූ අතර ම එය මෙරට වැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකගේ ජීවනෝපාය බවට ද ක්‍රමක්‍රමයෙන් පත් ව ඇති බැවිනි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම පිළිබඳ කතා කිරීමේ දී එය කිසියම් මායාවකින් සිදු කළ හැක්කක් නොවන බව පැහැදිලි ය. ඒ පිටුපස ඇත්තේ යම් සරල සංසිද්ධියකි. සරලව කිවහොත් අපට යම් භාණ්ඩයක් අලෙවි කිරීමට අවැසි නම් පළමුව කළ යුත්තේ එහි අවශ්‍යතාව සහ ප්‍රමිතිය පිළිබඳ නිවැරදි සහ ආකර්ෂණීය අන්දමින් ප්‍රචාරණයක් ලබාදීමයි. මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ දී අප මුහුණ දෙන ප්‍රබල ම ගැටලුව වන්නේ ලෝකයේ රට රටවල ජනයාට මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමට තවමත් අප සමත් ව නොසිටීමයි. භාණ්ඩයක් අලෙවි කිරීමට ඉහළ මට්ටමේ ප්‍රචාරණයක් අවැසි වන්නා සේ ම රටක සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේදී ද දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගත යුතු ය. මෙරට සංචරණයට හිතකර සුවදායී දේශගුණයකින් යුත් සොබාව සෞන්දර්යයෙන් අනූන දිවයිනක් බව ලෝකයට කියාදිය හැකි ප්‍රචාරණ නියෝජිතායතනයක අවශ්‍යතාව පැන නැඟී ඇත. 2015 වසරේ දී මා සංචාරක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ අවධියේ පටන් ම ප්‍රචාරණ නියෝජිතායතනයක් ඇති කරවීමට සැලසුම් කළ නමුත් තවමත් එම කාර්යය ඉටු නොවී තිබීම අවාසනාවකි. ප්‍රචාරණ නියෝජිත ආයතනය ඇති කිරීම දිනෙන් දින කල්දැමෙන්නේ මෙරට සංචාරක කර්මාන්තය පසුගාමී මට්ටමකට ඇද දමමිනි.
උණවටුණ ලොව අංක එකේ වෙරළ ය. වර්ග කිලෝමීටරයක දිවියන් වැඩි ම සංඛ්‍යාවක් සිටින්නේ යාල ය. වැඩි ම අලින් සංඛ්‍යාවක් සිටින වනජීවි උද්‍යානය මින්නේරිය යි. සීගිරිය ලොව අටවැනි පුදුමය යි. සංචාරක කර්මාන්තයේදී අපේ ඉලක්ක වෙළඳපොළ මෙම තතු නොදන්නේ නම් මේ සියල්ල අප පමණක් දැන සිටීමෙන් පලක් නැත. මෙරට ආයුර්වේදය ඇත්තේ කේරළයේ ආයුර්වේදයට ද වඩා උසස් තත්ත්වයක ය. ලොව ඇති පැරණිතම අලංකාර පෙරහැර නුවර පෙරහැර ය. මෙපමණක් නොව ශ්‍රී ලංකාවේ සුවිශේෂීත්වය කියාපෑමට තවත් නිදසුන් එමට ය. මේ සියල්ල අප ලෝකයට ගෙන යා යුතු ය. අපට ප්‍රචාරණ නියෝජිත ආයතනයක් අවැසි වන්නේ එම කර්තව්‍යය ඉටු කරගැනීමටයි.
තායිලන්තයේදී 2006 සිට 2018 දක්වා වසර 12ක කාලය තුළ ත්‍රස්ත ප්‍රහාර ආදී ව්‍යසනයන් හේතුවෙන් සංචාරකයන් 60000ක් මියගොස් ඇත. එසේ සිදු වී තිබිය දී ද 2006 වසරේ දී තායිලන්තයට පැමිණි සංචාරයකයින් මිලියන 12ක ප්‍රමාණය වර්තමානය වන විට මිලියන 39.2 දක්වා ඉහළ ගොස් ඇත. වසර 12ක කාලයක් ඇතුළත සංචාරකයින් 60000ක් මියගොස් තිබියදීත් තායිලන්තයට තවමත් වැළ නොකැඩී ඇදෙන සංචාරකයින්ගේ ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වන්නේ කෙසේ ද? යන්න සැබවින් ම සොයා බැලීම වටී.
එයට හේතුව වන්නේ ඔවුන්ගේ සංචාරක කර්මාන්තයේ ඇති ශක්තිමත්භාවය යි. තායිලන්තය සතුව ගෝලීය ප්‍රචාරණ නියෝජිත ආයතනයක් (Global Advertising Agency ) ඇත. ගෝලීය මහජන සම්බන්ධතා නියෝජිත ආයතන (Global Pablic Relations Agencies ) අටක් පමණ ඇති අතර ඔවුන් පසුගිය අවුරුදු 12ක කාලය ඇතුළත “Truly Thailand”, “Truly Asia”, “The Best Of Asia”, “Colours Of Asia” ඇතුළු ව දැවැන්ත ප්‍රචාරණ වැඩසටහන් 08ක් දියත් කර ඇත. රටක සංචාරක කර්මාන්තය එතරම් ශක්තිමත් වූ විට කලින් කලට මතු වන අභ්‍යන්තර ගැටලුවලදී සංචාරක කර්මාන්තයේ බිඳවැටීමක් සිදු වන්නේ නැත. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් සංචාරකයින් මියයෑම් වැනි දේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ලෝකයා දැනුවත් වුව ද සංචාරක කර්මාන්තය පිළිබඳව ඔවුන් ලෝකයාට පෙන්වා ඇති පැහැදිලි චිත්‍රය අදාළ සියලු බලපෑම් අභිබවා යෑමට තරම් ශක්තිමත් වේ. අපට නැත්තේ ද අප ඇතිකර ගත යුත්තේ ද එම හැකියාව ය. මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලෝකයා ඉදිරියේ මැවීමට අප සමත් නොවන කළ අභ්‍යන්තර වශයෙන් අප මුහුණ පාන ත්‍රස්ත තර්ජන, ජනවාර්ගික ගැටුම් වැනි කාරණා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන විට අපේ සංචාරක කර්මාන්තය ඇස් පනාපිට බිඳවැටීම නතර කළ නොහැක්කකි.
ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම
පසුගිය අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ව සංචාරකයින්ගේ පැමිණීම 60% සිට 70% දක්වා පහත වැටීමෙන් ම එම කරුණ මොනවට පැහැදිලි වේ. ඒ අනුව මෙම වසරේ අප ලබන සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5කින් පමණ අඩු වනු ඇති බව ද පැවසේ. උද්ගත වූ අනපේක්ෂිත තත්ත්වය තුළ රට පුරා හෝටල් 75%ක් පමණ හිස් වී පැවැතිණි. ඒ සමඟ ම සංචාරක අංශයේ රැකියාවල නියුතු වන්නන් ද මුහුණ පෑවේ දැඩි අවදානමකට ය. මෙරට සෘජුව ම හෝටල් කර්මාන්තයේ රැකියාවල නියුතු වන්නන් ලක්ෂ පහක් පමණ සිටින අතර ඔවුන්ගේ පවුල්වල උදවියත් සමඟ සලකා බැලූ විට දළ වශයෙන් මෙරට ප්‍රජාවගෙන් ලක්ෂ 20ක පමණ පිරිසක් යැපෙන්නේ සංචාරක කර්මාන්තයෙනි. සංචාරක කර්මාන්තය වනාහි තවත් ආර්ථික අංශ රැසක් සමඟ ඒකාබද්ධ වී ඇති ක්ෂේත්‍රයකි. එබැවින් සංචාරක කර්මාන්තයට යම් තර්ජනයක් එල්ලවන විටක සංචාරක හෝටල්වලට එළවළු, මස් මාළු සැපයූ වෙෙළඳුන් ද සංචාරක ප්‍රවාහන කටයුතුවල යෙදුණු පිරිස් ද ඇතුළු බොහෝ පිරිසක් පීඩාවට පත් වීම නොවැළැක්විය හැකි ය. එසේ හෙයින් අප නිරන්තරයෙන් උත්සුක විය යුත්තේ මෙරට සංචාරක කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් කිරීම මිස පසුගාමී තත්ත්වයක් ඇති කිරීම නොවේ.
ශ්‍රී ලංකාව තුළ ප්‍රියජනක සංචාරක කර්මාන්තයක් ස්ථාපිත කිරීමට කෙටි කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු ය. පසුගිය අප්‍රේල් 21 වැනි දා සිදු වූ අවාසනාවන්ත සිද්ධියට පෙර මෙන් ම පසුව ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ව පැවති සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවකට සහභාගි වී ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරටට පැමිණීමේ දී සංචාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් ද කොට තිබුණි. එහෙත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ බව කී පමණින් ම විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වැඩි වීම හෝ රට රටවල් තම ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කොට ඇති සංචාරක මාර්ගෝපදේශන ඉවත් කරගැනීම සිදු වන්නේ නැති බව අප පිළිගත යුතු ය. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව රට රටවල ප්‍රචාරණය විය යුතු ය. සංචාරක ආකර්ෂණය දිනාගත හැක්කේ එවිට ය. විදෙස් සංචාරකයින් තුළ මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ විශ්වාසයක් සේ ම විශේෂ කැමැත්තක් ඇති කරවිය හැක්කේ එවිට ය.
ප්‍රචාරණයක අවශ්‍යතාව
ශ්‍රී ලංකාව ආරක්ෂිත සේ ම,සුවදායී පරිසරයකින් හෙබි සංචරණයට සුදුසු රටක් යන පණිවිඩය ලෝකයට සන්නිවේදනය කිරීමේ වැඩ පිළිවෙළ අප විසින් දිගින් දිගට ම පවත්වාගෙන යා යුතු ය. ඒ, ශක්තිමත් ප්‍රචාරණ නියෝජිත ආයතනයක් මඟිනි. මන්ද කිසියම් පිරිසක් රටරටවල ගොස් කතා පැවැත්වූ පමණින් සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ නැත. සංචාරකයින් ගෙන්වා ගැනීමට නම් යාල, මින්නේරිය, සීගිරිය, නුවර පෙරහැර, අපේ ආයුර්වේදය වැනි දේ ඩිජිටල් මාධ්‍යය ඔස්සේ ලොවට පෙන්විය යුතු ය.
මාලදිවයින, ෂීසෙල්ස්, මොරිෂස්, මැලේසියාව වැනි සෑම රටකට ම සංචාරකයන් වැළ නොකැඩී ඇදී යෑමට හේතුව උසස් මට්ටමේ ප්‍රචාරණ නියෝජිත ආයතනයක් ඔවුන් සතුව පැවතීමයි. ඒ හැරුණු විට උසස් මට්ටමේ මහජන සම්බන්ධතා නියෝජිත ආයතන (PR Agencies) සහ පර්යේෂණ සමාගමක් ද (Research Company) පැවතිය යුතු ය. ප්‍රමිති සහගත පර්යේෂණ ආයතනයක් අප සතුව ඇත්නම්, එම ආයතනයේ පර්යේෂණ අවසානයේ, රුසියානු සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ කුමක් අරබයා ද?, දකුණු කොරියානු සංචාරකයින් පැමිණෙන්නේ කුමක් අරබයා ද? බ්‍රිතාන්‍යයේ සංචාරකයින් පැමිණෙන්නේ කුමන අරමුණකින් ද? යනාදී වශයෙන් නිවැරදි තොරතුරු ලබාගත හැක.
මාලදිවයින සතුව උසස් මට්ටමේ ප්‍රචාරණ ආයතනයක් ඇත. රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය ආදී වශයෙන් සෑම වෙළඳපොළක ම මහජන සම්බන්ධතා නියෝජිත ආයතන ඇත. උසස් මට්ටමේ පර්යේෂණ සමාගමක් ද ඇත. එම පර්යේෂණ සමාගමේ පර්යේෂණවලින් පැවසෙන පරිදි දකුණු කොරියානුවන් මාලදිවයිනට පැමිණෙන්නේ මධුසමය ගත කිරීමට ය. ජපාන ජාතියකයින් පැමිණෙන්නේ මාලදිවයිනෙහි ඇති සුවදායක පරිසරයට දක්වන කැමැත්ත හේතුවෙනි. බ්‍රිතාන්‍ය ජාතිකයින් සංචාරය සඳහා මාලදිවයින තෝරාගන්නේ එරට වෙරළට දක්වන කැමත්ත හේතුවෙනි. එම රටවල සංචාරක කර්මාන්තය දියුණු කරගත හැකි අන්දමින් ප්‍රචාරණ කටයුතු සිදු කළ යුත්තේ කෙසේ ද? යන්න මෙයාකාරයෙන් පර්යේෂණ සිදු කිරීම මඟින් ඔවුන් පහසුවෙන් ම හඳුනාගනී. නමුත් අපට එවන් හැකියාවක් නැත. අපට උසස් මට්ටමේ ප්‍රචාරණ ආයතනයක්, රට රටවලට වෙන් වෙන් වශයෙන් මහජන සම්බන්ධතා සමාගම් හෝ ප්‍රශස්ත මට්ටමේ පර්යේෂණ සමාගමක් නොමැත.
ඉහත සඳහන් කළ සාධක තුන පවතින්නේ නම් රටක සංචාරක කර්මාන්තය දියුණුවෙන් දියුණුවට ගෙන යෑම පහසු කටයුත්තක් වන අතර මේ කිසිවකින් තොරව රටක සංචාරක කර්මාන්තය දියුණු කිරීම උගහට ය. එසේ හෙයින් හැකි ඉක්මනින් මෙම අවශ්‍යතා සපුරාගැනීමට මෙරට සංචාරක මණ්ඩලය පියවර ගත යුතු ය. මන්ද අඳුරට සාප කරනවාට වැඩියෙන් ඉටි පන්දමක් හෝ දැල්වීම වටී.
සටහන - කාංචනා සිරිවර්ධන