ලයනල් වික්‍රම මහතා ඇතැම් කෙටි කතා නිර්මාණ සඳහා සාම්ප්‍රදායික නොවන ආකෘති තනා ගනී. ‘අවසරයි ස්වාමිනි’ කතාව විකාශනය වන්නේ, නඩු විභාගයක විත්තිකරුගේ සටහනක් ලෙස ය. මේ සටහන ඔස්සේ දීර්ඝ වෘත්තාන්තයක් කැටිකර දක්වයි. චරිත වශයෙන් ගතහොත්, අපට දර්ශනය වන්නේ නඩුකාරයා හා විත්තිකාරයා පමණි.
ලයනල් වික්‍රම මහතාගේ ‘තනිකඩයාගේ අභාවය’ නම් කෙටි කතා සංග්‍රහය, අප 19 වැනි සියවසේ සම්භාව්‍ය කෙටිකතා කලාව වෙත රැගෙන යයි. එහි එන කතා කීපයක් මෝපසාංගේ කතා කලාව සිහි ගන්වයි. රචකයා චරිත හසුරුවන ආකාරය, කතා අවසන් කරන ආකාරය මෙන් ම, කතා වස්තු ගොඩනගන ආකාරයත් ඊට සාක්ෂි ලෙස පවතී. මේ කෙටිකතා සංග්‍රහයට නිර්මාණ දොළහක් ඇතුළත් ය. වැසි වැටුණා, සඟවා ගත් සුවඳ, හේමලතාගේ මංගල්‍ය, හීලෝගම නැන්දා, නොදුටු පුරහඳ, තනිකඩයාගේ අභාවය, පෑනෙන් තෙත් වන මිනිස්සු, අබ්බගාතයෙක්, අවසරයි ස්වාමිනී, ඇමතිගේ කැමැත්ත, තාත්තාට මුණුබුරෙක්, මොන ගසන ඉඳුරෝ යන ලෙසින් එම කතා හඳුන්වා ඇත.
ලයනල් වික්‍රම මහතාගේ ප්‍රබන්ධවල කැපී පෙනෙන ලක්ෂණ 4ක් පවතී.
1. මිනිස් චර්යාව සූක්ෂ්ම ලෙස නිරූපණය කිරීම
2. චරිතවල මනෝභාව නිරීක්ෂණය කිරීම
3. අලුත් ආකෘති තනා ගැනීම
4. සුවිශේෂී මානසික ගැටලු කෙරෙහි අවධානය
යොමු කිරීම
මේ කතා සංග්‍රහයේ එන කැපී පෙනෙන නිර්මාණය ලෙස සැලකිය හැක්කේ ‘තනිකඩයාගේ අභාවය’ යන කෙටි කතාවයි. ඉන් කියැවෙන සුව පහසු ජීවිතයක් ගත කළ තනිකඩ මිනිසකුගේ මරණය ගැන ය. ඔහුට මිතුරෝ ගණනාවකි. එම මිතුරෝ විවිධ ක්ෂේත්‍ර නිරූපණය කරති. වෛද්‍යවරයකු, ව්‍යාපාරිකයකු, ලේඛකයකු වශයෙනි. ඒ හැර ඔහුට සමීප අනෙක් පුද්ගලයා මෙහෙකරුවා ය. තනිකඩ පුද්ගලයා තම මළගමේ කටයුතු සිදුවිය යුතු ආකාරය පවා විස්තර කර ඇත. ඒ අතර ඔහුගේ මරණයෙන් පසු විවෘත කළ යුතු ලිපියක් ද තිබේ. එම ලිපිය මේ කතාවට විශේෂ වේ.
ලිපිය ලබා ගන්නා මිතුරෝ එය විවෘත කිරීමට ද, කියැවීමට ද මහත් කුතුහලයක් දක්වති. පාඨකයාට ද ලිපියේ ඇති වගන්ති කියැවීමට ආශාවක් ඇති වෙයි. එහෙත්, ලිපියේ සඳහන් වන්නේ සුබදායක දෙයක් නොවේ. ලිපියට අනුව සියලු ම මිතුරන්ගේ බිරියන් සමඟ තනිකඩයාගේ අයථා සම්බන්ධයක් තිබී ඇත. තනිකඩයා සිය මිතුරන්ගෙන් ඒ ගැන සමාව ඉල්ලා ඇත. මේ සිද්ධියෙන් වඩාත් කම්පනයට පත් වන්නේ වෛද්‍යවරයා ය. ඔහු තනිකඩයාගේ ලිපිය රැගෙන ගොස් සුරක්ෂිතව තමන් ළඟ තබා ගනී. ඊ ළඟට ඔහුගේ කල්පනාව යොමු වන්නේ, තමන්ගේ මරණයෙන් පසු ලිපිය බිරියට හමුවන ආකාරය ගැන ය. (සැබැවින් ම ලිපිය එහි වූයේ ය. එය මුද්‍රා තබා ඔහුගේ සෙසු ලියැවිලි අතර තිබෙනු බිරියට කිසියම් දිනෙක දක්නට ලැබෙනු ඇත.) තමා සන්තක වූ සුවිශේෂී ගුප්ත පරිකල්පන ශක්තියට පින් සිදුවන්නට, තමාගේ සොහොන් ගැබෙන් නැගෙන ඇගේ තොල් මැතිරිල්ල ඔහුට දැනටමත් ඇසෙනු ඇත. “අහෝ ඔබ කොයිතරම් පුදුමාකාරද? කොයි තරම් ශ්‍රේෂ්ඨ ද?”
මිනිසාගේ ජාගර සිතේ උපදින මනෝභාව සියුම් ලෙස නිරූපණය වේ. දොස්තර තම වේදනාව මුදා හරින්නේ, අමුතු ආකාරයකට ය. ඔහුට අවශ්‍ය වන්නේ තම ශ්‍රේෂ්ඨත්වය මතු කරන අතර, බිරිගේ දුෂ්ටකම්වලට දඬුවම් ලබා දීමට ය. නැතහොත් රිදවීමට ය. බිරිය තුළ විශාල පසුබෑමක් සහ ශෝකයක් ඉපදවීම දොස්තරගේ වෑයම වේ. ඒ සඳහා ඔහු තමන්ගේ මරණය උපකල්පනය කරයි. මෙය මනුෂ්‍යත්වය ගැඹුරින් නිරූපණය වන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. බටහිර සම්භාව්‍ය කෙටිකතා අතර මෙයට සමාන කතා කිහිපයක් ඇතත්, තනිකඩයාගේ අභාවය ඒවායේ කොපියක් ලෙස සැලකිය නොහැකි ය.
‘වැසි වැටුණා’ කතාවෙන් කියැවෙන්නේ, දරුවන් අහිමි විවාහක යුවළක් ගැන ය. එහි ප්‍රධාන චරිතය වූ ටිකිරි දරුවන් ලැබිය හැකි වයස ද ඉක්මවමින් සිටින අතර, වේදනාව නැතිකර ගැනීම සඳහා නිරන්තරයෙන්ම වැඩ කරයි. වැඩ නිසා, සෙසු ගැහැනුන් වෙතින් දුරස්ථව සිටීමේ අවස්ථාව ද ටිකිරිට හිමි වෙයි.
මේ අතර ඇය එක්තරා වැසි දිනයක පිස්සුවෙන් මෙන් වනාන්තරය දෙසට දුවයි. එහිදී ඇයට අතරමං වූ දරුවෙක් මුණ ගැසෙයි. දරුවා වර්ෂාවෙන් අනතුරට ලක් වීමට ඉඩ තිබිණි. ටිකිරි මේ දරුවා බේරාගෙන නිවෙසට ගෙන එයි. දරුවා, තම හොඳ ම මිතුරිය ලෙස කලක් සිටි සුමනාගේ ය. පොඩි එකා තමා සන්තක කර ගැනීමේ බලවත් ආශාවක් ඇය සිත තුළ උපදී. එහෙත්, එය කළ නොහැකි ය. දරුවා තමන් සන්තක කරගනු වෙනුවට, ඔහු ආරක්ෂා කර නැවත මවට බාර දෙන පිළිවෙතක් වෙත ටිකිරි මාරු වෙයි. පසුදා උදෑසන දරුවා බාර දීම සඳහා ඉදිරියට එන්නේ ටිකිරිගේ සැමියා ය. “ඇගේ දරුවා බේරා ගත්තේ තම බිරිය බව පවසන්නට, බණ්ඩාර දරුවාද ඔසොවාගෙන එළියට ආවේ ය. ඔහුගේ මුහුණේ රැඳී තිබුණේ ලොකු ආඩම්බරයකි”(‘වැසි වැටුණා’ - පිටුව 20)
මව හා දරුවා අතර පවත්නා සම්බන්ධය පමණක් නොව, පියකු හා දරුවකු අතර පවත්නා සම්බන්ධය ද කතාවෙන් නිරූපණය වේ. දරුවකු නැති වේදනාව මවකට පමණක් නොව, පියකුට ද තදින් දැනේ. එය කතාකරුවා මැනැවින් විශ්ලේෂණය කර තිබේ.
අප මුලින් සඳහන් කළ අන්දමට, කතුවරයා මිනිස් චර්යා සියුම් ලෙස නිරීක්ෂණය කර ඇත. ටිකිරිගේ සැමියා වන බණ්ඩාර, සුමනාගේ දරුවා ද ඔසොවාගෙන ඉදිරියට එන්නේ, තෘප්තිමත් හැඟීමකින් යුතුව ය. පියකු යන හැඟීම තාවකාලිකව හෝ තමා වෙත රඳවා ගන්නට ඔහු කැමැති ය. එය මනුෂ්‍යත්වයේ ස්වභාවය වෙයි.
ලයනල් වික්‍රම මහතා ඇතැම් කෙටිකතා නිර්මාණ සඳහා සාම්ප්‍රදායික නොවන ආකෘති තනා ගනී. ‘අවසරයි ස්වාමිනි’ කතාව විකාශනය වන්නේ, නඩු විභාගයක විත්තිකරුගේ සටහනක් ලෙස ය. මේ සටහන ඔස්සේ දීර්ඝ වෘත්තාන්තයක් කැටිකර දක්වයි. චරිත වශයෙන් ගතහොත්, අපට දර්ශනය වන්නේ නඩුකාරයා හා විත්තිකාරයා පමණි. එම චරිත දෙක උපයෝගී කර ගනිමින්, ඔහු පරිපූර්ණ කතාවක් කියා අවසන් කරයි. සාක්ෂි සටහනත්, විත්තිකරුවකුගේ පාපෝච්ඡාරණයක්, සාක්ෂි සටහනක් ඔස්සේ කෙටිකතාවක් විකාශනය වීම දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. කතාවේ අන්තර්ගතය සාම්ප්‍රදායික වුව ද, එය ප්‍රකාශයට පත් කරන හැඩය ආකර්ෂණීය වේ.‘තනිකඩයාගේ අභාවය’ කතාව විකාශනය වන්නේ සම්භාව්‍ය සිනමා කෘතියක ආකෘතිය සිහියට නගමින්ය. කතාව ආරම්භ වන්නේ තනිකඩයාගේ මෙහෙකරුවා දොස්තර හඹාගෙන ගොස් ඔහුගේ දොරට තට්ටු කරන අවස්ථාවකින් ය. දොර විවර වූ සැණින්, මෙහෙකරු කියා සිටින්නේ මහත්තයට අමාරුයි යන්න ය. ඉනික්බිති සිදුවීම් ජාලය දිග හැරෙයි. කතාව අවසන් වන්නේ දොස්තර තනිකඩයාගේ රහස් ලිපිය සඟවා තබා කල්පනාවට වැටීමෙන් ය. එය අපූරු පෙළගැස්මකි. රචකයා සිය ප්‍රබන්ධවල ආරම්භය සේ ම, අවසානය ද ඉතා නිර්මාණශීලී ලෙස නිමා කරයි.
කතුවරයාගේ අවධානය යොමු වූ තවත් වැදගත් විෂය ක්ෂේත්‍රයක් වන්නේ, එකිනෙක චරිතවලට අනන්‍ය වූ මනෝභාවයන් ය. දරුවන් අහිමි ටිකිරිගේ මනෝභාව, තම මිතුරන්ට ද්‍රෝහි වූ තනිකඩයා ගේ සංකීර්ණ මනෝභාව සියලු පාපයන්ට නතු වූ ඇමැතිගේ මනෝභාව, කතුවරයා අපූරුවට නිරූපණය කරයි. ඔහුගේ නිරූපණ ඔස්සේ ජීවිතය පිළිබඳ වැටහීමක් ලබාගත හැකි ය. ‘තාත්තාට මුණුබුරෙක්’ කතාවේ එන බාල දියණියගේ චර්යා රටාවද මෙහිලා ගත හැකි තවත් සාධකයකි. එහිදී පියකු වෙනුවෙන් දියණිය දක්වන කැපවීම පෙන්නුම් කෙරේ.
ගිය වසරේ පළ වූ අමෙරිකන් කෙටිකතා සංග්‍රහ පිළිබඳ කෙරෙන බොහොමයක් විචාරවලින් කියැවී ඇත්තේ, අලුත් කතා, අලුත් චරිත සහ භාෂාවේ ප්‍රාණවත් බව ප්‍රබන්ධ කතා ඔසොවා තබන බව ය. අපේ බොහෝ කෙටිකතාවල දකින්නට ලැබෙන්නේ, සාම්ප්‍රදායික චරිත හා පට්ටා ගැසූ භාෂාවකි. මේ නිසා ම, කෙටිකතා එක තැන පල් වන්නේ යයි ද, අවදානයෙන් ගිලිහී යන්නේ යයි ද කෙනකු තර්ක කරන්නට පුළුවන. එහෙත්, ගිය වසරේ පළ වූ සිංහල ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහ කිහිපයක්ම ඉදිරිගාමී ලක්ෂණ පෙන්නුම් කර තිබේ. ලයනල් වික්‍රම මහතාගේ ‘තනිකඩයාගේ අභාවය’ කෘතිය ද එම ගණයට ලා සැලකිය හැකි ය.
වික්‍රම මහතා භාවිත කරන්නේ, බෙහෙවින් ප්‍රාණවත් භාෂාවකි. ඔහු ගැමි වහරින්, සම්භාව්‍ය භාෂාවෙන් මෙන් ම, වත්මන් කට වහරින් ද ආභාෂය ලබමින්, තමන්ටම අනන්‍ය වූ භාෂාවක් නිර්මාණය කර තිබේ.
“හරියටම දාඩියෙන් පෙඟුණු ඇඟකට වැටෙන සීතල දිය දෝතක් වැන්න’ (‘වැසි වැටුණා’ - පිටුව 15) ‘පුවක් මල්ලක් පොළොවේ ගැසුවාක්මෙන්’ (වැසි වැටුණා - පිටුව 16) “ඊර්ෂ්‍යාව ඉස්කුරුප්පු ඇණයක් මෙන් ඇගේ හිත කාගෙන ගොස් තිබිණි.’ (වැසි වැටුණා - පිටුව 16)
මේ කතා සංග්‍රහයෙහි දුර්වලතා කිහිපයක් ද පවතී. ඉන් එකක් වන්නේ, කෙටි කතා සඳහා යොදා ඇති සිරස්තල, කිසිදු යටි පෙළක් හෝ හැඟීමක් හෝ ඇති නොකිරීම ය. ඒවා පද ලාලිත්‍යයෙන් ද තොර ය.