Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දුම්රිය සමිති කියන දේ කළොත් ලක්ෂ පහකට ප්‍රශ්න ඇති වෙනවා

$
0
0
ජුනි 28, 2019 01:00
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ

තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනතුරු සතියට දවසක් වර්ජනය කරන බව දුම්රිය වෘත්තිය සමිති අනතුරු අඟවති. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ප්‍රකාශ කිරීම ආදිය ඔස්සේ ඊට විසඳුම් සෙවීමට ආණ්ඩුව උත්සාහ දරයි. මෙකී තත්ත්වය රටටත් මගී ජනතාවටත් බලපාන ආකාරයත්, දුම්රිය සේවයේ ගැටලුවලට විසඳුම් ලබාදීම ගැනත්, රටේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් මේ සාකච්ඡාවේදී අවධානය යොමු වේ.

* දුම්රිය රියැදුරුගේ වැටුප ලක්ෂ තුනක් 
* මහින්ද රාජපක්ෂ අක්කර පන්සීයක් චීනෙට දුන්නා 
* වර්ජනය යට දේශපාලනය  
* චෝදනා කරන අය මෙලෝ දෙයක් දන්නෙ නැහැ 
* වැටුප් විෂමතා හැදුවෙ පහුගිය ආණ්ඩුව 
* වර්ජනයෙන් දිනකට මිලියන පහළොවක් පාඩුයි

දුම්රිය මගීන් දිගින් දිගටම සිදුවෙන දුම්රිය වර්ජනයන්ගෙන් බැටකමින් ඉන්නවා. වර්ජනයට අදාළ ගැටලු විසඳන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ කියලයි චෝදනා එල්ල වෙන්නෙ?

ඔය චෝදනා කරන අය මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ. මගීන්ව අපහසුතාවයට පත්කරන්නෙ වෘත්තීය සමිති. මේ අය කියන වැටුප් විෂමතාව අපි හදපු එකක් නෙවෙයි. පහුගිය ආණ්ඩුව තමයි මේ විෂමතාව හැදුවෙ. රාජ්‍ය සේවයෙ ලක්ෂ 14ක් ඉන්නවා. දුම්රිය වෘත්තීය සමිති කියන විදියට විෂමතාව හැදුවොත් ඒ අයගෙන් පන්ලක්ෂ දහඅට දහසකට ගැටලු ඇතිවෙනවා.

වෘත්තීය සමිති ඉල්ලීම් ගැන ඔවුන් සමග සාකච්ඡා කළේ නැද්ද?

වෘත්තීය සමිතිත්, අග්‍රාමාත්‍ය ලේකම්තුමත් අපිත් සාකච්ඡා කළා. දුම්රිය සේවය සංවෘත සේවයක් කළොත් විතරයි මේ ගැටලුව විසඳන්න පුළුවන්. මම ඒක ඔවුන්ට කිව්වා. වෘත්තීය සමිති ජනාධිපතිතුමා එක්කත් කතා කළා. ජනාධිපතිතුමා සරත් අමුණුගම මහත්තයගෙ සභාපතීත්වයෙන් අමාත්‍ය අනුකමිටුවක් පත් කළා. ඒ කමිටුවෙන් කිව්වෙත් දුම්රිය සේවය සංවෘත සේවයක් කරන්න කියලා. ඒ වෙනුවෙන් වැඩකරගෙන යනකොට, වෘත්තීය සමිති ආයෙත් වැඩවර්ජනයක් පටන් ගත්තා. ජනාධිපතිතුමා ඒ වෙලාවෙ රනුග්ගේ මහත්තයගෙ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව තවම ඇවිත් නැහැ. එහෙම තියෙද්දි තමයි මේ අය ආයෙත් වැඩ වර්ජනයකට ගියේ. අපි, වෘත්තීය සමිතිත් මුදල් ඇමතිතුමා සමග කතා කළා. ජනාධිපති කමිටුව නිසා මුදල් අමාත්‍යංශයට මේකට මැදිහත් වෙන්න බැහැ. කමිටු වාර්තාව එනතුරු විසඳුම් නැති බව දැන දැනම තමයි මේ අය වර්ජනයකට ගියේ. වර්ජන කාලයෙත් දුම්රිය ගමන්වාර 14ක් දිව්වා.

කමිටු දැම්මත් සේවක ගැටලුවලට විසඳුම් ලැබිල නැහැ නේද?

ඔය කතාවට මම විරුද්ධයි. ඔබ එහෙම කියන්න එපා. අපි රාජ්‍ය සේවකයන්ට විසඳුම් දීල තියෙනවා. විශ්‍රාම වැටුප් විෂමතාව විසඳුවා. පන්ලක්ෂ අනූ අට දහසකට සෙත සැලසුණා. අවම විශ්‍රාම වැටුප රුපියල් දෙදහස් අටසිය කින් වැඩිවෙනවා. උපරිමය විසිදාහකින් වැඩිවෙනවා. තීන්දු අරගත්තෙ නැහැ කියල කියන්නෙ කොහොමද? රජයේ සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළේ මොන ආණ්ඩුවද? දුම්රිය රියදුරෙක් අති කාලත් එක්ක මාසයකට රුපියල් ලක්ෂ තුනකට වැඩි වැටුපක් ගන්නවා. එහෙම අය තමයි ජනතාව අපහසුතාවට පත් කරන්නෙ.

මේ වැටුප් විෂමතාව දිගුකාලයක පටන් තිබෙන තත්ත්වයක්. මේවට උත්තර දෙන්න වර්ජනය කරනකම්ම ඉන්නෙ ඇයි?

මේක පහුගිය ආණ්ඩුවෙ ලේකම්වරයෙක් ඇති කරපු ප්‍රශ්නයක්. මේකට වෘත්තීය සමිති ඉල්ලන විසඳුම දුන්නොත් රාජ්‍ය සේවයෙ අනෙක් අයට ගැටලුවක්. ඊළඟට ඔවුන් වර්ජනයකට යාවි. ඒ නිසා තමයි රාජ්‍ය සේවයෙ වැටුප් විෂමතා ඉවත් කරන්න කමිටුවක් පත්කළේ. තව සති දෙක තුනකින් ඒ වාර්තාව එයි. කමිටු නි‍ර්දේශවලට කැබිනට් පත්‍රිකාවක් දාන්න ඕන. ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඕන. ඒකට තව මාස එකහමාරක් විතර යනවා. වර්ජනය කරන අය මේ තත්ත්වය දන්නවා.

ඔවුන් ඉල්ලන විසඳුම ලැබෙන තෙක් සෑම බ්‍රහස්පතින්දාවකම පැය 24ක වැඩ වර්ජනයකට යන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තියෙනවා?

අපි ඒකට මුහුණ දෙන්න ලෑස්තියි. දුම්රිය මගීන් වෙනුවෙන් අපි තීන්දු රැසක් ගත්තා. දැන් රටේ තියෙන්නෙ හදිසි නීති තත්ත්වයක්. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. අත්‍යවශ්‍ය සේවාවක් වර්ජනය කරනව නම් ඒ සේවකයන් වැඩට ගෙන්වන්න පුළුවන්. ඒ අය රාජකාරියට ආවෙ නැත්නම් සේවය අතහැර ගියා සේ සලකන්න බලය තියෙනවා. නාරාහේන්පිට ශාලිකා ශාලාවෙදි අද උදෑසන ඉඳන් විශ්‍රාම ගිය දුම්රිය එන්ජින් රියැදුරන් ස්ථානාධිපතිවරු, මාර්ග පරීක්ෂකවරු, සංඥා පරීක්ෂකවරු ඇතුළු සියලු දෙනා සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. ඔවු‍න්ගෙ සේවාව ඉදිරියට වසරක්, වසර තුනක් අතර කාලයකට කොන්ත්‍රාත් පදනම මත ලබා ගන්නවා. ඔවුන්ට ආකර්ෂණීය දීමනාවක් දෙනවා. ඒ වගේම දුම්රිය සේවාවේ කොන්ත්‍රාත් පදනම මත ඉන්න අය සමඟත් සාකච්ඡා කරනවා. පුළුවන් තරම් සාධාරණව මේ ප්‍රශ්නය විසඳනවා. හදිසි නීති තත්ත්වය යටතේ වෘත්තීය සමිති වර්ජනයකට ගියොත් නීතිමය කටයුතු කරනවා. දුම්රිය මගීන්ට නැවත ප්‍රශ්න ඇතිවෙන්න දෙන්නේ නැහැ.

යහපාලනය ගොඩනඟනවයි කියපු ආණ්ඩුව මේ කරන්න හදන්නෙ හදිසි නීතිය යොදාගෙන වෘත්තීය සමිති මර්දනයකට සූදානම් වීමක් නේද?

ඒක ඕන කෙනෙකුට ඕන විදියකට හරවගන්න පුළුවන්. ඔබ මාධ්‍යවේදියෙක්, ඔහොම ප්‍රශ්න කරන්න එදා ඉඩ ලැබුණද? මාධ්‍යවේදීන් කීදෙනෙක් මැරුවද? මාධ්‍යවේදීන් කීදෙනෙක් උස්සගෙන ගියාද? වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සු මැරුවා. E P F එක ඉල්ලුවම කටුනායකදී රොෂේන් චානක මැරුවා. තෙල් සහනාධාර ඉල්ලුවම ඇන්තනීව මැරුව. ඒ වගේ මේ ආණ්ඩුව මිනී මැරුවද? ඇයි ඕගොල්ලො ඒව අහන්නෙ නැත්තෙ. දැන් ඒව අමතකයි. අපි සාධාරණ විසඳුම් දෙනවා. අපි මර්දනය කරන්නෙ නැහැ. මේ ඔක්කොම යට තියෙන්නෙ බංකොළොත් දේශපාලනය. තමන්ට නැතිවෙච්ච ආණ්ඩු බලය ආයෙත් ගන්න දේශපාලකයො ජනතාව, වෘත්තීය සමිති ඉත්තො හැටියට යොදා ගන්නවා.

දුම්රිය වැඩවර්ජනවලදි මීට පෙර දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස්රථවල ගමන් කිරීමේ පහසුකම් සැලසුවා. මෙවර එවැන්නක් දක්නට ලැබුණෙ නැහැ?

දීර්ඝ වැඩවර්ජන අවස්ථාවලදී අපි එහෙම කළා. දවසක, දෙකක වැඩ වර්ජනයක දි එහෙම කරන්න බැහැ.

මේ වැඩ වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට වෙලා තියෙන පාඩුව ගණන් බලල තියෙනවද?

දවසකට රුපියල් මිලියන 15ක පාඩුවක් වෙලා තියෙනවා. දවස් දෙකට කෝටි තුනක පමණ පාඩුවක් වුණා. දුම්රිය දෙපාර්තමේන්තුවෙ වසරක පාඩුව රුපියල් කෝටි 700ක් විතර වෙනවා. මෙවැනි වැඩ වර්ජනත් මේ තත්ත්වයට එක හේතුවක්.

මේ වැඩ වර්ජනවලටත්, දුම්රිය දෙපාර්තමේන්තුවෙ පාඩුවටත් ප්‍රධාන හේතුව අකාර්යක්ෂම පරිපාලනය නේද?

දුම්රිය දෙපාර්තමේන්තුව හදන්න පුළුවන්. අපි දැඩි තීන්දු ගන්න ඕන. වෘත්තීය සමිති කියන විදියට රටවල් හදන්න බැහැ. හරි තීන්දු අරගෙන අපි මේක හදනවා. අපි දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආයෝජනයක් කළා. කොළඹ අවට දුම්රිය සේවය වැඩි දියුණු කරන්න රුපියල් කෝටි තිස්පන් දහසක් වැය කරනවා. පානදුර - වේයන්ගොඩ විදුලි දුම්රිය වැඩසටහන තනි දුම්රිය මාර්ග ද්විත්ව කරන්නත් ද්විත්ව ඒවා ත්‍රිත්ව කරන්නත් වැඩ පිළිවෙළක් හැදුවා. හබරණ කුරුණෑගල අලුත් දුම්රිය මාර්ගයක් හදනවා.බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දික්කරන්න සැලසුම් හැදුවා. දුම්රිය එන්ජින් 24ක් ගේනවා. දුම්රිය බලවේග කට්ටල 12ක් සේවයට එක් කරනවා. දුම්රිය මැදිරි 160ක් ගේනවා. තෙල් ටැංකි 30ක්, කන්ටේනර් ගෙන යන කට්ටල 15ක් ගේනවා. දුම්රිය ස්ථාන නවීකරණය කඩිනම් කළා. ලංගමට තව බස් 2000ක් ගේනවා. අපි ප්‍රවාහනය දියුණු කරනවා.

වැඩි ලාභ ඉපයිය හැකි භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවාවෙ වැඩි ඉඩක් නැහැ කියලත් කියනවා?

ඒ වෙනුවෙන් ඉඩක් දීල තියෙනවා. ඉස්සර දුම්රිය ලාභ ලැබුවෙ භාණ්ඩ ප්‍රවාහනයෙන්. 1978 න් පස්සෙ භාණ්ඩ ප්‍රවාහනයට කන්ටේනර් ආවා. තෙල් ප්‍රවාහනයට බවුසර් ආවා. මේ තත්ත්වය අපිට බලපානවා. ඉදිරියෙදි අපි තරඟකාරීව වැඩ කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩම් නිවැරදි කළමනාකරණයක් වෙන්නෙ නැහැ. අඩුම තරමින් ඉඩම්, හරි හැටි බදු දීමක්වත් වෙලා නැහැ කියලත් චෝදනා එල්ල වෙනවා?

ඉඩම් අක්කර දාහතර දහස් පන්සීයක් විතර තියෙනවා. මේ ඉඩම්වලින් අක්කර 7500ක් විතර දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයට ගන්නවා. ඉතිරි ඉඩම්වලට අදාළව බදු ලිපි ගොනු 5900ක් තියෙනවා. තව ඉල්ලපු ඒවත් තියෙනවා. මේ සියල්ල පරිගණක ගතකරනවා. දුම්රිය ඉඩම් සියල්ල සිතියම්ගත කරනවා. හඳුනා නොගත් ඉඩම් පවා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ හැටියට ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන බව කියනවා. මේ පෙරමුණ හැදෙන්නෙ කොහොමද?

ප්‍රධාන පක්ෂය වෙන්නෙ එක්සත් ජාතික පක්ෂය. දේශපාලන පක්ෂ රාශියක්, දේශපාලන නායකයො රැසක් එය වටා එකතුවෙලා ඉන්නවා. විවිධ ජනවර්ගවලට අයත් කණ්ඩායම් එක්ක එක්සත්ව මේ ගමන ඉදිරියට යනවා. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ තිස්පහක ඡන්ද ප්‍රමාණයක් නියෝජනය කරන පක්ෂයක්.

ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය ගැන දැනටමත් පක්ෂය තුළ විවිධ මත ඉදිරිපත් වෙමින් තිබෙනවා. විවිධ අපේක්ෂකයන්ගෙ නම් කියවෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ශ්‍රී ලංකාවට නිදහස ලබාගන්න පුරෝගාමී වෙච්ච පක්ෂය එක්සත් ජාතික පක්ෂය. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, රූපවාහිනිය හඳුන්වා දීම, තරුණ සේවා සභාව ඇති කිරීම, කඩිනම් මහවැලිය, මහපොළ ශිෂ්‍යාධාර, නිවාස වැඩ පිළිවෙළ වගේ විශාල වැඩ කොටසක් අපේ පක්ෂයෙන් කරල තියෙනවා. ප්‍රථම විධායක ජනාධිපති වගේම ජනාධිපතිවරු තුන්දෙනෙක් බිහිකරපු පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය. 1994 න් පස්සෙ අපිට තවමත් රාජ්‍ය නායකයෙක් පත්කරගන්න බැරි වුණා. 2015 පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කෙරෙව්වෙ අපි. ආයෙ වෙනත් අපේක්ෂකයො අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන අපේ පක්ෂයෙ අපේක්ෂකයෙක්. දිනන්න පුළුවන් අපේක්ෂකයො අපේ පක්ෂයෙ ඉන්නවා. අපේ ලක්ෂ තිස් පහට අමතරව සුළු ජාතික ඡන්ද, ජ.වි.පෙ. ඡන්ද ඒ වගේම මධ්‍යස්ථ ඡන්ද හා තරුණ ඡන්ද මේ මැතිවරණයෙදි තීරණාත්මකයි. මේ ඡන්ද හැම එකක්ම ගන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂල බලයට එනවට අකමැති ලොකු බලවේගයක් රට තුළ ඉන්නවා. මේ හැම කණ්ඩායමක්ම අපි එකතු කරගන්නවා.

රට ඇමරිකාවට පාවාදෙන ගිවිසුමකට මේ ආණ්ඩුව සූදානම් වෙන බවට චෝදනා එල්ල වෙනවා?

රටට නිදහස ලබාදීපු පක්ෂය. අපි කවදාවත් මේ රට පාවා දෙන්නෙ නැහැ. අපිට අවශ්‍ය මේ රට දියුණු කරන්න. පහුගිය අවුරුද්දෙ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන අසූ අටක්. මේක තමයි අපේ වත්කම. ගිය අවුරුද්දෙ ලෝකයෙ පොහොසත්ම පුද්ගලය වුණු ඇමසන් සමාගමේ අයිතිකරුවාගෙ වත්කම ඩොලර් බිලියන 106 යි. ලෝකයෙ පොහොසත් පුද්ගලයන් තුන්දෙනාටම වඩා අපේ රටේ වත්කම අඩුයි. අපේ රටේ ආදායම වගේ වියදම දෙගුණයක්. මේ වගේ රටක් හදන්නෙ කොහොමද? ඉතිහාසය දන්නෙ නැති වර්තමානය දන්නෙ නැති අය තමයි ඔය චෝදනා කරන්නෙ. එක්සත් ජාතික පාක්ෂිකයො ශ්‍රී ලාංකිකයො. ඇයි අපි රට පාවල දෙන්නෙ? මේ රට විනාශ වෙන්නෙ බලය ගන්න බොරු ගොතන දේශපාලකයන් නිසා තමයි.

රට පාවා දෙනව කියල එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වෙන්නෙ ඇයි?

මේ සියල්ලට හේතුව කුහක දේශපාලනය. බලය ගන්න මිනිස්සුන්ව රවටනවා. මේ රටේ අක්කර ගාණක් සින්නක්කරව චීනයට ලියල දුන්නෙ මහින්ද රාජපක්ෂල. මේව දැන් හැමෝටම අමතකයි. ඔය චෝදනා කරන අය එදා කොහෙද හිටියෙ. මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කළාද? එදා වචනයක් කතා කළාද? අපි ආවෙ නැත්නම් පෝට් සිටි එකේ අක්කර 500ක් චීනෙට සින්නක්කරව දෙනවා. එහෙම වුණා නම් මුහුදෙන් කිලෝමීටර් දෙසිය පනහක් චීනෙට අයිතිවෙනවා. ඒක උඩින් ප්ලේන් එකක් යන්නත් චීන අවසරය ගන්න වෙනවා. එහෙම වෙන්න තිබුණු රට බේර ගත්තෙ අපි. අපි ආවට පස්සෙ එක බිම් අඟලක් සින්නක්කරව කාටවත් දීල නැහැ. එහෙනම් රටට ආදරේ කවුද කියල ජනතාව තීරණය කරයි.

ඡායා-රංජිත් අසංක


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>