Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට වසර පනහයි

$
0
0
ජුනි 28, 2019 01:00
මහින්ද අලුත්ගෙදර

යහපත් අනාගතයක් උදෙසා පරිසරයත්- මහජනතාවත් සුරක්ෂා කිරීම අපේ වගකීමයි

යහපත් අනාගතයක් උදෙසා පරිසරය හා මහජනතාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටින ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම හා ප්‍රසිද්ධ කිරීම ප්‍රධාන වශයෙන් සිදුකරන ආයතනයයි.

1969 අංක 1 දරන පනත යටතේ ස්ථාපිතකර තිබෙන ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නියාමන අධිකාරියක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් ශ්‍රි ලංකාව තුල සිදුවන ආනයන හා අපනයන බලපත්‍ර පාලනයට යටත් කිරීමේ කාර්යයේ නිරතව සිටී. 1969 ට පෙර භාණ්ඩාගාරයේ ඒකකයක් ලෙස පැවැති මෙය 1969 වසරේ දී දෙපාර්තමේන්තුවක් බවට පත්විය.

ඒ අනුව අද වනවිට වසර 50ක් සම්පූර්ණ කරන ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සිය අඩසියවසක කාලයේ දී රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකර තිබේ. එම ආයතනය මේ දක්වා පැමිණි ගමන් මඟ, එහි කාර්යය භාරය මෙන්ම අනාගත සැලසුම් සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් ටී.වී.ඩී දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය සමඟ ‘දිනමිණ‘ කළ සංවාදයකි.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ආරම්භය මෙන්ම මෙවැනි ආයතනයක අවශ්‍යතාව කුමක් ද ?

දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේ දී ආනයනය සහ අපනයනය පාලනයේ ඇති අවශ්‍යතාව හදුනාගෙන භාණ්ඩාගාරය යටතේ එකකයක් වශයෙන් මුලින්ම මේ ආයතනය ස්ථාපිත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන පනත 1969 වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගෙන තිබෙනවා. වසර 20ක් පමණ මහා භාණ්ඩාගාරය යටතේ තිබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ පනත සම්මත කරගෙන දෙපාර්තමේන්තුවකට හිමි බලතල දී තිබෙනවා.

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ මේ දක්වා පැමිණි ගමන් මඟ සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

අද වනවිට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට වසර 50ක් සම්පූර්ණ වෙනවා. මේ ආයතනය දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ආරම්භ කළාට අද වනවිට අපේ රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකරනවා. 1970 - 77 කාලයේ විශාල වශයෙන් මේ රටේ ආනයන අපනයන සීමා කළා. ඒ කාලයේ දී මේ ආයතනයෙන් විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා. වසර 77න් පසුව විවෘත ආර්ථිකයත් සහ ආනයන වෙනුවෙන් කිසියම් ලිහිල් කිරීමක් කර තිබෙනවා. ඊට පස්සේ මේ ආයතනයෙන් කරන්නේ පරිසරය, මහජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව, රටේ පවතින ව්‍යාපාර ආරක්ෂා වන පරිදි ආනයන ප්‍රතිපත්ති සකස් කොට ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රධාන කාර්යය වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න රටේ වාණිජ බැංකු සහ ශ්‍රී ලංකා රේගුවට අවශ්‍ය මාර්ගෝපදේශන අපි ලබාදෙනවා. ඊට අමතරව අපි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ද නියැළී සිටිනවා.

ඇමැතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ගැසට් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ එය ක්‍රියාත්මක කිරීමයි. ඒ සම්බන්ධයෙන් වන ආයතන සමඟ අපි සම්බන්ධ වී කටයුතු කරනවා. භාණ්ඩ ආනයනයේ දී ආයනයන පාලනය කිරීම වෙනුවෙන් ප්‍රමිතිගත කිරීම් කරනවා. භාණ්ඩයක් ආනයනය කිරීමේ දී ප්‍රමිතියකින් යුතු භාණ්ඩයක් වීම අතශ්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව ප්‍රමිති කාර්යාංශයත් සමඟ එක්ව ඒ අය ප්‍රමිති හදුන්වාදුන් භාණ්ඩ අපි ප්‍රමිතිකරණය වියයුතුයි කියා ගැසට් එකකින් හදුන්වා දෙනවා. ඒ හැරෙන්න වෙනත් පාලන ක්‍රමද තිබෙනවා. අවි ආයුධ ආයතනය කරන අවස්ථාවල දී ආරක්ෂක අමාත්‍යාංශය, සන්නිවේදන උපකරණ ආයනයනය කරන අවස්ථාවල විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව, රසායන ද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවල පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය ආදිය සම්බන්ධ වෙලා පාලනය කරනවා.

මෙලෙස නීති ක්‍රියාත්මක වන අවස්ථාවල ප්‍රමිතියකින් තොර භාණ්ඩ රටට ආනයනය කිරීමේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ආනයනය කරන හැම භාණ්ඩයකටම අදාළව යම්කිසි ආයතනයක් තිබෙනවා. ඒ ආයතනයත් සමඟ එකතු වෙලා නීතිමය පියවර ගන්නවා. බොහෝ අවස්ථාවල අපිත් යම් යම් අය අසාදු ලේඛනයට ඇතුළත් කර තිබෙනවා. සමහර භාණ්ඩ ප්‍රති අපනයනය කරන්න කියා තිබෙනවා. වැරැදි ආකාරයෙන් ගෙන්වන ලද වාහන මෑතක දී ප්‍රතිඅපනයනය කරන්න නියෝග කළා. මෙවැනි ප්‍රශ්න පැමිණි ආනයනයන් ප්‍රති අපනයනය කරන්න කියා තිබෙනවා. මහජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. භාණ්ඩයක් ආනයනය කරනවිට අපි අංශ කිහිපයක් ඔස්සේ සොයා බලනවා. මේ සෑම අවස්ථාවකම අදාළ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා.

ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය සුරැකීම වෙනුවෙන් දෙපාර්තමේන්තුව විශේෂ කාර්යයක් සිදුකරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා එක්ව ආනයන කරනු ලබන ඖෂධ බලපත්‍ර පාලනයට යටත් කිරීම සහ ජීව කාලය සියයට 75 කට වැඩි ඖෂධ පමණක් ආනයනය සඳහා අවසර දීම මඟින් මෑතකාලීනව වෙලදපොලේ ප්‍රමිතියෙන් තොර හා කල් ඉකුත් වූ ඖෂධ හමුවීම අඩුවී තිබෙනවා. ආනයන කරනු ලබන සියලුම වාහන යූරෝ 4 ආරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව, ආරක්ෂිත වායු බැලුන (Air Bag), ආසන පටි (seat belts) සහ ප්‍රති අගුළු තිරිංග පද්ධතිය (ABS) අනිවාර්ය කිරීමත් වායු විමෝචන සහතිකයක් (emission certificate ) අනිවාර්ය කිරීම මඟින් ජනතාවගේ සහ පරසර සුරක්ෂිතතාව ඇති කර තිබෙනවා.

ආයතනයේ කාර්යභාරය සම්බන්ධයෙන් කතා කරනවිට එය රටට සහ ජනතාවට අතිශයින්ම වැදගත් කියා සිතනවා. අපේ ආයතනයට විවිධ කාර්යයන් පැවරී තිබෙනවා. ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම හා ප්‍රසිද්ධ කිරීම, ආනයන හා අපනයන පාලන කටයුතු පිලිබදව රේගු අධ්‍යක්ෂක ජනරාල් වරයාට සහ වානිජ බැංකුවලට සහාය වීම ප්‍රධාන වශයෙන් මෙහිදී සිදුවෙයි. ඒ අනුව ආනයන හා අපනයන පාලන විධිවිධාන පිලිබද මෙහෙයුම් උපදෙස් වානිජ බැංකුව ට නිකුත් කිරීම සිදුකරනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා එක්ව ශ්‍රී ලංකාවට ආනයන කරනු ලබන අයිතම (consumer goods) 122ක් SLS සහතියන්ට අනුකූලව ආනයනය සඳහා ඉඩදීම මඟින් ජනතාවගේ සෞඛ්‍යය හා පැවැත්ම සුරක්ෂිත කර ආනයනික භාණ්ඩ වල ප්‍රමිතිය සහතික කර තිබෙනවා. ආනයන කරනු ලබන රසායනික ද්‍රව්‍ය හා පොහොර නියාමනට හා බලපත්‍ර පාලනයට යටත්කර තිබෙනවා. එමඟින් පරිසර ආරක්ෂණයට කටයුතු කරනවා. විශේෂයෙන් පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදන මේ අතර ප්‍රධානයි. පරිසරට අධික විෂ සහිත සහ ඕසෝන් වියනට හානි කරන රසායනික ද්‍රව්‍ය කිහිපයක්ම ආනයනය කිරීම මේ වනවිට තහනම් කර තිබෙනවා. වියානා සම්මුතිය අනුව යමින් පරිසර අමාත්‍යාංශය හා එක්ව ඕසෝන් ප්‍රහීනකාරී ශීතකාරක (CFC, HCFC, HFC) සහිත උපකරන ආනයනය නියාමනය කරනවා. (Air condition machines, refrigerators, chillers) ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ එක්ව පරිහරනයට සුදුසු වන සන්නිවේදන උපකරන පමණක් ආනයනට ඉඩ දී තිබෙනවා. එමඟින් ද මහජනතාවගේ සහ පරිසරයේ ආරක්ෂාව සහතික කරනවා. ආනයන හා අපනයන විදි විධානයන්ට අනුකූල නොවූ විට විනිමය පාලකට අවශය සහාය ලබාදීම සිදුකරනවා.

50 වැනි සැමරුම මේ වසරේ දී සැමරීමට නියමිතව තිබේ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් මොනවා ද ?

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පනස්වැනි සැමරුම නිමිත්තෙන් අපි කොළඹ දී සැමරුම් සිදුනොකර විශේෂ වැඩසටහන් කිහිපයක් ඈත ප්‍රදේශවල ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. විශාල වශයෙන් මුදල් නාස්තියකින් තොරව යම්කිසි සුබසාධන කටයුත්තකට මුල්තැන දෙන්න අපි තීරණය කළා. එතන දී අපි රටපුරා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් මේ පිළිබඳව තොරතුරු විමසා සිටියා. එහිදී අපිට සහාය ලබාදෙන්නට පුළුවන් දිළිඳු ගම්මාන තෝරා ගත්තා. ඒ අනුව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨෘශයට අයත් කිඹුල්වැව ග්‍රාමය අපි තෝරාගෙන තිබෙනවා. ඒ ගමේ වකුගඩු රෝගීන් ඉන්වා. ඒ අයට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීම ඉතාම වැදගත්. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජල පෙරහන් පද්ධති (RO Plant) සවිකරනවා. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාදුන් පසුව මේ ජල පිරිපහදු ඒකක සවි කරනවා. ඊට අමතරව අපි එම ගමේ පාසල දියුණු කරන්නත් පියවර ගෙන තිබෙනවා. මේ පාසල සම්පූර්ණයෙන්ම නවීකරණය කරන්න තීරණය කළා. ගොඩනැඟිලිවල තීන්ත ආලේප කිරීම, වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීම, පුස්තකාලයක් හා පරිගණක කාමරයක් ඉදිකිරීම, ළමා උද්‍යානය පිළිසරක කිරීම ඇතුළු අංගයන් කිහිපයක් ඊට අයත් වෙනවා. මේ ප්‍රදේශයේ පවුල් 139 කට අයත් පුද්ගලයින් 379 දෙනෙකු ජීවත් වෙනවා. ඒ තුළ ළමුන් 135 දෙනෙකු අයත් වෙනවා. මේ ගමේ ජීවත්වන වකුගඩු රෝගීන් 12 දෙනෙකු පමණ දැනට හදුනාගෙන තිබෙනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපිට විශාල පිරිසක් උදව් කළා. ඒ සියලු දෙනාට හා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයට කෘතඥතාවය හිමිවිය යුතුයි. මේ ගමට අපි විසින් ලබාදෙන ජල පෙරනය සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ වැයකර තිබෙනවා. ජල පෙරහන් පද්ධතිය ග්‍රාමයේ පංසල් භූමියේ පිහිටුවන්න තීරණය කර තිබෙනවා. එමඟින් දිනකට පිරිසිදු ජලය ලීටර් 10,000ක් පමණ ලබාදෙන්නට පුළුවන්. එහි දීර්ගකාලීන නඩත්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනවා.

පාසල නවීකරණය කරන්න තවත් රුපියල් ලක්ෂ 15ක් පමණ වැයකර තිබෙනවා. ඒ හැරෙන්නට පුස්තකාලයක්, පරිගණක ඒකකයක් ලබාදෙනවා. හැම පාසල් දරුවෙකුටම පොත්, බෑග්, සපත්තු සහිතව ත්‍යාග කට්ටලයක් ලබාදෙන්න තීරණය කර තිබෙනවා. කිඹුල්වැව ආනන්ද විද්‍යාලය ග්‍රාමයේ ඇති එකම පාසල වන අතර එහි 1 සිට 5 ශ්‍රේණිය දක්වා ළමුන් 86ක් ඉගෙනුම ලබනවා. 29 දා මේ ව්‍යාපෘති විවෘත කරන්න සැලසුම් කර තිබෙනවා. ඊට පෙර අපි එම ප්‍රදේශයේ ශ්‍රමදානයක් ද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

අප විසින් සිදුවිය යුතු සංවේදී කටයුත්තක් ලෙස සලකා ප්‍රජා සතකාරක වැඩසටහනක් ලෙස මෙය සිදුකිරීමට තීරණ වුණා. මේ සඳහා මූලිකත්වය ගෙන එහි සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයයි. මෙහිදී වකුගඩු ආශිත රෝග පැතිරී ඇති ප්‍රදේශයක් වන මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති කිඹුල්වැව ග්‍රාමය යෝජනා වුණා. උතුරුමැද පළාතේ දුෂ්කර ප්‍රදේශයක් වන කිඹුල්වැව ග්‍රාමයේ ජනතාව කලක සිට වකුගඩු ආශ්‍රිත රෝගවලින් පිඩා වින්දා. පිරිසිදු ජලය සොයා ගැනීමේ අපහසුතාවන්ට මෙහි වැසියන් නිතරම මුහුණ දුන්නා. පිරිසිඳු ජලය අලෙවිකරණ ස්ථාන කිහිපයක් තිබුණත් කිඹුල්වැව වැසියන්ට එහි වියදම දරා ගැනීමට තරම් හැකියාවක් නැහැ. කිඹුල්වැව වැසියන්ගෙන් බොහොමයක් තම වෘත්තීය ලෙස කෘෂිකර්මාන්තය තෝරාගෙන තිබෙනවා. කිඹුල්වැව ග්‍රාමයට ආසන්නතම නගරය අනුරාධපුර වුවත් නගරයට ලඟා වීමට පැය එක හමාරක් පමණ ගතවෙනවා.

ආයතනයේ ව්‍යුහය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද ?

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය කොළඹ කොටුවේ පිහිටා තිබෙනවා. වෙනත් ශාඛාවන් නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුව ආසන්නයේ පිහිටා තිබීම වර්තමානයේ පිහිටා තිබෙන ස්ථානය අපිට වැදගත්. මේ ස්ථානය ජනතාවටත් පහසුයි. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 100ට ආසන්න වෙනවා. සාමාන්‍යයෙන් දිනකට 300ක් පමණ පාර්භෝගිකයන් සිය සේවාවන් සලසා ගන්න මේ ස්ථානයට පැමිණෙනවා. අපේ අභ්‍යන්තර පරිගණක පද්ධතියකට අනුව මේ වනවිට කටයුතු කරනවා. නමුත් ඉදිරියේ දී අන්තර්ජාලයෙන් සම්බන්ධ වියහැකි ලෙස අති නවීන මෘදුකාංග පද්ධතියක් හදුන්වා දෙන්න පියවර ගන්වා. ඒ හරහා මෙම දෙපාර්තමේන්තුවට නොපැමිණ තමන්ගේ ගෙවීම් කොට බලපත්‍ර ලබාගත හැකි ලෙස කටයුතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් වසරකට අපේ ආයතනය මඟින් බලපත්‍ර 15,000ක් පමණ නිකුත් කරනවා. පසුගිය 2018 වසරේ දී බලපත්‍ර 15,775ක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව එම වසරේ දී රුපියල් බිලියන 1.56 ක ආදායමක් රජයට උපයා දෙන්නට සමත් වුණා. අපේ රටේ අපනයනයන් දිරිගැන්විය යුතු බැවින් අපනයනය පාලනය වන්නේ ඉතා අඩුවෙන්.

රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ආයතනයක් වශයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් මොනවා ද ?

අපි මේ වනවිට පාරිභෝගිකයන්ට අවහ්‍ය බලපත්‍ර ඔන්ලයින් හරහා ලබාගන්නට අවශ්‍ය පහසුකම් ඉදිරියේ දී ලබාදෙන්නට පියවර ගන්නවා. මේ වනවිට එහි පළමු අදියර ක්‍රියාත්මක වෙනවා. අන්තර්ජාලයෙන් ඉල්ලුම්පත් ලබාගන්න පුළුවන්. අපේ වෙබ් අඩවියෙන් අවශ්‍ය සියලු තොරතුරු ලබාගන් පුළුවන්. අන්තර්ජාලයෙන් බලපත්‍ර අයැදුම් කරන්නන්ට අපි ඒ අයට පිවිසුමක් (Loging Account) ලබාදෙනවා. ඒ අංකයෙන් ඔවුන් ලියාපදිංචි වෙනවා. ඒ අනුව ඉදිරියේ දී අපි සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වනවිට විදුලි උපකරණ ප්‍රමිතිගත කරන්න සාකච්ඡා කරමින් සිටිනවා. භාණ්ඩ 122ක් ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලවීම අත්‍යවශ්‍ය බවට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ගැසට්කර තිබෙනවා. අපනයන දිරි ගන්වන්න අපි පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ කර්මාන්තවලට යම්කිසි බලපෑමක් එල්ල නොවන ආකාරයෙන් අපනයන පවත්වාගෙන යන්න පියවර ගෙන තිබෙනවා.

ඡායාරූප-කැළුම් ලියනගේ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles