දෛනික ජීවිතයේ දී මෙන්ම දිගු කාලීන අවශ්‍යතාවයන්හිදී ද එක් එක් කාර්යයන් සම්බන්ධ නිපුණතාවයෙන් යුත් ශිල්පීන්ගේ සේවාව ලබා ගැනීමට සැමට සිදුව ඇත. නිපුණතාවය සහිත ශිල්පීන්ගේ සේවාවන් ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම නිසා පාරිභෝගිකයන්ට විවිධ අපහසුතා නිරන්තරයෙන් ඇති වේ.
ශිල්පීය නිපුණතාවය යනු ක්ෂණිකව හෝ කෙටි කාලීනව ලබා ගත හැකි දෙයක් නොවන අතර පාරම්පරිකව හෝ ස්ව අධ්‍යයනයෙන් නිරන්තරව ප්‍රගුණ කිරීම යන නව ප්‍රවණතා පිළිබඳව යාවත්කාලීන වීම තුළින් ලබාගත හැකි දෙයකි. පාසලෙන් බැහැර වීමෙන් පසු ජීවනෝපාය මාර්ග සකස් කර ගැනීමේ දී අපේ තරුණ පරපුරට ස්ව හැකියාවන් අවබෝධ කර දීමට විධිමත් මාර්ගෝපදේශනයන් අත්‍යවශ්‍ය වේ.රජය විසින් වෘත්තීය පුහුණුව සඳහා ක්‍රියාත්මක ආයතන රැසක් රට පුරා කටයුතු කරන අතර පෞද්ගලික ආයතන ද වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වයි. ජාතික වෘත්තීය සුදුසුකම් (National Vocational Qualification – NVQ) පිළිබඳව අපේ තරුණ පරපුර මෙන්ම ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට අපේක්ෂිත ආයතන මෙන්ම පුරවැසියන්ද නොපමාව දැන ගත යුතු වේ. මේ වන විට අප රටේ ප්‍රධාන විදේශ විනිමය උපයා දෙනු ලබන්නේ අපේ විදෙස් ගත ශ්‍රමිකයන් වන අතර එසේ විදෙස්ගත වන්නන් 95%කටආසන්න ප්‍රමාණයක් වෘත්තීය සුදුසුකම් නොමැති කටයුතු ආශ්‍රිත කම්කරු රැකියා සඳහා පිටත් වේ. මේ වන විට මැදපෙරදිග කලාපයේදී කම්කරු ආශ්‍රිත රැකියා සඳහා මසකට රු. 45,000 – 50,000 ක ආසන්න මුදලක් ලැබෙන අතර ශ්‍රී ලංකාවේදී පුහුණු ශ්‍රමිකයෙකුට දිනකට අවම රු.3,000ක් ලබා ගත හැක.
වර්තමානයේ දී අප රට මුහුණ පා සිටින ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ පුහුණු ශ්‍රමිකයන්ගේ උග්‍ර හිඟය වන අතර ඒ අනුව විදේශ ශ්‍රමිකයන්ගේ සේවාව ලබා ගැනීම ආයතනවලට සිදුව ඇත. එය දිගුකාලීනව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දඇතිවන ප්‍රශ්න සහගත කරුණකි. කුඹුරු ගොවිතැන් සඳහා තමිල්නාඩු ඉන්දියානුවන් මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී චීන සහ බංග්ලාදේශ ශ්‍රමිකයන් ද මේ වන විටත් නීත්‍යානුකූල නොවන අන්දමින් රට පුරා සේවයේ යෙදී ඇත. නොපමාව වෘත්තීය පුහුණුව සම්බන්ධ අදාළ සියලු ආයතන පොදු ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් NVQ සුදුසුකම් සඳහා දැනට රජය නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන 28/2016 සහ 2016.12.01 චක්‍රලේඛ උපදෙස් ක්‍රියාත්මක කිරීමටත් එක්ව කටයුතු කිරීමට කාලය ගෙවී යාමට ඇත්තේ වර්ෂ නොව දින ගණනක් බව සිතා කටයුතු කිරීම අද දවසේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අවශ්‍යතාවය වේ.
කුමාර පොරවගොඩ
බලපිටිය