සිංහල ස්වතන්ත්‍ර කෙටිකතාව යම් ඉදිරිගාමී බවක් ප්‍රකට කරන බව අපි මීට පෙර ද සඳහන් කර ඇත්තෙමු. කෙටිකතා සංග්‍රහ පළවීම වැඩි වී ඇත. ඒ අතර සිංහල කෙටිකතාවට අමුතු විලාස එකතු කරන රචකයෝ සිටිති. ප්‍රභාත් ජයසිංහ එබඳු කෙටිකතාකරුවෙකි.
ලෝක ප්‍රබන්ධ කථාව නිරීක්ෂණය කරන විට, නව ප්‍රවණතා කිහිපයක් හඳුනාගත හැකි ය. එම ප්‍රවණතා තෝරාගනු ලබන විෂය හා රචනා ශෛලිය අනුව කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය. තෝරාගනු ලබන විෂය ගතහොත්; සංචාරක කතාවලට හා ප්‍රකට චරිතවලට නැඹුරුතාවක් දක්වා ප්‍රබන්ධකරණය සිදුවන බවක් පෙනෙයි. සංචාරක කතා යන්නෙන් අදහස් කරනුයේ, ලෝකයේ ආකර්ෂණයට ලක් වූ ස්ථාන පසුබිම්කොට කතා ගෙතීම ය. ප්‍රකට චරිත විෂය කර ගැනීමේදී, දේශපාලකයන් හා දාර්ශනිකයන් මුල් තැනක් ගන්නා බව සිතිය හැකි ය. මාර්ගට් තැචර් මෙන් ම ජෝර්ජ් බුෂ් කේන්ද්‍ර කර කතා රචනා වී ඇත. මේ ප්‍රවණතා සිංහල ප්‍රබන්ධ කථාව සම්බන්ධයෙන් බලපා ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. එහෙත්, ලෝක ප්‍රබන්ධ කථාවෙන් ආදර්ශ ලබාගන්නේ නම්; අපගේ ප්‍රබන්ධකරණය තුළ විචිත්‍රතාවක් ඇතිකළ හැකි ය.
සිංහල කෙටිකතාව ගතහොත්, නව ශෛලියක් ගොඩනඟන කතාකරුවෝ කිහිප දෙනෙක් සිටිති. ප්‍රභාත් ජයසිංහ මහතා ද ඉන් කෙනෙකි. ඔහුගේ ‘ස්වර්ණකාය‘ නම් කෙටිකතා සංග්‍රහය නිරීක්ෂණය කරන විට එය පැහැදිලි වෙයි. සිංහල ස්වතන්ත්‍ර කෙටිකතාවේ අනන්‍ය ලක්ෂණ ප්‍රකට කළ කතාකරුවන් කිහිප දෙනකු අප සිහියට නැඟේ. මාර්ටින් වික්‍රමසිංහ හා ජී. බී. සේනානායක ඒ අතර ප්‍රමුඛ වෙති. 19 වැනි සියවස හා 20 වැනි සියවස ලෝක කෙටිකතාවේ සන්ධිස්ථාන ලෙස සැලැකිය හැකි ය. අපේ පැරැණි රචකයෝ විශ්ව කෙටිකතාවේ ප්‍රවණතා ද නිරීක්ෂණය කරමින්, සිය ප්‍රබන්ධකරණයෙහි යෙදුණාහ. නූතන රචකයන් විශ්ව කෙටිකතාව පසෙකලා, අපට අනන්‍ය කෙටිකතා සම්ප්‍රදායක් ගොඩනැඟීමට උත්සුක වන බවක් පෙනෙයි. ප්‍රභාත් ජයසිංහ මහතා ද ඊට එක් නිදසුනකි.
ප්‍රභාත් ජයසිංහ මහතාගේ ‘ස්වර්ණකාය‘ කෙටිකතා සංග්‍රහය ජනගත වන්නේ 2018 දී ය. ඊට කෙටිකතා හතක් ඇතුළත් ය. ඒවා නම් කර ඇත්තේ ‘හීන බන්ධන‘, ‘අශ්ව මූණ සහ මුගටි මූණ‘, ‘ස්වර්ණකාය‘, ‘කොල්ලෙක්‘, ‘කිඳුරු සිංහයා සහ නජීබ්‘, ‘රිටයර්ඩ් (අන්) හර්ට්‘ හා ඇද හිනාව, නටන ඇස් සහ මැෂින් තුවක්කු‘ ආදී වශයෙන් ය. සෑම කතාවක් ම අන්තර්ගතය අතින් ද, ආකෘතිය අතින් ද වෙනස් ය. ඔහුගේ කතා කලාව තුළ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ.
I. සිද්ධි උත්කර්ෂයට නැංවීම
II. මිනිසාගේ චින්තනමය ලෝකයට ප්‍රවේශ වීම
III. පැහැදිලි අවසානයක් නො දැක්වීම
IV. භාෂාව නිදහසේ භාවිත කිරීම.
‘හීන බන්ධන‘ කෙටි කතාවෙන් සංවාදයට ගැනෙන්නේ, පියකු හා දුවක අතර පවත්නා මානුෂික සබඳතාවයි. මෙහි එන රනා නම් පියාගේ බිරිය ඔහු හැර ගොසිනි. දියණිය පෝෂණය කිරීම සඳහා ඔහු යන්ත්‍ර - මන්ත්‍ර ආදිය කරයි. එහෙත්, දියණිය ඊට විරුද්ධ ය. සමාජයෙන් එල්ල වන චෝදනා හා විවේචන ඉදිරියේ දුව පියාට එරෙහි වෙයි. මෙහි එන සෑම අවස්ථාවක් ම පාහේ උත්කර්ෂයට නංවා ඇති අතර, එහි එන නිරූපණවල අධි-රංග ගතියක් පවතී.
“දොර දඩාං ගාල වැහුණෙ හරියට රනාට කනට ගැහුවා වගේ. ගනුදෙනුකාරයෙක් එක්ක වැඩක නිරතවෙලා උන්නු රනාට උනේ මොකක්ද කියලා තෝර බේර ගන්න තත්පර කීපයක් ගියා.“
(හීන බන්ධන - 11 පිටුව)
කතුවරයා සිය නිරූපණ ඔස්සේ නාටකීය ස්වරූපයක් මවයි. පාඨකයා ආකර්ෂණය වී, ඊළඟ සිද්ධිය විමසයි. ප්‍රභාත් ජයසිංහ මහතා හාත්පස සමාජයේ ඇති තතු විශ්ලේෂණය කරන්නේ අති - නාටකීය ගතියක් ඉස්මතු කරමින් බව පෙනෙයි. ඇතැම් නිරූපණවලින් පෙනී යන්නේ, කතුවරයා සමහර පුද්ගල චර්යා උපහාසයට ලක් කරන බවකි.‘හීන බන්ධන‘ කතාවෙන් පරම්පරා දෙකක ගැටුම ද නිරූපණය වෙයි. දුවට හා පියාට ඇත්තේ වෙන - වෙන අපේක්ෂා ය. වෙන - වෙන හීන ය. නූතන සමාජයේ අසමතුලිතභාවය හා ගැටුම්කාරී ස්වභාවය ද කතාවෙන් ඉස්මතු වෙයි.
කතුවරයා සිය කතාවලින් ප්‍රකට කරන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, පුද්ගලයන්ගේ චින්තනමය ලෝකයට ප්‍රවේශ වීම ය. සිංහල ස්වතන්ත්‍ර කෙටිකතාකරුවන් අතර පුද්ගලයන්ගේ චින්තනමය ලෝකය ගැඹුරින් විවරණය කරන කතාකරුවන් අඩු ය. ප්‍රභාත් ජයසිංහගේ ‘ස්වර්ණකාය‘ කතාවෙන් නිරූපණය වන්නේ, රත්තරන් පිළිමයක් මිනිස් චර්යා විශ්ලේෂණය කරන ආකාරය යි. පිළිමය කතා කරයි. සමාජය විවේචනය කරයි. ජනවාර්ගික අර්බුදය, ආත්මාර්ථය හා මිනිසාගේ කුහකකම්, පිළිමය ලවා විචාරයට හසු කරයි.
“රන් පිළිමයක් අත්පත් කර ගැනීමට තැත් කිරීම නිසා හටගත් ආරවුලක් හේතුකොටගෙන දහතුන් දෙනකු වෙඩි තබා ඝාතනය කරන ලද පුවතක් වයඹ දිග දේශයෙන් වාර්තා වෙයි. ඊට අමතරව තවත් විසිඑක් දෙනකු දරුණු ලෙස තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.“
(ස්වර්ණකාය - පිටුව 85)
කතුවරයා ඉතිහාසයේ සත්‍ය සිදුවීම් ද සිය කතා විකාශය සඳහා උපයෝගී කර ගනී. ඔහු පුවත්පත් වාර්තා ගණනාවක් සිය කතාවට පාදක කර ගනී. කතාවේ විශ්වසනීය බව රැක ගැනීමට ද, සමාජ යථාර්ථය හෙළිදරව් කිරීමට ද යෙදූ උපාය මාර්ගයක් ලෙස එය සැලැකිය හැකි ය. “ස්වර්ණකාය“ කතාව සංකේතා'නුසාරයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු නිරීක්ෂණය කරන ප්‍රබන්ධයක් ලෙස ද හැඳින්විය හැකි ය. එහි සංකීර්ණ පැතිකඩ ගණනාවක් තිබේ.
වඩාත් වැදගත් වන්නේ, පිළිමය ඔස්සේ විවරණයට ලක් කෙරෙන චින්තනමය ලෝකය යි.
“මගේ ආගමනය මේ පවුල ඇතුළට සුළි සුළඟක් ගෙනල්ලා. අනිත් පවුල්වල තත්වෙත් මේක ම වෙයිද? මං දුක් කරදර විඳගෙන වයඹදිග ආවෙ මේකටද? මේ මිනිස්සු ඉස්සර මාව රැක්කෙ මොන තරම් පරිස්සමට ද? ඉබි යතුරු දාල, දොර අගුළු දාල, ඒත් දැන්“
(ස්වර්ණකාය - පිටුව 70)
මෙහි එන බොහෝ කතාවලින් පුද්ගලයන්ගේ හැසිරීම්වල විකාර ස්වරූපය විශද කරයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය කලාව මිනිසාගේ විකාරකාරී හැසිරීම් නිරූපණය කිරීම සඳහා විවිධ ශෛලීන් භාවිත කර ඇත. එහි යටි අර්ථය වන්නේ සමකාලීන සමාජයේ පැවැති බිය - සැක - අවිනිශ්චිතතාව වැනි ලක්ෂණ පෙන්වා දීම ය. යුද්ධය, ආත්මාර්ථය හා සූරාකෑම ව්‍යාප්ත වූ කල, මිනිසාට නිදහස් ජීවිතයක් උරුම වන්නේ නැත. එම කලබලකාරී අවිනිශ්චිත පසුබිම තුළ මිනිසා විකාරරූපී ලෙස හැසිරීම අමුත්තක් නොවේ. මේ කෙටිකතා සංග්‍රහයේ එන “කිඳුරු සිංහයා හා නජීබ්“ කතාවත් ඊට නිදසුන් ලෙස ගත හැකි ය. ඉන් කියැවෙන්නේ වසර දහඅටක් සිරගතව සිටි දේශපාලන සිරකරුවකු, නිදහස් වී නැවත සමාජගත වීමක් ගැන ය. ඔහු දැන් දකින ලෝකය මුළුමනින් ම වෙනස් ය. එය විකාරයක් ලෙස ඔහුට පෙනෙයි.
“කොල්ලෙක්“ නම් කෙටිකතාවෙන් විවරණය වන්නේ මානසික අසමතුලිතතාව සහිත තරුණ පුද්ගලයකුගේ අමුතු චර්යා රටාව ය. කතාව විකාශය වන්නේ චරිත දෙකක් ඔස්සේ ය. එනම්; සුජී හා රංජනී ය. මේ අඹු-සැමි යුවළ නින්ද පිළිබඳ ගැටලුවකට මුහුණ දෙති. සුජී කියා සිටින්නේ මදුරු දැල තුළ මදුරුවන් සිටින බව ය. බිරිය මදුරු දැල් මාරු කරමින් සුජීට සුව නින්දක් ලබා දීමට වෑයම් කරයි. එහෙත් එය සාර්ථක වන්නේ නැත. ඉතා කුඩා සිද්ධියකින් පුද්ගලයකුගේ මනස මුළුමනින් ම වෙනස් කළ හැකි බව ද, මානසික පෙරැළියක් ඇතිකළ හැකි බව ද, ඉතා සූක්ෂ්ම ලෙස කතුවරයා විසින් නිරූපණය කරනු ලැබේ.
සුජීගේ චරිතය ගොඩනඟා ඇත්තේ තාර්කික පදනමක් මත ය. ඔහු වරෙක නිහඬ ය. ඉතා නිහඬ ය. ගැටලු හමුවේ කලබල වන බවක් පෙනෙන්නට නැත. එහෙත් ඔහුගේ අභ්‍යන්තරය උණුසුම් ය. එය ගිනි ගොඩකි. මේ කතාව අවසන් වන්නේ රංජනී හෙවත් බිරිය ද මානසික අසමතුලිතභාවයකට පත් වීමෙන් ය. අමුතු හැසිරීම් සහිත පුද්ගලයකු නිරන්තරයෙන්ම ඇසුරු කිරීම නිසා, එබඳු තත්ත්වයක් මතු විය හැකි ය. පුද්ගලයන්ගේ චර්යා - රටා අනෙකා කෙරෙහි බලපාන ආකාරය මේ කතාවෙන් විග්‍රහ කර ගත හැකි ය. එය සුන්දර කතාවක් ලෙස විකාශය වෙයි.
භාෂා භාවිතයේ දී කතුවරයා අනුගමනය කරන්නේ අතිශය නිදහස් රීතියකි. ඔහු කිසිදු සම්ප්‍රදායකට යටත් නොවී නිදහසේ ලියයි. කටවහර මෙන් ම වර්තමාන සංකර භාෂාව ද ඇතැම් විට ඔහු යොදා ගනී. සිද්ධි හා චරිත නිරූපණය සඳහා නිදහසේ බස පරිහරණය කරන ලේඛකයන් හිඟ ය. එබඳු දුර්ලභ ලේඛකයකු ලෙස ප්‍රභාත් ජයසිංහ මහතා හඳුන්වා දිය හැකි ය.
“කනට ගැහුව වගේ පාඨකයාට ඒවා දැනුණා“
(පිටුව - 131 කිඳුරු සිංහයා හා නජීබ්)
රටේ දේශපාලනය කෙරෙහි ද කතුවරයාගේ අවධානය යොමු වී ඇති බව “කිඳුරු සිංහයා හා නජීබ්“ කතාවෙන් පැහැදිලි වෙයි. නජීබ් වෘත්තීය සමිති නායකයකු මෙන් ම, පුවත්පත් කතුවරයෙකි. එලෙස ම ඔහු යම් පමණකට කවියෙකි. ඔහු ප්‍රකට කාව්‍ය නිර්මාණ උපුටා ගනිමින් ජීවිතය විග්‍රහ කර ගැනීමට උත්සුක වෙයි. දේශපාලන හේතු මත සිරගත කිරීම් අපේ රටේ ප්‍රකට නැතත්, දේශපාලනයට සම්බන්ධ වෙනත් ක්‍රියාකාරකම් සුලභ ය. නජීබ්ගේ චරිතය ගොඩනඟා ඇත්තේ රටේ වාමාංශික දේශපාලන ක්‍රියාධරයන් සිහියට නංවමින් ය. නජීබ්ගේ චරිතය දෙස ආපසු හැරී බලන විට බරපතළ ශෝකයක් උප දී. ඔවුන්ගේ අපේක්ෂා හා ක්‍රියාමාර්ග අද වන විට අවලංගු වී ඇත. ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව නජීබ්ලා තව දුරටත් වීරයන් වන්නේ නැත.
සිංහල ස්වතන්ත්‍ර කෙටිකතාව යම් ඉදිරිගාමී බවක් ප්‍රකට කරන බව අපි මීට පෙර ද සඳහන් කර ඇත්තෙමු. කෙටිකතා සංග්‍රහ පළවීම වැඩි වී ඇත. ඒ අතර සිංහල කෙටිකතාවට අමුතු විලාස එකතු කරන රචකයෝ සිටිති. ප්‍රභාත් ජයසිංහ එබඳු කෙටිකතාකරුවෙකි.