සාම්ප්‍රදායික කෝදුවෙන් සිරිමල්ගේ කතාසංග්‍රහය මැන බලන්නට යන කෙනකුට එහි බොහෝ දොස් තිබෙන්නට පුළුවන. නිදසුනක් ගතහොත් ඔහුගේ භාෂා භාවිතය හා චරිත නිරූපණ ද කෙනකුගේ දැඩි විවේචනයට හසුවිය හැකි ය. ඔහු ඇතැම් තැනෙක සාම්ප්‍රදායක භාෂා රටාව විකෘති කරයි. පුදුමයකට මෙන් අර්ථයට බාධාවක් වී නැත.
සිංහල ස්වතන්ත්‍ර කෙටි කතාව සම්බන්ධයෙන් ප්‍රධාන මතවාද තුනක් පවතී. පළමු මතවාදය වන්නේ කෙටිකතාව ශිල්පීය වශයෙන් දියුණු අවදියක් සටහන් කරමින් බුද්ධිමය සංවාදයක යෙදී ඇතත්; එය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්වී නැති බව ය. දෙවන මතවාදය වන්නේ ලෝක මට්ටමින් සලකා බලන කල කෙටිකතාව පසුගාමී වන අතර, අපේ මුල් යුගයේ කෙටිකතා මීට වඩා ඉදිරිගාමී බව ය. තෙවන මතවාදය වන්නේ සිංහල කෙටිකතාව අලුත් විලාසයක් ඉල්ලා සිටින බව ය. විලාසය යන්නෙන් අලුත් ආකෘතියක්, නව සන්දර්භයක්, වෙනස් ශෛලියක් හා දෘෂ්ටියේ වෙනසක් අපේක්ෂා කෙරේ. තුන්වන මතවාදය කෙරෙහි අපගේ විශ්වාසය හා නැඹුරුව රැඳී පවතී.
ඉහත පූර්විකාවට අනුව අපගේ විශේෂාවධානයට ලක්වන කෙටි කතා සංග්‍රහයක් ලෙස සිරිමල් විජේසිංහ මහතාගේ අභිනව කතා සංග්‍රහය හඳුන්වා දෙන්නට කැමැත්තෙමු. එය නම් කර ඇත්තේ “ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ යනුවෙන් ය. ඊට විවිධාකාර වූ ප්‍රබන්ධ දහයක් ඇතුළත් ය. ‘සේපාලිකා මලයි - සුදුපාට මීදුමයි’, ‘රඟනු රංග රන් රඟමඬළෙහි’, ‘හද සැණකෙළියෙහි වල්මත් වීලා’, ‘මෙතැන රෝස මල මෙතැන නටන්න’, ‘අවසන් ලියුම’, ‘සඳ පිණිදියේ - හිම කුමරියේ’, ‘කරුමක්කාරයෝ’, ‘සින්පන්සි’, ‘එපා මේ නිදහස’, ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ යනුවෙන් එම කතාවලට ශීර්ෂ යොදා ඇත. කෙටි කතාවට සිරස්තල යෙදීමේ සම්ප්‍රදාය කතුවරයා උඩු යටිකුරු කර තිබේ.
සිරිමල් විජේසිංහ මහතා සිය ප්‍රබන්ධ ඔස්සේ නූතන ජීවිතයේ සංකීර්ණතා නිරූපණය කිරීමට බලවත් පරිශ්‍රමයක් දරන්නේ යැයි අදහසක් පළමුව ඉදිරිපත් කළ හැකි ය. ඔහු සිය නිරූපණ සඳහා නිදහස් ආරක් ද දැඩි විවෘතභාවයක් ද අනුගමනය කරන්නේ යැයි තව අදහසක් ඉදිරිපත් කළ හැකි ය. නූතන සිංහල කෙටිකතාව සඳහා අලුත් විලාස කිහිපයක් ඔහු විසින් හඳුන්වා දෙනු ලබන බවට තවත් අදහසක් ඉදිරිපත් කළ හැකි ය. කෙසේ වුව කතුවරයාගේ සියුම් විශ්ලේෂණයට හසුවන්නේ නූතන දේශපාලන, ආර්ථික වපසරිය තුළ මිනිසා මුහුණ දෙන ඛේදවාචකය යැයි කියන්නට පුළුවන.
ප්‍රධාන මාතෘකා හතරක් ඔස්සේ මේ කෘතියේ එන ප්‍රබන්ධ විශ්ලේෂණය කිරීමට වෑයම් කරන්නෙමු.
i කතුවරයා මතු කරන සමාජ සංවාදය
ii කතා සංග්‍රහය මතුකරන ආකෘතියේ වෙනස
iii කතුවරයාගේ සුවිශේෂී ශෛලිය හා
භාෂා භාවිතය
iv නිරූපණයේ විශේෂතා හා සම්ප්‍රදාය බිඳ දැමීම
අපේ කෙටිකතාකරුවන්ගෙන් බහුතරය, නූතන සමාජයේ චරිත සිද්ධි පැරැණි ආකෘතියක් ඔස්සේ කෙටිකතාවට ගොනු කිරීමට උත්සාහ දරන බවක් පෙනෙයි. මෙය යම් තරමකින් සාකච්ඡාවට ලක්වී ඇති කාරණයකි. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, කේ. ජයතිලක, මහාචාර්ය සුරවීර වැනි කෙටි කතාකරුවන් අපේ පරමාදර්ශ වී ඇති අතර, ඔවුන් අනුකරණය කිරීම පුරුද්දක් ලෙස පවතී. කලාව හා සාහිත්‍යයේ න්‍යාය හා භාවිතය ඒකරූපී වන්නේ නැත. ඒවා යුගකාරක වෙයි. ඒ අනුව සිංහල කෙටිකතාවට අලුත් විලාසයක් ඉල්ලා සිටීම යුක්ති සහගත ය.
දේශපාලනය, ආර්ථිකය හා යුද්ධය නිසා සාහිත්‍යය, නාට්‍ය කලාව, චිත්‍රපටය පමණක් නොව පත්තර කලාව පවා වෙනස් ආකෘති සොයා ගියේ ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු මතු වූ විකාර රූපී නාට්‍ය සම්ප්‍රදාය, කුරිරුනාට්‍ය සම්ප්‍රදාය, පත්තර කලාවේ ‘යෙලෝ ජර්නලිසම්’ මේ සඳහා ඉදිරිපත් කළ හැකි සරල නිදසුන් කිහිපයකි. ශ්‍රී ලංකාවේ ද දේශපාලනය, ආර්ථිකය හා යුද්ධය නිසා මිනිස් සමාජයේ පැවැත්ම උඩි යටිකුරු විය. බිය - සැකය - අවිශ්වාසය - හිස්බව මිනිස් ජීවිත අරක්ගත් භූතයෝ වූහ. මේ සන්දර්භය තුළ මිනිසාගේ චර්යා රටා විශ්ලේෂණය කිරීමට සිරිමල් විජේසිංහ මහතා ප්‍රයත්න දරයි.
‘හද සැණකෙළියෙහි වල්මත් වීලා’ නම් කතාවෙහි එන සමිත නම් චරිතය අසීමිත බියකින්, සැකයකින් හා අවිනිශ්චිත භාවයකින් පසුවන තැනැත්තෙකි. ඔහු ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙනු වෙනුවට ඒවායින් පලා යයි. එලෙසම ඔහු අනෙකා වෙත දක්වන්නේ අසීමිත ආදරයකි. සමිතගේ එක ම දියණිය රිය අනතුරකට මුහුණ දෙන අතර, ඉන් බරපතළ තත්ත්වයක පසුවන ඇය බැලීමට ඇති කම්පනය නිසා පියා නිවසින් පලා යයි. දියණිය මියගිය පසු සමිතගේ මිතුරා ඔහු සොයා යයි.
“උඹ හොයපු නැති තැනක් නැහැ බං ...අමු පිස්සෙක් උඹ. හිතේ කිසිම තෙතමනයක් නැති...උඹ”
“හිතේ තෙතමනය වැඩි හින්දයි මේ සේරම මම උඹලට වැඩිය ගොඩක් වෙනස් කියල උඹ දන්නවනෙ... ඒ නිසා බණ නො කියා හිටහං සබ්බේ පෘථග්ජනා උන්මත්තකා”
(පිටුව - 76)
පවතින සමාජ ක්‍රමය මිනිසා ඇද දමා ඇති ඛේදනීය තත්ත්වය සමිත ඔස්සේ විශ්ලේෂණය කරගත හැකි ය. මේ ඛේදනීය තත්ත්වයට පත් වන මිනිසා එක අතෙකින් ආස්වාදය සොයයි. තව අතෙකින් හිස්බවකින් තැවෙයි. පොදුවේ ගත්කල සමාජයේ මිනිසුන් හා ගැහැනුන් බහුතරය තුළ අඩු - වැඩි වශයෙන් මේ ගතිය ඇතැ’යි සිතන්නට පුළුවන’ රඟනු රංග රන් රඟ මඬලෙහි’ කතාවේ එන සයිමන් මහතා ලොතරැයි දිනුමක් ඇදෙන තෙක් බලා සිටින්නෙකි. ඔහුට ජීවිතයේ ආස්වාදනීය ඇරියස් තිබේ. ඒවා පරිපූර්ණ කර ගත හැක්කේ ලොතරැයි දිනුමක් ඇදීමෙන් පමණි.
“සිය සිහින ලෝකය අතහැර දමන්නට ඔහු නොකැමැති ය. පසුතැවීමක් නොවූවද තමා ගත කර ඇත්තේ අර්ධ ජීවිතයකි. තව - තවත් රසවත් වීමට ඇති දෑ බොහෝ ය. මුදල් නමැති අරුමය නොමැතිව ඉදිරි ජීවිතය අති නීරස ය. නමුදු ලොතරැයිය නම් වූ සිහිනය පසු පස්සේම එල්ලී සිට, දැන් තරමක් වෙහෙස ය. වෙනත් විකල්පයක් ද පෙනෙනතෙක් මානයෙහි නොමැත්තේ ය.”
(පිටුව - 54)
සයිමන් මහතා ලොතරැයිය පිළිබඳ යථාර්ථය දනී. එය වෙන්නට පුළුවන. නොවෙන්නට ද පුළුවන. එහෙත් සත්‍යයට මුහුණදීමට කැමැත්තක් ඔහු තුළ නැත. ඔහු දෙවියන් වෙත හැරෙයි” එතුමන් විසින් කවදා හෝ තමාට ලොතරැයි දිනුමක් ලබා දෙනු ඇත’ යනුවෙන් සයිමන් මහතා වෙස් මාරුවකට යයි. ලොතරැයි සිහිනය මෙරට ලක්ෂ ගණනකගේ පොදු සිහිනයකි. මිනිසා මුහුණ දී ඇති ඛේදවාචකයේ තවත් පැතිකඩක් සයිමන් මහතා ඔස්සේ නිරූපණය වෙයි.
කතුවරයා සියුම් ලෙස විවරණය කරන්නේ, නූතන ශ්‍රී ලාංකිකයාගේ ජීවන අරගලයේ ස්වභාවය යි. එම අරගලයට හෝ සිදුවන ඛේදවාචකයට හෝ නිශ්චිත විසැඳුම් නැත. පොදු සමාජය තව - තවත් අගාධයට වැටෙන බව පමණක් පෙනෙන්නට තිබේ. සිරිමල් මහතා මතුකරන්නේ සමාජ සංවාදයට ලක්විය යුතු දේශපාලන මාතෘකාවකි.
කෙටිකතාව සඳහා නව ආකෘති තැනීමට කතුවරයා උත්සුක වී ඇත. අප මුලින් සහන් කළ ආකාරයට නූතන සිංහල ස්වතන්ත්‍ර කෙටිකතාව ආකෘතික වෙනසක් අපේක්ෂා කරයි. සිරිමල් මහතා සිය කිසිදු ප්‍රබන්ධයක් සඳහා සාම්ප්‍රදායක ආකෘතිය භාවිත කරන්නේ නැත. කෙටි කතාවේ ප්‍රමාණය ගැන තැකීමක් ද ඔහු ළඟ නැත. අවසන් කෙටි කතාව වන “ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ නම් කෙටිකතාව කෙටි නවකතාවක් තරම් දීර්ඝ ය. ‘අවසන් ලියුම’ නම් කෙටිකතාව කවි පෙළකි. එය පිටු කිහිපයකට සීමා වෙයි. මේ කවි පෙළ තුළ දීර්ඝ හා සංකීර්ණ වෘත්තාන්තයක් පවතී. ‘අවසන් ලියුම’ ආරම්භ වන්නේ ‘මෙය කවි පෙළක් නොව; වෙනස් ආරකින් ලියූ කෙටි කතාවකි’. යනුවෙන් සඳහන් කරමින් ය.
නූතන සිංහල ස්වතන්ත්‍ර කෙටි කතා බොහොමයක් රචනා වී ඇත්තේ කලින් ම සටහන් කරගත් සීමා - මායිම් ගණනාවක් යටතේ ය. කෙටිකතාවේ ප්‍රමාණය, ආරම්භය, අවසානය, නිරූපණය විලාස යනාදිය සම්බන්ධයෙන් සීමා - මායිම් පනවාගැනීම අපේ කතාකරුවන්ගේ ක්‍රමය වෙයි. සිරිමල් විජේසිංහ මහතා මේ කිසිදු රීතියක් සැලැකිල්ලට ගෙන නැත. ඔහු ඉතා නිදහස් ව සිය රචනා ඉදිරිපත් කර ඇත.
කතුවරයාට ඇත්තේ අධ්‍යයනයට ලක් කළ යුතු සුවිශේෂී ශෛලියකි. එහි කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් පවතී.
i විවෘත භාවය
ii තේමාව සමඟ ඒකාත්මික වීම
iii සිනමා රූපී ජවනිකා
iv පසුබිම් නිරූපණය කපා හැරීම
v අලුත් ප්‍රකාශන විධි සෙවීම
සිරිමල් මහතා කෙතරම් නිදහස්ව හා විවෘතභාවයකින් ප්‍රබන්ධකරණයෙහි යෙදෙන්නේ ද යත් , කුණුහරුප පවා ඇතැම් තැනෙක භාවිත කරයි. එහෙත් ඒවා සාමාන්‍ය - පොදු සමාජයේ දී අප අත්දකින දේවල් ය. කතුවරයා සදාචාරය කපා හරී. රීති කපා හරී. එහෙත් ඔහු තම කතාවේ තේමාව සමඟ තදින්ම බැඳී සිටී. එය කෙතරම් ද යත්; චිත්‍රපටයක හෝ වෙනත් නිර්මාණයක උද්ධෘත දක්වන්නට ද ඔහු පෙළඹෙයි. විශේෂත්වය වන්නේ ඒවා කතාව සමඟ ඉතා හොඳින් ගැළපී තිබීම ය. බොහෝ කතා ඉදිරිපත් කරන්නේ දර්ශන පෙළක් හැටියට ය. ඒවා අංකිත කර තිබේ. කතාවට අදාළ සිදුවීමෙහි උත්කර්ෂය නාට්‍යානුසාරයෙන් රඟදැක්වීමට කතුවරයා වග බලා ගනී. ප්‍රබන්ධකරණයේ දී නිරූපණ විලාස තුනක් කෙරෙහි අපගේ අවධානය යොමු වෙයි. එනම්; චරිත නිරූපණය, සිද්ධි නිරූපණය හා පසුබිම් නිරූපණය වශයෙන් ය. සිරිමල් විජේසිංහ මහතා පසුබිම් නිරූපණය කපා හරී. එය භාවිත වන්නේ කලාතුරෙකින් ය. සිද්ධි හා චරිතවලින් ද චරිත කෙරෙහි ඔහුගේ වැඩි අවධානය යොමු වී ඇත. කතුවරයාගේ රචනා විලාසයෙහි ඇති තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ උපුටා ගැනීම් ය. එය කෙටිකතාවේ අලුත් ප්‍රකාශන විදියක් ලෙස සැලැකිය හැකි ය. ‘රඟනු රංග රන් රඟ මඬලෙහි’ කෙටි කතාව නිමාවට පත්වන්නේ සිනමාපටයක උද්ධෘතයකින් ය.
“නින්ද ද, ඇහැරීම ද, ජීවත්වීම ද, මරණය ද, අර්ථ විරහිත ය. ඉතාම සරල ලස්සනම දෙය වන්නේ සිහින දැකීමය. අඩුම තරමින් ඊට හෝ ඔබ වෙත නිදහස තිබිය යුත්තේ ය.”
අපේ සමාජය තුළ සිහින දැකීමට හෝ නිදහසක් තිබේ ද යන ප්‍රශ්නාර්ථ ය මෙයින් මතුවෙයි. නූතන ජීවන අරගලය ඔස්සේ මිනිසා තුළ මතුවන මානසික අසමතුළිතභාවය කෙරෙහි කතුවරයා වැඩි අවධානයක් යොමු කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සෑම කතාවකින් ම අසම්මත මිනිසකු හෝ අසම්මත ගැහැනියක හෝ ඉස්මතු වෙයි. සයිමන් මහතා, සමිත ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය.
මේ කතා සංග්‍රහයේ එන අවසන් හා දීර්ඝ ම කෙටිකතාව වන “ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය” නම් ප්‍රබන්ධය වෙන ම සාකච්ඡා කළ යුතු තැනෙක පවතී. කතුවරයා පවා කියා සිටින්නේ එය නිදහස් ව සාවධානව විඳින්නට යන්න ය. ලෝකයේ ප්‍රකට චරිත හා ඔවුනට අදාළ සිදුවීම් පාදක කොට කෙටි කතා නිර්මාණය වීම අලුත් ප්‍රවණතාවකි. මීට වසර කිහිපයකට පෙර මාග්‍රට් තැචර් මැතිනියගේ චරිතය කේන්ද්‍රකොට කෙටිකතා සංග්‍රහයක් පළ වී තිබිණි. එය මුද්‍රණය කළේ අමෙරිකන් ප්‍රකාශන සමාගමකි. එම කෙටිකතා සංග්‍රහය බෙහෙවින් සංවාදයට ලක් වූ කෘතියක් ද විය.
සාම්ප්‍රදායික කෝදුවෙන් සිරිමල්ගේ කතාසංග්‍රහය මැන බලන්නට යන කෙනකුට එහි බොහෝ දොස් තිබෙන්නට පුළුවන. නිදසුනක් ගතහොත් ඔහුගේ භාෂා භාවිතය හා චරිත නිරූපණ ද කෙනකුගේ දැඩි විවේචනයට හසුවිය හැකි ය. ඔහු ඇතැම් තැනෙක සාම්ප්‍රදායක භාෂා රටාව විකෘති කරයි. කර්මකාරක, කර්තෘකාරක වාක්‍ය පටලවා ලිය යි. පුදුමයකට මෙන් අර්ථයට බාධාවක් වී නැත. කතුවරයා වියරණයට අභියෝග කරන්නකු බඳු ය. එහෙත් ඔහු මේ කතා ඔස්සේ ගොඩනඟන සාධක දෙකක් අපට අමතක කළ නො හැකිය. ඉන් පළමුවන්න විවෘත මනසකින් මිනිසුන්ගේ චර්යා රටා දෙස බලනු යන්න ය. දෙවන්න මිනිස් ජීවිත දෙස දාර්ශනික දෘෂ්ටියකින් බලන්නට ලබා දෙන උත්තේජනය යි. මගේ මේ සාධක දෙක මත වුව සිරිමල්ගේ කෘතිය සිංහල කෙටිකතාවේ පෙරැළියකට ප්‍රවේශයක් ගෙන ඇතැ’යි පිළිගත යුතු ය.