Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සිනමාහලට ළමයා නොගියොත් !

$
0
0
ජුලි 25, 2019 01:00

ආචාර්ය සුනිල් රණසිංහ - (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

‘ජනයාට සාමූහික අත්දැකීමක් අවශ්‍යයයි. සිනමාව සාමූහික සහභාගිත්වයෙන් සංවේදිතාව පිටතට ගලා යන හෙයින් සිනමා ශාලා තවත් වසර 1000 ක් පවතිනු ඇතැයි මම සිතමි. මා මෙම කර්මාන්තයට පැමිණි දා සිට ජනයා සිනමාවේ අභාවය ගැන පුරෝකථන කරති’’.

බොහෝ කාලයක සිට සිනමාවේ මරණය ගැන ශෝකප්‍රකාශ ඉදිරිපත් කරන්නන්ට හොලිවුඩයේ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ ජේම්ස් කැමරොන් එලෙස ප්‍රතිචාර දක්වයි. මෙම දිවයිනේ ද ඇතමෙක් සිනමාවේ අභාවය ගැන පුරෝකථන නිකුත් කරති. වාද - විවාද කරති. එහෙත් තවමත් සිනමාවේ මළගම සිදු ව නැත. අන් සියල්ල මෙන් ම සිනමාව ද කාලානුරූපී ව වෙනස් වෙමින් ප්‍රවාහයක් ලෙස නො නැවතී ඉදිරියට යයි. විවිධ පසුබෑම් සහ මඟහැරීම් මත සිනමා සිනමාවට ප්‍රේම කරන එය වටා රොදබැඳගත් නිර්මාණකරුවන් සහ රසිකයන් 21 සියවසේ සිනමාව වෙත අපේක්ෂා රඳවා සිටින්නේ හෙට දවස යහපත්වේ යැයි යන හැඟීමෙනි.ඒ සඳහා නිර්මාණකරුවන් නිෂ්පාදකයන් ශිල්පීන් සහ ජාතික චිත්‍රපට සංස්ථාව සූදානම් ද?

ගෝලීය සිනමා කර්මාන්තය

‘’මිලියන සංඛ්‍යාත ජනතාව ඇමතීමට වෙනත් මාධ්‍යයක් වේ නම් මම සිනමාව අතහැර දමමි’’ යැයි වරක් විශිෂ්ට ඉන්දියානු සිනමාකරු වූ රිට්වික් ඝටක් (Ritwik Ghatak) ප්‍රකාශ කළේය. ජන සමූහයකට කතාන්තර කීමේ හොඳම මාධ්‍ය සිනමාව වග ඝටක් අවබෝධ කරගෙන සිටියේය. සිනමාව ප්‍රේක්ෂක නෙතුමානයේ ඇදහැළෙන චලන රූපය සහ ශබ්දයේ සුන්දරත්වය මත යැපෙයි.සිනමාව නිර්මාණශීලී කලා මෙහෙවරකි. තාක්ෂණික (කාර්මික) නිපැයුමකි. අන් සියලු සාහිත්‍ය කලා (ඥාන) නිෂ්පාදන මෙන් ම සිනමාව එම යුගයේ පවතින නිෂ්පාදන ආර්ථිකය මත පදනම් වන මානව සංස්කෘතික ප්‍රකාශනයකි. එහෙයින් සිනමාවට ආර්ථික (මූල්‍යමය) හැසිරීම් රටාවෙන් මෙන් ම කලාත්මක රිද්මයෙන් බැහැර විය නො හැක. සිනමාව මූල්‍ය ආයෝජනය සහිත කලාව සහ කාර්මිකකරණය (තාක්ෂණය) අතර මනා සුසංයෝගයකි. ප්‍රේක්ෂක ආකර්ෂණය සහ නරඹන්නාගේ මනස උත්තේජනය කිරීමේ ජීවවිද්‍යාත්මක රසායන සංයුතිය සංකලනය කිරීමේ පරිකල්පන ශක්තිය මත 21 සියවසේ සිනමාවේ සාර්ථකත්වය රඳා පවතියි. සිනමාව කතාන්තර කීමේ කලාවේ (Art of story Telling) දිගුවකි. ඈත අතීතයේ ගල්ගුහාවක - ගිනිමැලයක් වටා රොද බැඳුන ආදි මානවයා දෛනික දිවියේ අත්දැකීම් සිය සනුහරේ සගයන්ට විචිත්‍ර ව ප්‍රාසාංගික ව ප්‍රකාශකිරීමට කතාන්තර කලාව (දැනුම) නිෂ්පාදනය කළේය. කථා කලාව මානව සමාජයේ කලින් කල ඇති වූ විවිධ වෙනස්කම් මත නෙක හැඩතල ගනිමින් වැඞී ගියේය.

සිනමා කර්මාන්තය මානව මනසට වින්දනය සහ රසාස්වාදය සම්පාදනය කරන ප්‍රධාන මාර්ගයකි. ලොව පුරා වාර්ෂික ව සිනමා කෘති දහස් ගණනක් නිෂ්පාදනය වන අතර, ඉන් ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයයි. හොලිවුඩය ලොව පැරණි සහ ජන මනස උත්තේජනය කරන විශාල සිනමා කර්මාන්තය යි. 2016 වසරේ එක්සත් ජනපදය සහ කැනඩාව එක් ව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 11.4 ක් ඉපැයුවේය. එහෙයින් සිනමාව ලොව ආර්ථික ලාභය උත්පාදනය කරන ප්‍රධාන මාර්ගයකි. 2105 වසර සසඳන විට ඩොලර් බිලියන 11. 1 ක් වූ ආදායම 2016 වසරේ 2% ක වර්ධනයක් පෙන්නුම් කරයි. Metro-Goldwyn-Mayer, Paramount Pictures, 20th Century Fox, සහ AMC නිරීක්ෂණ වාර්තා අනුව එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සමස්ත ජනගහණයෙන් 2/3 ක් 2016 වසරේ සිනමා කෘති නරඹා ඇත.

ශ්‍රී ලංකාවේ සිනමාව

ලොව ඉහළ ආදායම් ලබන දෙවන සිනමා කර්මාන්තය චීනයට හිමි වේ. 2016 වසරේ ආදායම් උත්පාදනය ඩොලර් බිලියන 6.6 කි. වාර්ෂික ව චීනයේ සිනමා කර්මාන්තයේ වර්ධනය 35% කි. 2016 - 2017 අතර සමයේ චීනය සිනමා නිර්මාණ 1.612 ක් නිර්මාණය කර ඇත. බ්‍රිතාන්‍යය වාර්ෂික ව සිනමා ආදායම ඩොලර් බිලියන 6.5 කි. බ්‍රිතාන්‍යයේ සිනමා කර්මාන්තය බදු සහනයක් ලබා දී සිනමා නිෂ්පාදකයා දිරිගන්වා ඇත. එහි ප්‍රධාන චිත්‍රාගාරය (Pinewood Studios) 2016 වසරේ ඩොලර් බිලියන 2.4 සිනමා නිෂ්පාදනය සඳහා ආයෝජනය කර ඇත.

2012 වසරේ ආසියාවේ ප්‍රධාන සිනමා නිෂ්පාදකයා වූ ජපානය 2016 වසරේ ඩොලර් බිලියන 2 ක ආදායමක් උපයා ඇත. චීන සිනමා කෘති තිරගත කිරීම් 40.000 සමඟ සසඳන විට ජපානයේ තිරගත කිරීම 3.472 කි. වාර්ෂික ව සිනමා කෘති 610 ක් පමණ නිපදවයි. ඉන්දියාව 2016 වසරේ ඩොලර් බිලියන 1.9 ක් උත්පාදනය කර ඇත. ඉන්දියාව හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් අත්තර්ජාතික වෙළෙඳ පොළ සඳහා සිනමා කර්මාන්තය පවත්වා ගෙන යන අතර, උපභාෂා 20 කින් චිත්‍රපට නිපදවයි. ලොව පුරා 2016 වසරේ සිනමා තිරගත කිරීම් 164.000 ක් සිදු ව ඇති අතර ගෝලීය ආදායම ඩොලර් බිලියන 38. 6 කි. 2015 වසර සමඟ සසඳන විට එය 8% ක වර්ධනයකි.

ජාතික චිත්‍රපට සංස්ථාව් වාර්තාවලට අනුව දේශීය සිනමා නිර්මාණ (සිංහල - දෙමළ) ප්‍රදර්ශනය කරන ශාලා 120 ක් ද විදේශීය කෘති ප්‍රදර්ශනය සඳහා ශාලා 60 ක් ද දිවයින පුරා විහි දී ඇත. වෙළෙඳ සංකීර්ණ ආශ්‍රිත ව පිහිටුවා ඇති කුඩා සිනමා ශාලා 16 ක් කොළඹ, ගම්පහ, නුවරඑළිය ප්‍රදේශවල දක්නට ලැබෙයි. ඒ අනුව සමස්ත සිනමා ශාලා ගණන 196 කි. ලංකාවේ 2016 වසරේ සිනමා නිර්මාණ 25 ක්, 2017 වසරේ 26 ක් සහ 2018 වසරේ 28 ක් නිෂ්පාදනය වී ෙප්‍ර්ක්ෂකයා හමුවේ ප්‍රදර්ශනය කර ඇත. සමස්තයක් ලෙස 2016 - 2017 - 2018 වසරවල සිනමා කෘති 79 ක් නිර්මාණය වී ඇත. එම කෘති දිවයින පුරා සිනමා ශාලා 196 ක ජාතික චිත්‍රපට සංස්ථාවේ රිත්මා සහ පෞද්ගලික ප්‍රදර්ශන මණ්ඩල පහක් යටත් යටතේ තිරගත විය. 2016 වසරේ දේශීය චිත්‍රපට නැරඹූ ෙප්‍ර්ක්ෂක සංඛ්‍යාව මිලියන 422.690 කි. 2017 වසරේ දේශීය චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 3.326.290 කි. 2019 අෙප්‍ර්ල් මස සිදු වූ අන්තවාදී ප්‍රහාරයත් සමඟ ලාංකික සිනමා කර්මාන්තයේ ප්‍රපාතාකාර ඇදවැටීමක් දක්නට ලැබෙයි. එය නැවත පෙර තිබූ තත්ත්වයට පත්වීමට තවත් බොහෝ කලක් ගතවනු ඇත. 1983 කළු ජූලිය හෙවත් වර්ගවාදී ගැටුම නිසා 446 ක් වූ සිනමා ශාලා විනාශ වීම හෝ වසා දැමීම නිසා ප්‍රමාණය 196 ක් දක්වා පහත වැටිණ.

රූපවාහිනියේ ආගමනය

ගෝලීය සිනමා කර්මාන්තය 8% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ලංකාවේ සිනමා කර්මාන්තයේ අවවර්ධනයක් පෙන්නුම් කරයි. මෙම පසුබෑමට අැතමෙක් ටෙලිවිෂනයේ ආගමනය හේතු වූයේ යැයි දොස් නගති. සැබවින්ම ගෝලීය පරිමාණයෙන් ටෙලිවිෂනය කිසිවිටක සිනමාවට අභියෝගයක් නොවේ. යමකු ටෙලිවිෂනය සිනමාවට තර්ජනයක් යැයි විශ්වාසකරන්නේ නම් එය හිතළුවකි. අනවශ්‍ය බියකි. සෑම තාක්ෂණික මාධ්‍යයකට ම නිෂ්පාදන ආර්ථිකය නව මංපෙත් විවර කරයි. 20 වන සියවස ආරම්භයේ රේඩියෝ සන්නිවේදන ප්‍රවේශයත් සමඟ එතෙක් ඉහළ පංතියේ විරාජමාන ව වැජඹුණ මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්) සිය වපසරියට නව තරගකාරයකු ආගමනය වීමෙන් කම්පනයට පත් විය. උක්ත ගැටලුව කේන්ද්‍ර කොට ගත් විවිධ වාද විවාද එකල උතුරු අමෙරිකාව සහ යුරෝපය පුරා පැතිර ගියේය. පුවත්පත්කලාවේදය (journalism) සිය සීමා අවස්ථා හඳුනා එම සීමාමාලක උත්කර්ෂයට නඟමින් නව මංපෙත් විවර කර මූද්‍රිත මාධ්‍යයේ විශ්වාසනීයත්වය ජන මනසේ රඳවා ගත්තේය. එය අභියෝග අතික්‍රමණය කර වෙනසින් පසු වැඩීයාමයි. ඒ සඳහා තාක්ෂණය මෙන් ම පරිකල්පනය, කාලය සහ අවකාශය මත පෙළහර පායි.

20 සියවසේ රූපය සහ හඬ දුරස්ථ ප්‍රදේශ කරා විකාශනය කිරීමට පර්යේෂණ කිරීම විද්යුත් රේඩියෝ තාක්ෂණයෙන් පසු සිදු වූ නව සොයායාමයි. මේ සියලු සොයාගැනීම් සමඟ ආර්ථික විද්‍යාඥයෝ ව්‍යාපාරිකයෝ සහ මාධ්‍ය විචාරකයෝ පෙර මෙන් ම නව මෙවලම මුද්‍රීත මාධ්‍යය (පුවත් පත්) සහ රේඩියෝ මධ්‍යයේ විශේෂයෙන් ම වෙළෙඳ ප්‍රචාරණයේ අවසාන යැයි මැසිවිලි නැගූහ. ටෙලිවිෂනය පැමිණීමට පෙර නිහඬ සිනමා, බැලේ සහ ඔපෙරා මෙන් ම නාට්‍ය ශාලා පොදු රසවින්දය උත්තේජනය කරන මාධ්‍ය ලෙස වර්ධනය වී තිබූ වග ඔවූහු බොහෝ දෙනකුට අමතක වූහ. සෑම නව සොයා යාමක් ම පැරණි දැනුම සහ සංයුතීන් අභිභවනය කරන අතර අතීතයට නව්‍යතාව මත සංස්කරණයවීමට අවස්ථා උදා කරයි. වෙනස, වර්ධනය සහ ගලායාම (Change + Growth + Flow) ලෝක ධර්මතාවකි. විශ්වයේ සහ මානව සමාජයේ පරිනාමය එකී ත්‍රිවිධ ස්වභාවය මත සර්පිලාකාර ව ගමන් කරයි. ටෙලිවිෂනයේ ආගමනයත් සමඟ පුවත්පත සහ රේඩියෝව අත්හදාබැලීම් මත නව ප්‍රවේශ මාර්ග විවර කර කරගත්තේය. තමා විසින් තමා ව අභිභනවය කිරීමෙන් තාක්ෂණික සහ පරිකල්පන පිම්ම (imagination leap) ඉදිරියට ගෙනයමින් සමාජ පිම්මක් (social leap) ද නිර්මාණය කළේය. එය මානවයා සතු සුවිශේෂී විභවතාවකි. සිනමාව ටෙලිවිෂනය සහ කොම්පියුටරයේ ප්‍රවේශයත් සමඟ තාක්ෂණයේ විභවතා මත වෙනස් වෙමින් නව මංපෙත් සොයා ගමන් කළේය.

සිනමාවේ අනාගතය

‘’කතාන්තර කීමේ කලාව නව කථන අවකාශයකට ප්‍රවේශ ව ඇතැයි’’ ලෝක මාධ්‍ය පර්යේෂණාගාරයේ (World Media Lab) අධ්‍යක්ෂ අලෙක්ෂ් මැක්ඩොවෙල් (Alex McDowell) පවසයි. සැබවින්ම කතා කලාව විවිධ නාලිකා සහ සමාජ සංජාල මගින් එකවර මිලියන සංඛ්‍යාත ප්‍රෙක්ෂක සමූහයක් වෙත ප්‍රවේශ වීම මෙම යුගයේ නව ජයග්‍රහණයකි. නව ඩිජිටල් එළඹුමත් සමඟ බොහෝ දෙනෙක් කම්පනයට පත් ව සිටිති. මක්නිසාද යත් දැනුම මත පදනම් ආර්ථිකය සහ තාක්ෂණයේ අනාගත ප්‍රවේශය (කෘත්‍රිම බුද්ධිමත්භාවය, Artificial Intelligence) කුමන අවකාශයක් මත වැඩී යා දැයි කිසිවෙකුට පුරෝකථන ඉදිරිපත් කිරීමේ හැකියාව නොමැත. 21 සියවස ආරම්භයත් සමඟ නව තාක්ෂණික එළඹුම සිනමා කර්මාන්තයේ පදනම මෙන්ම උපරිව්‍යුහයේ විශාල වෙනස්කමක් ඉස්මතු කළේය. එම වෙනස මත සිනමා නරඹන්නාගේ පොදු ප්‍රවේශය ප්‍රසාරණය විය. හුදකලා වූ සිනමා ශාලාව ජන සමූහ ඒකරාශි වන පොදු කක්ෂ සොයමින් වාණිජ කර්මාන්තයක් ලෙස බෞතීස්ම කළේය. 2016 - 2020 කාලයේ ප්‍රවේශපත් අලවියෙන් සිනමා කර්මාන්තයේ ආදායම ඩොලර් බිලියන 38.6 දක්වා වර්ධනයක් චීනය අපේක්ෂා කරයි. ඒ සඳහා පාරිභොගිකයාගේ හැසිරීම් රටා මෙන්ම රසභාවයන් වෙනස් කිරීමට සිනමා කර්මාන්තය සූදානම් ද? ඉකුත් දසකයේ අන්තර්ජාලයේ තාක්ෂණික පිම්ම නිසා සමාජයේ සෞන්දර්යාත්මක අද්දැකීම් තාක්ෂණය සමඟ බද්ධව නව මංපෙත් විවර කළේය. නව බෙදාහැරීම් ක්‍රමවේද, සිනමා වර්ගීකරණ, විවිධ තිරගත කිරීම්, විශේෂයෙන් වීඩියෝ සමඟ තරගකාරිත්වය එතෙක් පැවැති ඉංගම් සීමා පුපුරවාහැරියේය. සිනමා ශාලාව නව තාක්ෂණික මෙවලම් මගින් රසිකයා කැඳවාගැනීමට හැඩතල වෙනස් කළේය. දරුවා තරුණ වියේ දී සිනමා ශාලාව හෝ රඟහල වෙත ආකර්ෂණය නොවේ නම් වැඩිවියේ දී ඔහුගේ හෝ ඇයගේ ඇල්ම සිනමා ශාලාව වෙත ඇ දී නො යයි. එහෙයින් සිනමා කර්මාන්තයට දිගු කාලීන දැක්මක් සහ සැලසුමක් තිබිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>