අද අප රටේ ඇතැම් නාගරික ප්‍රදේශයන් හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් මාර්ග පද්ධතියක් නොමැත. මෙවැනි ප්‍රදේශවල යෑමට ඊමට (වම දකුණ ලෙස) මං තීරු දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇතත්, එවායේ පරිමාණය අනුව මංතීරු එකකටවත් යෝග්‍ය වන අයුරින් වාහන ධාවනයේ යෙදවීමට තරම් ඉඩකඩක් නොමැත. විශේෂයෙන් කඳුරට මාර්ගයන්හි තදබද වංගු සහිත ස්ථානයන්හි පවතින මංතීරු දෙක ඇතුළත බරවාහන දෙකක් හුවමාරුවට ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එයට හේතුව කඩඉරි සටහන රිය සක අනුව ප්‍රමාණවත් පළලින් නොමැති වීමය. මෙය කෙසේ වෙතත් පොලිස් රථවාහන අංශ නිලධාරීන්ට නම්, යම් රියැදුරෙක් එකී කඩඉරි කිසියම් අංශු මාත්‍රයකින් හෝ තැවරී ගමන් කළ විට එය මාර්ග නීති කඩකළ ක්‍රියාවක් වන්නේය. තද බෑවුම් හා කඳු සහිත ස්ථානයන්හි වංගු ගැනීමේදී කඩඉරි කැපීම නිසා ඇතැම් රියැදුරන්ට දඩ මුදල් ගෙවීමට සිදු වී ඇත්තේ, පවතින ප්‍රායෝගික තත්ත්වයේ තිබෙන අඩුපාඩු නිසාමය. කිසිවෙකු හෝ ඒ පිළිබඳව තර්ක විතර්කකොට තම නිදොස්භාවය සනාථ කිරීමට අධිකරණයේ පිහිට පැතීමට මැළිවනුයේ, මේ නිසාවෙන් අමතර නීතිඥ ගාස්තු මුදලක් වැය කිරීමට සිදුවීමත්, තම වටිනා කාලය අපතේ යෑම තුළින් පැන නැඟෙන අපහසුතාවයන් පිළිබඳව සැලකිල්ලට ගනිමිනි. කෙසේ වෙතත් රියැදුරු ප්‍රජාව කියා සිටින්නේ පොලිස් රථවාහන අංශ නිලධාරීන් ඔවුන්ගේ එදිනෙදා දඩ මුදල් ආදායම් ඉලක්කය අනිවාර්යයෙන්ම තම අංශ ප්‍රධානීන්ට ඉදිරිපත් කළ යුතු නිසා මෙලෙස වැරදි නිර්මාණයකොට මානුෂීය හැඟීමකින් තොරව දඩ මුදල් අය කරන බවය.
සමස්තයක් වශයෙන් ගත්කල අප රටේ සංවර්ධිත මාර්ග පද්ධතියක් කොහෙත්ම නැත. තවද පවතින අඩුපාඩු මධ්‍යයේ පමණ ඉක්මවූ වාහන සංඛ්‍යාවක් එදිනෙදා මාර්ගවල ධාවනය වීමත් නිසා, පොලිස් රථවාහන අංශය, මාර්ග නීති කඩකිරීම තුළින් දඩ මුදල් අයකිරීම පිළිබඳ මීට වඩා නම්‍යශීලී වූ ද, සාධාරණ වූ ද, ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම මැනවැයි සමස්ත රියැදුරු ප්‍රජාව පොලිස්පතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.
පීටර් විජේසූරිය
හිඳගොඩ, බදුල්ල