කෑගල්ල මහ රෝහල අද පිහිටා ඇති ස්ථානයේ එය ඉදිකිරීමට මුල්ගල තැබෙන්නේ 1959 වර්ෂයේ මාර්තු මස පළමුවැනිදාය. ඒ දිවංගත අගමැති එස්.ඩබ්ලිවි.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ අතිනි.එවකට තිබූ රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉදිකළ රෝහල බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු "බණ්ඩාරනායක අනුස්මරණ මූලස්ථාන ආරෝග්‍ය ශාලාව"ලෙසින් බණ්ඩාරනායක මැතිනිය අතින් විවෘත වී තිබේ.ඒ 1965 වසරේ මාර්තු මස 18 වැනි දින දීය.ඉංග්‍රීසී ගොඩනැඟිලි ක්‍රමයට 1860 ගණන්වල සියඹලාපිටිය පාරේ සිවිල් ආරෝග්‍ය ශාලාව ඉදිව තිබිණි.මේ වන විට එම ස්ථානයේ කෑගල්ල අධිකරණ සංකීර්ණය පවත්වාගෙන යයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මෙම රෝහල ඉදිකිරීමේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවන්නේ දිවංගත ඇමැති පී.බී.ජී.කලුගල්ල මහතාටය.දකුණු ආසියාවේ විශාලතම රෝහල ලෙස මෙය ඉදිකිරීම කලුගල්ල මහතාගේ සැලසුම විය.ඒ සඳහා හිරිවඩුන්න ප්‍රදේශයේදී මාඔය හරස්කර විශාල ජලාශයක් ඉදිකර රෝහල වෙනුවෙන් ජලසම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කළේය.පසුකාලීනව කෑගල්ල නගරයට හා රඹුක්කන නගරයට ජලය සැපයීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය භාවිත කරන ලද්දේ එම ජල පවිත්‍රාගාරයය.රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ඉදිකළ පල්දෝරු පද්ධතියද සුවිශාල වූවකි.රෝහල ඉදිකැර වසර පනහකට වඩා ගතව ඇතත් අදටත් එම පල්දෝරු පද්ධතිය හා ජල සැපයුම රෝහලේ එම සැලැස්මේ ප්‍රබලත්වයට හොඳම සාක්ෂියකි.
රෝහල ඉදිකර ගතවූ වසර පනහක කාලය තුළ අතරමැදි කාලයේදී මෙම රෝහල දියුණුවක් ළඟාකරගත් බවක් දක්නට නැත.දැයට කිරුළ වැඩසටහන යටතේ පමණක් පසුගිය සමයේදී ශල්‍යාගාර ඒකකයක් රෝහලට හිමි විය.සර්වාංග රෝගින් සඳහා වූ රෝහලේ වෛද්‍ය වාට්ටු (Medical Wards)අදටත් පවතින්නේ ආරම්භයේ තිබූ පරිදිම දෙකක් පමණි.ඇඳන් 48 කින් සමන්විත මෙම වාට්ටුවල බොහෝ විට එක් ඇඳක රෝගීන් දෙදෙනකු හෝ තිදෙනකු සිටිති.ප්‍රතිකාර අපේක්ෂාවෙන් පැමිණෙන රෝගියකුට ඇඳක්වත් ලබාදීමට නොහැකිවීමෙන් රෝගීන් මෙන්ම රෝහල් බලධාරීහුද අසරණ වෙති.
කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන් දිනකට රෝගීන් එක්දහස් හාරසියයක් පමණ ප්‍රතිකාර ලබාගන්නා බව පැවසේ.නේවාසික රෝගීන් සඳහා ඇත්තේ ඇඳන් හත්සිය අසූ හතරකි.රෝහල් වාට්ටු සඳහා යාමට ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇති විදුලි සෝපාන තුනකි.ඒවා මේ වන විට දැඩි අබලන් තත්වයේ පවතී.දිනපතා කීපවරක්ම අක්‍රිය වේ.රෝහල ආරම්භක සමයේ සවිකල මෙම විදුලි සෝපානවල ගමනද මන්දගාමීය.
රෝහලේ වෛද්‍ය සායන සඳහා ද දිනකට රෝගීන් එක්දහස් පන්සියයක් පමණ පැමිණෙති.පොදු සායනය ඉතාමත් කුඩා ඉඩ ප්‍රමාණයක පවත්වාගෙන යන බැවින් රෝගීන් මහත් අපහසුතාවයකට පත්වෙති.අනෙකුත් සායනවලට මෙන්ම රෝහලේ අක්ෂි සායනයටද විශාල පිරිසක් නිතිපතා පැමිණෙති.කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඇති එකම රෝහල මෙය බැවිනි.එහෙත් රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකයේ අක්ෂි කාච බද්ධ කිරීම මාස කීපයක සිට ඇණ හිට ඇති බවට රෝගීහු චෝදනා කරති.
කෑගල්ල රෝහලේ පළපුරුදු අක්ෂි ශල්‍ය වෛද්‍යවරියක සේවයේ යොදවා සිටී.සැත්කම් සඳහා අවශ්‍ය සියලුම පහසුකම්ද රෝහල සතුව පවතී.රජය මඟින් අවශ්‍ය අක්ෂි කාච ලබාදී ඇත.සතියේ දින හතරකදී අක්ෂි සායන පැවැත්වෙයි.එසේ තිබියදීත් අක්ෂි කාච බද්ධ කිරීම නවතා දමා ඇත්තේ ඇයි? ද කියා සොයා බැලීමට අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා කෑගල්ල මහ රෝහලට ගියෙමු.
කෑගල්ල රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයට පැමිණෙන අක්ෂි රෝගින්ට පහසුවෙන් ප්‍රතිකාර ලබාදිය හැකිනම් එම ප්‍රතිකාර එතැනින්ම ලබාදී රෝගීන් පිටත්කර හරිති.නේවාසික ප්‍රතිකාර අවශ්‍යවේනම් පමණක් ඔවුහු 10 වාට්ටුවට යොමු කෙරෙති.ඒ අනුව අප මුලින්ම 10 වාට්ටුවට පිවිසුනෙමු.එහිදී වාට්ටුව භාර හෙද සොයුරිය හා හෙද නිලධාරිනියක අප හා කතාබහට එක්වූවාය.
"ඔපරේෂන් එකට දින දීලා එන ලෙඩ්ඩු තමයි අපි භාරගන්නේ.රෝහලෙන් කල් ඇතිව දැන්වූවාම නියමිත දිනයේදී ලෙඩා රෝහල් ගතවෙනවා.අපි අවශ්‍ය පරීක්ෂණ පවත්වලා ලෙඩාව ශල්‍යකර්මයට යොමු කරනවා"වාට්ටුව තුළ සිදුකෙරෙන සාමාන්‍ය ක්‍රමය ඔවුන් අප හමුවේ පවසති.අක්ෂි කාච බද්ධ කිරීම සම්බන්ධයෙන්ද අපි විමසුවෙමු.
"මෙම වාට්ටුවේ අක්ෂි කාච බද්ධ කරන්න ආ අය වගේම ඇස් ලෙඩ සඳහා ප්‍රතිකාර ගන්න ආ අයත් සිටියා.අන්තිම වතාවට අක්ෂි කාච බද්ධ කළේ ගිය අවුරුද්දේ ජූලි මාසයේදී.ඔපරේෂන් කරපු තුන් දෙනකුට ඇස් ලෙඩ හැදුණු නිසා කාච බද්ධ කිරීම නැවතුණා.මීට පෙරත් එහෙම නවත්වපු කාල තිබුණා.අක්ෂි කාච බද්ධ කිරීම නැවැත්වීමට ඒකත් එක හේතුවක්.තවත් හේතු ඇති මැඩම්ගෙන් තමයි ඒ ගැන අහන්න ඕනෑ.කාච බද්ධ කරන එක තමයි කළේ නැත්තේ.ඇහැට මොනවා හරි වැටුණොත් ඒවා ඉවත්කිරීම වැනි පොඩි පොඩි ඒවා දිගටම කරනවා."
මුලින් තොරතුරු හෙළි කිරීමට තරමක් අදි මදිකළද ක්‍රමයෙන් ඔවුන්ගෙන් විස්තර සපයා ගැනීමට අපි සමත්වූවෙමු.ඒ අනුව 2017 වර්ෂයේ ජනවාරි මාසයේදී අක්ෂි කාච බද්ධ කිරීම් 17 ක් සිදුව තිබේ.නමුත් පෙබරවාරි මාසයේ සිට මැයි අවසානය දක්වා මාස හතරක්ම අක්ෂි කාච බද්ධ කිරීම් සිදුව නැත.මැයි මාසයේ අවසන් සතියේ කාච බද්ධ කිරීම් 05ක්ද,ජූනි මාසයේ කාච බද්ධ කිරීම් 07ක්ද,ජූලි මාසයේ 08 ක් ද සිදුව ඇත.ජූලි 18 වැනිදායින් පසුව අක්ෂි කාච බද්ධ කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇත.මේ අනුව 2017 වර්ෂය පුරාම අක්ෂි කාච බද්ධ කිරීම් සිදුව ඇත්තේ 37 කි.
ඇස් ලෙඩ බෝවීම හේතුවෙන් අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම නවතා දැමූ බව මොවුන් පවසන බැවින් අප රෝහලේ නේවාසිකව සිටි ඇස් ලෙඩ රෝගීන් පිළිබඳව තොරතුරුද ඔවුන් ගෙන් ලබා ගත්තෙමු. ඒ අනුව 2017 වර්ෂයේ මාර්තු මාසයේ 05ක්ද,අප්‍රේල් මාසයේ දෙදෙනකුද,මැයි මාසයේ 07ක්ද,ජූනි මාසයේ එක් අයකුද වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවට තොරතුරු එහි තිබේ.
ඇස් ලෙඩ රෝගීන් නොසිටි මාසවලත් සැත්කම් සිදුවී නොමැති බව මෙම තොරතුරුවලින් පැහැදිලිවන බව අප පෙන්වා දුන්නද ඔවුන් එය පිළිගත් බවක් නොපෙනිණි.ඔවුන් හැමවිටම පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ඇස් ලෙඩ හේතුවෙන් අක්ෂි කාච බද්ධ කිරීම ඇණ හිටි බවකි.
"ශල්‍යකර්මයක් කළාට පසුව ඇස් ලෙඩ හැදුනොත් සාමාන්‍ය කෙනෙකුට වඩා තත්වය බරපතළයි.අපිත් දැන දැනම අපරාධයක් කළා වෙනවා.වාට්ටුවේ ඇඳන් 42 ක් තිබෙනවා.මේවායේ රෝගීන් හැමවෙලාවකම නැහැ.රඹුක්කන,අරනායක වැනි කුඩා රෝහල්වලින් රෝගීන් අපට එවනවා.ඇස් ලෙඩ රෝගීන් වෙන්කැර තැබීමට වාට්ටුව ඉඩකඩ ප්‍රමාණවත් නැහැ.දැනට පිරිමි හා ගැහැනු ලෙස වෙන්කර තිබෙනවා.මෙම ඇස් වාට්ටුව විශේෂ ඒකකයක්.කෑගල්ල දිස්ත්‍රික්කයටම ඇත්තේ මේ ඒකකය පමණයි."
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය වයි.එම්.සෝමලතා හේරත් මහත්මියගෙන් විමසුවෙමු.ඇය පවසන්නේ මෙබන්දකි.
"ඔපරේෂන් කරපු ලෙඩ්ඩු තුන් දෙනකුටම ඇස් ලෙඩ බෝවුණා.ඒ නිසයි කාච බද්ධ කරන එක නැවැත්වූවේ.මම හිටියාට වාතාවරණය හොඳ නැතිනම් මම මොනවා කරන්නද? මේ මගේ කෑගල්ලේ හතරවැනි අවුරුද්ද.අපි ඔපරේෂන් නොකර හිටියේ හේතු කීපයක් නිසා.තියටර් එකේ ඒසී වැඩ නොකළ නිසා ඔපරේෂන් නතරවුණු කාලයක් තිබුණා.වෙන තියටර් එකක් පාවිච්චි කරන්න බැහැ.ඒ ප්‍රශ්නය විසඳෙන කොටම කාච ඉවර වුණා.වැල වගේ දිගටම ගියා.ඒක ඇත්ත.මම කරන්නැති එක නොවේ.තියෙන්නේ වෙනත් ප්‍රශ්න.
ගිය අවුරුද්දේ ඇස් ලෙඩ නිසා සැත්කම් නොකළ කෙටි කාලයක් තිබුණා.ඔපරේෂන් ලෙඩ්ඩුන්ට ඇස් ලෙඩ බෝවීමේ අවදානම ගොඩාක් වැඩියි.රෝහලේ පහසුකම් අඩු එකත් ලොකු ප්‍රශ්නයක්.කොළඹ,මහනුවර වගේනම් මේ ලෙඩ්ඩු නවතා තිබෙන්නේ තට්ටු දෙකක.රජයෙන් ලෙන්ස් එක විතරක් ලබාදුන්නාට මදි.තව අවශ්‍ය දේ ගොඩාක් තිබෙනවා.
මේ වෙන කොට පොරොත්තු ලේඛනයේ 192 ක් සිටිනවා.අද ලෙඩෙක් ආවොත් එයාට ඔපරේෂන් එකට දෙන දවසක් ගැන හරියටම කියන්න බැහැ.මේ 192 ඉවරවෙනකල් ඉන්න ඕනෑ.ලෙඩාට හරියන ලෙන්ස් තියෙනවාද?බැකප් ලෙන්ස් තියෙනවාද?මේවා බලලා හරි විදියට කරන්න ඕනෑ.ඒ නිසා අපිට ලෙඩාව ඔපරේෂන් කරන්න වෙන දිනයක් ගැන හරියටම කියන්න බැහැ.අලුත් නීතියේ හැටියට ලෙඩාට පිටින් ලෙන්ස් ගේන්නත් බැහැ.රජයෙන් ලෙන්ස් හරිම මන්දගාමී විදියටයි අපිට ලැබෙන්නේ.ලෙන්ස් විතරක් ලැබුණාට මදි.
මෙහෙම කියන කොට සමහරු හිතයි මම ප්‍රයිවෙට් කරනවා කියලා.මම කෑගල්ලේ ප්‍රයිවෙට් කරන්නේ නැහැ.මෙහේ හරි තියටර් එකක් නැහැ.ඇරත් මට වෙලාවකුත් නැහැ."
රජයෙන් ලබාදෙන අක්ෂි කාච ප්‍රමාදයක් පිළිබදව ඇය පැවසූ බැවින් අප රෝහල් ශල්‍යාගාර අංශයෙන් ඒ පිළිබඳව විමසා බැලීමටද අමතක නොකළෙමු.ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ලැබුණු අක්ෂි කාච විස්සකට ආසන්න ප්‍රමාණයක් සමඟ රෝහල සතුව කාච තිහක් පමණ පවතින බව දැනගත හැකි විය.
මෙම තත්වයන් පිළිබඳව විමසීමට අප කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා හමුවුනෙමු.මේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ අදහස්ය.
"මම මේ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත්ව දැනට මාස තුනක් පමණ වෙනවා.පසුගිය කාලය තුළ රෝහලේ සමහර කටයුතු අසංවිධානාත්මකව තිබුණා.ඒවා ක්‍රමයෙන් යථාවත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටිනවා.
කෑගල්ල රෝහලේ සිවු මහල් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට අපි පසුගියදා මුල්ගල් තබා වැඩ ආරම්භ කළා.ඒ වෙනුවෙන් රජය රුපියල් දස ලක්ෂ 320ක් වෙන්කර තිබෙනවා.එහි ඉදිකිරීම් මාස දහහතරකින් පමණ අවසන් කිරීමට නියමිතයි.
සර්වාංග රෝගීන් සඳහා තවත් වාට්ටු සංකීර්ණයක් ලබාදීමටත්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා (සැපයුම්) එකඟතාව පල කළා.සායන ගොඩනැඟිල්ලක් අලුතින් ඉදිකිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව පැවසුවා.අපට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේද අඩුවක් නැහැ.
රෝහලේ යටිතල පහසුකම් නැංවීමට අමතරව රෝගී සත්කාරක සේවා ඉහළ නැංවීමටද විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.
අක්ෂි කාච බද්ධ කිරීමේ යම් ගැටළුකාරී තත්වයක් පැවති බව පෙනී යනවා.මේ වන විට අක්ෂි රෝගීන් සඳහා වූ වාට්ටුව හා ශල්‍යාගාරය ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා.අක්ෂි රෝගීන්ට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කාච ප්‍රමාණයක් අදත් ලැබුණා.මෙම සතිය තුළ අක්ෂි රෝග වාට්ටුව අලුතින් තින්ත ආලේප කර විෂබීජහරණය සිදු කෙරෙනවා.
ලබන මාර්තු මස පළමුවැනිදා සිට පොරොත්තු ලේඛනයේ සිටින රෝගින් සඳහා අක්ෂි තාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම යළි ආරම්භ කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල යොදන බව වගකීමෙන් කියන්න කැමතියි."
රඹුක්කන විශේෂ
ඔස්වල්ඩ් ගොඩකුඹුර