Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බන්ධනාගාරය ගොනාට අන්දවයි

$
0
0
පෙබ 23, 2018 01:00

34 වැනි කොටස

තමුසෙලා වගේ පාහරයෝ හිතන් ඉන්නේ හරිම වීරයෝ කියලා. පහුගිය මාසෙත් ඔහේලාගේ කට්ටිය එකතුවෙලා අපේ නිලධාරීන් දෙන්නෙක් ගෙදර යැව්වා. ඔහේලා දුටු තැන අඳුන ගන්න දැන් අපි ඉගෙන ගෙනයි ඉන්නේ.

බ්‍රෙන්ක්ස් නුවර පෙම්වතිය ළඟ ඇබග්නේල් වටිනා කියන දේවල් රැසක් මතු ප්‍රයෝජනය උදෙසා ආරක්ෂාවට තබා ගොස් තිබිණි. මුදල්, ඇඳුම් පමණක් නොව මොන්‍ට්‍රියල් නුවර බැංකුවකින් කුළියටගත් ආරක්ෂක සේප්පුවක යතුරක්ද එම ඇඳුම් අතර සඟවා තිබිණි. හදිසියේම සිය දොර එළිපත්ත මත දර්ශණය වු ඇබග්නේල්ගේ රුවින් ඇය විස්මයෙන් මුසපත් වූවාය.

“මගේ දෙවියනේ! ෆ්‍රෑන්ක් ඔයා? මම හිතුවේ ඔයා යන්නම ගියා කියලයි. තව ටික දවසක් ගියා නම් මම ඔයාගේ සල්ලි ටිකත් වියදම් කරලා ඇඳුම් ටිකත් ගලවා ගැනීමේ හමුදාවට දෙන්නයි හිතාගෙන හිටියේ. "නමුත් ඇබග්නේල්ට ඇය සමඟ පෙම් කෙළිමින් මිඩංගු කිරීමට කාලයක් තිබුණේ නැත. තමාගේ පෙම්වතියන් කීදෙනෙකු දැනටමත් එෆ්.බී. අයි. ආයතනයේ ඉත්තන් බවට පත්ව ඇතිද කියා ඔහු සැක කළේය. ඩොලර් පනහක් හා සේප්පු යතුර පමණක් තමා සන්තකයට ගත් ඇබග්නේල් සෙසු සියලු දෑ යළිත් ඇයටම පිරිනමා කෙළින්ම මොන්ට්‍රියල් බලා පියෑඹූවේය. එහි ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබු ඇ.ඩොලර් විසිදහසක මුදල රැගත් ඇබග්නෙල්ගේ සැලසුම වූයේ බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවරට ගොස් සැඟවී ජීවත් වීමයි. බන්ධනාගාරවලදී ඉගෙන ගැනීමට ලැබෙන දෑ එමටය. බ්‍රසීලය හා ඇමරිකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් ඇතිවී නැති බවත්, ඒ නිසා බ්‍රසීලයේදී අත්අඩංගුවට පත්වුණත් ඔවුන් තමා ඇමරිකානු බලධාරීන්ට භාරදීම ප්‍රතික්ෂේප කරනු ඇති බවත් ඇබග්නේල්ට දැන ගැනීමට ලැබුණේ එහිදීය.

තමා බ්‍රසීලයේදී කිසිදු වරදක් කර නැති බැවින් ඇබග්නේල්ට දැනුණේ තමා එහිදී ආරක්ෂිත බවයි.

නමුත්, ඔහුට බ්‍රසීලය බලායාමට නියමිත ගුවන් යානයට ගොඩවීමට ලැබුණේ නැත.ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට මොන්ට්‍රියල් ගුවන් තොටුපලේ පෝළිමේ සිටිද්දී හැරී බැලුවේ උරහිසට කළ තට්ටුකිරීමක් නිසාය. ඔහු පිටුපසින් සිටියේ එවැනි අවස්ථාවකදී දකින්නට කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පුද්ගලයෙකි. දුවන්නට සිතුණත්, සිය දෙපා අප්‍රාණික වනු ඇබග්නේල්ට දැනිණි.

“ෆ්‍රෑන්ක් ඇබග්නේල්, මම රාජකීය කැනේඩියානු පොලීසියේ පොලිස් කොස්තාපල්, ජේම්ස් හේස්ටිංස්. දැන් අපි ඔබව අත්අඩංගුවට ගන්නවා. “උසැති පාංශුදේහධාරියා පැවැසුවේ සුහදශීලී සිනහවක් පාමිනි.

ඇමරිකානු - කැනඩා දේශ සීමාවේදී ඇබග්නේල් ඇමරිකානු දේශසීමා හමුදාව අතටත්, එෆ්.බී. අයි. නිලධාරීන් අතටත් භාරදෙනු ලැබිණි. ඇමරිකානු මහ කොමසාරිස්වරයා විසින් ඇ.ඩොලර් දෙලක්ෂ පනස්දහසක ඇපයකට යටත්ව ඇබග්නේල්ට නඩු පවරා ඇත.ඔහුව ජෝර්ජියා ප්‍රාන්තයේ ෆුල්ටන් වසම් බන්ධනාගාරය වෙත යැවුණේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් ඔහු අධිකරණය හමුවට පමූණුවන තෙක්ය. ෆුල්ටන් බන්ධනාගාර ජිවිතය ඇබග්නේල්ට පහසු නොවුණේ ස්වීඩනයේ සුඛෝපභෝගී සිරමැදිරිවල පහසෙන් ඔහු ඔද්දල් වී සිටි නිසාය. මේ නිසාවෙන් ඇබග්නේල්ට ෆුල්ටන් බන්ධනාගාරය දිස් වුණේ පෙපිග්නන් නරාවලට වැඩි වෙනසක් ඇතිව නොවේ. මෙම ජුගුප්සාජනක අපායෙන් මිදිය හැඟි මඟක් ගැන ඉඟියක් ඇබග්නේල්ට ලැබුණේද බන්ධානාගාර රැඳවියන්ගේ දිවා කාමරයේදි හමුවු තවත් සිරකරුවෙකු වෙතිනි.

“ඒක හරිම නරක ආරංචියක් මිත්‍රයා. ඒත්, මේ අපායේ පිළිවෙලකට තියෙන එකම තැන තමයි බන්ධානාගාර ඉස්පිරිතාලය. ඒකට යන්න නම් ඔයා මැරෙන්න පණ ඇද ඇද ඉන්න ඕනේ."

ඇබග්නේල් ඒ මොහෝතේම ක්‍රියාකාරි විය. බන්ධාගාර දිවා කාමරයේ වූ මුදල් ගෙවන දුරකතනයට කාසි කිහිපයක් එබු ඔහු බන්ධනාගාර කාර්යාලයේ සාජන්වරයා ඇමතුවේ තවත් ව්‍යාජ රංගනයක නිරත වෙමිනි. ඇබග්නේල් එවැනි ව්‍යාජ මවාපෑම් සම්බන්ධයෙන් හාවර්ඩ් උපාධිධාරියෙකුටත් වඩා දක්ෂයෙකි.

“හෙලෝ, මේ ඩොක්ටර් ජෝන් පෙට්ස්කි. ඔයාලගේ බන්ධනාගාරයේ රඳවලා ඉන්නවා ෆ්‍රෑන්ක් ඇබග්නේල් කියලා මගේ රෝගියෙක්. එයා දරුණු දියවැඩියා රෝගියෙක්. නිතරම ලේවල සීනි අඩුවෙලා සිහිසුන් වෙන කෙනෙක්. ඒක බොහොම අවධානම් තත්ත්වයක් කියලා මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. එයාව ඔයාලගේ රෝහලේ රඳවාගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. එතකොට මට පුළුවන් එයා මගේ අධීක්ෂණය යටතේ තියාගන්න."

ඇබග්නේල්ගේ ස්වරය නියෝගාත්මක විය. ඉන් පැය භාගයක් යන්නටත් මත්තෙන් ආරක්ෂකයෙකු පැමිණ ඇබග්නේල් බන්ධනාගාර රෝහල් වාට්ටුව වෙත රැගෙන ගියේ අනෙක් රැඳවියන් මවිතයෙන් හා ගෞරවයෙන් යුතුව බලා සිටියදීය. රෝහලේ ගත කළ සතියක කාලයෙන් පසු ඇබග්නේල්ව ඇට්ලන්ටා නුවර ෆෙඩරල් බන්ධනාගාරය වෙත මාරුකර යැවුණේ නඩු විභාගය ඇරඹෙන තුරුය. ඇමරිකානු බන්ධනාගාර ඉතිහාසයේ වාර්තාවන වඩාත්ම විසුළු සහගත ලෙස රැඳවියකු පළායාමේ සිද්ධියේ පුරෝගාමියා ලෙස ඉතිහාසගත වන්නට ඇබග්නේල් සමත්වන්නේ මෙහිදීය. එම මුළු සිද්ධියම වැරදී වැටහිම්, සිනහා උපදවන සිදුවිම්වලින් පිරුණක් ලෙස ඇබග්නේල්ගේ ත්‍රාසජනක වික්‍රමාන්විත ජීවන චාරිකාවේ ඉහළින්ම සටහන් වන්නකි. අදට මේ වික්‍රමය වරින්වර සිහිපත් කරන වාරයක් පාසා සිනහා උපදවන්නක් බව ඇබග්නේල් පවසයි.

ඇට්ලන්ටා සිරගෙදරින් පළායාම, බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය මත සිදුවූවකි. ඔහු සිරගත කෙරුණේ ඇමෙරිකානු බන්ධානාගාරයේ පැවැති පහත් තත්ත්වය යටතේය. එය සිවිල් අයිතීන් නියෝජනය කළ කණ්ඩායම්වල හෙළා දැකීමටත්, අධීකරණ නිලධාරින්ගේ අධීක්ෂණයට ලක්ව තිබු සමයක් විය. බන්ධනාගාර අධීක්ෂකයන් රැසක් ව්‍යාජ අනන්‍යතාවල සැඟවී ඇමරිකානු බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ සුක්ෂම ගවේෂණයක නියැලී සිටියේ බන්ධානාගාර පාලකයින් හා ආරක්ෂකයින් සමඟ එදිරිවාදිකමක් ඇති කරගනිමිනි. එදිරිවාදිකමට හේතු වූයේ ගවේෂණවල ප්‍රතිඵලයක් ලෙස බන්ධානාගාර නිලධාරීන් බොහෝමයකගේ රැකියා අහිමිවීමය. බන්ධනාගාර නිලධාරීන්ට ලබා තිබුණු මේ සෙනසුරු දසාව ඇබග්නේල්ට ගෙනාවේ වාසනාවකි. එබැවින් ඇබග්නේල් ඇමෙරිකානු ඇට්ලන්ටා බන්ධනාගාරය වෙත ගෙනාවේ පූර්ව අවශ්‍යතාද සපුරාලීමෙන් පසුය. ඔහු සිරගත කිරීමට මුල්වු හේතු දැක්වෙන ලේඛන කිසිවක් ඔහු රැගෙන ආ මාර්ෂල්වරයා අත නොවුවත්, හොස්ස ළඟින් මැස්සෙකුටවත් යන්නට නොහැකි තරම් කිපෙන සුළු චරිත ස්වභාවයක් ඔහු සතුවිය.

බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළත් කරගැනීමේ නිලධාරියා ඇබ්ග්නේල් භාරගත් පසු පැහැදිළි කරගත යුතු ගැටලු බොහෝමයක් තිබිණී. “මොහු කවුද ? ,මෙයාව ඇට්ලන්ටා ‍බන්ධානාගාරයට ගෙනාවේ ඇයි? ", “සිරගත කිරීමට හේතු දැක්වෙන නිත්‍යානූකුල ලේඛන මාර්ෂල්වරයා ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි? "නමුත් මේවාට පිළීතුරු දෙමින් කාලය නාස්ති කිරීමට තරම් ඉස්පාසුවක් හෝ ඉවසීමක් මාර්ෂල්වරයාට තිබුණේ නැත. අවසානයේදී ඔහුගේ කෝපය රතු ඉර පැන්නේය.

“එයා අධිකරණ නියෝගයක් යටතේයි ඉන්නේ. අපි එයාව ආපහු ගන්න එනකම් ඔහේලාගේ ඕනෑම මලඉලව් කූඩුවකට දාලා තියාගෙන කන්න දෙනවා. එච්චරයි. කතාව එතැනින් ඉවරයි."

ඇබග්නේල් ඉදිරියේදීම බන්ධනාගාර නිලධාරියාට බැණවැදුණු මාර්ෂල්වරයා පිටව ගියේ අඩි හප්පමිනි. අකමැත්තෙන් වුවද ඇබග්නේල් භාරගන්නවා හැරෙන්නට අන් විකල්පයක් බන්ධනාගාර නිලධාරියාට තිබුණේ නැත. ඔහු තමාට සිදුවූ අවමානය පිරිමසා ගත්තේ ඇබග්නේල්ට කොඳුරා නෝක්කාඩු කීමෙනි. එවේලේ පැවැති තත්ත්වය අනුව තමා මාර්ෂල්වරයා පසුපසින් ගියේ නම් ඊටද කිසිවකු බාධා නොකරන බව ඇබග්නේල්ට සැකයක් නොවීය.

“මොන කරුමයක්ද? තවත් යක්ෂයෙක් එවලා."

නිලධාරියා ඇබග්නේල් සිරකුටියකට ගෙන ගියේ එලෙස කොඳුරමිනි.

“අපොයි නැහැ. මම මගේ නඩුව අහනකම් මේ ඉන්නේ."

ඇබග්නේල් පැවසුවේ අවංකවමය.

“වෙන්නම ඇති. තමුසෙලා වගේ පාහරයෝ හිතන් ඉන්නේ හරිම වීරයෝ කියලා. පහුගිය මාසෙත් ඔහේලාගේ කට්ටිය එකතුවෙලා අපේ නිලධාරීන් දෙන්නෙක් ගෙදර යැව්වා. ඔහේලා දුටු තැන අඳුනගන්න දැන් අපි ඉගෙන ගෙනයි ඉන්නේ."බන්ධනාගාර නිලධාරියා පුපුරා හැළුණේ ඇබග්නේල් මැදිරියකට දමා අගුළුලන අතරය. එවක් පටන් ඇබග්නේල්ට සැලකුම් ලැබුණේ සාමාන්‍ය සිරකරුවකුට මෙන් නොවේ. ඔහුට සිරකරුවන්ගේ ජම්පරය ඇඟලෑම අවශ්‍ය නොවීය. දිනපතාම ඔහුගේ මැදිරියට පුවත්පත් ලැබුණු අතර පළමු සතියේදී දෙවරක්ම එම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය වූයේ ෆෙඩරල් බන්ධානාගරවල පහත් තත්ත්වය හෙළා දකිමින් කළ ප්‍රකාශයන්ය. ඔහුගේ සිරමැදිරිය ද ස්වීඩන් බන්ධානාගාර තරම්ම නොවුවද ඇතැම් ඇමරිකානු අවන්හල්වලට වඩා සුවපහසු විය. ආහාර ද එසේම විය. ඇට්ලන්ටා බන්ධානාගාර නිලධාරීන්ට තමා හොර රහසේ ක්‍රියාත්මක වන ෆෙඩරල් නිලධාරියකු බවට සැකයක් නැති බව තහවුරු කිරීමට මේ සැලකුම් පමණක් ප්‍රමාණවත් විය. ඔවුන්ට අවශ්‍ය තමා එවැන්නෙකු ලෙස පෙනී හිඳිනවාට නම් තමාටද එහි ගැටළුවක් නැති බව ඇබග්නේල් තීරණය කළේය. ඔහු ඇට්ලන්ටාවේ සිටි සිය පැරණි පෙම්වතියක ඇමතුවේ ඇය තමාට තවමත් පක්ෂපාති බව තහවුරු කරගැනීමෙන් පසුය. ඇට්ලන්ටා බන්ධානාගාර නීතීන් එතරම්ම ලිහිල් නොවූවත් සතියකට වරක් පුද්ගලික දුරකතන ඇමතුමක් ලබා ගැනීමේ වරම සිරකරුවන්ට හිමි විය.

ඇය ජීන් සෙබ්රින්ග්ය. ඇබග්නේල්ගේ ඉල්ලීම පරිදි ඇය ඔහු බැලීමට බන්ධානාගරයට පැමිණියේ තමා ඔහුගේ විවාහ ගිවිසගත් පෙම්වතිය ලෙස හඳුන්වා දෙමිනි. රැඳවියන්ට අරක්ෂකයන්ගේ අධික්ෂණය යටතේ අමුත්තන් හමුවීමට පහසුකම් සලසා ඇති විසිත්ත කාමරයේ වූ විශාල වීදුරු ජනේලයේ දැල් විවරය හරහා ඔවුන්ගේ කතාබහා සිදුවූයේ පුද්ගලික මට්ටමිනි. ජින්ගේ පැමිණීමට පෙර ඇබග්නේල් පැන යාමේ මහා කුමන්ත්‍රණයේ පිඹුරුපත් සකසා අවසන් කොට තිබිණි. නමුත් ඒ සඳහා ජීන්ව පොළඹවා ගැනීම අත්‍යවශ්‍ය විය. එය ඇබග්නේල්ගේ කපටි මොළයට එතරම් අපහසු වූයේ නැත.

“කෙල්ලේ මේකෙන් එළියට යන පොටක් මම පාදාගෙනයි ඉන්නේ. ඒකට මට ඔයාගේ උදව් නැතුව බැහැ. ඔයා මොකද කියන්නේ වස්තුවේ?"ඇබග්නේල් සීනිබෝල කතාවකින්ම ගැම්ම ගත්තේය.

“මම ලෑස්තියි. ඒක අපි දෙන්නටම එකතුවෙලා පස්සේ හොඳට හිනාවෙන්න පුළුවන් වික්‍රමයක් වේවි කියලා මට විශ්වාසයි."

ඇය කැමැත්ත දුන්නේ සිනාවෙන් පොපියමිනි.

“ඔයාට කවදාහරි මුණගැහිලා තියෙනවාද ෂෝන් ඔ‘රයිලි කියලා එෆ්.බී. අයි. නිලධාරියෙක්ව ?"

“ඔව් ඇත්තෙන්ම. එයා ඔයා ගැන මගෙන් අහන්න ආපු වෙලාවේ මට එයාගේ හඳුනාගැනීමේ කාඩ්එකත් දීලා ගියා."ජීන් පැවසුවේ ඇබග්නේල්ගේ බලාපොරොත්තු දල්වමිනි.

“නියමයි! මම හිතන්නේ අපි දැනටමත් වැඩේට බැහැලයි ඉන්නේ කෙල්ලේ."

ඇබග්නේල්ගේ සතුට දෝරේ යමින් තිබිණි. එම සතියේදීම ජීන් වොෂින්ටන් නුවර ඇමරිකානු බන්ධානාගාර බියුරෝවේ පරීක්ෂක සී. ඩබ්. ඩන්ලැප් හමුව සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවේ (සැලසුමට අනුව) තමා නිදහස් මාධ්‍යවේදිනියක ලෙස ඔහුට හඳුන්වා දෙමිනි. ඕනෑම පිරිමියෙකු‍ගේ සිත පැහැර ගැනීමට සමත් පෙනුමෙන් මෙන්ම කතාවෙන්ද සුන්දර දක්ෂ තරුණියක් වූ ජීන් ඇගේ භූමිකාව කෙතරම් හොඳින් රඟපා තිබුණා ද යත් ඩන්ලොප් සිය හදුනාගැනීමේ කාඩ්පතක් පවා ඇයට පිරිනමා තිබුණි. ඇය එය ඇබග්නේල්ට ලබා දුන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේදීමය. නිතර නිතර බන්ධානාගාරය වෙත යාම් ඊම්, කළ ඇය ඇබග්නේල් යනු ෆෙඩරල් නිලධාරියකුය යන පිළිගැනීම තවදුරටත් තහවුරු කළා මිස කිසිදු සැකයක් ඇති කළේ නැත.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

සඳුදා : පොලිස් පරීක්ෂක රංගනයක


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>