මෙතෙක් කල් අභ්‍යවකාශයට යැවුණු ඇමරිකානු රොකට්වල අපිට නිරන්තරයෙන් දකින්නට ලැබුණේ නාසා ආයතනයේ ලාංඡනයයි. අභ්‍යවකාශ තරණය යන වචනය කියද්දීත්, එම විෂයයට ප්‍රිය කරන අය තමන්ගේ අනාගත රැකියාව ගැන සිහින මවද්දීත් එහි කෙළවර ලෙස සිතේ දරා ගත්තේ නාසා ආයතනයයි. නමුත් දැන් කතාව වෙනස් වී ඇත. ලූලා සිටියදීම කනයා පසුගියදා පණ්ඩිතයෙක් බවට පත් වුණේ අපූරු ජනාකර්ෂණයක් ලබා ගනිමින්. SpaceX නම් සමාගමට මෙතරම් ඉදිරියට එන්නට හැකි වුණේ එහි ආරම්භකයා වන ඉලොන් මස්ක් නිසාය. අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කළ හැකි ලෝක ප්‍රසිද්ධ පේපෑල් සේවාව, රියදුරෙක් නැතිව ගමන් කරන කාර් රථ හැදූ ටෙස්ලා සමාගම පසුපස සිටින්නේත් මේ තනි පුද්ගලයාමය. පේපෑල්හි දැන් ඔහු කටයුතු නොකළත් ටෙස්ලා සහ ස්පේස් එක්ස් යන සමාගම් දෙක ද ඇතුළු සමාගම් 5ක ඔහු එකවර ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ නිහතමානී ධනපතියෙකු ලෙසින් සමාජ මාධ්‍යවල ද ජනාදරයට පත් වෙමින්.
රොකට් එකක් අභ්‍යවකාශයට යවද්දී ගුරුත්වයෙන් මිදෙන්නට, ඉහළ වායු ගෝලයට ළඟා වන්නට වැඩි බලයක් යොදන්නට සිදු වෙනවා. එයට රොකට්ටුව පාදමේ ඇති පළමු මට්ටම සතුව ඇති එන්ජින් එහෙමත් නැත්නම් බූස්ටර්ස් දායක වෙනවා. ස්පේස් එක්ස් සමාගම සතුව මීට පෙර පැවති ෆැල්කන් 9 රොකට්ටුවේ මෙම කොටසේ ‘මර්ලින්’බූස්ටර් 9ක් තිබුණා. රොකට්ටුවක තිබෙන වැදගත්ම කොටස වන මෙය සකසන්නට විශාල මුදලක් වැය වෙනවා. නමුත් මෙතරම් සවි බලයෙන් සහ වියදමකින් සකසන මේ කොටස අභ්‍යවකාශ ඉතිහාසයේ සෑම වාරයකදීම රොකට්ටුව අහසට නැගී පසුව ගලවා මුහුදට අත හරිනු ලැබුවා. මන්ද, එය නැවත ලබා ගන්නට ක්‍රමෝපායක් නොතිබුණා මෙන්ම දෙවැනි මට්ටම පෘථිවියෙන් එපිට ගමන් කරද්දී ඊට සමගාමීව පෘථිවිය මතට පළමු මට්ටම ගෙන ඒම ගැන ද එකවර කටයතු කරන්නට සිදුවීම ලේසි පහසු දෙයක් නෙවෙයි. එය ප්‍රවේශමෙන් නැවත ලබා ගන්නට නාසා ආයතනය පැරෂූට් පවා භාවිත කරමින් උත්සාහ කළත් මුහුදට පතිත වීමෙන් පසු එය නැවත පිරිසිදු කොට යළි භාවිතයට ගන්නට තවත් විශාල මුදලක් වැය වන බවයි පෙනී ගියේ. ස්පේස් එක්ස් ආයතනය මේ වෙනුවෙන් පර්යේෂණයන් විශාල සංඛ්‍යාවක් කළා. ඉහළට යවන ලද ප්‍රධාන බූස්ටරය ප්‍රති-දහනය කරමින් ඔවුන් මුහුද මැද නවතා තිබෙන ඩ්‍රෝන නෞකාවකට බාන්නට උත්සාහ කළත් ඒ සෑම අවස්ථාවකදීම එන්ජිමේ දෝෂ, අවසාන මොහොතේ ප්‍රවේග අස්ථායීතා ආදිය නිසා පුපුරා යන ආකාරයයි අත් විඳින්නට සිදු වුණේ. මේ අතරේ 2017 ජනවාරි මස අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නාසා ආයතනයේද දායකත්වයෙන් ඩ්‍රැගන් කැප්සියුලයක් යැව්වා. ඒ ෆැල්කන් 9 රොකට්ටුවෙන්. එහි පළමු මට්ටම ඉතා සාර්ථකව නැවත පොළවට ගෙන එන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. මේ වසරේ අත්හදා බැලීමට ගත් ෆැල්කන් හෙවි (Falcon Heavy)සඳහා යොදා ගැනුණේ ද එම කොටසමයි.
ෆැල්කන් හෙවි රොකට්ටුව ලොව වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වුණේ ඉලොන් මස්ක්ගේ තවත් වෙළෙඳ උපක්‍රමයක් නිසායි. රොකට්ටුවක් අත්හදා බැලීමේදී කිසියම් ස්කන්ධයක් එහි පේලෝඩ් (Payload) එක ලෙස භාවිත කරනවා. එමඟින් කිසියම් බරක් ද දරාගෙන අභ්‍යවකාශය වෙත පිවිසීමට ඇති හැකියාව මැන බැලිය හැකියි. නමුත් කොන්ක්‍රීට් වැනි හුදෙක් ස්කන්ධයක් යවනවා වෙනුවට මේ රොකට්ටුවේ අඩංගු කෙරුණේ මස්ක්ගේ ටෙස්ලා සමාගමේ නිපැයුණු රතු පැහැති ටෙස්ලා කාර් එකක්. එහි පතුල කොටසේ SpaceX හි කටයුතු කරන අය හයදහසකගේ පමණ නම් කොටා තිබුණා. ඊට අමතරව අභ්‍යවකාශයේ ඕනෑම රුදුරු තත්ත්වයකට වුව ඔරොත්තු දෙමින් පැවතිය හැකි මතක ගබඩාවක විශ්වකෝෂයක් සහ අයිසැක් ඇසිමොව්ගේ ප්‍රබන්ධයක් ද අඩංගු කරනු ලැබුවා. අනූව දශකයේදී පියාඹන කාර් අනාගතයේදී තැනෙනු ඇතැයි සිතද්දී 2018වන විට කාරයක් අභ්‍යවකාශයට යවන්නට ඇමරිකාවට හැකි වුණා. ලංකාව කවදා එතැනට ළං වනු ඇත්දැයි යන පැණය මඳක් පසෙකින් තබා මේ කාර් රථය ගැන අවධානය යොමු කළොත් එහි ස්ටාර් මෑන් නමින් පඹයෙක් ද කාරය පදවන අයුරින් සකසා තිබෙන ආකාරය අපට පෙනෙනවා. මොහු හැඳ සිටින්නේ ඉලොන් මස්ක්ගේ අඟහරු මත ජනාවාසකරණය පිළිබඳ සිහිනයේ කොටසක් වන අජටාකාශ ඇඳුමක්. චෙරි රතු පැහැයෙන් යුතු මේ ටෙස්ලා කාර් රථය සහිත පේලෝඩ් එක අඟහරු වටා කක්ෂයකට ඔවුන් ස්ථානගත කරන්නට බලාපොරොත්තු වුවත් තෙවැනි දහන මට්ටම මඳක් ප්‍රබලව සිදු වූ නිසා එය ඇස්ටරොයිඩ වළල්ල ආශ්‍රිත කක්ෂයකයි මේ වන විට පවතින්නේ.
ෆැල්කන් හෙවි ඉහළ නංවන්න පැති බූස්ටර් දෙකක් සහ මධ්‍ය බූස්ටරයක් භාවිත කෙරුණා. මේ සියල්ලත් සමඟ එය මෙතෙක් ලොව නිපැයුණු සිව් වැනියට ප්‍රබල රොකට්ටුව බවට පත් වුණේ සඳ ගිය Saturn V රොකට්ටුව, Energia, සහ N1 යන ඒවාට පසුපස සිටිමින්. එය තවත් රසකොට අසන්නට කැමති නම්, මේ කාලයේ පෘථිවිය මත බිහි වූ ප්‍රබලතම රොකට්ටුව මෙය බව කියන්නටත් පුළුවන්. අවාසනාවකට ෆැලකන් හෙවි රොකටයේ සෙන්ටර් බූස්ටරය නිසි පරිදි පොළොවට ලබා ගන්නට නොහැකි වුණා. මේ නිසා එය සාගරයට අතහැර දැමුණා. එනමුත් පැති බූස්ටර් යුවළ තම කාර්යයභාර්යය අවසන් වූවාට පසු ඉතා සාර්ථක ලෙස ඒවාට ලබා දී තිබුණු පෑඩ් දෙක මතට පැමිණියා. ඒවා පැමිණියේද එකකට පසු අනෙක ලෙස තත්පර කිහිපයක වෙනසක් සහිතවයි. එසේ කරනු ලැබුවේ ප්‍රධාන පාලක මැදිරිය සමඟ නිසි සබඳතාවක් පවත්වා ගැනීමට පහසු වීමට යි.
මේ ආකාරයට එක් කොටසක් ඉහළට යද්දී ඊට සමගාමීව තවත් කොටස් දෙකක් පෘථිවියට සාර්ථකව ලබා ගන්නට මේ අත්හදා බැලීමේදී හැකියාව ලැබුණා. ඉස්සර අහස දිහා බලාගෙන හඳහාමිගෙන් කිරි පැණි ඉල්ලුවාට ඒවා නොලැබුණේ හඳ මාමාට එන්න ක්‍රමයක් නොතිබුණු නිසා වෙන්නට ඇති. හැබැයි දැන් අභ්‍යවකාශයේ, පෘථිවියේ නිපැයුණු කාර් රථයක් තිබෙන නිසා ඒ ගැන නව සිහින ඇති කරගන්නටත් අපට පුළුවන්.