මොසැම්බික් රාජ්‍යයේ මාපුටෝ අගනුවර ආසන්නයේ 'හුලෙනේ'කුණු කන්ද පසුගිය දා නාය ගියේය. කුණු කන්ද නාය යෑමෙන් පුද්ගලයෝ 17දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් විශාල පිරිසක් කුණුවලට මැදිව විපතට පත් වූ බව වාර්තා වේ. මෙපමණ ව්‍යසනයක් සිදුවූයේ හුලෙනේ කුණු කන්ද අවට ප්‍රදේශයේ පැල්පත් වාසී ජනයා බහුල බැවිනි. එම පැල්පත්වල ජීවත්වන විශාල පිරිසක් දැවැන්ත හුලෙනේ කුණු කන්දෙන් යැපෙති. ඒ, කුණු කන්දට දිනපතාම එකතුවන කුණුවලින් යම් යම් දේ තෝරා විකිණීමෙනි. කුණු කන්දට බැහැර කෙරෙන අපආහාර ද්‍රව්‍ය ඇතැම් පැල්පත්වාසීන් ආහාරයට ගන්නා බවත් සඳහන් වේ.
නාය යන අවස්ථාව වනවිට කුණු කන්දේ උස මීටර 15ක් හෙවත් අඩි 49කි. අනතුරට ආසන්නතම හේතුව වූයේ ප්‍රදේශය පුරා පැවැති ධාරානිපාත වර්ෂාවයි. විපත සිදුවූයේ සියල්ලන්ම තද නින්දට වැටී සිටි අලුයම් කාලයේදී ය. එනිසා ජීවිතක්ෂයට පත් සංඛ්‍යාවත් කුණුවලට මැදි වූ සංඛ්‍යාවත් ඉහළ ගිය බව බලධාරීහු පවසති.
හුලෙනේ ප්‍රදේශයේ කුණු ගොඩගැසීම ආරම්භ කෙරුණේ එක් දහස් නවසිය අසූ ගණන්වලදී ය. එතැන් පටන් අඛණ්ඩම එහි කුණු ගොඩගැසිණ. මේ අතරතුර කාලයේදී මාපුටෝ අගනුවරට සංක්‍රමණය වන ජන සංඛ්‍යාවත් ඉහළ ගියේය. මාපුටෝ අගනුවර පමණක් මිලියන 11කට අධික පිරිසක් අද වෙසෙති. මාපුටෝ ප්‍රාන්තයේ පදිංචිකරුවන් ගණන මිලියන 18ද ඉක්මවන බව සඳහන් වේ. මිලියන ගණනකට සෑහෙන පහසුකම් මාපුටෝ නගරය තුළ නැත. මිලියන ගණනකට ජීවත්වීමට අවශ්‍ය ඉඩම් සහ නිවාසවත් එහි නැත. මේ නිසා මාපුටෝ නගරයේත්, අවට නගර තුළත් ඉඳිකෙරෙන අනවසර මුඩුක්කු සංඛ්‍යාව දස දහස් ගණනින් ඉහළ ගියේය. මුඩුක්කුවල ජීවත්වන ජනයාගෙන් 40%කට වැඩි පිරිසකට පානීය ජලයවත් සනීපාරක්ෂක පහසුකම්වත් නැත. හුලෙනේ කුණු කන්ද අවට ප්‍රදේශය අන්තරාකාරී බව දැන දැන වුවත් දහස් ගණනක් ජීවත් වූයේ එවන් පසුබිමකයි. ඔවුහූ පොදු පහසුකම් පමණක් නොව හුස්ම ගන්නට හොඳ වාතයවත් නොලද්දෝය. ඔවුහු මැසි මදුරු ආදී සතුන්ගේත්, විෂ අපද්‍රව්‍යවලත් ගොදුරු බවට පත්වූහ.
කුණු කන්ද ජන ජීවිතවලට තර්ජනයක් බව නගර බලධාරීහු පැල්පත් වාසීන්ට අවස්ථා කිහිපයකදී දැන්වූහ.
“මම මේ කුණු කන්ද ළඟමයි ජීවත් වෙන්නේ. මට වෙන යන්න තැනක් නැහැ. ආණ්ඩුවෙන් කිව්වා තමයි වෙන තැනකට යන්න කියලා. මෙතැන අතහැරලා කොතැනටද අපි යන්නේ ?” යැයි විපතට පත් මාරියා හුඕ විමසන්නීය.
මේ තත්ත්වය තුළ කුණු කන්ද ස්ථිරවම ඉවත් කිරීමට රජය පියවර ගත යුතුව තිබිණ. කුණු කන්ද ඉවත් කිරීම පමණක් නොව නගරයේ කැළි කසල බැහැර කිරීමත් පොරොන්දු දේශපාලනයට කවදත් හොඳ මාතෘකාවන් වූවා පමණි. තුච්ඡ සහ ම්ලේච්ඡ තැනකට වැටුණු බලකාමීන්ට මිනිස් ජීවිත ඉවත හෙලන කුණු ගොඩක් තරම්වත් වටින්නේ නැත. ඒ නිසා ලෝකයේ තැනින් තැන කුණු කඳු නාය යන සැටිත් ඒවාට යට වී මිනිසුන් අවාසනාවන්ත ලෙස මියයන සැටිත් අසන්නට අපට සිදුව ඇත.
CNN ඇසුරෙනි.