යොවුන් සිත
එදා ආදරෙනි අප ඔබ හා බැඳුනේ
නොදා ඉවත සියලුම ලිපි සිත රැඳුනේ
විදා තටු යලිත් නුඹ එන බව ඇසුනේ
මුදා ලමි අසිරි සිත පතුලෙනි පිදුනේ
යොවුන් සිතට හරවත් දේවල් රැගෙන
නැවුම් රසය ගෙන යලි අප අතට එන
පවුම් වටින අදහස් ඇත එතුල පැන
යොවුන් ජනතාව පිබිදේ දිනෙන් දින
ඕෂධී දීප්තිකා පතිරත්න
වානළුවාව
---------------------
පැන ගිය යුක්තිය
දෙසත් අසත් දනෝ දහම් උදේ දිවා රැයේ
රකිත්ද ඒ දහම් දනන් දියදම් දිනිතියේ
හද පිළිසඳ නපුර උපත වීය අයුක්තියේ
සත්‍යය බිම වැදහෙයි යුක්තියමැයි පැන ගියේ
ලක්ෂ්මි මලලගම
--------------------
අතීතයේ සුවඳ සොයා
එමලින් මගෙ නමයි මම අඩුකුලේ තමයි
ගොවිගම නෙමෙයි වාසගමෙන් කුලේ අඩුයි
ඉපදෙන විටෙක නොදැනුවත්වම ලැබුණ නමයි
මගෙ අප්පා වළං අඹපු සෝමේ තමයි
වලව්වෙ රන් මැණිකෙ මගේ පාසලෙම
හිටියෙ එකම පන්තියකම හැමදාම
කවදත් හිත් රිදුම් පමණයි ලැබුණෙ මට
විරසක වෙන්න තරමට මගෙ වරද කිම
වැස්සදාට අඳින්න බැරි සුදු ගවුම
කඳුළින් තෙත් වුනා පාසල් නොයන දින
අම්මගෙ දෑත්වල කරගැට නැතිවෙන්න
එදිනට වලව්වේ වැඩ පල කලේ මම
හැමදාකම මම පන්තියෙ පළවෙනියා
මැණිකෙ ඉගෙනගන්නට නම් නෑ රුසියා
පාසලේ හොඳම සිසුවිය මැණිකෙට ලැබිලා
මම පන්තියේ නිකන්ම එමලිනා වෙලා
කාලය ගෙවිලා අපි දැන් ලොකු අය වීලා
මැණිකේ බැඳලා වලව්වෙ හාමිනේ වෙලා
ලොකු ඉස්කෝලේ මුල් පුටුවේ වාඩිවෙලා
මගෙ හිත ගිහින් අතීතයේ සුවඳ සොයා
යශෝදරා උඩංගමුව
-------------------
ඔව්...අපි එතැන
අඳුර රජයයි වට අවට
කදෝපැණි එළි හැමතැනම
ගලා විත් සඳ දිය සිහිල
තුටු කරයි මිහි මවු ළමැද
පහන් දොර සිතිවිලි ගලන
සේපාලිකා තුරු හිස
කැකුළු මල් විය නිම කළ
දූ දරු පිරිස සනසන
අමතර පන්ති සති අග
මහ රෑ ගෙදර ගුරුවරු
හුස්මක් ගන්න ඉඩ නැති
නූතන ළමා හදවත
විසි හතර පැය ඉගෙනුම
දරු පැටවුන්ට බැර කළ
මව්පියෝ වෙති මනුලොව
හැල්මේ දුවන ගමනක
ගයානි කාවින්දිකා විමලරත්න
නාරංබැද්ද - හිරිවඩුන්න
---------------------
භාවනාව
ඔබේ නෙත් මත
ඔබේ තොල් මත
නැඟෙන මඳහස
භාවනාවකි
මසිත සනහන
සදාකාලික
ඔබේ නෙත් මත
ඔබේ තොල් මත
නැෙඟන කඳුළැලි
භාවනාවක් වුණාවේ
මසිත පාරන
සදාකාලික
චින්තක මාන්නගේ
පිළියන්දල
------------------
කෝඩුකාර කවි කැකුලු
කවි පියුම් පිපි විලක් අද්දර
පිපෙන පියුමක රුසිරු දැකුමට
හීන් පියවර කියා සපැමිණි
කෝඩුකාරී දැරිය එදවස...
ගොරතර වූ දළ යදම් පහරින්
රුදු සපුන් විස සැණින් දැදුරුව
මිලින සියුමැලි කැකුළු සිත ඇගෙ
සිහිල් සුළඟින් මඳක් තෙත් විය
හිතට දිරි සවි - ඉන් තිළිණ විය
මඩ වගුර බිලි නොගත් කැකුළිය
සැඩ ව, රිවිරැස් පහර වළකා
විලේ සුවඳැති මලක් වන්නට
පැතුම් පැතුවා මුළු හිතින්...
දිල්රුකා චන්ද්‍රමෞලි
මහනුවර
--------------------
මගේ හිත වගෙයි
වැව් දිය තවමත් සසලයි
ගහකොල මල් පිපී නටයි
පොද වැස්සයි මද පවනයි
හරි නිසංසලයි ...
මල් ඇතිරුණු ගුරු පාරයි
කුරුළු කිරිලි කිචි බිචියයි
හිත පාළුයි දෑස තෙමෙයි
ඔබ දුර ඈතයි ...
රාස්සිගේ හිනා හඩයි
දුකින් මියෙන හිරු කුමරුයි
හැන්දෑවයි මල් විසිරෙයි
දෙවැටම පාළුයි ...
මලින් පිදුව වෙහෙර බිමයි
අත පැටළුණු ගං දෑලයි
කැලෑ රොදයි වෙල් යායයි
තනි වෙලා වගෙයි ...
තරු විසිරුණු නිල් අහසයි
රටා මවන වළා පෙළයි
රෑහි හඩයි ගණ අදුරයි
තනිකම රජයයි ...
සිහින ගේන රාත්‍රියයි
අතීතයේ මතක පෙළයි
අමාවකයි හද නොනැගෙයි
මගේ හිත වගෙයි ...
පවිත්‍රා රසාංජලී ජයසිංහ
පිළිමතලාව
-------------------
හන්තාන සිහිනේ
මාලිගාවේ තේවා හඬ
රැව්දුන් ගැටඹේ බෝමුල
දැල්වුණු පහන්සිළු සේරම
නිවිලා ගියා මාරුතයට...
මල්පාරේ ගුමුගුමුවට
මුහුවෙනකොට මල් පාවඩ
පරවුණු රොබරෝසියා ළඟ
සුවඳක්වත් ඉතිරි නැතිද...
මහවැලියත් හෙමි හෙමිහිට
ගලනවා ඇති මට නොකියම
කඳුළින්ම පෙඟුණු හීන
ගුලි කෙරුවෙමි සිත් පතුලට...
ලීලක්ෂි බංඩාර
පොලොන්නරුව
-----------------
සැනසුමේ සේයා
සිතිජ මාලිගාවේ
දුර ඈත කවුළුවෙන්
බලා ඉන්නා නුඹේ ඡායා
සිතුවමක් සේ නෙතේ අැඳුණා
සයුරු තෙර සොඳුරු බව
හුදෙකලාවේ බලා සිටි මට
තනිකමක් මා සිතේ අැඳුණත්
සැනසුමක් එහි රැඳී තිබුණා
නුඹ වෙතට ළං වෙන්න
සැදු ඒ නිමේෂය
සයුර මැද සිර මැදිරි
කවුළුවක
මා නතර කෙරුවා
පෙර පැවති නිදහසේ
සිනාරැල් නුඹ අරන්
පසුතැවෙන්නට මතක
සේයාම ඉතිරි කෙරුවා
ඉරේෂා දුලාංජලී කල්දේරා
-------------
අම්මා
සුන්දර කවි ගයා මා නිරතුරු නැළවූවා
ගංතෙර ඉඳන් සොබාදම් රස ගුණ පෙව්වා
දයාබර මෑණියෙනි මතු භවයෙත් මව වේවා
පින්බර මගේ අම්මේ දිනකදි ඔබ බුදු වේවා!
ඩී.එම්. හේමරත්න
කැලණිය
----------------
මුදු හද
ඉක්මනින් පෑරෙනා මුදු හද
වේදනාවෙන් ඉතිරෙනා
ඉක්මනින් කඳුළැලි නැඟෙන නෙතු
කඳුළු පිරිලා බර වෙනා
අහිංසක හදවතකි තිබුණේ
මිනිස් කම එහි ඉතිරිලා
ඒ මිනිස්කම පිළිගත්තේ නෑ
මා ඇසුරු කළ ලෝ දනා
වේදනාවෙන් පිරී තෙරපී
මුදු මොළොක් හද ගල් වෙලා
නෙත් දෙකට අද කඳුළු නොනැඟෙයි
කඳුළු උල්පත් වියළිලා
සරත් සේනාධිපති
ගම්පහ
ඔබේ කවි නිර්මාණ පහක ලිපිනයට යොමු කරන්න
‘යොවුන් ජනතා’ දිනමිණ
ලේක් හවුස්, අංක 35, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10.
younjanatha@lakehouse.lk