Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ගැලීලියෝගේ කැරකෙන ලෝකය

$
0
0
ඔක්‌ 13, 2020 01:00

1609 විය ඒ වසර.

විද්‍යාවේ ආලෝකය දීප්තියෙන් බැබළුණු,

පාදුවා නගරයෙහි සාමාන්‍ය නිවෙසක විසූ

ගැලීලියෝ ගැලීලි නම් ඔහු,

වෙහෙසුණි සනාථ කරන්නට

එක තැනක තිබියදීත් හිරු,

ගමන් කරන බව පෘථිවිය ඒ වටා

                             - ගැලීලියෝ ගැලීලි නාටකය

 

 ඉතාලි ජාතික, තාරකා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලි (1564 - 1642) නාමය, ලෝකප්‍රකටය.

  ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙන්ම ඔහු කළ නාට්‍යයන්ද ලෝකප්‍රකටය. ඉන් එකක් වූයේ 'ගැලීලියෝ ගැලීලි'නමින්ම යුත්, එම විද්‍යාඥයාගේ ජීවිතය පසුබිම් කරගත් නාටකයයි.

 ගැලීලියෝ එකල පැවති අධිපති මතවාදයන්ට එරෙහිව තම නව සොයාගැනීම් සමාජගත කළේය. බ්‍රෙෂට් ද දූෂිත සමාජ ක්‍රමයට එරෙහිව, ජනතාව අවදි කරවනු පිණිස නාට්‍යය නිර්මාණය කළේය. 1983දී, පරාක්‍රම නිරිඇල්ල හා එච්. ඒ. පෙරේරා එකතුව බ්‍රෙෂ්ට්ගේ ගැලීලියෝ (life of galileo) මෙරට වේදිකාවට ගෙන ආහ. එය සිංහලට පරිවර්තනය කළේ, එවකට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශයේ සේවයෙහි යෙදුණු භාෂා පරිවර්තක නීල් ශ්‍රී විජේසිංහයන් විසිනි. පදානුගත පරිවර්තනය එය වේදිකාවට සුදුසු සේ සැකසීම, නිරිඇල්ලයන් අතින් සිදු විය.

 'ගැලීලියෝ'හි නළු නිළියන් ඇතුළු නාට්‍ය කණ්ඩායම 70 ක් පමණ විය. වේදිකා පසුතල ලොරියක පටවා ගෙන යා යුතු තරම් විශාල විය. එබඳු නිෂ්පාදන ලංකාව තුළ පවත්වාගෙන යෑම, එදා නොව අද පවා ප්‍රායෝගික නොවන බව කිව යුතු නොවේ. නිරිඇල්ල හා එච්. ඒ. ගේ ගැලිලියෝ ද, දර්ශන වාර දහයකට සීමා වූයේ එහෙයිනි.

 ඒ දර්ශනවාර දහයෙන් එකක්, ලුම්බිණියේ දී හෝ නව රඟහලේ දී නැරඹීමේ වාසනාව ලද මා, අදත් එය දකින්නේ මෙරට නිෂ්පාදනය වූ විශිෂ්ටතම නාට්‍යයක් ලෙසිනි. පසු කලෙක නිරිඇල්ල විසින්ම නිෂ්පාදනය කරන ලද, ස්විස් ජාතික නාට්‍යකරු 'ෆෙඩ්රික් ඩියුරන්මාට්'ගේ 'උත්තමාවි'නාට්‍ය ද විශිෂ්ට නිර්මාණයක් වුව ද රංගගත වූයේ දර්ශනවාර කිහිපයකි.

  ජාතික රූපවාහිනියේ සිටියදී, විදේශ පුහුණුවක් සඳහා ජර්මනියට යන නිරිඇල්ලට, එහි 'බර්ලීන් එන්සෙම්බල්'රංග ශාලාවේදී, 'ගැලීලියෝ'නිෂ්පාදනයක් දක්නට ලැබෙයි. එය අති විශාල වේදිකා පසුතල වලින් තොර, එහෙත් නාටකීය ගුණයෙන් පිරුණු, ප්‍රබල රංගනයක් විය. බ්‍රෙෂ්ට් රංගනයේ දී ඊට දරාගත නොහැකි "බර වැඩ"අත්‍යාවශ්‍ය නොවන බව නිරිඇල්ල ට අවබෝධ වෙයි.

   ගැලීලියෝ සහ නිරිඇල්ල පිළිබඳ පැරණි මතක සටහනකට නිමිත්ත වූයේ, මෑතක දී ප්‍රකාශයට පත් 'ගැලීලියෝ'නාට්‍යයේ නව පරිවර්ථනයකි.  එය සිංහලට පෙරළා ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ, විශ්‍රාමික නාවික හමුදා අද්මිරාල් වරයකු වන ලක්ෂ්මන් ඉලංගකෝන් විසිනි. මුහුද ගැන දන්නා නාවිකයකුට ගැලීලියෝ 'හමුවීම'ද අරුමයක් නොවේ. ගැලීලියෝ නාටකයේ තැනෙක මෙසේ ද දැක්වෙයි.

බර්බෙරිනි:  (ගැලීලියෝ වෙතට ඇඟිල්ලක් දිගු කරමින්)

   සූර්යයා ඉහළ නඟී. සූර්යයා බැස යයි. නැවත වරක් ඒ නැඟුණු තැනටම ආපසු පැමිණෙයි. එවක්ලෙසියාවේ දේශකයා එසේ පැවසීය. ගැලීලියෝ පවසන්නේ කෙලෙසද?

 

ගැලීලියෝ:  මම වරක් නැවක සිටින විට කෑ ගැසුවා, වෙරළ මගෙන් ඈත් වෙන බව පවසා. නමුත් මම අද දන්නවා, වෙරළ නොවේ ඈත් වුණේ, අපි වෙරළෙන් ඈත් වුණේ කියා.

 

දර්ශන ප්‍රකාශකයන් විසින් දර්ශනීය නිමාවකින් යුතුව, ප්‍රකාශයට පත්කර ඇති 'ගැලීලියෝ ගැලිලි'හි අගය වැඩි කරවන විශේෂත්වයක් වන්නේ, ඇතැම් ඉංග්‍රීසි පරිවර්තනයන්හි, මගහැරී හෝ අතහැරී ඇති කොටස් ද එක් කිරීමට, පරිවර්තක ඉලංගකෝන් විසින් කටයුතු කර තිබීමය. එහි පූර්විකාවෙහි මෙසේද සඳහන්ය.

'ගැලීලියෝ ගැලීලි 1564 වසරේ ඉපිද, 1642 ජනවාරි 8 දා මිය යයි. ගැලීලියෝ තාරකා විද්‍යාඥයකු, භෞතික විද්‍යාඥයකු, සහ දක්ෂ ඉංජිනේරුවකු වූ අතර, ඔහු නවීන භෞතික විද්‍යාවේ, නිරීක්ෂණ තාරකා විද්‍යාවේ පියා ලෙස සලකනු ලැබේ.'

මෙම නාට්‍යය ලියැවෙනුයේ, ගැලීලියෝගේ ජීවිතයේ සත්‍ය සිද්ධීන් කිහිපයක් මුල්කරගනිමින් වුවද, ඇතැම් දෑ නාට්‍යයට උචිත ලෙස සකසා ඇත. නිදසුනක් ලෙස ගැලීලියෝගේ දියණිය 'වර්ජිනියා', නාට්‍ය තුළ සිය පියාගේ සෙවනේ වෙසෙන බවක් දැක්වුණ ද, සැබෑව වන්නේ ඇයට වයස 13 ක් වන විටම කන්‍යා සොයුරියක බවට පත්වීමය. එසේම වයස 34 දී වර්ජිනියා මියයයි.

2011 දී, සමන් පුෂ්ප ලියනගේ විසින්ද 'ගැලීලියෝ'සිංහල පරිවර්තනයක් (සංහිඳ ප්‍රකාශන) කළේය. එහි හැඳින්වීමෙහි ලියනගේ මෙසේ ලියයි.

'ගැලීලියෝ යනු ප්‍රේක්ෂකයා තුළ ඥානය ජනනය කරවන, විචාර බුද්ධිය වර්ධනය කරවන නාට්‍යයකි. එය විද්‍යා පුනරුදය ගැන දැනුම ලබාදෙන අතරම, දේශපාලන ඥානයක් ද උත්පාදනය කරයි.

බ්‍රෙෂ්ට්, ගැලීලියෝව ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ උතුම් ගුරුවරයකු ලෙසයි. නාට්‍යයේ මූලික අවධානය යොමු වන්නේ ගැලීලියෝ කළ පාපොච්චාරණය වෙත නොවේ.'

බ්‍රෙෂ්ට් මෙම නාට්‍ය රචනා කරන්නේ 1938 දීය. ඓතිහාසික තේමාවක් තුළ කාලීන ප්‍රශ්න ගැන කතා කිරීමට ඔහු සමත් වෙයි. පරම ඒකාධිකාරී අත්තනෝමතික රජයකින් ආරක්ෂා වන අන්දම ද ඔහු මෙම නාට්‍යයෙන් ජර්මන් බුද්ධිමතුන්ට කරුණු කියාපෑවේය.

ඉතාලි කතෝලික සභාව ගැලීලියෝගේ විද්‍යාත්මක සත්‍යයන් හා එකඟ නොවුණේය. එහෙයින් ඔහුට තම පර්යේෂණ වාර්තා, රහස් මාර්ගයන්ගෙන් රටින් පිට කිරීමට සිදු වූවාක් මෙන්ම, ජීවිතයේ අවසන් සමයේ නිවාස හිර අඩස්සියේ ගත කිරීමට ද සිදු විණි.

කොපර්නික්ස් විසින් හඳුන්වා දුන්, 'සූර්ය කේන්ද්‍රවාදය'තවදුරටත් සනාථ කළ ගැලීලියෝ, ආර්ථික ප්‍රශ්නවලින් පෙළුණෙකි. ඔහුට සරසවි අධ්‍යාපනය මඟදී අතහැර දැමීමට සිදු වන්නේද, නිසි පරිදි ගාස්තු ගෙවීමට නොහැකි වන බැවිනි. ඔහු තම පවුලේ වගකීම් ඉටුකිරීම සඳහා, සිසුනට ගණිතය විෂය උගන්වමින්, සුළු ආදායමක් ලබයි. පසු කලෙක ඔහු පීසා විශ්වවිද්‍යාලයෙහි ගණිතය පිළිබඳ ආචාර්ය වරයකු බවට ද පත්වෙයි.

දුරේක්ෂයන්ගෙන් ආකාශ වස්තු පරීක්ෂා කරමින් නිදි වර්ජිතව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ගැලීලියෝ අන්ධ භාවයට ද පත් වෙයි. තමා සොයාගත් සත්‍ය වෙනුවෙන් බොහෝ දුක් විඳි - නින්දා අපහාස ලැබූ මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාට, කතෝලික පල්ලියෙන් සමාව ලැබෙන්නේ 1992 තරම් මෑත කාලයකදීය.

'ගැලීලියෝ'නාට්‍යයේ එක් අවස්ථාවක, ෆිලිෆෝ මුසියස් නමැති විද්වතකු හා ගැලීලියෝ අතර, මෙබඳු සංවාදයක් ඇතිවෙයි.

ගැලීලියෝ: දුෂ්කරතාවන් ගැන කතා කරන්නට එපා. මම වසංගතයට වත් ඉඩ දුන්නේ නෑ, මගේ පරීක්ෂණ නවත්තන්න. මුසියස්: ගැලීලියෝ මහත්මයා, වසංගතය නොවේ නරකම එක.

ගැලීලියෝ: මෙන්න මේක අහගන්න. සත්‍ය නොදන්නා පුද්ගලයා මෝඩයෙක් පමණයි. නමුත් සත්‍ය දැන එය අසත්‍ය යැයි කියන්නා අපරාධකාරයෙක්. මගේ නිවෙසෙන් වහාම පිටවෙන්න.

  (පිටුව 144 - ඉලංගකෝන් පරිවර්තනය)

 

ගැලීලියෝගේ මෘත දේහයෙහි, ඔහුගේ දකුණතෙහි ඇඟිලි තුනක් නොවූ බවද ප්‍රකට කතාවකි. කිසිවකු විසින් එම ඇඟිලි කපා ගෙන තිබුණි. හේතුව, ගැලීලියෝ විසින් තම සත්‍ය ගවේෂණ සඳහා දුරේක්ෂය භාවිතා කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ එම ඇඟිලි තුන වීමය.

'ගැලීලියෝ'නාට්‍ය සිංහල වේදිකාවට හඳුන්වා දීමෙන් පරාක්‍රම නිරිඇල්ල හා එච්.ඒ. පෙරේරා විසින් ද, එය සිංහලට පරිවර්තනය කිරීමෙන් මෙයින් ශ්‍රී විජේසිංහ (1983), සමන් පුෂ්ප ලියනගේ (2011) සහ ලක්ෂ්මන් ඉලංගකෝන් (2020) විසින්ද ඉටුකර ඇත්තේ ප්‍රශංසනීය කාර්යභාරයකි.  මෙම කෙටි සටහන ඔවුනට කෙරෙන උපහාරයකි. 'ගැලීලියෝ'යනු ගැඹුරු දෘශ්‍ය කාව්‍යයකි. එය, මෙරට තරුණ නාට්‍යකරුවන් ඉදිරියේ ඇති, සොඳුරු අභියෝගයකි.

ගැලීලියෝ ද පෙන්වා දුන් පරිදි, සත්‍යයේ ජයග්‍රහණය පවතිනුයේ, ඒ සඳහා කැප වන මිනිසුන් දෑතෙහි ය.

කපිල කුමාර කාලිංග


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>