කලකට ඉහත ලොව විශිෂ්ටතම සිනමා උලෙළක් ලෙස හැඳින්වූ 'කාලෝ විවාරි'සිනමා උලෙළ පැවැත්වූයේ චෙකොස්ලෝවේකියාවේ ය. එය පැරණි සෝවියට් කඳවුරේ රටකි. මෙයට දශක කිහිපයකට පෙර ලෝක බලවතුන්ගේ බලතුලනය පැවති සමයේ, මේ පැරණි සෝවියට් බලකඳවුර පිහිටියේ යුරෝපයේ නැගෙනහිරට වන්නට ය. පසු කලෙක සෝවියට් කඳවුරේ බිඳ වැටීමත් සමඟ නැගෙනහිර යුරෝපයේ සිතියම යළි වෙනස් වූ අතර එක්ව සිටි චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු දෙරටක් බවට පත් විය.
එයින් වසර ගණනාවකට එපිට, එනම් 1962 වසරේ සිට 1968 කාලය දක්වාද චෙකොස්ලෝවැකියාවේ පිබිදීමක් ඇති විය. ප්‍රාග් (Prague) වසන්තය ලෙසින් හැඳින්වූ මේ නව පිබිදීම හරහා 'සිනමා ගරයිටි'නමින් අලුත් සංවිධානයක් බිහි විණ. එයින් ලොවට අලූත් සිනමාකරුවෝ රැසක් බිහි වූහ. මයිලස් ෆෝමන්, අයිවන් සෆාරි, ජිරි මැන්සිල් ආදි තරුණ සිනමාකරුවන් රැසක් ම චෙකොස්ලෝවැකියාව හරහා ලෝකය හඳුනා ගත්තේ එයින් පසුවය. 1966 වසරේ ඇකඩමි සම්මාන උලෙළේ හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය manzil ගේ causley watch train චිත්‍රපටය දිනා ගැනීමත් සමඟ චෙක් තරුණ සිනමාකරුවන් පිළිබඳ ලෝකයේ ඇස් ඇරිණ. ඒ වන තෙක් චෙකොස්ලෝවැකියානු සිනමාව යනු කවරක් දැයි බොහෝ දෙනා දැන සිටියේ නැත. එය රුසියානු සිනමාව අබිබවා ඉදිරියට ගිය වග බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් දැනගත්තේ එම සම්මානය දිනා ගැනීමත් සමගය.
මේ නැගී සිටීමට එරෙහිව සෝවියට් දේශය ඉතා ඉක්මනින් ඔවුන්ගේ යකඩ හස්තය පැතිර වූයේය. සෝවියට් ආක්‍රමණයත් සමග චෙකොස්ලෝවැකියා සිනමා වසන්තය නිමාවූයේ 1968 වසරේදීය.
මේ සිදුවීම වන විට චෙකොස්ලෝවැකියානු සිනමාකරු මයිලස් ෆෝමන් සිටියේ එයින් සැතපුම් ගණනක් ඈත කාන්ස් සිනමා උලෙළට සහභාගී වෙමිනි. ඔහු යළිත් සිය මව්බිමට පැමිණියේ නැත. වහා ඇමරිකාවට පලා ගියේය. පසු කලෙක ඇමරිකානු සිනමාවේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතීන් ලෙස අප හඳුනා ගනු ලබන one flew over The cuckoo's nest, hair, right time, වැනි දැවැන්ත හා ශ්‍රේෂ්ඨ නිර්මාණ ඔහු අතින් බිහි වුණේ මේ පලා යෑමෙන් පසුවය.
මේ සතියේ මගේ සිනමා සටහනට පාදක කර කරගන්නේ අලුත් චෙක් චිත්‍රපටයකි. මේ වන විට චෙකොස්ලෝවෙකියාව නමින් රටක් නොමැති අතර එක් කොටසක් චෙක් දේශයට ද අනිත් කොටස ස්ලෝවැකියාව ට ද අයත් ය. 'the painted bird'නමැති මේ චිත්‍රපටය 'චෙක්'චිත්‍රපටයකි.
මෙම චිත්‍රපටයේ දීර්ඝ කාලය මිනිත්තු 169 කි. මෙහි ඇතැම් ජවනිකා අතිශයින් ජුගුප්සාජනකය. චිත්‍රපටය පිළිබඳ මගේ පූර්ව මතය නම්, මෙම චිත්‍රපටය අප නොදන්නා කතාවක් අනාවරණය කරන බැවින් මේ සම්බන්ධයෙන් මට තිබුණේ තීන්දු දෙකකි. එකක් මේ කෲර අත්දැකීම තවදුරටත් නොවිඳ සිනමාහලෙන් බැහැරව යා යුතුය. දෙවැන්න මේ දරුවාගේ නොඑසේ නම් 'ජොස්කා'ගේ ඉරණම මුළු මහත් මානව සංහතියේ ම අප නොදන්නා කතාවක් හෙළි කරන බැවින් එහි ප්‍රචණ්ඩත්වය සහ ජුගුප්සාජනක බව පසෙකලා මෙය අවසානය දක්වා විඳගැනීම ය. මා කළේ ඉන් දෙවැන්න ය.
The Painted Bird චිත්‍රපටයට පාදක වනුයේ ජොස්කා නම් යුදෙව් දරුවෙකි. ඔහුට වයස අවුරුදු දහයකි. මව්පියන් විසින් ජොස්කා ඔහුගේ නැන්දණිය ළඟට යවනු ලබන්නේ වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමේ අරමුණෙනි. එහෙත් නැන්දණියගේ හදිසි අභාවය සමග අතරමං වෙන ඒ වන විටද ඔහු කුඩා දරුවකු වන ජොස්කාට යන එන මං නැති වූ බැවින් ඔහු තම මව්පියන් සොයා ආපසු එන්නට පටන් ගනී. ඔහුට එන්නට තිබෙන්නේ මහා දුරකතර ගෙවාගෙන පා ගමනිනි. ඔහු මේ පා ගමනේදී විඳින වේදනා වචනයෙන් විස්තර කළ නොහැකිය. ඔහුට මුලින්ම හමු වන ගම්මානයේ ගැමියන් අතින් ඔහු හිරිහැරයට පාත්‍ර වේ. මේ හිරිහැරයට පාත්‍ර වන කුඩා දරුවා මන්ත්‍ර කාරියක වන මාර්තා විසින් මිලදී ගන්නේ ඇගේ බැළමෙහෙවර කිරීම සඳහාය. ඇය ගැමියන්ට මේ කුඩා දරුවා හඳුන්වා දෙන්නේ යක්ෂයකු ආරූඪ වූ අයකු ලෙසය. ඇය දකින විටත් මේ නන්නාඳුනන කුඩා දරුවා ගෙල තෙක් වළ දමා කපුටන් අතින් හිංසනයට පත් වෙමින් සිටියේය.
මාර්තාගෙන් පසු ජොස්කා හසුවන්නේ කම්හලක සේවකයන් අතටය. එහි හිමිකරුගේ බිරිය ඇගේ මියගිය පුතාට තරමට ජොස්කා ට ආදරය කරන්නේ ඔහු තම මිය ගිය පුතුගේ වයසේ වන බැවිනි. නමුත් ඇගේ සැමියා ඇයව නිකරුණේ සැක කරයි. මෙම මිනිසා කොතරම් කූර දැයි කිවහොත් තව මිනිසකුට පහර දෙන්නේ ඇසක් ගැලවී විසි වන්නටය. මේ ආකාරයෙන් මේ කුඩා දරුවා තම මව්පියන් සොයා යන ගමන පුරාම අප දකිනුයේ මිනිසුන්ගේ යහපත් ගතිගුණවලට වඩා ප්‍රචණ්ඩ වූ රෞද්‍ර ගති පැවතුම්වලට ලක්වන අයුරු ය. මේ බොහෝ දෙනා නූගතුන් යයි අපි සලකමු. නිරන්තරයෙන් විවිධ අතවරවලට කුඩා දරුවාට මුහුණ පාන්නට සිදු වේ. වරෙක ඔහු අසු වන්නේ හිට්ලර්ගේ නාසි හමුදා සේනාංකයට ය. එහි බැළමෙහෙවර කමට මේ දරුවා යොදා ගනී. එයින් පසු හසුවුණේ රුසියානු හමුදාවට ය. ඔහුට දක්නට ලැබෙන්නේ යුද්ධයයි. එහි කෘරත්වයයි.
අවසානයේ මේ කුඩා දරුවා අනාථ කඳවුරකට යොමු වේ. එහිදී දිගු කලකට පසු මේ දරුවාගේ පියා ඔහුට මුණ ගැසේ. කුඩා දරුවාට තවදුරටත් තාත්තා ගැන ආදරයක් නැත. තමාව සහමුලින්ම අමතක කර දැමුවායැයි ඔහු තුළ ඇත්තේ තාත්තා කෙරෙහි විරෝධයකි. මේ නිසාම තාත්තා ඉදිරියේ කුඩා ජොස්කා ගොළුවත පුරයි. තාත්තගේ එකම පැනය අවම වශයෙන් ජොස්කාට සිය නම හෝ මතක ඇති දැයි විමසීමටය. දරුවා කිසිවකටත් පිළිතුරු දෙන්නේ නැත. අවසානයේ සිර කඳවුරෙන් තාත්තා කුඩා දරුවාව ද රැගෙන බස් රථයකට ගොඩ වෙයි. මිනිසකුට මුහුණ දිය නොහැකි තරම් කෲර අත්දැකීම්වලට මුහුණ දී සිටින දරුවා බස්රියේ කවුළුව අසල අසුනේ හිඳින විට යාබද අසුනේ සිටින තාත්තා තද නින්දකය. ජොස්කා තාත්තාගේ අතක ඇති පච්ච සලකුණක් දකියි. එය නාසි හමුදාව විසින් යුදෙව්වන් හඳුනා ගැනීමට කරන ලද සලකුණයි. සලකුණ දකින දරුවාගේ සිතිවිලි වෙනස් වේ. ඔහුට මුල්වරට තාත්තා ගැන අනුකම්පාවක් ඇතිවේ. නමුත් ඔහු තාත්තා පුබුදුවා කිසිවක් කථා කරන්නේ නැත. ඒ වෙනුවට අසුනට යාබද වීදුරුවේ ඇති දූවිලි මත ජොස්කා තම නම සටහන් කරයි. එවිට තාත්තාට අවදි වූ විට පෙනෙන්නේ මේ කුඩා දරුවා තමාගේ නම ලියා ඇති බවයි.
the painted bird සිනමාපටය නිර්මාණය කරන ලද්දේ චෙක් සිනමාකරුවකු වන 'වක්ලව් මාර්හෝල්'විසිනි. මේ වන විට හැට හැවිරිදි වියේ පසුවන ඔහු ප්‍රාග් නගරයේ උපත ලද්දෙකි. The Painted Bird ඔහුගේ තෙවන චිත්‍රපටයයි. එහි තිර නාටකය ද අධ්‍යක්ෂවරයාගේමය. මේ සඳහා ඔහු පාදක කරගන්නේ පෝලන්ත ජාතික සාහිත්‍යධරයකු වූ ජර්ජි කොසින්ස්කි විසින් 1965 වසරේ ලියන ලද ආන්දෝලනාත්මක ග්‍රන්ථයකි. කොසින්ස්කි ද දෙවන මහා සංග්‍රාම ලෝක යුද සමයේ දරුවකුව සිටියදී බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන්නෙකි. පසුව ඔහු ඇමරිකාවට යන අතර එහි දී නවකතාකරුවකු ලෙස පතළ විය. යුද්ධය පිළිබඳව ළමා වියේදී ඔහු දුටු බියකරු අත්දැකීම්වලින් ජීවිත කාලය පුරාම මිදෙන්නට නොහැකි වූ ඔහු පනස් හත් හැවිරිදි වියේදී සිය දිවි නසා ගත්තේය.
මෙකී සිනමා කෘතිය පසුගිය වසරේ තිරගත කළ චිත්‍රපට අතර මහත් ආන්දෝලනයට ලක් වූයේ එහි එන කෲර හා ඉතාම දරුණු රූප ජවනිකා සමඟය. එය මතුපිටින් කියවනවාට වඩා බිහිසුණු මිනිසුන් පිළිබඳ අනාවරණයකි. කුඩා දරුවකු ජීවිතය අයදිමින් යන ගමන සහ ඉතා කෲර අත්දැකීම් සිනමාකරු මතු කරනුයේ ද ඉතා බිහිසුණු අන්දමිනි. එහෙත් එහි සිදුවන කිසිවක් හෝ සිනමාකරු විසින් මවාපානු ලබනුයේ කිසිසේත් ම එයින් බැහැරව, එයින් වියුක්තව විමසිය යුතු අන්දමට නම් නොවේ. මේ යුරෝපයේම එක් අවදියකි. මානව ශිෂ්ටාචාරයේ දියුණු යුගයක් යයි සැලකෙන විසිවන සියවසේ මුල් දශකයයි. පුදුමය නම් මේ යුද්ධයෙන් තොර කාලයේදීත් මනුෂ්‍යත්වයට ඉඩක් නොමැති වීමයි. සිනමාකරු තෝරා ගන්නේ කළුසුදු රූපරාමු වීම විශේෂත්වයකි. චරිත මෙන්ම දරුවා ගමන් කරන පරිසරය හා එහි සිදුවීම් අතර ගොඩනැගෙන අඳුරු ගූඪ ස්වභාවයට මහත් රුකුලක් සපයන්නේ මෙම කළු සුදු රූපාවලියයි. චිත්‍රපටයෙහි සාර්ථකත්වයට මා විශ්වාස කරන අන්දමට වැඩිම බලපෑමක් වන්නේ එහි වරින්වර අනවශ්‍ය ලෙස දිග්ගැස්සෙන තිර නාටකය නොව මෙකී විශිෂ්ටතම රූප රාමු පද්ධතියයි.
විසිවන සියවසේ මුල් දශකය පමණ වන විටත් සමහරවිට අද පවා යුරෝපයේ ග්‍රාමීය මට්ටමෙන් පවත්නා ඇතැම් ග්‍රෝත්‍රික ලක්ෂණ සිනමාකරු අපුල ලෙසින් ඉස්මතු කරයි. සිනමාකරු මේ ගෝත්‍රික ලක්ෂණ සහිත නූගත් මිනිසුන්ගෙන් පසු සමීප කරවන්නේ දියුණු සමාජය තුළ යුද වදින රුසියානු සහ ජර්මානු සෙබළුන්ගේ ක්‍රියා කලාපය වෙතය. මේ සියලු ක්‍රියාකාරකම් මනසින් සසඳන්නට ඔහු අපට නොකියා කියයි. තවමත් වර්ණ චිත්‍රපට දහසක් අතර පවා ජීවිතයේ ගැඹුර හා අත්දැකීම් සහසක් කියා පාන්නට කළු සුදු රූපාවලියක ඇති බලවත්කම සිනමාකරු අපට පසක් කර සිටී.
අරුණ ගුණරත්න