Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බබාලන්තයේ විකිණෙන බබාලා

$
0
0
ඔක්‌ 13, 2020 01:00

බබාලන්තය කියන්නේ රටකි. පුංචි කාලයේ නරඹපු බබාලන්තය කාටූන් වැඩසටහනේ වගේම සියලු මැති ඇමති බබාලා සහ ජනතා බබාලා එහි ඉතාමත් සතුටින් වෙසෙති.

ජනාධිපති බබාගේ සූප්පුව ඇමති බබෙක් හැපීම, පොලිස් බබාලා අගමැති බබාලාගේ නැපි මාරු නොකිරීම, වයසක නිළි බබෙක් තරුණ ජනතා බබෙක් කසාද බැඳීම වැනි සරල කාරණා බබාලන්තයේ ඉතා වැදගත් කරුණු ලෙස සලකා ජනතා බබාලා විසින් සති ගණන් සමහර විට මාස ගණන් සාකච්ඡා කරති.

  සරල සිද්ධිවලට රටේ ජනතා බබාලාගේ අවධානය වැඩිපුර ලැබීම නිසා අවධානය සහ නීතියේ ඇස යොමුවිය යුතු සංකීර්ණ කාරණා අතපසුවීම බබාලන්තයේ සාමාන්‍ය සිදුවීමකි.

මේ කතාව බබාලන්තයේ දේශපාලන බබාලා ගැන හෝ නළු නිළි බබාලා ගැන නොවේ. මෑතකදී ආරම්භ වී ජයටම කෙරීගෙන යන බබාලන්තයේ අලුත උපන් බබාලා කාසි කොළ, චෙක් කොළ හෝ ණයපත් ගෙවීම්වලට බබාලා නැති අම්මලා තාත්තලාට හදාගන්නට දෙන සාප්පුවක් ගැනය.

ඒ සාප්පුවේ අයිතිකාර මුදලාලි බබා කියන්නේ තමුන් ආරම්භ කොට තිබෙන්නේ ලෝකේ කොහේවත් නැති අලුත්ම පන්නේ සංකල්පයක් බවය.

බබාලන්තයේ සමහර ගැබිනි බබාලාට විවිධාකාර හේතු නිසා තමන්ගේ කුසයේ වැඩෙන බබා හදාවඩා ගැනීමට බැරිය. ඒ හේතු බොහොමයක් සාධාරණ හේතුය. ඒත් බබාලන්තයේ නීතියට අනුව ඒ බබාලාට යන්න කියන්නටද බැරි නිසා ඒ ගැබිනි බබාලා බොහොම අසරණ වෙති.  එසේ අසරණවන ගැබිනි බබාලාට දරුවන් ලැබෙනකල් බලාගන්නා බවට පොරොන්දු වන මේ මුදලාලි බබා ඒ පොරොන්දුව අකුරටම ඉටුකරන්නේය. ඒ ගැබිනි බබාලා බලා ගන්න උපකාර ලෙස ජනතා බබාලාගෙන් ලැබෙන දාන මානාදියද උපකාරද මුදලාලි බබා සම සිතින් ඉවසන්නේය.

ඊට අමතරව ඉදහිට දවසක මූණුපොතේ තමන්ගේ සාප්පුව වෙනුවෙන්ම වෙන්වුණ පිටුවේ දැන්වීමක් දමා ගැබිනි බබාලාට ආහාර පානාදිය දමා දීමට ශීතකරනයක් පිනට දිය හැකි ජනතා බබාලාගෙන් ආධාර ඉල්ලන්නටද මේ මුදලාලි බබා අමතක නොකරයි.

තමන් මේ කරන්නේ සද්කාර්යයක් බවත්, අම්මලාගේ කුසයේම දිවි අහිමි වන්නට නියමිත දරුවන්ට ජීවිතයක් දෙන එක තමන් අදහන ආගමට අනුව මහත් පුණ්‍යකර්මයක් බවත් මේ මුදලාලි බබා නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශකර සිටියි. මූණු පොතේ දැන්වීම් පලකරමින් බබාලා ලබාගැනීමට කැමති ජනතා බබාලාට තම ආයතනය සමග ලියාපදිංචි වන ලෙස කියයි. එසේ ලියාපදිංචි වන ජනතා බබාලාට අලුත උපන් බබාලා ලබා දෙන්නේ බබාලන්තයේ නීතිය අනුව බවද මතක් කරදෙයි.

බබාලන්තයේ නීතිය අනුව අලුත උපන් බබාලා කුලවද්දා ගැනීමට ලබාගත හැක්කේ සෘජුව රජය මගින් පාලනය වන ආයතනයක් මඟින් හෝ පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි/රාජ්‍ය අවසරය ලත් ආයතනයකින් විතරය. මේ මුදලාලි බබා තමන්ගේ ආයතනය එසේ ලියාපදිංචි වී ඇති බවක් හෝ එසේ ලියාපදිංචි වී ඇත්නම්, ලියාපදිංචි වී ඇති අංකයක් ගැන නොකියයි.

ඒ වෙනුවට තමන් සිදු කරන පුණ්‍යකර්මයන්ගේ බලවත් කම ගැනම කියවයි.

බබාලන්තයේ නීතියට අනුව කුලවද්දාගැනීම සදහා දරුවකු ලබාගැනීම ඉතාම අපහසුය. සමහර විටෙක ඒ සඳහා මාස ගණනක් එහෙමත් නැත්නම් වසර ගණනක් බලා සිටීමට ද සිදු වේ. තමන්ගේම ලෙයින් උපන් බබාලා ඇති අයට වෙනත් බබාලා කුල වද්දා ගැනීමට නොහැකිය. නීතියේ හැටියට අවිවාහක අයටද  බබාලා ලබාගැනීමට නොහැකිය. එකී මෙකී නොකී නීති රාශියකි.

ඒත් මේ මුදලාලි බබා ඒ කිසිම සාධකයක් නොබලාම බබාලා අරන් හදා ගැනීමට දෙයි. අලුත උපන් බබාලාට හුවමාරුවට මුදල්ද ලැබෙන බව කනින් කොනින් කියවෙයි.

මුදල් රැගෙන හෝ බබාලා නැති අයට ලේසි ක්‍රමයකින් බබාලා ලබාගන්නට හැකිනම් කොයිතරම් දෙයක්දැයි, ළඟ පෙනෙන දුර නොපෙනෙන සමහර ජනතා බබාලා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරති.

ඒ ජනතා බබාලාට අමතක වී ඇති කරුණ නම් බබාලන්තය තියෙන්නේ ලෝකය ඇතුළේ බවය. ලෝකයේ අවයව ජාවාරම්වලට අලුත උපන් බබාලා යොදාගන්නා බවය. ඊටත් අමතරව අලුත උපන්දරුවන් මරා ඔවුන්ගේ ශරීර ඇතුලට මත්ද්‍රව්‍ය පුරවා සැක නොහිතෙන ප්‍රවාහන ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට බබාලා යොදාගන්නා බවය.

මේ අගක් මුලක් නොදන්නා, කාසි කොළවලට අලුත උපන් බබාලා විකිණීමේ සාප්පුව ගැන බබාලන්තයේ පොලිස් බබාලා නීතිය ක්‍රියාත්මක කළයුතු කාලය එලඹ ඇති බව මගේ හැඟීමය.

මේ මුදලාලි බබාට රිංගා යා හැකි නීතියේ හිදැස් තිබේ නම් ඒ හිදැස් ඉක්මනින් වැසෙන තරමට නූපන් බබාලාගේ අනාගතය යම් තරමකට හෝ සුරක්ෂිත වනවා ඇත.

 

දසුනි හෙට්ටිආරච්චි


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>