අනවශ්‍ය දේට වියදම් නොවෙන නිසා සල්ලි ටික ඉතුරු වෙනවා. මේ වසංගතය අපට අත්‍යවශ්‍ය යන වචනයේ තේරුම කියලා දුන්නා."මේ බටහිර රටවල වසන ඇතැම් මිනිසුන්ගේ නිරීක්ෂණයකි. සැප පහසුකම් ඇති ජීවිත ගත කරන, වසංගතය නිසා තමන්ගේ රැකියාවට බලපෑමක් නොවූ පිරිසකට එවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකි මුත් ජීවිතය අමාරුවෙන් ගැටගහගත් දැන් රැකියා අවස්ථා නැති වී ගිය පිරිසට සිදු වී ඇත්තේ කබලෙන් ළිපට වැටුණා වැනි අභාග්‍යකි.
වසර 2020 දීත් ජීවත්වීම උදෙසා බිල් පත් ගෙවා ගැනීම පිණිස තමන්ව වසංගතයට නිරාවරණය වීම වලකා ගත නොහැකි වූ මිනිසුන් පිරිසක් සිටීම මානව ශිෂ්ටාචාරයේ අප දැන් සිටින තැන ගැන සිතන්නට අපව පෙළඹවිය යුතුයි. නමුත් අවාසනාවකට ආත්මාර්ථකාමී අප විසින් රෝස වසන්තයක් සේ සැළකෙන ධනේශ්වර ක්‍රමය තුළ අපේ අවධානයට ලක්වෙන්නේ කබලෙන් ළිපට වැටී පිච්චෙන මිනිසුන් ගැන නොවේ.
ශරීර සෞඛ්‍ය වසංගතයට නිරාවරණය කරමින් ජීවන අරගලයේ යෙදෙන පන්තියේ මිනිසුන් සහ බැංකු ශේෂය යන්තමින් වැඩි වී ඒ වියදම් කිරීමට නොඉවසිල්ලෙන් ඉන්නා පන්තියේ මිනිසුන්ගේත් වෙනසක්, ලෝකය පාලනය කරන, මේ සියල්ලටම ඉහළින් ඉන්නා කෝටිපතියන්ට ප්‍රකෝටිපතියන්ට නැත. ඒ දෙපිරිසම ධනවතුන්ට ලාභය උපදවමින් පවතින ක්‍රමය ඇදගෙන යන්නන් පමණකි. වැඩ කිරීමට ශ්‍රමිකයින් පිරිසක් සහ මිලදී ගැනීමට වියදම් කිරීමට පාරිභෝගිකයින් පිරිසක් වෙමින් සාමාන්‍ය මිනිසා ජීවන ගමනේ දවසින් දවස ගත කරයි.
මේ සියලු කාරණා අතරේ අපට සේවය කිරීමට, අප ආරක්ෂා කිරීමට පත් කර ගන්නා ආණ්ඩු කොහේද? ඔවුන්ගේ කාර්යභාරය කුමක් ද? ඒ ජනතා නියෝජිතයින්ගේ වැඩ කටයුතු දෙස පැහැදිලි දැක්මක් අපට ලබාදෙන්නේ ද? කොරෝනා වසංගත තත්වය ව්‍යසනයට පත් කරන්නේ ලෝකය පුරා සාමන්‍ය මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය පමණක් ද?
නමුත්, ආවේගශීලි ලෙස පැතිරෙන මාරන්තික ප්‍රථිඵල ඇති කලහැකි වෛරසයක පැතිරීම හමුවේ අපට රට කරවන කාරණවලට අවධානය යොමු කරන්නට වෙලාවක් අවස්ථාවක් කොහෙද?
අපට මුණගැසෙන්නට බැරිය. විරෝධතා දැක්වීමට නොහැකිය. කොටින්ම ඇතැම් රටවල මේ වේලාවේ අවංක අදහස් ප්රකාශනය නිසා අත් අඩංගුවට පවා පත්වීමට ඉඩක් ඇත. ඇතැම් රටක ඔබ නිකන්ම මෝඩයකු සේ හංවඩු ගැසෙන්නට ඉඩක් ඇත. ඇතැම් රටක ඔබ දේශද්‍රෝහියකු ලෙස සැළකෙන්නට ඉඩ ඇත. ඇතැම් රටක ඔබ කුමන්ත්රණකාරී කල්පනා ඇති කෙනකු සේ සරදමට ලක්වීමට ඉඩ ඇත.
ඉතින් මරණ තුනක් මැද වුව පැණි කෑමට හැකි සාමන්‍ය ක්‍රමය අප කරබාගෙන ඇදගෙන යමින්, දවසින් දවස ජීවිතය ගත කරන්නෙමු; පැමිණි දුකේ පැණි රස ගැන හර්ෂය ප්‍රදර්ශනය කරමින් අන්තරායක් නැත්තා සේ හැසිරෙමු.
අප මේ තරම් බය කුමකට ද?
මා කියන්නට අදහස් කරන්නේ ධනේශ්වර ක්‍රමය හෝ පවතින ආණ්ඩු බිඳ හෙළා දැකීමට විපලව කිරීමට නොවේ. මා කියන්නට උත්සහ කරන්නේ අප ජීවිතය පිළිබඳ ඉගෙන ගන්නා පාඩම් ප්‍රයෝජනයට නොගැනීම ගැනයි.
අප සියල්ලෝ මානව ශිෂ්ටාචාරය තුළ දිගු ගමනක් ආ පිරිසක් හැටියට දියුණු යැයි සළකා අපව හඳුනා ගත්තත්, ඉතිහාසය පුරා වූ දේවලින් ඇතැම් ජන කොටස් පාඩම් ඉගෙන ගනිද්දී ඇතැම් ජන කොටස් වික්ෂිප්ත බලයක් නැති තැනක හිර වෙන්නේ ඇයි?
එය කරුමයට, දෙවියන්ගේ කැමැත්තට, ස්වභාවික තෝරා ගැනීමකට භාර දීමට ලෑස්ති වූ අය ඇති බව අපි දනිමු.
නමුත් වසර 2020 දීත් ඒ තරම් මුග්ධතාවයකින් අන්ධවීමට ඔබට පුළුවන් ද?
වසංගතයේ භීතියෙන් හදිසි මිලදී ගැනීම්වලට ජනතාව යොමු වීම වැළකීමට වියට්නාමයේ රජය ඇතැම් දේ නොමිලේ ලබා දීමත්, ඒවා නිසියාකාරව බෙදෑ හැරීමකට ලක්වීමත් ගැන කටයුතු කළ අතර නිරෝධායනය වෙමින්, වෛරසයට නිරාවරණය නොවෙමින් සිටිය යුතු අයට වැටුප දිගටම ලැබීමට එම රජය කටයුතු කළහ.
වෙනිසුවේලා රජය විසින් රැකියා විරහිතයින්ගෙන් නිවාස කුළී එකතු කිරීම කොරෝනා වසංගත කාලයේදී මාස කිහිපයකට තහනමට ලක් කෙරිණි. වසංගතයේ මුවාවෙන් සේවකයින් රැකියාවෙන් පහකිරීම තහනම් කෙරුණි. කියුබාව ඔවුන්ගේ සෞඛ්‍ය සේවකයින් දොරින් දොර යවමින් සාමාන්‍ය මිනිසුන්ගේ ආරක්ෂාව සැළසීමට කටයුතු කළේය.
ඒ අතර මිනිසුන් ලක්ෂ ගණනක් කොරෝනා වසංගතයෙන් අහිමි කරගත් ඇමරිකාවේ ඇතැම් නායකයෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර නොදෙන්නේ යැයි කියමින් එම එකමුතුවෙන් අස්වීමට කටයුතු කෙරුවෝය. විද්‍යඥයින්, විශේෂඥයින්ගේ විද්‍යාත්මක උපදෙස් බැහැර කරමින් වෛරසය නොසළකන්නට රට වැසියන්ට උපදෙස් ලැබුණි.
දැන් මේ මොහොතේ ලෝකයේ බලවත්ම රටක් වූ අමෙරිකාවේ ජනපතිතුමාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඔහු විශ්වාස කරන දෙවියකුගේ ආශිර්වාදයත්, වෛද්‍ය විද්‍යාවේ පිහිටත් ලැබී ඔහු සුව වේවා යැයි මම පතමි. නමුත් ඒ දෙසරණම නොමැතිව අතහැර දැමූ වැඩිහිටි නිවාසයක කොරෝනා ආසදිතව මිය ගිය වැඩිහිටියන් අමතක කරන්නට නොහැකිය. එය ඇමරිකාවේ ප්‍රශ්නයක් ලෙස නොසළකා හරින්නට ඔබට හැකි ද?
මේ වෙලාවේ ඇඟිල්ලක් ගසන්නට ඉඩක් නැති පොදු ප්‍රවාහන සේවයක අමාරුවෙන් එල්ලී රක්ෂාව කරන්නට අනාරක්ෂිතව ගමනේ යෙදෙන ඔබ තවමත් දියුණු නොවූ රටක ප්‍රශ්නයක් ලෙස නොසළකා හැරීමට මට හැකි ද?
එසේ කළ හැකි නම් මේ කතාවේ පලක් නැත. නමුත් සත්‍ය වන්නේ එසේ කිරීමට නොහැකියාවයි. අපි විශ්ව ගම්මනයක වුවමනාව හඳුනාගත් දියුණු මිනිස්සු වන්නෙමු. අපේ ජීවත් වීම සිදු විය යුත්තේ අප වෙනුවෙන් මිස අපව පෙළන්නන් වෙනුවෙන් නොවේ. අප දේශපාලනිකව දැනුවත් වීම වැදගත් කාරණාවකි.
වසංගතයකදී පවා ඇස් ඇරගෙන කටයුතු කිරීම අපේ යුතුකමකි.
හිමාලි එන්. ලියනගේ