Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මුහුදු ලිහිණින්ගේ රාජ්‍යය සේතු සමුද්‍රම්

$
0
0
ඔක්‌ 14, 2020 01:00

නුමන්තා පාලම, ආදම්ගේ පාලම, සේතු සමුද්‍රම් වශයෙන් නාමිකව හඳුන්වන අපේ රටට අයිති එහෙත් බොහෝ දෙනකුට ආගන්තුක, ඇතැමෙක් නමක් පවා අසා නැති වැලි පර දූපත් සමූහයක් මන්නාරම් තොටින් ඉන්දියාව දෙසට දිවෙන මුහුදු සීමාව තුළ පිහිටලා තියෙනවා. මේවා නිකම්ම නිකන් වැලි පර දූපත් නෙමෙයි. වනජීවී රක්ෂිත භූමියක්. මොන විදිහේ වන ජීවී රක්ෂිතයක් ද කියනවා නම්, ජාතික උද්‍යානයක්. අපේ රටේ ප්‍රකාශිත ජාතික උද්‍යාන 26 අතුරින් 25 වැනියට ප්‍රකාශිත ජාතික උද්‍යානය තමයි ආදම්ගේ පාලම ජාතික උද්‍යානය.

ආදම්ගේ පාලම ජාතික උද්‍යානය පිහිටලා ඇත්තේ ඉන්දු - ලංකා දේශ සීමාවන් අතරේයි. ඒ කියන්නේ වැලි පර දූපත්වලින් කොටසක් අපේ රටටත්, කොටසක් ඉන්දියාවටත් අයිතියි. මුළු දූපත් ගණන 16 යි. ඒකෙන් අපේ රටට අයිති මුහුදු කාලපය තුළ පිහිටලා ඇති පිළිවෙළින් 01/02/03/04/05/06/07 සහ 08 කියන වැලි පර දූපත් ශ්‍රී ලංකාවටත්, ඉන්දීය මුහුදු කලාපය තුළ පිහිටලා ඇති 09/10/11/12/13/14/15 සහ 16 කියන වැලි පර දූපත් 08 ඉන්දියාවටත් අයිතියි. දෙරටේම මුහුදු සීමාවන් දිව යන්නේ අපේ රටේ අට වැනි දූපත හරහායි. ඒ කියන්නේ අට වෙනි දූපතෙන් බාගයක් අපිටත්, බාගයක් ඉන්දියාවටත් අයිතියි. මේ දූපත් දෙරටේ පිහිටීම අනුව මායිම් ලෙස බෙදා වෙන් වුණත් වැලි පර දූපත් ආශ්‍රිතව පවතින ජෛව විවිධත්වය සහ ඒ හා බැඳුණු ඓතිහාසික කරුණු කාරණාවන් ගැනත් අවධානය යොමු කරපු රටවල් දෙකම තම තමන්ට අයිති දූපත් මේ වෙද් දී ජාතික උද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කරලයි තියෙන්නේ. අපේ වැලි පර දූපත් ආදම්ගේ පාලම ජාතික උද්‍යානය ලෙසටත්, ඉන්දියාවේ වැලි පර දූපත් ‘ගල්ෆ් ඔෆ් මැනාර්’ ජාතික උද්‍යානය හැටියටත් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ වෙද් දී මේ දූපත් සමූහයම ක්‍රියා කරන්නේ එක් වනජිවී රක්ෂිතයක් ලෙසටයි. ශ්‍රී ලංකාවේ ආදම්ගේ පාලම ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වගේම ඉන්දියාවේ ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහාත් සිදු වෙනවා. ඒ හින්දා වැලි පර දූපත්වලට ලැබිලා තියෙන නීතිමය රැකවරණය හරහා දූපත් රැක ගන්න අවශ්‍ය කරන සංරක්ෂණ වැඩ සටහන් දෙරට විසින්ම ක්‍රියාවට නංවලයි තියෙන්නේ. මේ වෙද්දී මේ කියන දුෂ්කර මුහුදු කලාපයේ තම තමන්ට අයත් බල සීමාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ඒ හින්දා නිසි අවසරයකින් තොරව නම් මේ කුරුලු සංවේදී දූපත්වලට ඇතුළු වෙන්න අවසරය නැති බවත් සඳහන් කළ යුතු වෙනවා.

දැන් පැහැදිලියි නේද අපේ අධ්‍යයනයට බඳුන් වන ප්‍ර‍දේශයේ ඇති වැදගත්කම. ඉතින් මේ පාරිසරික කලාපය ගැනත් කියන්න දේවල් තවත් බොහෝයි. පිළිවෙළට ඒ කරුණුත් ගොනු කර ගනිමු. හැබැයි ඒ කරුණුවලට වැඩි පුරම අන්තර්ගත වෙන්නේ මුහුදු ලිහිණින්ගේ විස්තර බව නම් සඳහන් කළ යුතුමයි. මොකද මේ දූපත් සමූහයෙන් වැඩි දූපත් ප්‍රමාණයක් මුහුදු ලිහිණි වි‍ශේෂයන්ගේ අභිජනන බිම් බවට පත් වන්නේ නිතැතින්මයි. වසරේ එක් කාල සීමාවක් තුළ, ඒ කියන්නේ වසරේ මැද භාගයේ දී විතර මුහුදු ලිහිණීන් මේ දූපත්වල වැලි මත්තේ කැදිලි තැනීමට පටන් ගන්නවා. ඒ සීය දෙසීය ගණනින් නම් නෙමෙයි දස දහස් ගණනින්. ඒ කියන්නේ මුහුදු ලිහිණින්ගේ කොලනි ලෙසත් වැලි පර දූපත් මේ කාලයේ දී හැඳින්විය හැකියි.

අපේ රටේ දේශ සීමාවට අයිති ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට අයත් දූපත් 07න් තෙවන දූපත මුළුමනින්ම පාහේ මුහුදු ලිහිණියන්ගේ ආධිපත්‍යයට නතු වනවා. ඒ නිසා කුරුලු දූපත කියන පටබැඳි නම මේ දූපතට ව්‍යවහාර වෙනවා. මුහුදු ලිහිණින් තම කැදිලි තැනීම සඳහා සුදුසු ස්ථානයක් තේරීමේදී ලෝකයෙන් හුදෙකලාව පිහිටා ඇති මේ දූපත්වල පිහිටීම පිළිබඳවත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ද ඇති බව පැහැදිලියි. මේ දූපත්වල හුදෙකලා වු පිහිටීමත්, හතර වටින්ම මුහුදින් වට වී ඇති වටපිටාවක් හමුයේ තම කුඩා පැටවුන්ට විලෝපික සතුන්ගෙන් සිදු වන හිරිහැර අවම වීමත් යන කරුණු ද ඒ සඳහා බලපාන්නට ඇති. පැහැදිලි වශයෙන් හඳුනා ගත හැකි මුහුදු ලිහිණින් විශේෂ 07ක් ආදම්ගේ පාලම වැලි පර දූපත් අතරේදී නිරීක්ෂණය කළ හැකියි. පෙර පෙම් රැඟුම් පාමින්, කැදිලි තනමින්, බිජු ලමින්, බිජු රකිමින් සහ පැටවුන් පෝෂණය කරමින් වසරකට එක් වරකදී පමණක් කලබලකාරී වූ දිවි පැවැත්මකට ආදම්ගේ පාලම වැලි පර දූපත් සමූහය නතු කරමින් සහ මේ දූපත් සමූහයට සජීවී බවක් එකතු කිරීමට නිබඳවම වෙහෙසෙන මුහුදු ලිහිණින්ගේ නොපළ වතගොත සැබැවින්ම මනරම්ය. ඒවා රස විඳීම අපි පසුවට කල් තබමු. වනජීවී රක්ෂිතයක් වුණත්, ඒ රක්ෂිතයේ දිවි ගෙවන මුහුදු ලිහිණි රාජ්‍යයේ සොඳුරු බවට වින කටින මිනිසුන් ද නැත්තේ නොවේ. මේ වැලි පර දුපත් ආසන්නයේ ධීවර කර්මාන්තයේ නිරත වන ප්‍රජාවේ ඇතැම් පිරිස් අලුත දැමූ ලිහිණි බිත්තර සොරකමේ යෙදීමට දක්වන්නේ ප්‍රියතාවක්. එහෙත්, සඳහන් කළ යුතුමයි මේ කරුණත්. ඔබ මේ වැලි පර දූපත් සමූහය නිසරු බිමක් ලෙස දුටුවත් ඒ බිම රැකුණොත් තමයි තමන්ගේ එදිනෙදා ජීවනෝපාය ද සාර්ථකව සිදු කර ගත හැකි වන්නේ. මෙබඳු අනිසි වූ මානව ක්‍රියාකාරකම් සිදු කරන්නන්ට එදිරිව නීතිය දැඩිව ක්‍රියාත්මක බවත් සිහි කට යුතුයි.

හනුමන්තා පාලම, ආදම්ගේ පාලම සහ සේතු සමුද්‍රම් වශයෙන් නම් ලද මෙම වැලි පර දූපත් සමූහය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථිකමය - සමාජීය - සංස්කෘතික වශයෙන් වැදගත් වූ බැඳීම් සමුදායක් ගොඩ නැඟීමට සමත් වු සොබාදහමේ අපූර්ව නිමැවුමකි. සේතු සමූද්‍රම් මේ දූපත් සමුහයට කියන සංස්කෘත වදනයි. ඇත්තටම මේ භූ පිහිටීමට සුදුසුම නම හැටියට ඒ නම හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සංස්කෘත බසින් සේතු කියන්නේ පාලමයි. සමුද්‍රම් කියන්නේ සයුරයි. ඒ කියන්නේ සේතූ සමුද්‍රම් එකතු වුණාම හැදෙන්නේ සයුරු පාලමයි. මේ සයුරු පාලම ඉන්දියාවටත්, අපේ රටටත් එක වගේම වැදගත්. ඒකනේ ජෛව විද්‍යාත්මකව මේ දූපත් සමූහයම (Trance Boundery National Park) දේශාන්තරික ජාතික උද්‍යා නයක් ලෙස නම් කරන්න රටවල් දෙකම එකග වෙලා කටයුතු කරලා තියෙන්නේ. අපේ දූපත් අට ආදම්ගේ පාලම ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් වෙන කොට ඉන්දියාවේ දූපත් අටත් ගල්ෆ් ඔෆ් මැනාර් ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් වෙනවා. ඒ නිසා මේ දූපත් නිසරු බිම් ලෙස සිතා ඒවාට වින කටින්න හරි, ඒවායේ වසරේ එක් කාලයක දී බිත්තර දමන මුහුදු ලිහිණින්ට හරි, ඒ පක්ෂින්ගේ බිත්තරවලට හරි වින කටින්න එහෙම හිතාගෙන ඉන්නවා නම්, ඒ සිතුවිල්ල ලත් තැනම ලොප් කර ගන්නවා හොඳයි. මොකද ජාතික උද්‍යානයකට අනවසරයෙන් ඇතුළු වීම, එහි ජීවත් වන සතුන්ට, වාසභූමිවලට හානි වන ආකාරයේ කිසිවක් හෝ සිදු කිරීම කියන්නේ බරපතළ දඬුවම් පැණ විය හැකි වරදක්. මේ දූපත්වලට ලැබී ඇති නීතිමය ආරක්ෂාව දැඩියි. පැය විසිහතරම තම තමන්ගේ දේශ සීමාවලට වෙලා ඉන්දීය නාවික හමුදාවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවත් රැකවලෙයි පසු වන්නේ. මුහුදු ලිහිණි දූපත් පිහිටලා තියෙන්නේ තුන් වැනි දූපතේයි. ඊට එහාට වෙන්න පිහිටලා ඇති හතර වැනි දුපත කියන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරක් පවතින බිමක්. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට අයත් දුපත්වලට අදාළව සංරක්ෂණ කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

නොගැඹුරු මුහුදු කලාපයන් දෙකක් වෙන් කරමින් තනපු සොබාවික තාප්පයක් හා සම වන මේ වැලි පර බැම්ම ඉවත් කළා යැයි සිතන්න. එවිට මතුවන පාරිසරික බලපෑම් අපේ රටට විතරක් නෙමෙයි සමස්ත ලෝකයටම බල පෑ හැකියි. සුපුරුදු පරිදි ගමන් ගත් දිය වැල්වල ගමන් මාර්ගය වෙනස් වී මුහුදු ජලයේ උෂ්ණත්වය වෙනස් වීම්, සාගර ජලයේ අධික තෙරපුම නිසා ඇති වන පීඩනය, ලවනතාවේ වැඩි වීම්, ස්වාභාවික ප්‍රවාහයන්ගේ රටා වෙනස් වීම්, පෝෂක දලයන්ගේ ගලා යෑම් වෙනස් වීම හරහා සාගර ජීවීන්ගේ ජීවිත පැවැත්මටත් බාධා ඇති විය හැකියි. කොරල්පර පද්ධතියටත්, ඒ ආශ්‍රිත ජීවීන්ගේ පැවැත්මටත් වැලි පර දූපත් ආශ්‍රිතව මුහුදු සිමාවේ යම් වෙනස් කිරීමක් කළොත් එය තර්ජනයක් වේවි. මේ වැලි පර දූපත් කියන්නේ ස්වාභාවික ආරක්ෂිත වැටක්. ජෛව විද්‍යාත්මක විද්‍යාගාරයක්. ඒ කියන කරුණු කාරණාවන් නිසායි වැලිවලින් ගහන වුණත් මේ දූපත් සමූහය සහ අවට මුහුදු කලාපය වැදගත් වනජීවී රක්සිතයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ආරක්ෂා කරන්නත්, මතු පරපුර උදෙසා සංරක්ෂණය කරන්නත් මුල්වන්නේ. ආදම්ගේ පාලම වැලි පර දූපත් සොබාදම් මාතාවගේ අපූර්ව නිර්මාණයක්. ශ්‍රී ලංකාව ලද අමිල දායාදයක්. ඉතින් මේ අමිල වූත්, අනගි වූත්, අපූර්ව වූත් සොබාදම් නිමැවුම අනාගත පරපුර වෙනුවෙන් උරුම කරදීම සඳහා සංරක්ෂණය කිරීමේ මහඟු කාර්ය භාරය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් දායකත්වය දැක්වීම පුරවැසියන් වන ඔබ, අප සැමගේ වගකීමකට එහා ගිය යුතුකමක් බවත් තරයේම සිහි තබා ගත යුතුම කරුණක්.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

ඡායාරූප - රෝහිත ගුණවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>