රහංගල ජමනාරං නිවැරැදිව වවන්නේ මෙහෙමයි
නිසරු ඉඩම්වල රහංගල ජමනාරං සාර්ථකව වගා කළ හැකි වීමෙන් අත මිට සරු කර ගත හැකිය. එනිසා මෙම ජමනාරං ප්‍රභේදය පිළිබඳ දැනුවත්ව සිටීම කාලෝචිත බව හැඟේ. රුටේෂියේ කුලයට අයත් සිටි රස් රෙටිකියුලටා යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන ජමනාරං අප අතර ජනප්‍රිය පලතුරකී. ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ගෙවතුවල ජමනාරං ගස දක්නට ලැබේ. එම ගස්වලින් නිසි ඵලදාවක් නොලැබිම හා විවිධ ලෙඩ රෝගවලට ද භජනය වීම් දක්නට ලැබේ. එසේම ගෙඩියේ පෙනුම හා අඩු රසවත් බව නිසා එතරම් ඉල්ලුමක් ද නොමැති වීම නිසා ආර්ථික වාසියක් ද අත් නොවේ. මෙම ජමනාරං බීජ මඟින් පැළ ලබා ගැනීම නිසා අස්වනු ලබා ගැනිමට ද දිගු කලක් ගත විම, ගෙඩි කුඩාවිමත් නිසා වගාව නිසි ලෙසට නඩත්තු නොකිරීම යන කාරණා දේශීය ජමනාරං වගාව කඩා වැටීමට හේතු ලෙසට දැක්විය හැකියි. එසේ වුවත්, මෙම ගැටලුවට පිළියම් ලෙසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රහංගල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් රහංගල ජමනාරං ලෙසින් නව ප්‍රභේදයක් ගොවියන්ට හඳුන්වා දී ඇත. මෙම නිර්දේෂිත රහංගල ජමනාරං ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් පැවතීම නිසා වගා කරුවන්ට ද මහත් අත් වැසිල්ලක් ගෙන දෙයි. විදේශිය ජමනාරං සඳහා වසරින් වසර ඇදී යන විශාල මුදල අවම කරගෙන එම මුදල රටට ඉතිරි කර ගැනීම හා දේශීය පලතුරු වගාකරුවන්ගේ ආදායම ඉහළ දැමීම යන කාරණා මත රහංගල ජමනාරං හා ජමනාරං මධු යන ප්‍රභේදයන් හඳුන්වාදී ජනප්‍රිය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙහෙසක් දරයි.
ජමනාරං වගාවට සුදුසු දේශගුණික පරිසරයක පිහිටි නිසරු තේ වගා භූමිවල සහ වෙනත් වගාවක් කළ නොහැකි ඉඩම්වල වාණිජ මට්ටමින් රහංගල ජමනාරං ප්‍රභේදය සාර්ථකව වගා කර ඉහළ ආදායමක් උපයාගත හැකියි.
ජමනාරං මධු ප්‍රභේදය
උඩරට- මැදරට-පහත රට අතර මැදි කලාපය සඳහා සුදුසුය. ඇට ඇට රහිතය. යුෂ ඉතා රසවත්ය. කබොලු රෝගය තදබල ලෙස වැලඳෙන අතර, රත්ත පටල රෝගය නිසා අතු මැරීයාම දක්නට ලබේ.
ජමනාරං රහංගල ප්‍රභේදය
මෙම ජමනාරං ප්‍රභේදය උඩරට සහ මැදරට අතර මැදි කලාපයේ වගා කිරීමට වඩාත් සුදුසුය. වැඩි ඵලදාව මිහිරි සුවඳ සමඟ යුෂවල ඇති රසය ඖෂධීය ගුණය නිසා මෙම ජමනාරංවලට ඉල්ලුම වැඩිය. එසේම බාහිර පොත්තේ දීප්තිමත් බව නිසා පියකරු පෙනුමක් ද ලැබි ඇත. එසේම රත්ත පටල රෝගය නිසා අතු මැරීයාමක් බහුලව දක්නට නොමැති බවත් කිව යුතු කරුණකි.
ජමනාරං වගාව සඳහා තද පස් තට්ටු හෝ බොරලු තට්ටුවලින් තොර මනා ජල වාහනයක් සහිත මීටර් 02ක් පමණ ගැඹුරු සැහැල්ලු පස (ලෝම පස) අඩු වායු ගෝලිය තෙතමනය මල් හට ගැනීමට උත්තේජනය වීම සඳහා මාස 1-2 පමණ වියලි කාලගූණ තත්ත්වයක් ඇති ප්‍රදේශ විය යුතුය. මෙවන් පරිසරයක මීටර් 4, 3.5 පරතරය සහිත සැහැල්ලු පසක නම්, සෙන්ටි මිටර් 60x60x60 ප්‍රමාණයට ද තද පසක් නම්, මීටර් 1x1 ප්‍රමාණයට වළවල් කපා ගත යුතුය. ඉහත පරතරයට අනුව, අක්කර 01 ට ජමනාරං පැළ 280ක් පමණ වගා සඳහා අවශ්‍යය. මෙසේ ඉහත සඳහන් ආකාරයට වගා බිම සකසා ගැනීමෙන් අනතුරුව පැළ සිටුවීමට සති 02ට පමණ පෙර මතු පිට පස් හා කාබනික පොහොරවලින් කැපූවළ පුරවා ගන්න. මෙසේ සකස් කර ගත් වලක බද්ධ පැළයක් සිටුවන්නේ නම් බද්ධ සන්ධිය භුමියෙන් අගල් 06ක් පමණ ඉහළින් සිටින සේ සෘජුව සිටුවන්න. අවශ්‍ය නම් ආධාරකයක් සිටුවන්න. එසේම පැළයේ මුදුන් මුල දඟර ගැසී ඇත්නම් එම කොටස කපා ඉවත් කිරීමට වග බලා ගන්න. පැළය සිටුවා මූලික පොහොර මිශ්‍රණය ගසේ සිට සෙන්ටි මීටර 10ක පමණ දුරින් යන්තමින් මිශ්‍ර කර වසුනකින් වසා ජලය සපයන්න. වැඩෙන ගසට හොඳින් හිරු එළිය වැටෙන ආකාරයට අතු රිකිලි ඉවත් කරන්න. දුර්වල අතු හා රෝගී අතු කපා ඉවත් කරන්න. පල දරන ගස් සඳහා වසරකට අවශ්‍ය පොහොර සම කොටස් දෙකකට ද මල් හට ගත් පසුව අස් වැන්න නෙළුෑ වහාම අවස්ථා දෙකක දී පොහොර යොදන්න. අවශ්‍ය නම් පොහොර යෙදීමෙන් පසු ජලය සපයන්න. මෙසේ සාර්ථකව ජමනාරං වගාවක් පවත්වාගෙන යන්නේ නම් ඉහළ ආදායමක් පහසුවෙන් ඔබට උපයා ගැනීමට හැකි වෙයි.
(විශේෂ ස්තුතිය - විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල හේමචන්ද්‍ර )
ඡායාරූප හා සටහන
වැලිමඩ සමූහ ආර්. රාජමන්ත්‍රී