මෙරට ධජ පූජාවේ ඉතිහාසය රාවණා යුගය දක්වා දිව යන බව පැවසෙයි. රාවණා රජු භාවිත කළ කොඩිය රාවණා කොඩියයි. එය රජුගේ පෞද්ගලික කොඩිය මෙන්ම, රටේ ජාතික කොඩිය ද වේ. ඒ හෙයින් එය ලක්දිව මුල්ම ජාතික කොඩිය ලෙස සැලකිය හැකිය. රාවණා කොඩියේ සිටි මානව රූපයකින් (රජ - දෙවියන්) හා එහි හිසට ඉහළින් දෙපස සූර්යයා හා චන්ද්‍රයාගේ සංකේතවලින් යුක්ත විය. ඉන් අනතුරුව ක්‍රි.පූ 544දී විජය කුමරු ලක්දිවට පැමිණ තම්මැන්නාවේ සිංහ රූපය සහිත කොඩිය නිර්මාණය කරන ලද බව මහාවංසයේ සඳහන් වෙයි. ඉන්දියාවේ සාංචි සෙල් කැටයම් අතර, සිංහ කොඩිය රැගෙන සිය පිරිසත් සමඟ ලක්දිවට එන විජය (විජයාගමනය) දැක්වෙන සෙල් කැටයමක් ද තිබේ. මේ කරුණු ශ්‍රී ලංකාවේ සිංහ කොඩිය හෙවත් ජාතික කොඩියේ ආරම්භය ලෙස සැලකිය හැකිය.
විෂ්ණු ධර්මෝන්තර නම් පැරැණි ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථයේ සිංහල ධජයේ සිංහ රූපය පැවැති බව සඳහන් වෙයි. විජයට පසුව ක්‍රි.පූ. 3 වැනි සියවසේ දේවානම් පියතිස්ස රජු සිංහ කොඩිය රාජකීය ධජය වශයෙන් භාවිතා කළ බව සඳහන් වේ. පැරණි ලක්දිව ජාතික ධජය ලෙස සිංහ කොඩිය පිළිබඳව වඩාත් ප්‍රකටව මහාවංසයේ සඳහන් වන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේදීය. ඒ රජු සෑම සම්භාවනීය අවස්ථාවකදීම සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් ගෞරව බහුමානයෙන් පරිහරණය කර තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ සිතුවම් කරන ලද රන්ගිරි දඹුලු විහාරයේ සිතුවම් අතර දුටුගැමුණු රජුගේ ජාතික ධජය නිරූපණය වේ.
චතුරශ්‍රයකින් හා එහි කෙළවර එක් පසක දිගැටි ත්‍රිකෝණ දෙකකින් යුක්ත හැඩය සහිත කොඩියේ චතුරශ්‍ර කොටසේ ඉහළින් ඉර සඳ සංකේත දෙක ද පහළින් ඉදිරි දකුණු පාදයෙන් කඩුවක් ගත් සිංහයා ද නිරූපණය වේ. රාවණා කොඩියේ ඉර - සඳත් විජය රජුගේ කොඩියේ සිංහ රුවත් සංකලනය කර දුටුගැමුණු රජුගේ කොඩිය නිර්මාණය කර ඇති බව අනුමාන කළ හැකිය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන තන්ත්‍රය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කොඩි සම්බන්ධ පැරැණිතම අවස්ථාව ලෙස සඳහන් කළ හැක්කේ රාවණා යුගයයි. රාවණා රජු සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙන්ම යුද්ධවලදී ඉහත සඳහන් රාවණා කොඩිය භාවිත කරන ලද නිර්භීත, අති දක්ෂ, රණශූරයකු වූ රාවණා රජු, ධජය පෙරටු කරගෙන කළ සියලු සටන්වලදී ජයග්‍රහණය ලැබුවේය. රාවණා ධජය ලෙළදෙනු දකින සතුරෝ, අතිශය භීතියට පත් වූහ. ඒ අනුව එම කොඩියට මහත් බලයක් තිබිණි. ඊට හේතුව වූයේ, එයට දෙවියන්ගේත් ආශිර්වාදය ලබා දීමයි. ධජග්ග සූත්‍රයේ සඳහන් වන පරිදි ඒ ඒ දෙවියන් තම කොඩිවලට ලබා දුන් ආශිර්වාදය නිසා, මිත්‍ර පාර්ශ්වයන්ගේ සියලු බිය දුරුවී, ජයග්‍රහණය අත්පත්කර දුන්න ද, සතුරු සේනාව පරාජය වූවා සේ දේවාශිර්වාදය ලබා දෙන ලද රාවණා කොඩිය මඟින් ද රාවණා රජු ජයග්‍රහණය කළේය.
මෙසේ කොඩිවලට දේවාශිර්වාදය ලබාදීමේ සම්ප්‍රදාය එදා සිට නූතන යුගය දක්වාම පැවැත එන බව, ඌව සබරගමුව පළාත්වල දේවාලවල වර්තමානයේ ද රාවණා කොඩියට පුද පූජා පවත්වමින් දේවාශීර්වාදය ලබා දීමෙන් යාතුකර්ම පවත්වන ආකාරයෙන් අනාවරණයවේ. මේ සම්බන්ධ එක නිදසුනක් නම්, සබරගමුව මහා සමන් දේවාලයේ දේවාභරණ තැන්පත් කර තිබෙන බළන්ගොඩ බොල්තුඹේ නම් ගමේ පුරාණ මහා සමන් දේවාලයේ රාවණා ධජය තැන්පත් කර තිබෙන බවට පුරාවෘත්තයේ සඳහන්ව තිබීමය. ඒ පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවන පළාතේ ජනතාව, රාවණා කොඩිය මහා හාස්කම් ඇති උතුම් පූජාර්භ වස්තුවක් ලෙස සලකා පුද පූජා පවා පවත්වති. දැඩි නියං සමයකදී වුව ද, කොඩිය පිටතට ගෙන එසවුව හොත්, මහා වැසි වසින බවට විශ්වාසයක් පවතී.
වාර්ෂිකව එහි රාවණා පූජාවක් පවත්වා, ධජයට ද පුෂ්පෝපහාර පවත්වා, ඊට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම පුරාණයේ සිට කෙරෙන ආගමික චාරිත්‍රයකි. මෙරට සියලු දේවොලකම පාහේ ඒ ඒ දෙවියන්ගේ වස්ත්‍රාභරණ මෙන්ම, පෙරහරවලින් ධජ පතාක ගෙන ගොස් උත්සවාකාරයෙන් පූජෝපහාර පවත්වා දේවාශිර්වාදය ලබා දීම, වසරක් පාසා සම්ප්‍රදායානුකූලව කෙරෙන ආගමික චාරිත්‍රයකි. මහනුවර ශ්‍රී දළදා පෙරහරේ සතර මහා දේවාලවල දේවාභරණ හා දෙවියන්ගේ ධජ ගෙන ගොස් ආගමික චාරිත්‍ර පවත්වා දේවාශිර්වාදය ලබාදීම සිදු කෙරේ.
සමන් දෙවි කොඩිය
ලංකාවේ පෞරාණික යුගයේ සිට භාවිත වන සුවිශේෂී කොඩි වර්ගය වන්නේ, රජුගේ හෙවත් රාජ්‍ය ධජය හා ආරක්ෂක හමුදා සේනාංක සතු ධජය. මුල් යුගයේ රජුගේ ධජය ජාතික හා රාජ්‍ය ධජය ද විය. දේවානම් පියතිස්ස රජු සිංහයා බැඳි ධජය රාජ්‍ය හා ආගමික උත්සව, පෙරහර වැනි විශේෂ අවස්ථාවලදී භාවිත කළේය. මුල් වරට සිය යුද පෙරමුණේ ජාතික ධජය ගෙන ගිය බව වංශකතාවේ සඳහන් වන්නේ, ජාතියේ අසහාය වීරයා වන දුටුගැමුණු රජු විසින් බවයි. එයින් පසුව සිංහල රාජ පරම්පරාවේ සියලුම රජවරුන් ජාතික ධජය, ජාතික, ආගමික, යුද කටයුතුවලදී භාවිත කරන ඇත. වළගම්බා, ගජබා, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, 6 වැනි පරාක්‍රමබාහු, පළවැනි රාජසිංහ, ශ්‍රී වික්‍රම වැනි ජාතියේ යුද විරුවන්, යුද පෙරමුණේදී ජාතික ධජය පෙරටු කරගෙන, යුද වැදෙමින් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ බව, මූලාශ්‍රයවල සඳහන් වේ.
වර්ෂ 1818 සිට සිංහල ජාතික ධජයට හා රාජකීය යුද්ධ හමුදා සේනාංකවල කොඩිවලට අභාග්‍යසම්පන්න වකවානුවක් උදාවූ අතර, 1948දී නැවතත් ඒවා ක්‍රමයෙන් භාවිත වෙමින්, කොඩිවල යම් යම් වෙනස්කම් ද සිදු විය. එහෙත්, 1972දී පූර්ණ නිදහස අත්පත් කරගෙන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය පිහිටුවීමෙන් පසුව, සිංහ කොඩිවලින් යුතු සේනාංකවල කොඩිත්, දේශීය අභිමානය සුරකින පරිදි සංශෝධනය කර ස්ථිරව ස්ථාපිත කෙරිනි.
ජාතික කොඩියට හා ආරක්ෂක සේනාංකවල කොඩිවලට ගෞරවාදර භක්තිය හිමිවූ අතර, වාර්ෂිකව ආරක්ෂක හමුදා සේනාංකවල කොඩිවලට අනුරාධපුරයේ සිට පැවැත්වූ උතුම් සම්ප්‍රදාය අනුගමනය කරමින්, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා දීම ද ඉතා උත්කර්ෂවත් හා අභිමානවත් ආකාරයෙන් සිදු කිරීම නැවත ආරම්භ විය.
අති පූජනීය බෝ සමිඳුන් අබියස සිදු කරන මේ ආශිර්වාද උත්සවයේදී යුද හමුදාවල ධජ බෝධීන් වහන්සේ සමීපයේ තැන්පත් කර, උන්වහන්සේගේ ආශිර්වාදය ලබාදෙන අතර, මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කරනු ලැබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙරට ස්ථාපිත කර ඔක්තෝබර් 10 වැනිදාට වසර 71ක් සපිරෙයි. ඒ නිමිති කරගෙන සෑම වසරකම යුද හමුදාවේ සියලු රෙජිමේන්තුවලට අයත් ධජ සඳහා ආශිර්වාද ගැන්වීමේ මහා පින්කම සිදු කරන්නේ, ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වීම විශේෂත්වයකි.
මේ වසරේදීත් එම සුවිශේෂ චාරිත්‍රය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේදී මහත් උත්සවශ්‍රීයෙන් පැවතුණේ, යුද්ධ හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. වර්තමානය වන විට යුද හමුදාවේ සියලු සේනාංකවලට අයත් ධජවලට සෙත් පතන අතර, එහි ප්‍රධානත්වය ගන්නේ යුද හමුදාපතිවරයාය.
(මූලාශ්‍රය - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙ)
රත්නසිරි පතිරණ