ජෙෆ්රිබාවා කල් යල් බලලා උත්තරීතර පාර්ලිමේන්තුව දියවන්නාවේ හැදුවේ නැත්නම් දෙසිය විසිපස් දෙනෙක් කියන බොරු ගොන්නට අද පාර්ලිමේන්තුව හොයා ගන්න වෙන්නේ නටබුන් අවශේෂ කැණීම් කරලා නේද කියලා හිතන කොටත් නිර්මාණය කරපු බාවාට මල් තියලා වැන්දත් මදි කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒ දවස්වල කොස්ගම ශාලාවේ කැම්ප් එක පිපිරුණේ අවි ගබඩාවක් නිසාලු. අවි ගබඩාවක් නොවුණත් අවියෙන් වැජඹෙන පාර්ලිමේන්තුව නොපිපිරුණේ තාම දියවන්නා ජල ප්‍රාකාරය නිසා බව අවිවාදයෙන් පිළිගන්න වෙලා තියෙනවා. එදා මෙදා තුර කිසිම වෙනසකට බඳුන් නොවුණු එකම ගොඩනැඟිල්ල පාර්ලිමේන්තුව වෙන්න ඇති.
එක්කෝ ඡේෆ්රි බාවාට තිබුණේ අහවල් ගොඩනැගිල්ල ටැම්පිට ගෙවල් වගේ කණු උඩ හදන්න. එතකොට මිනිස්සුන්ට හිතන්න පුළුවන් අපේ රටේ දේශපාලනය වැට උඩ කියන එක. එතකොටවත් මිනිස්සු ඇස් කන් ඇරගෙන ඉන්න පුරුදු වෙයිනේ. අඩුගානේ ඔවුන්ගේ ජීවිතේ දේශපාලකයන්ගේ අතට නොදී ජීවත් වෙන්න හරි බලයි.
ඔය මොන මොන දේවල් කිව්වත් අපේ රටේ මිනිස්සුත් දේශපාලනයට දොහොත් මුදුන් දීලා වන්දනා කරනවා. දෙනකොට දෙවියෝ හොඳයි වගේ දෙනකල් හොඳමයි. එහෙයි ගාගෙන පස්සෙන් ගාටනවා, පොඩ්ඩක් වැරදුණු ගමන් අම්මා අප්පා මතක් වෙන්න දෙස් දෙවොල් දෙනවා. ඔන්න ඔහොමයි අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. සමහර දේශපාලකයන්ගෙත් මිනිසුන්ගෙත් අතර වෙනසක් නෑ පොඩි හරි වෙනසක් තියෙනව නම් තියෙන්නේ දියවන්නාව සංක්‍රමණය නොකිරීමයි. බලය, මුදල යන පාස් මාර්ක් එක නැති කමයි.
උත්තරීතරයයි පවසන පාර්ලිමේන්තුව කාලයාගේ ඇවෑමෙන් වල් බූරු නිදහස භුක්ති විදින අම්බලමක් වී ඇති බව පැහැදිලියි. පොල්කිච්චෝ, දෙමලිච්චෝ, පිළිහුඩුවෝ එකී මෙකී නොකී සියලුම නම් දරන්නන් එදත් අදත් පාර්ලිමේන්තුවේ බොහොම ඉහළින් වැජඹෙනවා. සුදු රෙද්ද පොරවාගෙන සිල්වත්, ගුණවත් මහජන නියෝජිතයා සුදු රෙද්දට මුවා වෙලා ඔහුට අවශ්‍ය සියලු වැඩ කරගන්නේ අපේ මිනිස්සු ගොනාට අන්දවගෙන. තපස් රකින කොකාත් මාළු බාන පිළිහුඩුවත් අගේට මාළුව ඩැහගන්නේ කාගේ කාගේත් ඇස් වලට වැලි අහුරු පිටින් ගහලා ඇස් වහලා. ඉතිං අපේ මිනිස්සු ඇස් ඇරලා පොඩි කරලා බලන කොට වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි. එතකොට ඉතිං අනේ.. අපොයි ගානව ඇරෙන්න වෙන දෙයක් අපේ මිනිස්සුන්ට ඉතිරි වෙන්නේ නෑ.
හැබැයි ඉතිං සත්වයන්ට එහා ගිය මිනිසුන්ද ඇතුවාම නැතුවාම නොවේ. විරාජමානව බැබළෙන පාර්ලිමේන්තුව දැකලා දියවන්නාවේ මාළු ඔලොක්කුවට හක හක ගාලා සිනාසෙනකොට අපට වෙන්නේ කට ඇර ගෙන අපොයි කියලා බලාගෙන ඉන්නද? නැත්තම් පාර්ලිමේන්තුවෙ නටන තොවිලේ දිහා විචක්ෂණව බැලීමද? මේවට උත්තර තියෙන්නේ අපි ළඟමයි
චාමිනී හිඳුරන්ගල