‘බෲස් ලී යනු කවියෙක්. ලේඛකයෙක්. එසේ ම දාර්ශනිකයෙක්. ඔව්.. ඔබ පුදුම වෙන බවට හොඳට ම විශ්වාසයි. බෲස් ලී දර්ශනය හදාරන්න යොමු වෙන්නේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේදී. ඔහු දර්ශනය විෂයක් විදිහට වඩාත් උනන්දුවෙන් ප්‍රගුණ කරනවා. ඒ වගේම බුද්ධ ධර්මයත් හදාරනවා.
‘බෲස් ලී’ නම ඇහුණාම ඔබට එකව්රම මතක් වෙන්නේ මොනවා ද? ඔව්.. ඔබ හිතුවා හරි. ආත්මාරක්‍ෂක සටන් කිරීම්. ඒත් එක්කම ඔහු රඟපෑ චිත්‍රපට, ඔහු විසින් සොයා ගන්නා ලද ‘ජිට් ක්වාන් ඩූ’ සටන් කලාව වගේ දේවලුත් සිහිවෙනවා. නමුත් මම කිව්වොත් ‘බෲස් ලී යනු කවියෙකි. ලේඛකයෙකි. එසේ ම දාර්ශනිකයෙකි; කියලා! ඔව්.. ඔබ පුදුම වෙන බවට මට හොඳට ම විශ්වාසයි.
බෲස් ලී දර්ශනය හදාරන්න යොමු වෙන්නේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේදී. ඔහු දර්ශනය විෂයක් විදිහට වඩාත් උනන්දුවෙන් ප්‍රගුණ කරනවා. ඒ වගේම බුද්ධ ධර්මයත් හදාරනවා. ඕනෑ ම විෂයක් වඩ වඩාත් ප්‍රගුණ කිරීමෙන් ඒ පුද්ගලයාට ස්වයං ඥානය ඇති කරගන්න පුළුවන් කියලා බෲස් ලී විශ්වාස කළා. බෲස් ලී දර්ශනය ගැන විශේෂයෙන් පොත් පත් ලියලා නැති වුණත් (ඔහු ලිව්වේ සටන්ක්‍රම සහ ආත්මාරක්‍ෂක සටන් කලාව ගැන) ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවලදී, ඉගැන්වීම් අතරතුරදී පළ කළ අදහස් මඟින් ඒ දාර්ශනිකත්වය කැපී පෙනෙනවා.
ඇත්තටම ඒ අදහස්වලට අපේ ජීවිතේට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා ඒ ගැන ලියන්න.
කෙනකු තමන්ගේ අරමුණ කරා ළඟා විය යුත්තේ කොහොම ද කියන එක ගැන ඔහු මෙහෙම කියනවා. ‘අපේ ජීවිතයේ අරමුණු සඳහා අපි සීමාවක් තබා ගත යුතු නැහැ. මොකද ජීවිතේ හරියට එක සමාන උසකින් තිබෙන භූමියක් වගේ. අපි එක තැන ඉන්න අවශ්‍ය නැහැ. අපි එහි කෙළවරක් හමු වන තුරුම ගමන් කළ යුතුයි’
ජීවිතේ අපට එන අභියෝගවලට, ප්‍රශ්නවලට මුහුණ දීම ගැන බෲස් ලී මෙන්න මෙහෙම කියනවා. “ජීවිතේ ලබා ගත යුතු දෙයක් ගැන අපි වුවමනාවට වඩා කල්පනා කරනවා නම් ඒ දෙය කිසි දවසක අපට ලබා ගන්න බැහැ. හිතලා බලන්න. ලෝකයේ සාර්ථක වුණු ගොඩක් මිනිස්සු ගැන. ඒ අය අතිශය බුද්ධිමතුන් නෙවෙයි. වුවමනාවට වඩා අපි දෙයක් ගැන හිතුවොත් ඒ දේ ගැන අපි තීරණය කරන්න ගණනය කරනවා, ගොඩාක් පරිස්සම් වෙනවා. අන්තිමට ඒ හින්දා ම අපට ඒ දේ නැති වෙනවා...”
අද අප ජීවත් වන්නේ හුඟක් තරඟකාරී - කලබලකාරී - වේගවත් සමාජයක. ඒ වේගය අපේ ජීවිතේ ඉගෙනීම, විවාහය, රස්සාව වගේ හැමදේකටම බලපෑම් කරනවා. මේකට ලී දෙනවා ලස්සන උත්තරයක්. “මම කවදාවත් අවස්ථා ලැබෙන කල් ඉන්නේ නැහැ. මම කරන්නේ අවස්ථා හදා ගන්න එකයි..” මඟහැරුණු අවස්ථා නිසා අඬා වැටෙන අයටත්, නොලැබෙන අවස්ථා හරි අවස්ථාවක කකුල් දෙක ළඟට එන කල් බලන් ඉන්න අයටත් මේ අදහසින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
ස්වයං විවේචනය ගැන ලී නිතරම කතා කළා. ඇත්තටම එය ඉතා වැදගත් දෙයක්. මොකද අප හුඟක් වෙලාවට කැමති අපේ වරදින් - අඩුපාඩුවකින් වුණ දෙයක් වෙන කෙනකුගේ පිට පටවන්න. ඒක සාර්ථක දෙයක් නෙවෙයි. බෲස්ලී හිතන විදිහට කෙනකුට තමන් වෙනුවෙන් ලබා ගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය තමයි ස්වයං විවේචනය කියන එක.
බෲස් ලී කියන්නේ එදා මෙදා තුර බිහිවුණු විශිෂ්ටතම ආත්මාරක්‍ෂක සටන් ශිල්පියා කිව්වොත් එහි කිසිම වරදක් නැහැ. එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී ඔහුගෙන් අහනවා දක්‍ෂ සටන්කරුවෙක වීමේ රහස මොකද්ද කියලා. හිනාවෙමින් ඔහු දුන්නු උත්තරය තමයි ‘සාමාන්‍ය ඇඟක් සහ ලේසර් කිරණක් වැනි තියුණු දැක්මක් පමණයි’.
ස්වයං ඥානය ඇති කරගැනීම, සහ කිසියම් ක්‍ෂේත්‍රයක පරතෙරට යන තෙක් හැදෑරුවහොත් එහි විශිෂ්ටයකු විය හැකි බව ඔහු තදින් ම විශ්වාස කළා. ඒ වගේම මිනිහෙක් සාර්ථක වෙන්න නම් ඔහු තමන්ට ගැළපෙන දේ මොකද්ද කියලා හොයා ගෙන එය ප්‍රගුණ කරන්න ඕන කියන දේත් විශ්වාස කළා. ඒ කියන්නේ ‘රැල්ලට’ යමක් කිරීම නිෂ්ඵලයි කියන එක. මේක තාමත් ලංකාවේ ගොඩක් අයට නොතේරෙන දෙයක්.
ශක්තිමත් ඇඟත්, ආත්මාරක්‍ෂක සටන් විශිෂ්ට ලෙස ප්‍රගුණ කිරීමත් යන කාරණාවන්ට වඩා බෲස්ලිගේ දාර්ශනිකත්වය ඔහුගේ චරිතයට එකතු කරන්නේ පුදුමාකාර ලස්සනක්. ගැඹුරක්. ඔහුගේ එක කියමනක අපට හිතන්න දේවල් රාශියක් තියෙනවා. හැමෝම හිතන්නේ බෲස්ලී වගේ ගහගන්න විතරයි. කවුරුවත් ඒ වගේ ‘හිතන්න’ හිතන්නේ නැහැ. ඒ නිසා බෲස්ලීගේ ඇත්ත වටිනාකම වෙනුවට ගොඩක් තැන්වල කතාවෙන්නෙ සරල දේවල්. ඇත්තට ම ඒකෙන් වෙන්නේ බෲස්ලිව කාඩ්බෝඩ් වීරයකු වෙන එක විතරයි.
කසුන් චාමර