Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දේව වංශ­යට එක් වූ කුළු කුමාර සහ වීර කුමාර

$
0
0
ඔක්‌ 22, 2020 01:00

අටවැනි පරාක්‍රමබාහු මිය ගියේ පුත්‍ර වියෝගිකවය. පුත්‍ර වියෝගී රජුන්ගේ යුගය ලෙස, ජයවර්ධනපුර කෝට්ටේ අවධිය ඉහළින්ම කැපී පෙනේ. පුතුන් නොමැති රජුන් සිටිය ද, පුතුන් නැති රජුන්ගේම යුගය කෝට්ටේ යුගය යැයි කිව හැකි තරම්ය. සැබැවින්ම සිංහලේ පළමු රජු මිය ගියේ ද, පුත්‍ර වියෝගිකව හද පුපුරා යෑමෙන්ය. එම රෝගීත්වය එලසම හටගත් ඊළඟ සිංහල රජ දරුවා අටවැනි පරක්‍රමබාහු රජුය.

විජය රජතුමාගේ පුත්‍ර වියෝගය හා අටවැනි පරාක්‍රමබාහු රජුගේ පුත්‍ර වියෝගය සමානමය. කෝට්ටේ යුගය ආරම්භ නිල රජු වූ සයවැනි පරාක්‍රමබාහුගේ පටන් අන්තිමයා වූ දොන් ජුවන් ධර්මපාල රජු දක්වා පුත්‍ර සම්පත්තියක් ලද එකම රජු වූයේ අටවැනි පරාක්‍රමබාහු හෙවත් අම්බුළුගල කුමාරයාය. කෝට්ටේ යුගය කා කොටාගන්නා යුගයක් වීමට මේ අපුත්‍රක රාජ්‍යත්වය ද බලපෑවේය. පුතුන් නැති වීම බිසවුන් අතර ද, බිසෝවරුන්ගේ ඥාතීන් අතර ද බල අරගලය උග්‍ර කළේය. සයවැනි පරාක්‍රමබාහුගේ රාජ යුගය නිමා වන විට සපුමල් කුමාරයා රාජ්‍ය උදුරාගෙන රජ වන්නේ ඔහුගේ පුරෝගාමියා වූ සයවැනි පරාක්‍රමබාහු රජු පුත්‍ර වියෝගීවූ බැවිනි. එයම සපුමල් කුමරු හෙවත් සයවැනි බූවනෙකබාහුට ද, පොදු උරුමයක් වූයේ ඔහු ද පුත්‍ර වියෝගී රජකු වීමෙන්ය. එහි ප්‍රතිඵලය, සපුමල් කුමරුගේ සහෝදර අම්බුළුගල කුමරු අටවැනි පරාක්‍රමබාහු ලෙස ලක් රාජ්‍යයෙහි රාජ උරුමකරුවා වීමය.

අසමාන රණකාමියා රජ වුව ද, ඔහුගේ රාග කාමය අගබිසෝට දරුඵලක් ගෙන නොදුන්නේය. ඈ දරුඵල නැතිව නික්ම ගියේ පරලොවටය. ඒත්, අම්බුළුගල කුමරු ගම්පොළ කන්දේ රජු ලෙස සිටි සමයේ, ඔහුගේ රාග කාමයෙන් කුමරියවූ මල්මද බිසව අගබිසෝ බවට පත් විය. ඕ තොමෝ අම්බුළුගලගේ රාග කාමය බීජ කාමය කොට, පුතුන් දෙදෙනකු බිහි කළාය.

චිත්‍රකූට මණ්ඩපයේ කිරි සුවඳ හමා ගිය ඒ රාත්‍රිය කෝට්ටේ උන්මාද වූ දවසය. කෝට්ටේ කිරුළ දරපු රජෙක් පුත්‍ර උරුමයක් ලද ප්‍රථම මොහොතය. උදාරම පැතිර අහස ගුගුරා මකර වෙඩි හඬ ද පැතිර ගියේය. වඩාත් සෙයිබුදු අස්කාර් මකර වෙඩිවලින් ජයවර්ධන අහස සිත්තම් මැව් මල්සර රාත්‍රියය. අහස ගිඟුම් දෙන පොළොව ගී තරංග නැංවෙන හස‍රැලි ‍රැය ගෙවිණි. කාලය හිරු සඳු පායා, හැම කලම ගෙවී යයි. අටවැනි පරාක්‍රමබාහු සොම්නස් සතුටේ උදාරවත්ය.

මහ බලගතු පුරෝගාමීන්ට කළ නොහැකිවූ අබිරම තමන්ට කළ හැකි විය. සකලකාල අභය - තමවල අභය නිවුන් පුතුන් එකරිසිය. හැඩවත ද, හැසිරීම ද සමනාලය. කිරුළට දෙ‍ටු පුතෙක්ම නොව, නිවුන් පුතුන්ම ලද රජු ගැන ජන හද පුදුමය. ගැටවර වියටම පා තබන විට, නීල අස්වයන් දෙදෙනකුට ආශා කළ සකලකාල අභය - තමවල අභය ශිල්ප සොයන්ට ගුරු කුල වැදුණේය. පැපිලියානේ මංගල තෙරිඳු එක දවසක අභය සොයුරන්ගේ තුරඟ ලප දු‍ටු විට ගමන දුර යැයි වටහා ගත්හ.

මෙලෙස නිවුන් සොයුරන් හැදී වැඩෙන සමය ගෙවන කල, නපුරු වියමන් දැල් බැන්දේය. විසිතුරු පුරුෂ අයසින් ද, රූබර ශෝභමානයෙන් හෙබි නිවුන් සොයුරන් දෙස දයාව වෙනුවට ඊර්ෂ්‍යාව ගලන යටි කුරුමානම් මතු වේ. ඒ අටවැනි පරාක්‍රමබාහු රජුගේ අගබිසව මියගිය පසු අගබිසවූ, කීරවැල්ලේ මල් එතිනී කහඳ සුමිත්‍ර බිසෝ මැණිකේගේ දෙ‍ටු සොහොයුරාගෙනි. කීරවැල්ලේ මල්එතිනී කහඳ සුමිත්‍ර බිසෝ මැණිකේ බිසෝගේ දෙ‍ටු සොයුරු කෝට්ටේ අගමැති ද විය. මෙතුවක් කල් කෝට්ටේ කිරුළ හැමවිට පුතුන් නැති බැවින්, බාහිරින් අතට ගැනීමට මඟ පෑදී තිබූ වටපිටාව වෙනස් වී ඇත. සකලකලා අභය හා තමවල අභය නිසා පුත්‍රක උරුමයන්ට පාර විවර වී ඇත. අටවැනි පරාක්‍රමබාහු මියගිය දිනක, ලක් කිරුළ ගැන හීන පොකුරක් මවාගෙන සිටි හිටපු අගබිසවගේ හා නව අගබිසවගේ සොහොයුරන් කැලඹිණි.

කැලඹිල්ලේ උපාය දැලක් සේ නැඟ එන්න පටන් ගති. සකලකලා අභයත්, තමවල අභයත් අතර බෙදීමක් ඇති කරවන්නට ඥාති පරපුර දැරූ කුමන්ත්‍රණය ඵලක් නොවීය. සමහෘදයේ බැඳීමක් සොයුරන් අතර විය. මේ අතරින් ප්‍රධාන ආචාර්යවරයා රාජකීය ප්‍රශ්නයක් නැඟුවේ, සමසොයුරන් අතර රජ කිරුළ අරභයා ගැටීමක් ඇති වීම සිදුවිය හැකි බවය. අට වැනි පරාක්‍රමබාහු සියල්ල ඉවසා බලා සිතින් සිටිය ද, මහ ආචාර්යවරයා අම්බුළුගල කුමරුව අපූරු උපායක කො‍ටුකර තැබුවේය. ඒ තම රූපී දියණිය රජුගේ කාම දැලේ බඳවා තැබීමය. සේනාධිලංකාර අගමැතිගේ දියණිය එක විටම අගබිසෝ වනුයේ මේ අනුවය.

දැන් රජුගේ පුතුන් වැඩූ මව් දේවියගේ ඥාතීහු පසෙකට විසි වූහ. අටවැනි පරාක්‍රමබාහුගේ කාටත් දිස් වී තිබූ රාජ සිහිනය, යළි දිස් විය. ඒත් එවිට රාජ චාරිත්‍ර සිදුවී අවසානය. මේ අතර රජු තම පුතුන් දෙදෙනා රාජ්‍යත්වයට ගෙන ඒමේ සැලැසුමකට යොමු විය. ඒ අතර, නව අගබිසව තම සහෝදරයා සමඟ සබැඳි, නිවුන් සොහොයුරන් හට වස දීමේ උපායක් නැඟීය. පුදුමය එදින රජ ගෙට පිණ්ඩපාතයට වැඩියේ පැපිලියානේ මංගල තෙරිඳුය. සකලකලා අභයත්, තමවල අභයත් තමන්ගේ කුටියේ තිබූ රන් පළඟින් රාජ භෝජන මහ තෙරිඳුට පූජා කළහ. දන් වැළඳු මහ තෙරිඳු අපවත් වුණේ කෝට්ටේ රාජධානිය සසල කරවමිනි. මහ තෙරිඳුගේ පාත්‍රයට වස පැමිණියේ කෙසේ දැයිවූ නිශ්චය කෙළවර වන්නේ, රජුගේ පුත්‍රයන් චෝදනාවේ ඉස්මත්තට විත්ය. පුත්‍රයන් දෙදෙනා සඟ රජු මැරූ පාපීන් යැයි අවලාද නැඟ එන්න පටන් ගති. කුමන්ත්‍රණකරුවන් සාර්ථක විය. රජ පුතුන් මහ සඟුන් වස කවා මැරූ පාපතරයන් යැයි වහ වහා පුවත් මැවුණේ ඒ අනුවය. කුමන්ත්‍රණ සුලමුල සොයා ගැනීමෙන් පසු අටවැනි පරාක්‍රමබාහුට වහා සිහි වූයේ, තම පුතුන් දෙදෙනා ශිල්ප ශාලාවට ගෙවදුණුදා, සඟ තෙරිඳු මංගලයන් තමා හමුවී කී කථාවය.

''පුතුන් කිඳුරු කුමරුන්ය මහරජ...''

''ස්වාමීන් වහන්ස ! එවිට !''

''විය නොවිය යුතුය. පරිස්සම් කළ යුතුය. සබඳ හැඟුමන් ඇත්තේය. රාජ්‍යය පිළිකෙව් කළ හැක. ! අපුත්‍රක සම්පාදනයට ගරු කළ රාජ වරිග ඥාති සමූහයා විමසිල්ලෙන්ම පසුවෙති. !''

''මා පුතුන් අතර කවර පුතු රජ පදවි උචිතවේද ස්වාමිනි?''

''දෙදෙනාම මිස එක අයෙකු නොවේ මහරජ.''

''දෙදෙනාම !''

''දෙදෙනාමය මහ රජ...''

''එක කිරුළක් දෙදෙනෙක් දරනු කෙසේ ද ස්වාමිනී ? ''

රජුගේ කාල්පනික සිතිවිල්ල විචිත්‍ර චිත්‍රකාරකයක් බඳුව මනසේ ඇඳී ගියේය. කල්පනා තලේ පුවත සිහිපත්ව, රජු වහා පුතුන් දෙදෙනා කැඳවිනි. සම අසුන්, සම යහන්, සම පිලි, සම ආසන, සම අසිපත් පමණක් නොව, සම බරණින් විභූෂිත වේ. සමානයන් දෙදෙනා සම කිරුළක් දරනු ඇතැයි පිය රජුට ද සිතුණේය. එවන් හැඟුමින් තම පුතු දෙපළ දෙස මදක් බලා සිටි පිය රජුගේ අමුතු ඇමතුම දෙස කුමරුන් දෙදෙනා ද අමුතුව බලා හිඳියහ. නේත්‍රවලින් බලා සිටි තිදෙනාම මොහොතක් තුරුලු වී සිටියහ.

''මා පුතුන් මා කිරුළ දරණු ඉවසනු බැරි දුදන වත් ඉවසුනුව...''

''රාජවත් බරය. පියාණන් වහන්ස, මනාප රිසි දිවි සැරුමට වරම් දුන මැනව !''

''නොහැක. නුඹ දෙදෙනා ලක් කිරුළ දැරිය යුතුමය. ජයවර්ධනපුර මා පුරෝගාමී මහා ප්‍රතාපවන්තයන්ට ද පුත්‍ර සම්පත්තිය නොවූ කල, ඒ අසමයා වූයේ මාය පුතුණ ! ''

අටවැනි පරාක්‍රමබාහු වහා තම පුත්‍රයන් දෙදෙනා උඩුගම්පොළ සහ මාදම්පේ යුව රාජ පදවි සඳහා පත් කර හැරියේය. සකලාකලා අභය උඩුගම්පොළ රජු ලෙස ද, තමවල අභය මාදම්පේ රජු ලෙස ද ගෙන ගියේ කලාත්මක පාලනයක්ය. මහ රජු පුතුන් දෙදෙනා රාජ පුහුණුවට පත් කර ඇති බව දැනගත් අගබිසෝගේ ඥාති පරපුර, තමන්ගේ උපාය මාර්ගික දේශපාලන ව්‍යායාමය පුළුල් කරන්නට පටන් ගති. මාදම්පේ වෙල් යායේ මුතු සම්බා නෙළනදා කුමරුන් දෙදෙනාම පිය පදවි ලැබීය. අටවැනි පරක්‍රමබාහු රජතුමා මුත්තණුවකු වූයේය. ඒ රජුට තමාගේ පුරුෂ ජානය පිළිබඳ මහත් ආඩම්බර හැඟුම් උපදවමිනි.

සකලකලා අභයගේ පුතු කුළු කුමාර කුමරුය. තමවල අභයගේ පුතා වීර කුමාරය. කුළු කුමාර, වීර කුමාර දෙදෙනා උපත ලද්දේ මාදම්පේ මහ වෙල්යායේය. කුළු දෙනක් වෙල මැද පැටවෙකු වැදූ ස්ථානයේම උපන් තම කුමාරයාට කුළු කුමාර නම දුන්නේ සකලකලා අභය එබැවිනි. තමවල අභය තම පුතුට වීර යැයි නම් තබා වීර කුමාර ලෙස ඇමතුවේය. ඒ වෙල මැද වීර ගසින් මල් පිපුණුදා නිසාය. කුළු කුමාර - වීර කුමාර සමරිසියන්ම විය. අටවැනි පරාක්‍රමබාහුගේ කිරුළ පුතුන් - මුනුපුරන් දක්වා විහිදෙන බැව් වැටහී ගියේය. මේ මැද කෝට්ටේ රජ මැඳුරේ අභ්‍යන්තර අරගල බලගතුවී තීව්‍ර වූයේය. අරගල වඩා උත්සන්න වූයේ, නාඹර අග බිසව බලකාමී වීම නිසාය.

අග්‍රාමාත්‍ය සේනාධිලංකාර තම නැගණියගේ දේශපාලන ඉත්තෙක් විය. ඇයගේ රාග හුරතලය මහළු රජු තවත් උමතු කරවීමට සමත් විය. මේ අතර එක ‍රැයක අලුයම් මුරයට රජ ගෙදර නාද සීනු වැයෙන්නට පෙර මුර ආයුධ නාද දුන්නේය. චිත්‍රකුට මණ්ඩපයේ මුර ආයුධ සෙලවුණු විටම, කාරියකරවනරාල ළඟට දුවගෙන පැමිණි සට්ටැඹියා රහසක් කිවේය. අටවැනි වීර පරාක්‍රමබාහු රජු වැසිකිළියේම අවසන් සුසුම හැර නික්ම ගිය බව සැළ කළේය. අගබිසෝගේ ඥාති පරපුර වහා සිදු කළේ, රජුගේ පෙර අගබිසවගේ දියණියගේ පුතු ධර්ම කුමරුන් වහා කැඳවීමය. කහ දියරයෙන්, කිරි දියරයෙන් නහවා, ධර්ම කුමරුව ධර්ම පරාක්‍රමබාහු ලෙස රජ පදවියට පත් කිරීමය. එසේ පත් කර අටවැනි පරාක්‍රමබාහුගේ පුතුන් දෙදෙනාවූ සකලකලා අභය සහ තමවල අභය දෙකුමරුන්ට හිමි රජකම උදුරා ගැනීමය. උදුරා ගත් රජකම වෙනුවෙන් ශෝකී වීම දෙදෙනාගේම පිළිවෙත නොවීය. සකලකලාත්, තමවලත් මනසින් කලාව, සෞන්දර්ය, ගොවිතැන, වෙදකම, වාපි ශිල්පය සහ නෘත්‍ය ගීත සින්දු අතර පා විය. කාලය ගෙවී ගියේය. භාරතයේ සිට කඩා පැනගත් ඉස්ලාමීය වෙළෙඳ ආක්‍රමණිකයෝ ලංකාව වට කළහ. කෝට්ටේ මහ රජවූ බොළඳ ධර්ම පරාක්‍රමබාහු අන්ත අසරණ විය. සරුසාර වෙළෙඳ තොටමුණු එකවිටම බිලිගත් කායෙල් පට්ටලමේ අයිරාන ලෙබ්බේගේ ආක්‍රමණයෙන් ලංකාව අසරණ විය.

අයිරාන මහත් වූ සේනාව සමඟ ලක්දිවට විත්, හලාවත මුතු පරය අත්පත් කර ගත්තේය. සිදු වුණේ සිරිලක තොටමුණු වේගයෙන් සතුරා අතට පත් වීමය. එබැවින් කෝට්ටේ රාජධානියේ ආදායම වැසී ගියේය. අලුතෙන් සිතා කිසිවක් කරන්නට පුහුණුවක් හෝ සිතිවිල්ලද ධර්ම පරාක්‍රමබාහු රජුට නොවීය. බැරිම තැන ඔහුට ආයාචනා කරන්නට සිදු වූයේ, සකලකලා අභයට හා තමවල අභය දෙසොහොයුරන්ටය. ඔවුන් අයිරාන ලෙබ්බෙගේ ආක්‍රමණය කෙළවර කර, නිදහස තහවුරු කළේය. ඒ සමඟ නැඟ එන ජනකාන්ත තරු යුවළ බවට මේ සම සොහොයුරන් පත් විය. එහි ප්‍රතිඵලය වූයේ, කිරුළ පිළිබඳ බලාපොරොත්තුව ධර්ම පරාක්‍රමබාහුට අතහැරීමට සිදුවන තරම් වාතාවරණයකි. මේ තත්ත්වය පියමන් කිරීමට යළි ඥාති කුමන්ත්‍රණය ඇවිලී ගියේය.

රජ කිරුළ පිළිබඳ කිසිදු අදහසක් නොමැති සම සොයුරන් දෙපළ, රටේ ඒකත්වය හා නිදහස තහවුරු කර, යළි උඩුගම්පොළ හා මාදම්පේ උප රාජධානිවලටම නික්ම ගියහ. ඒත්, ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර බොළඳ ධර්ම පරාක්‍රමබාහුට මනාපයක් නොවීය. ජනතාව සම සොහොයුරන්ගෙන් අභිමාන සංවිධිත රාජ්‍යයක ප්‍රාර්ථනය දුටහ. මේ ජනහද ගැස්ම කෝට්ටේ රාජකීය පාලනය හසුරුවන බලවේග සලිත කළේය. කවර මොහොතක හෝ කිරුළ ඉල්ලන කැ‍රැල්ල රජ මැදුර සොයා එන බව පෙනෙන්නට විය. එම නිසා, කූට උපාය අනුවම ගිය අගබිසෝගේ ඥාති මණ්ඩලය කුළු කුමාර වසඟයට ගෙන, වීර කුමාරව ද වසඟ බැඳ ගත්තේය.

ඒ, ඔවුනට කෝට්ටේ කිරුළ භාර ගන්නට ආශාව ඇති කොටය. මේ ළාබාල හිරිමල් කුමාරවරුන්ට රාජ්‍යත්වය අරුමැසි සිහිනයක් වූයේය. සිහිනය උදාකර ගැනීමට සේනාධිලංකාර අග්‍රාමාත්‍ය උපායේම වැටිණි. උපාය වූයේ, රජකම ධර්ම පරාක්‍රමබාහු රජු අතහරින දිනම, සකලකලා අභය සහ තමවල අභය යන තම පියවරුවන් ඝාතනය කරවීමය. වීර කුමාර සහ කුළු කුමාර තම පියවරු සේමය. සම සොහොයුරන්ම කලා සංගීත නෘත්‍ය සහ උයන් කුඹුරු, වැව්වලට පෙම් බඳින සුමට සංවේදීන්ය.

ඒත්, ඔවුන් දෙදෙනාම තම පියවරුන් රාජ්‍යය අත්හැරීම පිළිබඳ මනාප නොවූ චරිතය. තම පියවරුන් උරුමය අත්හැරීම නිසා, තමන් රජ විය යුතු බවට අග්‍රාමාත්‍යවරයා කළ කපටි උපාය තම හද පැතුම් කර ගත්තේය. රහසේම කුළු කුමාර හමුවිය. කුළු කුමාර එදා උන්නේ ද, කුළු ගවයකු පිට මත නැඟීය. හෙල්මළු සිරුරින් ද, ගෙත්මික මුහුණින් හෙබි ජවාධිකයකු වූ කුළු කුමාර නොමඟටම යැවූ කූට උපාය අටවා, අග්‍රාමාත්‍යවරයා කෝට්ටේටම පැමිණේ.

කුළු කුමාර සහ වීර කුමාර වසඟයෙන් මත්ව එදා ‍රැයේ පියවරුන් දෙදෙනා එකවිට මරා දැමීමට පිටත් වෙති. සලා තොටින් ඔරු නැඟී, සකලකලා අභයත්, තමවල අභයත්, මියුරු නාද වයන රාත්‍රියය. නාද වයන රාත්‍රියේම කුළු කුමාර ද, වීර කුමාර ද ඔරුව දෙපළු කරගෙන කඩා පනී. වියරු වෙසින් කඩු පහර ලෙළවූ පුතුගේ දෙයැස බලාගෙන, සකලකලා අභය ඔහුට පාපහරක් ගැසුවේය.

කුළු කුමාර විසිවී ගං දියට වැටිණි. ගං දියට වැ‍ටුණු කුළු කුමාර දු‍ටු වීර කුමාර, අසිපත විසිකර ගං දියට පැන්නේය. දෙදෙනාට දෙදෙනා බදාගෙන ගං දිය මැදය. පුවත් සැලවී රාජ සේනා වහා පැමිණේ. බියට ද, ලැජ්ජාවට ද පත් කුළු කුමාර ද, වීර කුමාර ද වේගයෙන් පිහිනා උඩුගං බලා ඇදී ගියහ. තම සෙබළු වැළකූ සකලකලා අභය හා තමවල අභය, ස්වකීය අසිපත් ගෙන ගෙල සිඳගෙන මිය ගියහ. සලා තොටින් දියට වැ‍ටුණු රාජ හිස්, මුතු තොටින් මුහුදට ඇදී ගියේය.

කුළු කුමාර, වීර කුමාර දෙදෙනා පිහින පිහිනා ගොස්, ඇවිද ඇවිද ගොස්, සමනොළ අඩවියට පැමිණියහ. එහිදී ඔවුනට පුවත සැල විය. සැලවූ පුවතින් සිහිය එළැඹිණි. ශෝකයෙන් අගට ගිය දෙදෙනා, සමනොළ අඩවිය දෙවනත් කරමින් විලාප නැඟුවේය.

''වීර, යා යුතුය''

''එසේය කුළු. යා යුතුය... !''

''නුඹට වැටහේද වීර ?''

''වැටහේ කුළු වැටහේ... ''

දෙදෙනාම වැඳ වැ‍ටුණහ. සිරිපාද අඩවියේ මුඳුන් තලාවට නැඟ වැඳ වැ‍ටුණහ. වැඳ වැටී නැගිටියහ. කුළු කුමාර නැඟිට සිටින වීර කුමාර බදා, දෙදෙනාම තුරුලුවී හැඬුවේය. පසුව දෙදෙනාම අත් අල්ලා ගත්හ. අත් අල්ලා ගත් දෙදෙනාම, සමනොළ ගිරි මුදුනින් පැන, දිවි තොර කර ගත්හ. සිංහල රජ සිරිත මෙවන් පිය පුතු වියෝග ද්විත්වයකින් සෝ බර පුවතකි. ඉතිහාසය යට සැඟවී හඬන මෙවන් කතා සඟවා ගෙන ඇත්තේ කිම ද? කුළු කුමාර, කුළු කුමාර දෙවියන් ලෙස ද, වීර කුමාර, වීර මුණ්ඩ දෙවියන් ලෙස ද දේව වංශකතාවේ ලියවී ඇත්තේ එබැවිනි.

 

සුජිත් අක්කරවත්ත

 

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>