පලුගොල්ල නමින් ගමක් පිළිබඳ මා මීට පෙර අසා නොතිබුණි. එහෙත් පළමුවරට 2017 ඔක්තෝබර් 24 දා පලුගොල්ල නම් ගමට ගියෙමි. කුරුණෑගල නිකවැරටියට ගොස් පුත්තලම පාරේ කොටවෙහෙරින් හැරී කිලෝමීටර් විස්සක් පමණ රට මැදට ගිය කල, ඉඟිණිමිටිය වැව ආසන්නයේ පලුගොල්ල යාය 10 නික/පලුගොල්ල මහා විද්‍යාලය හමුවේ. කොටවෙහෙර සිට යාය 10 තෙක් ගමන දුෂ්කරය. නියඟයට හසු වූ හේන් ගොවිතැන, ඉරි තැළුණු ජලාශ පසු කරමින් යනවිට ඉඳහිට හමුවුණු පාපදියකින්, යතුරු පැදියකින් හෝ පයින් ගමන් ගන්නා ගැමියෙකුගේ, ගැමි දරුවකුගේ හෝ වියපත් මවකගේ මුහුණේ රැඳී තිබුණේ ඔවුන් ගතකරන ජීවිතයේ අඳුරු සෙවණැල්ලක් පමණි. දහවල දැඩි හිරු රැසින් බැටකන ඔවුහු, රාත්‍රිකාලයේදී වන අලින්ගේ තර්ජන හමුවේ බියෙන් ජීවත්වන බවට සාක්ෂි සැපයූයේ ගම වටා සවිකර තිබූ අලි වැටයි.
පලුගොල්ල, නිකවැරටිය, ගල්ගමුව, හා ආණමඩුව යන ඡන්ද කොට්ඨාස ත්‍රයට මැදිව පිහිටි ගමක් බව දැනගතිමි. පලුගස්වැව, පලුගස්දමන, පලුගොල්ල වැනි ගම් පිළිබඳ අසා තිබුණේ 70, 80 දශක අතර නිකවැරටිය, ගල්ගමුව හා ආණමඩුව යන නගරවලට, රතුහැට්ටකාරී, නරියා සහ කේජු, තාරාවෝ ඉගිලෙති වැනි නාට්‍ය කණ්ඩායම් හා සංචාරය කිරීමට ඉඩ ලැබුණු බැවිනි. එහෙත් කෙසේ හෝ පලුගොල්ල නමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමක් ඇති බවත්, එගම නොදියුණු දිළිඳු ගමක් බවත්, සාක්ෂරතාව මඳ ජනගහනයක් සිටින වගත් දැනගැනීමට මග පෑදුණේ මුහුණු පොත සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ සමූහයේ ( IQ Tests & General Knowledge ) සමාජ සත්කාර කටයුත්තකට සහභාගීවීමට අවස්ථාව ලද බැවිනි.මෙම සමූහය හා 2017 ඔක්තෝබරයේ පලුගොල්ල ගමන සිදුවූයේ පලුගොල්ල සෞඛ්‍ය ප්‍රවර්ධන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් පිහිටුවා තිබූ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමට හා පසුව මහ විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් ගී රස විනිස වැඩ සටහනකට සහභාගීවීමටහ් සමූහයෙන් ලද ඇරයුම නිසාය. පුස්තකාලයට පොතපත ලබාදීමේ අවශ්‍යතාව අපට දැනුණේ එහි ජනයාට පොතපත කියවීම සඳහා පුස්තකාලයකට යන්නේ නම්, ගල්ගමුව, ආනමඩුව හෝ නිකවැරටිය වැනි නගරයකට යාමට සිදුව තිබූ බැවිනි. සමූහයේ නායිකා අනූ ඉලංගන්තිලක විසින් මීට පෙර මහට කරන ලද ඇරයුම් මත ගිය ගමන් සුන්දර මතක පිරි ඒවා වූ බැවින්ද, අඩුම තරමින් අපට හමු නොවන, එහෙත් අපගේම සහෝදර ජනතාවකගේ දිවිපෙවෙත තතු දැනගැනීමට ලැබෙන අවස්ථාව ද වටනා බැවින් ඔවුන් හා එක්වූවෙමි. ඔවුනට දායක වූවෙමි.
කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අමිල සිරිවර්ධන ද, පලුගොල්ල මහවිදුහල් විදුහල්පති ශාන්ත උපාලි දිසානායක ද පුස්තකාල පොත්පත් ලබාගැනීම හා සිසුදරුවන්ගේ ගී රස වින්දන වැඩසටහන පිටුපස සිට ශක්තිය ලබා දුන් බව දනිමි. පුස්තකාලය විසාල වටිනාකමකින් යුත් පොතපත රාශියක් ලබා දීම ද පාසලේ ඉහළ පංති දූපුතුන්ගේ සාහිත්‍ය දැනුම උරගා බැලීමට ලද අවස්ථාව යළිත් වතාවක් පලුගොල්ල ගමට යෑමට අවස්ථාවක් වේ යැයි අපි නොසිතුවෙමු. එහෙත් සමූහය නැවත වතාවක් පලුගොල්ලට 2018 පෙබරවාරි 14 දා නෑගම් ගියේ යාය 10 නික/පලුගොල්ල මහවිදුහලේ 344 ක් වූ සමස්ත ශිෂ්‍ය පිරිසට අලුත්ම අලුත් පාවහන් ද, පාසල් ලිපිද්‍රව්‍ය හා පොතපත ද පරිත්‍යාග කිරීමේ මහඟු මෙහෙවර වෙනුවෙනි.
පලුගොල්ල පුස්තකාලයට පොතපත රැගෙන සමූහයේ කණ්ඩායම හිමිදිරියේ කොළඹින් ගමන් ඇරඹූයේ අතරමග දී එක්වන මිතුරු මිතුරියන් ද කැටුව, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී නිහාල් එදිරිසිංහ හා තවත් සාමාජික සාමාජිකාවන් ද සමගින් පලුගොල්ල ගමන අතරමග උදෑසන ආහාරය සඳහා වෛද්‍ය නිහාල් ගේ අනුග්‍රහය ලැබී තිබිණ. පාසලේ ගුරු මණ්ඩලය, ගම්වාසීන් ගේ බලාපොරොත්තු සපුරමින් පුස්තකාලය විවෘත වූ අතර, ගී රස විනිසට එක් වූ දරු දැරියන් ගේ අල්ප සාහිත්‍ය දැනුම පිළිබඳ අප මවිතයට පත් වූ බව සටහන් කළ යුතුය. පාසලේ එකදු දරුවකු හෝ දිනපතා පුවත්පතක් නොකියවනවා යැයි කිවහොත් එය ඇදහිය නොහැකි පුවතක් වනු ඇත. එහෙත් සත්‍යය එයයි. එසේ වූවත්, ගී රස විනිසට එක් කළ ඈත කඳුකර හිමව් අරණේ ගීතය ඇතුළත් මුද්‍රා නාට්‍යය කුමක්දැයි මා නැගූ ප්‍රශ්නයට එක්වර නිවැරදි පිළිතුරු දීමට සමත් වූ එක් දියණියක් අපි දුටුවෙමු. ඈ, සඳුනි වසුන්දරා, එවන් ප්‍රශ්න රැසකටම නිවැරදි පිළිතුරු දීමට සමත් වූවාය.
පලුගොල්ල පළමු ගමන සාර්ථකව නිමා කොට ආපසු එන ගමනේදී සමූහයේ බොහෝ දෙනාගේ සිත් තුළ යළි ගමනකට මුල් වූ , තවත් සද් කාර්යයකට හේතු වූ අත්දැකීමක් රෝපණය වී තිබිණ. පෙරවරුවේ අප එහි ළඟා වූ මොහොතෙහි අප පිළිගැනීමට දෙපස පේළි සැදී සිටි දූ පුතුන්ගේ මුහුණු ද, ඔවුන්ගේ නිල ඇඳුම් ද, පැලඳ සිටි පාවහන් ද අප සැමගේ හද රිදවූ චිත්‍රයක් ලෙස ඇඳී තිබිණ. පැලඳ සිටි පාවහන් බොහොමයක් දුර්වර්ණ, ඉදිරිපස විවර වූ හෝ ඔවුන්ගේ පා ප්‍රමාණයට නොගැළපෙන ඒවා වීය. නිල ඇඳුම් තත්ත්වය ද ඊට නොදෙවෙනි වීය. රෑ බෝ වී කොළඹට පැමිණි සමූහයේ බොහෝ දෙනාගේ අදහස වූයේ 2018 නව පාසල් වාරය සඳහා පාසලේ සියලුම දූ පුතුන්ට නව පාවහන් මිලට ගෙන පරිත්‍යාග කළ යුතු බවයි. ලබාගතහැකි ඉහළම වට්ටම සහිතව ඩී.එස්.අයි ආයතනයෙන් පාවහන් ලබාදීමට උත්සාහ ගැනීමට මා ඉදිරිපත් වූයේ එහි සභාපති නන්දදාස රාජපක්ෂ මිතුරාට අපගේ අරමුණ පැහැදිලි කොට දී ඔහුගේ අනුග්‍රහය ලබා ගත හැකි බව මා තුළ වූ විශ්වාසය නිසාය. අනු ඉලන්ගන්තිලක ප්‍රමුඛ සමූහයේ ඇඩ්මින්වරු, විවිධ පළාත්හි සිටින සාමාජික සාමාජිකාවෝ පාවහන් යුගළ 344 ක් මිලට ගැනීමට අවශ්‍ය රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සොයා දීමට සමත් වූහ. මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙවන් මුදලක් සොයාගැනීමට හැකිවීම මා දකින්නේ සද්භාවයෙන් යුතු සද් කාර්යයක් සඳහා එවැනි කාර්යය සඳහා අවංකව, කටයුතුකරන සමූහයක් කෙරෙහි විශ්වාසය තබන පිරිස් ඕනෑ තරම් මෙරට සිටින බවයි. පාවහන් පමණක් නොව, ඒවා ඇඳීමට අවශ්‍ය මේස් ද, ඊට අමතරව පාසල් ලිපිද්‍රව්‍ය ද පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූවෝ වූහ. හසිත ප්‍රනාන්දු ඇතුළු නවලෝක උසස් අධ්‍යාපන විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, කොළඹ සිට පලුගොල්ලට පාවහන් හා අනෙකුත් පාසල් ද්‍රව්‍ය ප්‍රවාහණය කළ සමූහයේ මිතුරු ලුතිනන් කර්නල් අසංක කරුනාරත්න, ඇතුලු මුලතිව් ගජබා රෙජිමේන්තුව ද කෘතවේදීව සිහිපත් කළ යුතුය.
නවපාසල් වාරයේ ඇරැඹුමේදී ම පලුගොල්ල මහවිදුහලේ දූවරුන් සුදෝ සුදු පාට පාවහනින් ද, පුතුන් ඔවුන්ගේ පා ප්‍රමාණයට ගැළපෙන කළුපාට අලුත් පාවහන් ද පැළැඳ අකුරට යනු දැකීම සමූහයේ මිතුරු මිතුරියන්ගේ ආසාව වූවද, ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා එය පෙබරවාරියේ දිනකට යොදාගැනීමට සිදුවිණ. පෙබරවාරි 14 වනදා පෙම්වතුන්ගේ ආදරය ප්‍රකාශ කෙරෙන දිනය වූවත්, එදින අලුයම් කාලයේ අගනුවරින් ගමන් ආරම්භ කළ සමූහයේ සැමගේ ආදරය ඈත දුෂ්කර ගම්මානයක අකුරු කරන, ඔවුනට ආදරය කරන තවත් පිරිසක් සිටිනවාදැයි නොදන්නා දූ පුතුනට පිදුණේ ආදරයට නව අරුතක් එක් කරමිනැයි සිතිණ. රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී එක් කර දීමට වෙහෙස වූ ඇඩ්මින්වරුන් ප්‍රමුඛ සමූහයේ සාමාජිකත්වය ද, සාමාජික නොවන පරිත්‍යාගශීලීන් ද මේ සද් කාර්යයට සම්මාදම් වූයේ සමූහය කෙරෙහි වූ විශ්වාසය නිසාම නොවේදැයි මම කල්පනා කළෙමි. මෙවන් සමාජ සත්කාරයකින් සමූහයට හෝ එහි සාමාජිකත්වයට කිනම් ප්‍රතිලාභයක් ලැබෙන්නේද? කිසිදින නොදුටු, නමක් ගමක් නොදන්නා දරුවන් පිරිසක් වෙනුවෙන් සිත උණු වී මේ සා විසාල මුදලක් සොයා දුන්නේ ඔවුන් සිත්හි මනුස්සකම තවමත් රැඳී තිබෙනවාය යන්න සනාථ කරමිනි. නගරයේ වෙසෙන මනුස්සකම නොහඳුනනා බොහෝ ව්‍යාජ මිනිසුන් ගේ රූප කාය වෙනුවට තම දූ පුතුන්ට තෑගි බෝග රැගෙන එන පිරිස් පිළිගැනීමට සැදී පැහැදී සිටි, දුෂ්කර ගම්මානයේ දූ පුතුන්ගේ මෙන්ම ගැමි මව්වරුන් හා පියවරුන් ගේ ද මුහුණු තුළ මා දුටුවේ වචන සිය දහසකින් හෝ ලියා කියන්නට නොහෙන ආදරයේ උණුසුමක චිත්‍රයයි.
වාද්දුව, අම්බලන්ගොඩ, කෑගල්ල, ඇහැළියගොඩ, කුරුණෑගල ආදී දුර බැහැර සිට ගමනට එක් වූ පිරිස් මෙන්ම මේ සද් කාර්යයට සම්මාදම් වූ සත්පුරුෂයන්ගේ සිත් ද පහන් හැඟුමින් පිරීතිරී ගියා නොවේදැයි මම සිතමි. සොඳුරු වූ දවසක මතක අතර මින්හාන් මොහමඩ්ගේ හා මානෙල් ගමගේ ගේ සංග්‍රහ, ශකිල රාජපක්ෂගේ දේශනය, තරුක ලංකාගීගනගේ පොත් පරිත්‍යාගය ද වෙයි. පලුගොල්ල පාසලේ දක්ෂ ශිෂ්‍යාවක් වූ හිරුණි මධුෂානි නමින් සමූහයේ සාමාජික අම්බලන්ගොඩ නිපුල් ගුණසේකර ආරම්භ කළ ශිෂ්‍යත්වය, ගමනේ තවත් එක් මහරු ඵලයකි. දීප්ති අදිකාරි හා අනන්තය විනිවිද සමූහය පලුගොල්ල දූ පුතුන් පැලඳ සිටි කැඩුණු, ඉරුණු සහිත පාවහන් ඡායාරූපය මුහුණුපොත සාමාජිකයන්ගේ හද සසල කළා නොඅනුමානය. වෙනදා නොවූ ප්‍රබෝධමත් සිතකින් අලුත් පාවහන් පැළැඳ අකුරට යන බාල ළමාවරුන්ගේ මුහුණු මත ඇඳෙන සතුටු සිනාව සිතින් මවාගන්නට උත්සාහ දරමි. ඒ සතුටට හිමිකම් කියන, ඊට දායක වූ සොඳුරු සිතැති සමූහයේ සාමාජික, සාමාජික නොවන පිරිස් මුදල් පසුපස හඹා යන මනුස්සකමින් තොර වූ කෘත්‍රිම සමාජයකට ආදර්ශයකි.
බුද්ධදාස ගලප්පත්ති