ලෝකයේ කොයි රටක, මොන විදිහට ආරම්භ වුණත් යුද්ධයක් කියන්නෙම මනුස්සකමට නිගාදෙන කෘෘර අත්දැකීමක්. ඒක එක තැනකදි මානුෂීය වෙලා තවත් තැනක අමානුෂික වෙන්නෙ නෑ. 'යුද්ධයකදී මුලින්ම වෙඩිවදින්නේ සත්‍යයට'යයි කියමනක් තියෙන්නේ, ඒ ඕනම යුද්ධයකදී ජනතාවට සැබෑ තොරතුරු දැන ගැනීමට පවත්නා අසීරුතාව හින්දයි. එහෙමත් නැත්නම් යුද්ධයට දායකවී සිටින පාර්ශ්වයන් විසින් තම යුදමය හා දේශපාලන වාසි වෙනුවෙන් සැබෑ තොරතුරු හිතා මතාම වසං කිරීමයි. ඒ විතරක්ම නෙවෙයි, ඕනම නම් තොරතුරු විකෘති කිරීමකට හෝ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නත් පුළුවන්. ඒ නිසාම ඕනම යුද්ධයකට මැදිවුණු තොරතුරු කියන්නෙම 'දේශපාලන සන්නිවේදනයක්'. මේ සතියෙ ලියවිල්ල මේ විදිහට ආරම්භ කරන්නට හිතුණේ කාරණා දෙකක් හින්දයි. එකක් සිරියාවට එල්ල කෙරෙන ප්‍රහාරයෙන් කුඩා දරුවන් විශාල ප්‍රමාණයන් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ පුවත් හා ඡායාරූප අන්තර්ජාලයේ සැරිසැරීමත්, එම ඡායාරූපවලට අධි සංවේදිතා දක්වමින් බොහෝ දෙනෙක් තම මුහුණුපොත හරහා ඒ ගැන කම්පාවීමයි. අනෙක් කාරණය නම් අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳසලකින් ලබාගත් ආහාරයකට වඳ පෙති මුසු කර දෙන බව පවසමින් ව්‍යාජ වීඩියෝවක් සංසරණයවීමයි.
“ඔය කීවට ලංකාවෙ යුද්දෙදි ළමයි මැරුනෙ නැතිවෙන්න ඇති. නැත්නම් මේ කියන විදිහට ෆොටෝ එහා මෙහා යන්න එපායැ“ රංසි උන්දැත්, උන්දැගෙ කෙල්ලගෙ ෆෝන් එකෙන් අන්තර්ජාලෙ බලලා එහෙම කියනවා. පෙට්ටිකඩේ කළු ජෙමත් වීදුරු, කෝප්ප හේදුව වතුර බේසම 'සරාස්'සද්දෙන් පැත්තකට වීසි කරලා දැම්මා.
“මොනව වුණත් කිරිසප්පයෝ“ හැමෝම වගේ එහෙම කියනවා.
“ඒ කාලෙ මෙහෙත් එහෙම ඒවා වුණා කියලා තමයි අර යුද අපරාධ ද මොනවද කියලා චෝදනා වගයක් අරන් එක්සත් ජාතීන්ගෙ මහත්තුරු අපට සද්දෙ දැම්මෙ“ බුරම්පි සීයා දැන හෝ නොදැන ඔහේ කියල දැම්මා.
“සිරියාවෙ යුද්දෙන් ළමයින්ට මේ වගේ හිරිහැර පීඩා වෙනව ඉවසන්න බැරි අපේ ගොඩක් දෙනෙක් උතුරෙදි මෙහෙම වෙන එක ගැන සතුටුවෙලා කිරිබත් කෑවෙ කොහොමද මන්දා“ මං එහෙම කීවම රංසි උන්දෑ, කෙල්ලගෙ අතින් ඇදගෙන එතැනින් යන්න ගියේ ගස්සගෙනයි. උන්දෑ ගස්සපු වේගෙට අතේ තිබුණු පන් මල්ලෙන් කැරට් අලයකුත් බිමට වැටුණා. වැටිච්චි කැරට් අලය අහුලන ගමන් හිච්චි කොලුවා මෙහෙම කීවා.
“ඒ කාලෙ අපට හරි හරිහට එක එක විදිහේ කැරට් තිබුණා.“
“ඔව්. අපේ වගේ රටක දේශප්‍රේමය, ආගම් භක්තිය වගේ දේවල් කියන්නෙත් කැරට් අලම තමයි“ ඉස්කෝලෙ මහත්තයත් කතාවට හවුල් වුණා.
“ජෙමා අයියේ.., පෙට්ටිකඩේට කොත්තු ලෑල්ලකුත් එකතු වුණොත් නරකද? අපේ සපෝට් එක සපාන් එකේ දෙනවනෙ අයියා“ පච්ච විජේ බීඩි කොටයක් උරමින් එතැනට පාත්වුණා. හංදියෙ නානගෙ කඩෙන් කොත්තුව දාගන්න යන උන්ට නානගෙන් කිසිම අසාධාරණයක් නොවුණත් දැන් දැන් අපේ සමහර එවුන් නානගෙ කොත්තුව සැක කරන්න පටන් අරන්. විෂ බීජෙ කොහෙන් ආවත්, කොහොම ආවත් පැතිරෙනවා කියන්නෙ ඕකයි. “බජාර් එකේ චණ්ඩි වෙච්චි උඹලත් ඔය වඳ පෙති කතාව විශ්වාස කරනවද?“ ඉස්කෝලෙ මහත්තයා කෙලින්ම ඇහුවා.
“නෑ සර්. සර් දන්නවනෙ. අපි හැමෝටම බොක්ක. ඒ වුණාට ඉතිං හැමෝම ඔය ගැන පස්සට අදිනකොට අපට විතරක් ඉස්සරහට යන්න බෑ සර්“ පච්ච විජේ කීවා. විජේගෙ බොරු පුරසාරම් නෑ. දෙකේ පංතියට ඉස්කෝලෙ ගියත්, බජාර් භාෂාවෙන් රජ කෙරුවත් මනුස්සයා දෙයක් කියන්නෙ අවංකවම බැව් කළු විජේ වුණත් දන්නවා.
“ඉතිං උඹ බජාර් එකේ ලොක්ක නොවැ. උඹට පුළුවන්කම තියෙන්න එපායැ අනිත් උන්ටත් කාරණා පැහැදිලි කරලා දීලා ඒරියා එකේ රන් කරන්න“ ජෙමාත්, ඌට ගැළපෙන භාෂාවෙන් කීවා.
“ඒක ඇත්ත බොස්. ඒ වුණාට කොයිතරම් බොරුවක් වුණත් මිනිස්සු විශ්වාස කරන්න ගත්තම ඇත්තක් වෙනවා. ඒක අර විද්‍යාත්මක පරික්ෂණෙන් ගොඩ ගියාද, මේ ටෙස්ට් එකෙන් ෆේල් වුණාද කියන එක මිනිස්සුන්‍ට අදාළ නෑ. විශ්වාසය විතරයි. එච්චරමයි“ විජේ එහෙම කීවෙ වටේම උන්ගෙ මූණු දිහා බලන ගමන්.
“ඒක ඇත්ත. 'විශ්වාසා පරමා ඥාති'කියලා නොවැ කියන්නේ“ ඉස්කෝල මහත්තයා පාලි පාඨයකුත් ආදර්ශයට ගෙනාවා.
“ඥාතිද නැද්ද කියන්න මං හරියටම දන්නෙ නෑ. ඒ වුණාට ටික දවසක් ගිහින් මේ උණුහුම එහා මෙහා වෙනකල් නානගෙ කඩේ පැත්තෙ යන්න කොල්ලො ටිකක් අකමැතියි. නානා හොඳ එකා. ණයට ඉල්ලුවත් බොක්ක වුණත් දෙනවා. ඒත් මේ වෙලාවෙ ඌත් අසරණයි. අපිත් අසරණයි“ පච්ච විජේ කියනවා. “ඒ කියන්නෙ ජෙමාට කොත්තු ලෑල්ලක් දාන්න වෙනවා“ මං ඇහුවා.
“අනේ මට වැඩි සල්ලි ඕන නෑ. මේ වෙලාවෙ නානාගෙ බඩට තට්ටු කරල කන කෑම මට දිරවන්නෙ නෑ.“ කළු ජෙමා තීන්දුව ප්‍රකාශ කළා. පච්ච විජෙත් කරබාගෙන යන්න ගියා.
“රැල්ලට ගහගෙන යන උන්ට නෙවෙයි බන් චණ්ඩි කියන්නෙ. රැල්ලට විරුද්ධව උඩුගං බලා පීනන එවුන්.“ ඉස්කෝලෙ මහත්තයා එහෙම කීවෙ පච්ච විජේටයි. ඒත් ඒ සද්දය ඇහෙන තෙක් මානයක විජේ හිටියෙ නෑ. ඒ වෙද්දි ඌ වංගුවෙන් හැරිලා නොපෙනී ගිහින්.
බණ්ඩි රාල