Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ප්‍රීති­මත් පිට­ස්ත­රයා

$
0
0
මාර් 6, 2018 01:00

ජීවිතේ අපි පතන ප්‍රධානම දේ සතුට හා සොම්නස නම් එය අත්කර ගත හැක්කේ කෙසේද කියන ප්‍රශ්නය අද ලොව පුරා ලොකු සමාජ කතිකාවකට මුල පුරා තිබෙනවා. මේ සංවාදයේ්දි මතු වූ නවතම අදහස් කිහිපයක් මා මීට සති දෙකකට පෙර මගේ තීරු ලිපියෙන් බද්දරමල්ලට ලිව්වා. එම ලිපියට ඇතුළත් වූ කරුණු මා උපුටා ගත්තේ බීබීසී සේවය අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ලොරී සන්තෝෂ්ගේ පර්යේෂණයක් පදනම් කරගෙන පළ කර තිබූ ලිපියකින්. ජීවිතේ සතුට සදන ඉතා සරල මාර්ග 5ක් ඇය පෙන්වා දී තිබුණා. බද්දරමල්ලේ පළ වූ ඒ ලිපිය පසුව මුහුණු පොතටත් එක් කළා. ඒ ලිපිය කියවපු හුඟ දෙනෙක් මට කතා කර කියා සිටියේ එවැනි අදහස් මතු කර දැක්වීමේ වැදගත්කමයි. ඒ නිසාම මම කල්පනා කළා ඒ හා සමානම අදහස් රැගත් තවත් ලිපියක් මෙවර ඔබට ඉදිරිපත් කරන්න.

මේ ලිපියට පාදක වෙන්නේ ප‍්‍රංශයේ ජීවත් වන වියපත් යුවළක් සිය ජීවිතයේ සතුට උදාකරගෙන තිබෙන ආකාරයයි. බටහිරදිග වෙරළාසන්නයේ පිහිටි ගමක ජීවත් වන මේ යුවළ ජීවිකාවෘත්තිය හැටියට කරන්නේ ගොවිපළක් පවත්වාගෙන යාම. සපුරාම සොබාදහමේ නීති රීතිවලට ගරුකිරීම තමා මේ ගොවිපළේ විශේෂත්වය වෙන්නේ. නවීන යන්ත්‍රෝපකරණ හා රසායනික ද්‍රව්‍ය සිය ගොවිපළේ වැඩ කටයුතුවලට සම්බන්ධ කරගන්නේ නැති බව දැන් හැත්තෑ වියේ පසු වන ගොවිපළේ හිමිකරු වන ජෝන් බර්නාඩ් පවසනවා. ලොව දියුණුම තාක්ෂණ ක්‍රම මෙන්ම විද්‍යා ඥානයද අඩුවක් නැති ප්‍රංශය වැනි රටක සිටියත් පාරම්පරික සම්ප්‍රදාය හා අල්පේච්ඡත්වය අගය කිරීම මගින් ඉතා සුවබර හා ප්‍රමෝදජනක දිවි පෙවෙතක් ගත කිරීමට මේ යුවළ සමත් වී සිටින බව පවසන්නේ බර්නාඩ්ගේ ගොවිපළේ සතියක් ගත කළ රොයිටර් කැමරා ශිල්පියකු වන ස්ටෙෆන් මාන්. ස්ටෙෆන්, බර්නාඩ් හඳුන්වන්නේ ‘ප්‍රීතිමත් පිටස්තරයකු’ ලෙසයි. බර්නාඩ්ගේ බිරිය වන ලෝරන්ස්ගේ උපරිම සහයද ගොවිපළේ කටයුතුවලට ලැබෙන බවත් ස්ටෙෆන් පවසන්නේ ලොකු සතුටකින්.

එළවළු හා පලතුරු වගාවට අමතරව කුකුළන්, ඌරන් හා ගවයන්ද ඇති දැඩි කරන බර්නාඩ් දවස අරඹන්නේ එළදෙනුන්ගෙන් දොවාගන්නා කිරි බටර් වෙඬරු වැනි නිෂ්පාදන සඳහා ලෝරන්ස්ට බාර දීමෙන්. ඉන්පසු ඔහු කරන්නේ ගොවිපළින් නෙළාගෙන එන ධාන්‍ය වර්ග අඹරා පිටි කිරීම. තම පාරිභෝජනයට අවශ්‍ය ප‍්‍රමාණය ඉතිරි කරගෙන අමතර නිෂ්පාදන අලෙවි කිරිමෙන් බර්නාඩ් අමතර ආදායමක් උපයා ගන්නවා. ඔවුන්ගේ නිෂ්පාදන ඒ ප්‍රදේශයේ ඉතා ජනප්‍රියයි. රසායනික ද්‍රව්‍ය භාවිත නොකර නිවෙසේම කරන නිෂ්පාදන නිසා ඒවා මිලට ගැනීමට අසල්වාසීන් දක්වන්නේ ලොකු උනන්දුවක්. හැබැයි මුදල් ඉපයීමේ අරමුණෙන් අමතර නිෂ්පාදන කිරීමට හෝ වැඩි පාරිභෝගිකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට හෝ බර්නාඩ් කිසිම වෙලාවක තැත් කරන්නේ නැහැ.

‘‘මම හැම වෙලාවෙම මගේ ජීවිතය හොඳින් කළමනාකරණය කර ගන්නවා. මට කවදාවත් පොහොසතෙක් වෙන්න ඕනා වුණේ නැහැ. මට ඕනා වුණ එකම දෙය තමා සතුටින් නිදහසේ ජීවත් වීම. මට වඩා විශාල ගොවිපළවල් පවත්වාගෙන යමින් විශාල වශයෙන් ආදායම් උපයන ගොවියන් මේ පළාතේ ඕනා තරම් ඉන්නවා. හැබැයි මම හොඳටම දන්නවා ඒගොල්ලො මට වඩා පොහොසත් වුණාට ජීවත් වෙන්නේ කිසිම සතුටකින් නොවන බව.’’ බර්නාඩ් එසේ පවසනවා. නිර්බාධිත ආර්ථික ක්‍රමයක් රජයන ලෝකයකට බර්නාඩ්ගේ සම්ප්‍රදායික සිතිවිලි හා නිෂ්පාදන ක්‍රමය ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද විශාල ඉල්ලුමක් සපයන්න මේ ක්‍රමය යටතේ තිබෙන හැකියාව සීමාසහිත නිසා. නමුත් සරල හා අල්පේච්ඡ දිවි පැවැත්මක් අපේක්ෂා කරන බර්නාඩ් වැන්නන්ට නම් මේ ක්‍රමය මනා පූර්වාදර්ශයක් වන බව පැහැදිලියි.

ඔහුගේ මේ ජීවන දර්ශනය නිසා නවීකරණය හෝ සැප සම්පත් ප්‍රතික්ෂේප කරන තපස් පිළිවෙතක් අනුගමනය කරන්නකු ලෙස කවුරුන් හෝ බර්නාඩ් හඳුන්වා දෙන්න හදනවා නම් එය වැරදියි. මෙහිදී වැදගත් වන්නේ ජීවිතයේ ප්‍රමුඛතා හඳුනාගැනීමේදී ඔහු අනුගමනය කරන ප්‍රතිපත්තිත්, සතුට ලෙස ඔහු හඳුනාගෙන තිබෙන දේත් කුමක්ද කියා වටහා ගැනීමයි. කාරයක් භාවිත කිරීම, රූපවාහිනිය නැරඹීම හා අන්තර්ජාල පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීම වැනි කාරණා ඔහු සලකන්නේ සිය සතුට උත්කර්ෂයට නැංවීමට රුකුල් දෙන උපාංග හැටියටයි. ඊට අමතරව ආහාර ගැනීමට පෙර නිවෙසේම සකස් කරගත් සයිඩර් බීර වීදුරු කිහිපයක රස විඳින්නත් බර්නාඩ් අමතක කරන්නෙ නැහැ. තව දුරටත් වයසට යන විට සිරුර දුබල වන බැවින් වඩාත් දියුණු මෙවලම් භාවිත කිරීමට තමා පසුබට නොවන බවත් බර්නාඩ් පවසනවා.

‘‘මට මේ ගොවිපළ හොඳ මුදලකට විකුණාගන්න පුළුවන්. ඒත් මම කවදාවත් එහෙම කරන්නෙ නැහැ. මගෙන් පස්සෙ මා මෙය පවරන්න සිතා ඉන්නෙ මගෙ සම්ප්‍රදාය ඉදිරියට පවත්වගෙන යන්න කැමති මගෙම පරම්පරාවේ උරුමක්කරුවකුටයි. මොකද මටත් මෙය හිමි වුණේ අපේ මුතුන් මිත්තන්ගෙන්.’’ බර්නාඩ් සිය ගොවිපළේ හෙට දවස සැලසුම් කර තිබෙනුයේ එලෙසයි. සතියක් පුරා බර්නාඩ් හා ලෝරන්ස් සමඟ ගොවිපළේ ජීවත් වූ රොයිටර් කැමරා ශිල්පි ස්ටෙෆන් මේ යුවළ හඳුන්වන්නේ ‘‘වෙනස් වන ලෝකයක් තුළ සතුටින් දිවි ගෙවන නොවෙනස් වන යුවළක්’’ ලෙසයි.

බර්නාඩ් යුවළගෙ මේ සරල සුන්දර දිවි පැවැත්ම විසින් අප සැමට අපූරු මාර්ගෝපදේශකත්වයක් සපයන බවයි මගේ නම් අදහස. ප්‍රංශය වගේ අධි කාමභෝගී රටක ජීවත් වුණත් තම දිවි පැවැත්ම සඳහා අවැසි උචිත අනුචිත දේවල් තෝරාගැනීමට ඇති විචාර බුද්ධිය නිසා අනවශ්‍ය හිසරදවලින් මිදී ඔවුන් සතුටින් ජීවත් වෙනවා. රූපවාහිනියේ ප්‍රචාරක දැන්වීම් නරඹා හෝ නානා ප්‍රකාර වෙළෙඳ ඒජන්තවරුන්ගේ මුසාවලට රැවටී බැංකු හා ලීසිං කොම්පැනිවලට ජීවිත උකසට තබා සුසුම් හෙළන්නට පුරුදු වූ සමාජයකුයි අද අපේ බහුතරයක් දෙනා ප්‍රීතිමත් සමාජයක් ලෙස දකින්නේ. එහෙත් එය වෙළෙඳ උගුලකට අසු වී ජීවිතය පුරාවටම පීඩා විඳීමක් නොවේද කියන ප්‍රශ්නය ප්‍රංශයේ සිටින බර්නාඩ් යුවළ අපෙන් විමසන බවක් මට හැඟෙනවා. සැබෑ සතුට යනු හැකි තරම් පාරිභෝගික භාණ්ඩ ගොඩගසා ගැනීම නොව අනවශ්‍ය බැඳීම්වලින් මිදී සරල සුන්දර දිවි පෙවෙතක් ගෙවීම බව බර්නාඩ් යුවළගේ ජීවන පුවත මගින් යළි යළිත් අපට අවධාරණය කර සිටිනවා.

කමල් පෙරේරා

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>