අප පසුකරමින් සිටින දවස් උණුසුම් වූ දේශපාලන පොර පිටියකින් ඇසෙන රත් වූ වාගාලාපවලින් සරුසාර වූ දවස් ය. ඒ වාගාලාප විටෙක ආක්‍රමණශීලී ය. හරයෙන් තොර ය. පුහුදුන් මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීමට විනා බුද්ධිමය කතාබහකට නොහොබිනේ ය. මීට පෙර දේශපාලන වාගාලාප බහුල කාලයක දී අතීත මැතිවරණ තොරතුරුවලට රිසි අය වෙනුවෙන් 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය හා 1960 මාර්තු මැතිවරණය පිළිබඳ තොරතුරු ‘සංහිඳ පාමුල’ තීරයට එක් කළෙමි.
මෙවර ලියන්නට අදහස් කළේ 1965 සයවන පාර්ලිමේන්තු මැතිවරණය අරභයා වූ තොරතුරු ය. 1965 මැතිවරණය කීප අතකින් ම වැදගත් ය. “සී. පී. සිල්වා මට පිටුපසින් සිට පිහියෙන් ඇන්නා.” යයි බණ්ඩාරනායක මැතිනියට කියවුණේ මැතිවරණය පැවැත්වූ 1965 මාර්තු 22 වනදාට කලින් 1964 දෙසැම්බර් 04 වැනිදා ගුවන් විදුලියෙන් ජාතිය අමතන අවස්ථාවේ දී ය. පසුව ඒ කතාව මැතිවරණ වේදිකා පුරා රැව් පිළිරැව් දුන්නේ ය. 1965 මැතිවරණයෙන් බිහිවූ ආණ්ඩුව හඳුන්වන්නට ඊට දේශපාලනික වශයෙන් විරුද්ධ වූවෝ අපූරු පර්යාය පදයක් භාවිත කළහ. ඒ “හත්හවුල” යන පදයයි. ආණ්ඩුවට පක්ෂ හතක් සහාය පළ කළ බැවින් මෙවැනි පදයක් භාවිත විය. 1965 අගමැති ධුරය හෙබ වූ ඩඩ්ලි සේනානායක මහතා සිංහල දෙමළ දෙජාතිය අතර ප්‍රශ්න විසඳන්නට ‘රටසභා’ නම් පනතක් ගෙනෙන්ට සූදානම් වූ විට සිංහල දෙමළ ප්‍රශ්න විසඳන්නට යෝජනා ඉදිරිපත් කරන්නට කවදත් උනන්දු වූ වාමාංශික පක්ෂ මූලික වී “ඩඩ්ලිගෙ බඩේ මෂල වඩේ” කියමින් පෙළපාළි ගියේ ය. 1947 සිට බලය ලබාගත් ආණ්ඩු අතරින් අවුරුදු පහක ධුර කාලය අවසන් වන තුරු පවත්වා ගෙන ගිය ප්‍රථම ආණ්ඩුව වූයේ ද ඩඩ්ලි සේනානායක මහතාගේ සභාග ආණ්ඩුවයි.
1965 මැතිවරණය පැවැත්වීමට හේතු වූයේ 1960 ජූලි මාසයේ පැවැත්වූ මැතිවරණයෙන් බලය පිහිට වූ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ රාජාසන කතා විවාදයේ දී 1964 දෙසැම්බර් 03 වැනිදා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා (ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) රාජාසන කතා ස්තුති යෝජනාවට සංශෝධනයක් ගෙන ඒමෙන් ඇති වූ තත්ත්වයයි. එහිදී සංශෝධනයට පක්ෂව ඡන්ද 74ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ 73කි. සංශෝධනය එක් වැඩි ඡන්දයකින් ජය ගැනීමෙන් ආණ්ඩුව පරාජය වූ නිසා 1964 දෙසැම්බර් 17 වැනිදා ආණ්ඩුව විසුරුවා හැරිණි.
සිරිමාවෝ බණ්ඩාරනායක රජය ලංකා සමසමාජ පක්ෂය සමඟ 1964 සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු නොසතුටට පත්ව සිටියහ. ලසසපයේ මෙරිල් ප්‍රනාන්දු සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන මන්ත්‍රීවරු ද ලසසපයෙන් ඉවත් වී විප්ලවකාරී සමසමාජ පක්ෂය පිහිටුවා ගත්හ. රජය විසින් ගෙන එන ලද ‘පුවත්පත් පනත’ වැනි ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජනමාධ්‍යවල ද මහා සංඝරත්නයේ ද විරෝධය රජයට එල්ල වී තිබිණි.
විවාදය පැවති දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමඟ තවත් මන්ත්‍රීවරු 14 දෙනෙක් විරුද්ධ පක්ෂය සමඟ එක් වී ඡන්දය ප්‍රකාශ කිරීම ආණ්ඩුව බිඳ වැටීමට මූලික හේතුව විය. සභාග රජයේ සභානායක තනතුර දැරූ ඉඩම්, වාරිමාර්ග හා බලශක්ති අමාත්‍ය සී. පී. ද සිල්වා (මින්නේරිය) මහතා නායකත්වය දුන් මේ පිරිසට පහත සඳහන් මන්ත්‍රීවරු අයත් වූහ. මහානාම සමරවීර (මාතර -කලින් රජයේ අමාත්‍ය පදවියක් දැරූ සමරවීර මහතා මංගල සමරවීර මහතාගේ පියා ය.), ඒ. එච් ද සිල්වා (පොලොන්නරුව), ලක්ෂ්මන් ද සිල්වා (බලපිටිය), එඩ්මන්ඩ් විජේසූරිය (මස්කෙළිය), ඉන්ද්‍රසේනද සොයිසා (අම්පාර), පී. පී. වික්‍රමසූරිය (දෙවිනුවර), විජයබාහු විජේසිංහ (මීරිගම), ලයනල් ගුණසේකර (කලවාන), එඩ්වින් තිලකරත්න (රත්ගම), ඇල්බට් ද සිල්වා (මොනරාගල), එස්. බී. ලේනව ( කැකිරාව), සර් රාසීක් ෆරීඩ් (මැද කොළඹ 1 මන්ත්‍රී), චන්ද්‍රෙස්න මුණවීර (රත්තොට), සිංගල්ටන් සැමන් (පත්කළ මන්ත්‍රී) ය. සී. පී. ද සිල්වා මහතා අලුත් දේශපාලන පක්ෂයක් දෙසැම්බර් 10 වනදා පිහිටුවී ය. ඒ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය යි.
‘එඩ්වින් ෆීලික්ස් ඩයස් අබේසිංහ’ මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් පැවති මෙම මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂ 13ක් තරග වැදිණි. දේශපාලන පක්ෂ අතර ආසන බෙදී ගියේ මෙසේ ය.
එක්සත් ජාතික පක්ෂය (66) ; ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (41) ; පෙඩරල් පක්ෂය (14) ; ලංකා සමසමාජ පක්ෂය (10) ; ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය හා ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -ඒකාබද්ධව (5) ; කොමියුනිස්ට් පක්ෂය (4); සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය (3) ; මහජන එක්සත් පෙරමුණ (1) ; ජාතික විමුක්ති පෙරමුණ (1) ; ස්වාධීන (6)
එක්සත් ජාතික පක්ෂය ජයගත්ත ද බහුතර බලයක් නොවිණි. එහෙත් එහි නායක ඩඩ්ලි සේනානායක මහතා පක්ෂ කීපයක සහාය ලබාගෙන සභාග රජයක් පිහිටවීය. සභාගයට පක්ෂ හතක් එක් වූ බැවින් හත් හවුල් ආණ්ඩුව නම් විය. එසේ එක් වූ පක්ෂ මෙසේ ය.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික විමුක්ති පෙරමුණ, පෙඩරල් පක්ෂය හා ද්‍රවිඩ සංගමය
ඩඩ්ලි සේනානායක සභාග ආණ්ඩුවට පෙඩරල් පක්ෂය හා ද්‍රවිඩ සංගමය වැනි දෙමළ පක්ෂ මෙන් ම සිංහල ජාතිකවාදය නියෝජනය කරන ජාතික විමුක්ති පෙරමුණ (කේ. පී. එම්. රාජරත්න) ද එක්වී සිටියේ ය. එසේ ම වාමාංශික නායකයකු වූ පිලිප් ගුණවර්ධන ද යූඑන්පියේ ඩඩ්ලි සමඟ එක්වූයේ ය.
මහානාම දුනුමාල