හබරණ අහසේ ඉර මුදුන් වී තිබුණ නිසාවෙන් මුළු පරිසරයම ගිනියම් වී තිබිණ. ඒ දැඩි උණුසුම අප කාටත් නොදැනුණ සේය. නගරයේ ආපන ශාලාවකින් දහවල් සරතැස ඉක්මනින් නිවා ගත්තේ හබරණට කිලෝමීටර් කිහිපයක් එපිටින් පිහිටි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සුන්දර දසුන් බොහොමයක් දැක බලා සිත් පහන් කර ගැනීමේ ආසාව සියල්ලන්ටම තිබුණ නිසාවෙනි.
හබරණ කියූ සැණින් බියට පත් වන්නේ එය ඝන වනාන්තරයකින් සැදුම්ලත් වීමත් වන අලි නිතරම ගැවසෙන නිසාත්ය. "අලින්ට බය වෙන්න එපා. උන් අහිංසක සත්තු. උන් අපිට බයයි. අපේ හැසිරීම් වෙනස් වුණොත් තමයි අලි අපට ගහන්න එන්නේ"මෙහෙම කියලා අපේ හිතේ බය ඇරියේ අපේ මාර්ගෝපදේශකයා වන සංජීව උදයකුමාර මහතායි.
පොලොන්නරුව හබරණ පාරේ කිලෝමීටර් කිහිපයක් ගිය තැන අපට මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පිවිසුම් කුටිය හමුවෙනවා. කොළඹ සිට පැමිණෙන විට කිලෝමීටර් 182ක් තිබෙනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානය නරඹන්න යෑමට හබරණ හන්දියෙනුත් සෆාරි ජීප් රථ මිල දී ගන්න පුළුවනි. නැතිනම් අපේ වාහනයක යනවා නම් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පිවිසුම තෙක් ගොස් එතැනින් ද සෆාරි ජීප් රථයක් මිලට ගත හැකියි. සෆාරි ජීප් රථයක් රුපියල් 3000ක් ගෙවා මේ සුන්දර ගමනට වෙන් කර ගත හැකියි.
මුලින්ම අප මින්නේරිය පිවිසුමේ පිහිටි ප්‍රවේශ පත් කවුන්ටරය වෙතට ගියේ මේ සුන්දර වනෝද්‍යානය නැරඹීමට නම් ප්‍රවේශ පත් මිල දී ගත යුතු නිසයි. මෙතන සෆාරි ජීප් පිරිලා. ඒ වගේමයි විදෙස් සංචාරකයන්. ඔවුනුත් නොඉවසිල්ලෙන් ඉන්නේ මේ ජීප් එකේ නැඟලා ස්වාභාවික වනෝද්‍යානයට ඇතුළු වෙලා වනයේ සිරි නරඹන්න. සවස 5න් පස්සේ මේ වනෝද්‍යානයට ඇතුළු වීමට ප්‍රවේශ පත් දෙන්නේ නැහැ.
හේතුව තමයි පිවිසුමෙන් වනෝද්‍යානයට ඇතුළු වුණාම මේක වරුවක ගමනක්. ඒ නිසා සවස 4න් පස්සෙ ඇතුළු කර ගන්නෙ නැත්තෙ වනයේ සිරි නරඹලා එනකොට රෑ වෙන නිසයි. නිදහසේ වනයේ සැරි සරන අලි ඇතුළු වන සතුන්ට ඒක හිරිහැරයක් වගේම එහි යන අයටත් ඒ සතුන්ගෙන් හිරිහැර ඇති වෙන්න පුළුවනි.
"මෙතන පොඩි අවුලක් තියෙනවා. මේ කවුන්ටරේ ඉන්නේ එක්කෙනයි. ඉතින් ටිකට් දෙන්න වෙලා යනවා."අපේ මාර්ගෝපදේශකයා සංජීව මහතා කිව්වේ විස්සෝපයෙන්. ඒ වන විටත් සෙනඟ ගොඩක් එතැන සිටියා. අපේ නොඉවසිල්ල ඊටත් වඩා වැඩියි.

ප්‍රවේශ පත්‍ර අරගෙන සෆාරි ජීප් එකකුත් ගත්තාම අපි කැමති නම් වනජීවී එකෙන් මඟපෙන්වන්නෙක් ගන්න පුළුවන්. එහෙම නොගත්තත් ජීප් රියැදුරා අපව නිසි මඟ එක්ක යනවා. ඔවුන් හරි පුරුදුකාරයෝ. අපේ ජීප් එකේ රියදුරා ඉන්දික. ඔහු කිව්වෙ දවසට යන්න පුළුවන් සෆාරි දෙකක් බවයි. "දවසට දෙකක් දා ගත්තම ඇති. සීසන් එකට අපට හොඳයි. වැඩියෙන්ම මෙහෙට එන්නෙ විදෙස් සංචාරකයන්. හැබැයි සමහර කාලවල අපේ ජීප් අව්වෙ වේළෙනවා. මොනව කරන්න ද මේ රස්‍සාවෙ හැටි ඔහොම තමයි."
මේ ජීප් එක එක මාදිලියේ ඒවා. එක ජීප් එකක පස් දෙනකුට යන්න පුළුවනි. සැප සීට් තියෙනවා. උඩ වහල ඇරලා. හරි ෂෝක්. අපි නම් ගියේ නැඟිටගෙනමයි. පිවිසුම් ගේට්ටුවෙන් ඇතුළට දැම්මම ටිකක් බයක් ඇති වුණේ නෑ කිව්වොත් ඒ බොරු. දිගටම වැලි පාර. දෙපැත්තෙ මහා රූස්ස ගස්, කුරුල්ලන්ගේ කීචි බීචි සද්දත් එක්ක මහා අමුතු භයංකර සද්දත් ඇහෙනවා. අපි හැමෝම හරි සෝදිසියෙන් දෙපැත්ත බලන්නේ කැලේ අස්සේ හැංගිලා ඉන්න සතෙක් දෙන්නෙක් බලා ගන්න.
"අන්න ගහක අත්තක් ඇවිදිනවා."එහෙම කිව්වෙ අපිත් එක්ක ගිය කුඩා සාමාජිකයෙක්. බැලින්නම් ලොකු අං තට්ටුවක් එක්ක තඩි මුවෙක්. ඊට එහායින් මුව රංචුවක්ම ගස්වල අතු කකා හිටියා. අපේ මාර්ගෝපදේශකයා අපට යන ගමන් කතා කරන්න දුන්නේ නෑ. අපේ සද්දෙට සත්තු බය වෙයි කියලා. එයා වන සතුන්ට විශේෂයෙන් අලින්ට හරිම ආදරෙයි. ජීප් එක ගියෙත් සද්ද නැතිව.
කැලේට එබීගෙන යන අපි වල් ඌරො, මොනරු නම් ඕන තරම් දැක්කා. ගස් උඩ ලැග ගෙන ගොදුරක් එනකම් මඟ බලා ගෙන උකුස්සොත් අතරින් පතර අපි දැක්කා. ඒ වගේම සුදු පාට වඳුරො. උන් අත්තෙන් අත්තට පැන පැන සෙල්ලම් කරනවා. කැලේ අස්සෙන් අැහෙන උලමාගෙ බකමූණන්ගෙ සද්දෙ වගේම ගස් එකට ඇතිල්ලෙන සද්දෙ අපේ ඇඟේ ලොමු ඩැහැ ගන්වන්න සමත් වුණා.
වනයේ දෙපැත්තෙම වැඩිපුරම තියෙන්නෙ කටු තියෙන උණ ගස්. මේ කටු සහිත උණ විශේෂය නම් මේ සුන්දර වනෝද්‍යානයට පිළිලයක් කියලා නම් අපට තේරුණා. කැලේ සමහර තැන්වල මේ ගස් පඳුරු පිටින් උදුරලා දාලා තිබුණා. ඒ ගස් හැරුණාම විශාල කුඹුක් ගස්, කොහොඹ ගස්, පලු වගේම වීර ගසුත් තිබුණා. වීර කියන්නේ මේ මින්නේරියට අධිපති ශාකය කියලයි අපේ සංජීව මහතා කිව්වේ.
"ඒ වගේම මේ ජාතික වනෝද්‍යානයේ සත්ත්ව විශේෂ අතර ක්ෂීරපායී විශේෂ 24ක්, පක්ෂීන් විශේෂ 160ක්, උභයජීවීන් විශේෂ 9ක්, උරග විශේෂ 25ක්, මාළු විශේෂ 26 ක් සහ සමනල විශේෂ 75ක් පමණ සිටිනවා. ඒ වගේම ගැට කිඹුලාත් මේ මින්නේරිය වැවේ නිතරම ඉන්නවා."
එක තැනකදි අපේ ජීප් එක මඳකට නැවතුණා. පුංචි දිය පාරක්. දිය පාරෙන් වතුර බොන පුංචි කොක්කු විශේෂයක්. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන කොකුන් නෙමෙයි. අපට හිතුණේ මොවුන් සංචාරක පක්ෂි විශේෂයක් කියලයි. හරිම ලස්සනයි. අපේ සංජීව මහතා මේ කොක්කුන්ගෙ නම් කිව්වෙ ඉංග්‍රීසියෙන්. "Painted stroke කියන්නේ මෙයාලට". ඇත්තටම, මෙයාලාගෙ ඇඟ ළා රතු පාටින් පාට කරලා වගෙයි. "Spoon dill කියලා තවත් ජාතියක් ඉන්නවා. එයාලගේ හොට හැන්දක් වගෙයි. මම ඉස්සරහදි පෙන්වන්නම්"ඔහු යළිත් අපව දැනුවත් කළා.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වන වළි කුකුළා (jungle fowl), ගිරා මලිත්තා (hanging parrot) සහ අළු කෑඳැත්තාත් (grey hornbill) මේ වනෝද්‍යානය තුළ දැක ගත හැකි බව අපට දැන ගන්නට ලැබුණා. අපි මේ ගමනෙදි ඇහි පිල්ලමක්වත් ගහන්න බය වුණා. ඇයි එක සතෙක්වත් මඟ හැරුණොත්....
"අන්න අර ඈත මී හරක් රංචුවක්"ඈතට පුංචි ඇඟිල්ල දික් කරගෙන නැඟිටලා ජීප් එකේ පොල්ලේ එල්ලීගෙන අපේ රංචුවේ පුංචි සාමාජිකයා කෑගහන්න ගත්තා. කළු පාට ගුලි වගේ තමයි. ඒත් ජීප් එක ටිකක් ළං වුණාම හරියටම පෙනුණා... අලි රංචුවක්. මින්නේරිය වැව් පිටියේ තණ කොළ කනවා.
"අලි මේ වැව් පිටියට එන්නෙ වැවේ වතුර හිඳෙන කාලෙට. ඒ කියන්නෙ අගෝස්තු මාසෙ ඉඳන් තමයි මේ මින්නේරිය සීසන් එක පටන් ගන්නේ. වැවේ වතුර හිඳුණම තණ කොළ වැවෙනවා. ඒ තණ කොළ කන්න තමයි මේ අලි එන්නේ. මෙතන එකම රංචුවක්. අලි 200ක් 300ක් විතර එක සැරේට මෙතනට එනවා.
අලි විතරක් නෙමෙයි මී හරක්, මුවන්, කුරුල්ලන්, කොක්කු සහ විවිධාකාර කුරුල්ලන් මේ වැව් ඉස්මත්තට එනවා. ඒ සත්තු නිදහසේ මෙතැන හැසිරෙනවා. මෙහාට වහින්න ගත්තාම වැව පිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ අලි රංචුවම මේ වැව් පිටිය අතෑරලා පාර පැනලා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට යනවා. හබරණ-ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර් කිහිපයක් ගියාම කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හමුවෙනවා. ඒ කාලෙට ඒ පැත්තට වහින්නෙ නැහැ. ආයෙම ඒ පැත්තට වහින්න ගත්තාම මේ අලි රංචුව හුරුළු ඔය පරිසර උද්‍යානයට යනවා."සංජීව මහතා විදෙස් සංචාරකයන්ට කියලා දෙන පුරුද්දටම අපටත් හැමදේම කියලා දෙනවා.

"අලි හරිම බුද්ධිමත් සත්තු. එයාලට පරිසරයේ වෙනස්වීම් වගේම රැහේ කෙරෙන දේවලුත් හොඳට තේරෙනවා. පිරිමි සත්තු ඉන්නෙ තනියම. රංචුවක ඉන්නෙ ගැහැනු සත්තු සහ පිරිමි කුඩා අලි පැටවු. කුඩා පිරිමි සත්තු ලොකු වෙනකොට රැළෙන් එළවනවා. ඒකට හේතුව තමයි එයාලගෙ ලිංගික ක්‍රියාවලියෙදි ලේ නෑයො සමඟ එකතු වුණොත් ලැබෙන්නෙ අංගවිකල පැටවු. මේ බුද්ධිමත් අලින්ට මේක හොඳට තේරෙනවා. උන් ලේ නෑයො එක්ක ලිංගික ක්‍රියාවලියට යන්නේ නැහැ. ඒ වගේම මේ වනෝද්‍යානෙ ඇතුළෙ ඉන්නවා කනේ හිලා කියලා අලියෙක්. හැම ජීප් එකක්ම ඌ ඉන්න ඉසව්වෙන් යන්නෙ නැහැ. හේතුව, කනේ හිලාගෙ පැටියා වාහනේකට අහුවෙලා මැරිලා. එදා ඉඳන් මේ සතා හැම වාහනේකටම ගහනවා."
මේ හරියෙදි වාහනෙන් බහින්න දෙන්නෙ නැති වුණත්, අපේ අලි යාළුවා ළඟම ඉන්න නිසා ඉවසුමක් නැති අපි ඔක්කොම වාහනෙන් බැස්සේ අලි ටික පේන දුරින්මයි. ඇත්තටම අලි අපි දිහා බැලුවෙ වත් නැහැ. උන් උන්ගෙ ලෝකෙ. තණ කොළ කනවා. ගස්වල කොළ කනවා. තණ කොළ පස් පිටින් උගුල්ලගෙන කන්නෙත් නැහැ. හරිම පරිස්සම්. තණ කොළ උඩින් උඩින් සීරුවට තමයි කන්නේ. පුංච් පැටවු සෙල්ලම් කරනවා. පැටවු අම්මලාගෙ ඇඟ උඩ නඟින්න හදනවා. අලි අම්මලා පැටවු පරිස්සම් කර ගන්න හැටිත් හරිම විශේෂයි. මෙතන සෑහෙන්න වෙලාවක් ඉඳලා අපි අයෙම ගමන් ඇරඹුවා.
අපේ ගමන වැටිලා තියෙන්නෙ මින්නේරිය වැවි පිටිය වටේටමයි. වටේටම වැව පේනවා. හවස 4.30න් පස්සේ තමයි අලියි අනිත් සත්තුයි වැව ළඟට එන්නේ. මේ දසුන් නරඹන්න නම් හරියටම මේ වෙලාවට මේ ඉසව්වට එන්න ඕනෑ. ආපසු එන ගමනෙදි හැමෝම දකින්නෙ නැති ඒත් මේ ජාතික වනෝද්‍යානයට සම්පතක් වන දිවියෙක් අප නෙතට හසු වුණා. ඉන් අප ගමන සම්පූර්ණ වූවා යැයි අප සැමටම හැඟී ගියා.

චතුමී පිටිපන
ඡායාරූප - රොෂාන් පිටිපන
