තුරුලතා ගැවසුණු අතිශය අලංකාර සහ වටිනා ස්වභාව සෞන්දර්යයකට හිමිකම් කියන්නා වූ පරිසරයක් ශ්‍රී ලාංකික අපට උරුම වී ඇත. විවිධ ශාක සම්පත්වලින් පිරිපුන් වී තිබෙන අපේ රටේ වැවෙන සෑම ශාකයක්ම පාහේ රෝග රැසකට ප්‍රතිකාර කළ හැකි ඖෂධීය ගුණ ඇති ශාකයන්ය. එබැවින් අතීත හෙළ වෙදකම සම්පූර්ණයෙන්ම මෙම ඖෂධීය ශාක මත යැපෙන්නට විය.
පුරාණ කාලයේ සිටම රෝග සුව කිරීම සඳහා මිනිසා විසින් ශාක භාවිත කර ඇත. ආයුර්වේද, සිද්ධ සහ යුනානි යන විකල්ප වෛද්‍ය ක්‍රම ඉදිරියටත් පවත්වාගෙන යෑම ජනතාවගේ යහපතට හේතු වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා සරල අඩු මිල ප්‍රතිකාර මේ වෙදකම්වල තිබේ. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ආයුර්වේද අත්බේත් වෙළෙඳසල් බහුලය. එම බෙහෙත් ද්‍රව්‍ය සඳහා ජනතාව පුරුදුව සිටිති. අපේ පැරැණි නිවාසයන්හි තවම දේශීය බේත් හේත් පෙට්ටියක් තිබේ. එදිනෙදා අවශ්‍ය වන ඖෂධ පිළිබඳව ඔවුහු දනිති.
සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහනයෙන් 80%ක් පමණ රඳා පවතින්නේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව මතය. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ආපසු හැරවිය නොහැකි අහිතකර සිදුවීම් පවතින හෙයින් අඩු අහිතකර සිදුවීම් සහිත චිකිත්සක බලපෑම් මිනිසුන්ට දීමේදී දේශීය ශාකසාර ඖෂධ ප්‍රබල ලෙස ක්‍රියා කරයි. වර්තමානයේ මුළු ලෝකයම මුහුණු දී තිබෙන කොවිඩ් 19 වසංගතයත් සමඟ දේශීය ඖෂධවල වටිනාකම වැඩි වශයෙන් ඉස්මතු වන්නට පටන් ගෙන තිබේ. ලෝකයේ ප්‍රබල රටවල් මෙම වසංගතය හමුවේ පරාජය වන විට ශ්‍රී ලංකාවේ මෙම වසංගතය බොහෝ දුරට පාලනය කර ගත හැකි වූයේ දේශීය ඖෂධීය ශාක භාවිතයට ගැනීම නිසාය. විශේෂයෙන් ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට ආදි දේශීය ඖෂධ පානයට ජනතාව වැඩි වශයෙන් පෙළඹූයේ මෙම ඖෂධවල තිබෙන ප්‍රතිශක්තිකාරක ගුණය නිසාය.

කොවිඩ් 19 රෝගයට ප්‍රතිශක්තීකරණ පානයක් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සක අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට මහතා විසින් ද හඳුන්වාදීමක් සිදු විය. මේ වන විටත් නාවික හමුදා සෙබළුන්ට මෙම ඖෂධය දීමෙන් සාර්ථක ප්‍රතිඵල ද අත් කරගෙන තිබේ.
මෙම පානය සෑදීමට ගම්මිරිස්, කොත්තමල්ලි, අමු ඉඟුරු මෙන්ම දෙහි කොළ හා යකි නාරං වැනි ඖෂධීය ශාක අවශ්‍ය වේ. මෙවැනි ඖෂධ අපගේ දේශීය පරිසරය තුළ හොඳින් වගා කිරීමේ හැකියාව පැවතුණ ද මෙම ඖෂධ වගාවන්ට ජනතාව යොමු නොවීමෙන් මෙවැනි ශාක බහුලව සොයා ගැනීමේ අපහසුතාවක් මතු වෙයි.
ඒ අනුව සුළු, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයන් බිහි කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන නිපුණතා සංවර්ධන අරමුදල සුකී ලංකා ඉන්ටර්නැෂනල් වෛද්‍ය සේවා ආයතනය සමඟ එක්ව දේශීය ශාක වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ දේශීය පැළෑටි භාවිතා කොට ආයුර්වේද නිෂ්පාදන නිපදවා එම නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොළට හඳුන්වාදීමයි. දේශීය ඖෂධවල වටිනාකම දැනෙන්නට පටන්ගෙන තිබෙන මෙවැනි කාලවකවානුවකදී මෙවන් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමකි.
ඕනෑම රෝගයකට ස්වාභාවික ඖෂධ භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ. නිවැරදි ආහාර රටාවක් ගැනීම තුළින් රෝග වළක්වා ගත හැකි වනවා සේම සාර්ථකව රෝග පාලනය කිරීමට දේශීය ඖෂධ බෙහෙවින් ඉවහල් වේ. ඒ අනූව ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ මහජනතාවට සපයා දීමට දීර්ඝ කාලීනව සැලසුම්සහගත වැඩපිළිවෙළක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නිපුණතා සංවර්ධන අරමුදල අපේක්ෂා කරයි.
අපනයන ආදායම් වැඩිකරගන්නා ගමන් ආනයන වියදම් අඩු කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ දරයි. රට තුළ දේශීයව නිෂ්පාදනය කර ගත හැකි දේ ආනයනය නොකර, ඒවා රට තුළම නිපදවා ගැනීම මෙහිදී එක් උපායමාර්ගයකි. ආයුර්වේදයට සහ දේශීය වෙදකමට අවශ්‍ය බෙහෙත් පැළෑටි සහ වියළි අමුද්‍රව්‍ය ආනයනය සඳහා ද රටින් පිටතට ඇදී යන ජාතික ධනය සුළුපටු නොවේ.
ඈත අතීතයේ දේශීය හෙළ වෙදකමට අවශ්‍ය ඖෂධ වර්ග සොයා ගනු ලැබුවේ පරිසරයෙනි. කැලෑවේ එවැනි ඖෂධ අවශ්‍ය තරම් තිබුණි. එහෙත් සංවර්ධනය සහ විවෘත වෙළෙඳපොළ ක්‍රමය තුළ පරිසරයෙන් සොයාගත් ඖෂධ ද ආනයනය කිරීම ආරම්භ විය. එබැවින් දේශීයව වගා කරගත හැකි ඖෂධ පැළෑටි වගාව දිරිමත් කරන වැඩපිළිවෙළකට සූදානම් වන්නේ දේශීය ඖෂධ නිෂ්පාදන ඉහළ නැංවීම උදෙසාය.
එසේම රටක ආර්ථිකය පණ ගන්වන්නේ සුළු, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ය. දේශීය ඖෂධ ශාක වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් සුළු, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සිය ජීවනෝපාය සඳහා නව මාර්ගයක් විවර වනු ඇත.
අද වනවිට විකල්ප වෛද්‍ය විද්‍යාවන් හා ප්‍රතිකාර පිළිබඳවත්, දේශීය ඖෂධ පිළිබඳවත් ලොව පුරා අමුතු උද්‍යෝගයක් ඉස්මතුව තිබේ. ඉන්දියාව, නේපාලය, චීනය සහ කොරියාව සිය පැරැණි වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. කේරළය ඉන්දියාවට පැමිණෙන සංචාරකයන් සඳහා පැරැණි ප්‍රතිකාර ඉදිරිපත් කර සිය සංචාරක කර්මාන්තයට නව මුහුණුවරක් දී තිබේ. තරුණ ආයුර්වේද නිෂ්පාදන මඟින් ලෝක වෙළෙඳපොළ දිනා ගැනීම සඳහා ඉන්දියාව තුළින් පාඩම් ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ.
ආයුර්වේද නිෂ්පාදනයේදී ශ්‍රී ලංකා නිෂ්පාදනයන්හි ඇසුරුම්කරණය දියුණු කරගත යුතුය. නේපාලය ආයුර්වේද නිෂ්පාදන පිළිබඳව ඉන්දියාවෙන් ගුරුහරුකම් ලබන අතර සුළු හා මධ්‍ය පරිමාණ සඳහා අවශ්‍ය ලුහු ඉංජිනේරු උපකරණ හා විවිධ යන්ත්‍ර සූත්‍ර සමුදායක් ඉන්දියාව විසින් නිෂ්පාදනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුළු,මධ්‍ය පරිමාණ හා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් පෙරට ගැනීමට මෙය කදිම ව්‍යාපෘතියකි.
ශ්‍රී ලංකාවේ ඔසු උයන් නිර්මාණය ඉතා ඈත අතීතයකට උරුමකම් කියයි. පුරාණ රජදරුවෝ රෝහල් මෙන්ම ඔසු උයන් ද නිර්මාණය කළහ. ආයුර්වේද දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1961 අංක 31 පනත මගිනි. ඔසු උයන් වගා ඇති කිරීම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගකීමකැයි එහි කියැවේ. ඒ අනුව හල්දුම්මුල්ල, පට්ටිපොළ, පල්ලේකැලේ, ගිරාඳුරුකෝට්ටේ සහ නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු ඔසු උයන් පිහිටා තිබේ. ලොකුම උයන අක්කර 165ක විශාලත්වයෙන් යුතු ගිරාඳුරුකෝට්ටේ ඔසු උයනයි. තරුණ තරුණියන්ට දේශීය ඖෂධ හඳුනාගැනීම පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ලබාදී අපේ දේශීය වෙදකම ආරක්ෂා කර ගැනීමටත් දේශීය ඖෂධ පැළෑටි සම්පත රැක ගැනීමටත් කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ තවත් එක් අරමුණකි
මෙම ව්‍යාපෘතිය සැලසුම් සහගත ලෙස ක්‍රියාවට නැංවීමේදී ඖෂධීය ශාක, පලතුරු, එළවළු, සත්ව නිෂ්පාදන ඛණිජ ලවණ යොදාගෙන ඖෂධීය බෙහෙත් නිෂ්පාදන, ආලේපන වර්ග, ස්වාභාවික ආහාර නිපදවා ඒවා දේශීය වෙළෙඳපොළට මෙන්ම විදේශීය වෙළෙඳපොළට ද හඳුන්වාදීමට අපේක්ෂා කරයි.
මෙම නිෂ්පාදන සිදු කිරීමේදී දේශීය වෙළෙඳපොළ මෙන්ම විදේශීය වෙළෙඳපොළ ද ඉලක්ක කර ගන්නා බැවින් කර්මාන්තය ආශ්‍රිත සේවකයන්ගේ භාෂා කුසලතාවය ද ඉහළ නැංවිය යුතුය. සියලු අංශ ආවරණය වන ලෙස පුහුණුකරුවන් පුහුණු කිරීම ද අත්‍යවශ්‍ය වේ. මෙහිදී සිය ජීවනෝපාය සකසා ගැනීමට ව්‍යවසායකයන් බල ගැන්වීම සිදු වන්නේ මුදල් වටිනාකම පිළිබඳ දැනුවත් කිරීම, තමාට රූපයක් ගොඩනැංවීම හා ආයතන හිමිකරුවකු වීමට ඇති හැකියාව පිළිබඳ දැනුවත් කිරීම, ස්වභාදහමට සමීප වීමට ඇති අවස්ථාව පිළිබඳ දැනුවත් කිරීම තුළින්ය.
දේශීය ශාක වගා කිරීමේ කුඩා කර්මාන්තයක් ලෙස මෙම ව්‍යාපෘතිය ප්‍රථමයෙන් අරඹා රැකියා අවස්ථා රැසක් බිහි කරමින් විශාල කර්මාන්තයක් දක්වා මෙය දියුණු කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා රටට යහපත් මෙහෙවර රැසක් සිදු වේ. එනම් දේශීය ශාක භාවිත කොට ඖෂධ නිපදවීමෙන් නිරෝගී සම්පන්න සමාජයක් බිහි වීම ප්‍රධාන වශයෙන් සිදු වේ. දේශීය ඖෂධවලට මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයට ඉහළ පිළිගැනීමක් ද ඇති වේ. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් බිහි වනවා මෙන්ම දේශීය ඖෂධ විදේශීය රටවලට ද අපනයනය කිරීමෙන් අන්තර්ජාතික තලය තුළ ද ඉහළ ඉල්ලුමක් බිහි වෙයි.
එසේම මේ හරහා සිදු වන ප්‍රධාන කාර්යභාරය වන්නේ රට තුළ රැකියා රැසක් බිහි වී සුළු, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායක ක්ෂේත්‍රය දියුණු වීමයි. ස්වයං රැකියා නියුක්තිකයන් බිහි වීම ද සිදු වේ. මෙම සියලු කාරණා හරහා දළ දේශීය නිෂ්පාදනය වැඩි කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමට දායක වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අභිලාසයයි.

ජානුකා බෝම්බුවල

