කටු අනෝදා කියන්නේ අපේ රටේ රසවත් පලතුරක්. ඒත් හැමෝම ඒ ගැන දන්නේ නැහැ. ශරීරය සිසිල් කරන්නත් මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝගාබාධවලින් ශරීරය ආරක්ෂා කරන්නත් කටු අනෝදාවලට පුළුවනි. ළා කහ පාට ඝනකම් පෙති 4-5කින් සැදුම්ලත් මලක් සහිත ගහ පුරාම දිමි ගොටුවලින් පිරුණු අනෝදා වවන්න නම් ඒ තරම් මහන්සියක් ගන්න ඕනෑ නැහැ. ගෙඩිය පුරාම කටු පිරී තිබුණත් ඒ කටු දූරියන් ගෙඩියේ කටු වගේ මුවහත් නැහැ. ගෙඩිය ඇතුළේ කුඩා මදුලු ආකාරයෙන් තමයි මේ රසවත් පලතුර සෑදී තිබෙන්නේ. කුඩා මදුලු ඇතුළේ කළු පාට බීජ තියෙනවා. ඉදුණාම මදුලු ආකාරයෙන් ආහාරයට ගන්නත් රසවත් පානයක් ලෙස සකස් කර ගන්නත් හැකියාව තිබෙනවා. කටු අනෝදාවල රසවත්බව සහ ගුණදායකබව දන්නා කිසිවකු මෙහි රස බලන්නට අමතක කරන්නේ නැහැ.
අනෝදා නාමය ශ්‍රී ලංකාවෙන් මුළු ලෝකය වෙතටම රැගෙන යමින් අනෝදා පලතුරෙහි අන්තර්ගත ගුණය ලොවට කියා පාමින්, අනෝදාවලින් රසවත් නිෂ්පාදනයන් සාදා ලෝක වෙළෙඳපොළ ආකර්ෂණය කර ගත් අපේ රටේ මිනිසකු ගැන කියන්නයි මේ සූදානම. ඒ වගේම ඔහු සමඟ එකතු වී අනෝදා වැවිලිකරුවකු වී හොඳ ආදායමක් උපයා ගන්නත් ගම් දනව්වල සිටින ඔබටත් හැකියාවක් ලැබෙනවා. ඔහු රන්ජන් හංචාපොළ.
ඔබ කටු අනෝදා වගාව මුලින්ම ආරම්භ කරලා ලෝක වෙළෙඳපොළ ජය ගත්තේ කොහොම ද?
මම කටු අනෝදා වවන්න පටන් ගත්තේ 2016 දි. තණමල්විල තමයි ආරම්භ කළේ. මම වෘත්තියෙන් QS කෙනෙක්. ව්‍යාපෘතියක් කරන්න හම්බන්තොට ගිය වෙලාවක තණමල්විල උඩවලව අතර ප්‍රදේශයෙන් ඉඩම් ටිකක් මිලට ගත්තා. ඉස්සෙල්ලම කරන්න හැදුවේ අඹ වගාවක්. ඒකට ඒ තරම් හොඳ වෙළෙඳපොළක් තිබුණේ නැති නිසා මම සොයා බැලුවා හොඳ වෙළෙඳපොළක් හදා ගන්න පුළුවන් කොහොම ද කියලා. යුරෝපීය රටවල් කටු අනෝදාවලට කියන්නේ graviola කියලා. මේ ගැන හොයලා බැලුවම මේක පිළිකාවලට වගේම තව බොහෝ ලෙඩ රෝගවලට ගුණදායක පලතුරක්. ඒ තරම් පෝෂණ ගුණයක් වෙනත් පලතුරක නැති තරම්.
ලෝක වෙළෙඳපොළෙත් මේ සඳහා හොඳ ඉල්ලුමක් තියනවා. ලංකාවෙ කවුරුවත් කටු අනෝදා නිෂ්පාදන කරල තිබුණේ නැහැ. ඒ නිසා මම අවදානමක් අරගෙන මේක පටන් ගත්තා. මුලින්ම හොඳ පලදාවක් ගන්න අවුරුදු 3ක් යනවා. ඒත් අවුරුදු එකහමාරක් යනකොට ගහ පීදෙනවා.
අනෝදා ගෙඩි අපට රට යවන්න බැහැ. කිලෝ සියයක් ගත්තත් කිලෝ පනහක තමයි ආදායම ගන්න පුළුවන් වෙන්නේ. හේතුව කල් ගියාම ගෙඩි ඉදෙනවා. ඒ නිසා මම තේරුම් ගත්තා මේකට අගය එකතු කිරීමක් කළ යුතුයි කියලා. ඒ කියන්නේ අනෝදා ගෙඩිය රට යවන්නේ නැතිව ඒකෙන් වෙන වෙන නිෂ්පාදන හදලා යවන ක්‍රමවේදයක් මම කල්පනා කළා. ජූස්, අයිස් ක්‍රීම්, අනෝදා වේළලා තවත් දේවල් හදන්න පුළුවනි. ඒ වගේම සීනි නැති නිෂ්පාදන, මම ඒ හැම දේම අත්හදා බැලුවා. මගේ ඉලක්කය වුණේ ලෝක වෙළෙඳපොළ අල්ලන්නයි. දේශීය වෙළෙඳපොළටත් දානවා. විදේශිකයන් හැම දෙයකම පෝෂණ ගුණය බලනවා. අපේ රටේ අය එහෙම බලන්නේ නෑ. මේ නිසා මගේ නිෂ්පාදනවල ලේබල්වල මෙහි පෝෂණ ගුණය ගැන සඳහන් කරලයි තියෙන්නෙ. මේ නිසා පිටරට හොඳ වෙළෙඳපොළක් තියෙනවා.

මීට අමතරව හදන වෙනත් නිෂ්පාදන මොනව ද?
අනෝදා මදුලු ගලවලා වේළනවා. ඊට පස්සේ ඒවා කැට විදියට පැකට් කරනවා. වයින් සහ චුයින්ගම් එකක් හදනවා. අනෝදා කොළවලින් තේ එකක් හදනවා. අමෙරිකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ ඒකට. කොළවල පෝෂණ ගුණය අධිකයි. මගේ නිෂ්පාදන ලෝකයේ රටවල් අටකට දැනට යවනවා.
සතියකට කන්ටේනර් එකක් පමණ මගේ අනෝදා නිෂ්පාදන රට යවනවා. ඒත් මට දැන් තියන ප්‍රශ්නය මට ලැබෙන අනෝදා ගෙඩි ප්‍රමාණය මදියි. අනෝදා වැවිලිකරුවන් කිහිපදෙනෙක් මම මේ සඳහා එකතු කර ගත්තා. ලංකාව පුරාම කටු අනෝදා වවා තිබෙනවා. ඒත් ඒවා කොහේ තියෙනවද කියලා මම තවම විස්තර දන්නේ නැහැ. මම ලංකාවේ ඉන්න කටු අනෝදා වැවිලිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ගේ විස්තර මට ලබා දෙන්න කියලා. අනෝදා වවන හැමෝම එක තැනකට ගේන්න ඕනෑ. කවුරු හෝ වවා තිබෙන අනෝදා ගෙඩියට මම වටිනාකමක් දෙනවා. තව අක්කර 500ක් වත් ලංකාව පුරාම කටු අනෝදා වවන්න ඕනෑ. කෘෂිකර්ම අමාත්‍යංශයත් මා එක්ක ගිවිසුමක් ඇති කරගෙන මේ වැඩේ පටන් ගත්තා.
කොහොමද මේ වගාව සාර්ථකව කෙරෙන්නේ?
ගස් කප්පාදු කරන්න ඕනෑ. මල් පරාගණය කරන්න ඕනෑ මී මැස්සා සහ කූඹියා තමයි පරාගණය කරන්නේ. ඒත් දැන් ඒ සත්තු නැහැ. අපි අතින් පරාගණය කරන්න ඕනෑ. හරියට පරාගණය වුණොත් ලොකු ගෙඩියක් හැදෙනවා. ගස් උස ගියාම පරාගණය කරන්න අමාරු නිසා ගස් කප්පාදු කරන්න ඕනෑ.
අක්කරයක ගස් කොපමණ වවන්න පුළුවන් ද?
ගස් දෙසීයක් පමණ වවන්න පුළුවනි. අඩි 10-12, 12-15 වගේ පරතරයකින් මේ ගස් සිටුවනවා. හොඳ ආදායමක් ගන්න නම් අක්කර 5ක් වත් වවන්න ඕනෑ. කිහිපදෙනෙක් එකතු වී එක ගමක ගස් 1000ක් වවන්න පුළුවන් නම් ඒකත් වටිනවා.

කටු අනෝදාවලින් සාදාන ලද වෙනත් නිෂ්පාදන
සරු අස්වැන්නක් ගන්න නම් මොනවද කරන්න ඕනෑ?
ගස සිටුවන්න අඩි දෙකේ දෙකේ වළක් කපලා කොම්පෝස්ට් පොහොර කිලෝ 5ක්, කුකුල් පොහොර, ගොම පොහොර දාන්න ඕනෑ. මූලික කාලෙදි රසායනික පොහොර දැම්මට කමක් නැහැ. ඉවසීමෙන් මේ වගාව කරගෙන යන්න පුළුවන් නම් සාර්ථකයි. එක ගහකින් අනෝදා කිලෝ 50ක් ගන්න පුළුවනි. කිලෝ එකක් රුපියල් 100කට මම ගොවියාගෙන් ගන්නවා. එතකොට ගස් දෙසීයක් කියන්නේ ඔවුන්ට හොඳ ආදායමක්. මේ ගස් තමන්ටම බලා ගන්න පුළුවන්. ඒකට අමතර වියදමක් යන්නේ නැහැ. මල් පරාගණය කරලා මාස තුනකින් ගෙඩි හට ගන්නවා. අවුරුද්දට දෙපාරක් පලදාව ගන්න පුළුවනි.
අපේ රටේ අනෝදාවලට පිටරට තිබෙන ඉල්ලුම කොහොම ද?
මේ රටේ හැදෙන දේවල් රසයි ගුණයි කියලා විදේශිකයන් දන්නවා. ceylon (ශ්‍රී ලංකා) කියනවට වඩා tropical (නිවර්තන) කිව්වම ඒකට ඉල්ලුමක් තිබෙනවා. ඉල්ලුම හොඳටම තිබුණත් ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න විදියක් නැහැ. තව අවුරුදු 3ක් පමණ යන විට මේ සැපයුම අපි හදා ගත්තොත් මුළු ලෝකෙටම කටු අනෝදා නිෂ්පාදන දෙන්න පුළුවනි.
ඇතැම් අනෝදා වවන ගොවියන් කියනවා අනෝදාවලින් ගොඩ ගියා කියලා. ඒ කතාව ඇත්ත ද?
අනෝදාවලින් ගොඩ යන්න නම් මම ඉස්සෙල්ල කිව්වා වගේ ඒකට අගය එකතු කිරීමක් කරන්න ඕනෑ. හොඳ වගාවක් කරලා අවුරුද්දට ලක්ෂ 40ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩ තමයි.
ඉස්සෙල්ලම මේ වැඩේට අත ගහන කෙනකුට ඔබ උපදෙස් දෙන්නේ කොහොම ද?
දැනට ඉඩමක් අරගෙන නැත්නම්, රත්නපුරෙන් එහාට වෙන්න ඉඩමක් ගන්න. මම මේ වැඩේ කරන්නේ ඇඹිලිපිටියෙ නිසා ඒ කිට්ටුවෙන් ගත්තොත් හොඳයි. ඒ අප සමඟ සම්බන්ධ වීමට පහසු නිසා. සූරියවැව, හම්බන්තොට, තණමල්විල, මාතර හෝ රත්නපුරට එහායින් ගත්තොත් හොඳයි. දැනටමත් ඉඩමක් තිබෙන කෙනෙක් වුණත් කමක් නැහැ අපට ඒ සඳහා උපදෙස් දෙන්න උදවු කරන්න පුළුවනි. අඩු තරමින් අක්කර 5ක් වත් වගා කරන්න ඕනෑ. අපි ළඟ පැළ ඕනෑ තරම් තියෙනවා. ගෙඩි රස ගස් ටිකක් අපි තෝරගෙන තියෙන්නේ. කලින් කියපු විදියට පොහොර සියල්ල දාලා වළ සකස් කරගෙන සති දෙක තුනක් වළ වසා තබනවා.
බීජ සිටවනවාට වඩා පැළ සිටෙව්වාම කාලය ඉතිරි වෙනවා. මේ වගාවට පිටි මකුණා සහ කඳ විදින පණුවාගෙන් පමණයි හානි වන්නේ, ඒවාට අපි ළඟ ස්වාභාවික බෙහෙත් තිබෙනවා. මේ සඳහා අපගෙන් නොමිලේ උපදෙස් සහ සේවාවන් ලබා ගැනීම සඳහා 0726364656 දුරකතනයට ඇමතිය හැකි අතර info@caporganic.comවෙබ් අඩවියට ද පිවිසිය හැකියි.

චතුමී පිටිපන
