තමාට හිමි අයිතීන් රැකගැනීමටත් ඒවා භුක්ති විඳීමටත් කටයුතු කළ යුත්තේ තමන් විසින්ම ය. “නීතිය මත නිදා සිටින්නා නීතිය මඟින් ආරක්ෂා නොකරයි.” යනුවෙන් ප්‍රකාශයක් ගොඩනැඟී ඇත්තේ එබැවිනි. තමාට හිංසනයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව නැඟී සිටීම සංස්කෘතියට එරෙහිවීමක් හෝ තමා විසින් තම පවුල විනාශ කරගැනීමක් නොවේ.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ මානව හිමිකම් දැඩිව උල්ලංඝනය කිරීමකි. ඔවුන්ගේ පෞද්ගලික හෝ පොදු ජන ජීවිතයේ දී ශාරීරික, ලිංගික හෝ මානසික හිංසා කිරීම, ප්‍රචණ්ඩ හිංසනය, බලහත්කාරකම් කිරීම හෝ ඔවුන්ගේ නිදහස අහිමි කිරීම මීට ඇතුළත් වේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය එක රටකට හෝ ප්‍රදේශයකට සීමා වූවක් නොවේ. බොහෝ විට විවිධ සමාජ, දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, ආගමික, ගෝත්‍රික හා වාර්ගික චර්යාවන් හේතුවෙන් කාන්තාවෝ මෙවැනි හිංසනයන්ට භාජනය වෙති.
කාන්තා අයිතිය ලෝක අවධානයට
ලෝක යුද්ධ නිමාවීමෙන් අනතුරුව ලොව පුරා විවිධ දෘෂ්ටිකෝණවලින් පුද්ගල අයිතිවාසිකම් කෙරේ අවධානය යොමු වෙමින් මතවාද බිහි වූ අතර, කාන්තා අයිතීන් කෙරේ මූලික අවධානය යොමු කරමින් කාන්තාවාදය (Feminism) නිර්මාණය වී ක්‍රමයෙන් විකාශනය වී ඇත. මුල්කාලීනව කාන්තාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම කෙරේ ක්‍රියාත්මක වූ කාන්තාවාදී මතය, මෑතභාගයේ දී කාන්තාවන් පීඩාවන්ගෙන් මුදා ගැනීමටත්, කාන්තාවන්ගේ අභිමානය, තෝරාගැනීමේ අයිතිය, සම සාධාරණත්වය තහවුරු කිරීම ආදී අරමුණු මුදුන්පත් කර ගැනීමටත් ක්‍රියාත්මක වේ.
මානව අයිතීන් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පළමු ව්‍යවස්ථාව අනුව සියලුම මනුෂ්‍යයන් සමානව උපත ලබන අතර සමානව අයිතිවාසිකම් හිමි කර ගනී. එසේ වුවත් ස්ත්‍රියක ලෙස උපත ලැබීම නිසාම සමාජයේ වෙනස්කොට සැලකීම, පීඩාවන් සිදුවන අවස්ථා මෙතෙකැයි කිව නොහැකි තරම් ය. 1979 දී කාන්තාවන්ට එරෙහි සියලු වෙනස්කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතිය (Convention of elimination of all forms of discriminations against women – CEADAW) බිහිකරගනු ලැබූ අතර, 1981 දී ශ්‍රී ලංකාව ද එයට අත්සන් තබන ලදී. මීට අමතරව සෑම වසරකම නොවැම්බර් 25 වැනිදා කාන්තාවන්ට සිදු වන හිංසා පිටුදැකීමේ ජාත්‍යන්තර දවසක් ලෙස නම් කර තිබේ. මෙම දිනය 1999 එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමේදී අනුමත කරනු ලැබුවේ කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් ගැන ලොවටම හෙළි කිරීමටයි.
කාන්තා අයිතීන් සහ ශ්‍රී ලංකාව
කාන්තා අයිතීන් කෙරේ මේ අයුරින් කෙතරම් අවධානය යොමු වුවද, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සාධක මත පිරිමි පක්ෂයට සාපේක්ෂව කාන්තාවගේ සහභාගීත්වය, නායකත්වය දැරීම, අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා හඬ නැඟීම අවම මට්ටමක පවතී. සමාජය තුළ තහවුරු වී පවතින ස්ත්‍රී, පුරුෂ සමාජභාවීය ආකෘතීන් මත හුදෙක් සිය පවුල කෙරේ ඇප කැප වන, දරුවන්ගේ ස්වාමියාගේ අවශ්‍යතා ඉටු කිරීම සිය මූලික ආධ්‍යාංශය කොටගත් චරිතයක් ලෙසින් ගොඩනැගී තිබේ. කොතෙකුත් ආරක්ෂණ ක්‍රමවේද, උපදේශන, නෛතික රැකවරණය පුළුල් වුවද තවදුරටත් සෑම සමාජ ස්ථරයකම විවිධ අවස්ථාවල දී කායික මෙන්ම මානසික හිංසනයන්ට කාන්තාවෝ ගොදුරු බවට පත් වෙති. එකී හිංසනයන්හි ස්වභාවය, බලපෑම විවිධාකාර විය හැකි අතර කාන්තාවන් එකී හිංසනයන් කෙරේ දක්වන ප්‍රතිවිරුද්ධතාවය හෝ ප්‍රතිචාරය ද එකිනෙකට වෙනස් විය හැකිය.
අණ පනත්
2005 අංක 34 දරන ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනතේ ගෘහස්ථ හිංසනය අර්ථ දක්වා ඇති පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ xvi වන පරිච්ඡේදය යටතේ දැක්වෙන මනුෂ්‍ය ශරීරය සම්බන්ධ වැරැදි සහ ජීවිතය සම්බන්ධ වැරැදි යන්නට ඇතුළත් වන ඕනෑම ක්‍රියාවක් සහ මානසික අපයෝජන ක්‍රියාවක් ගෘහස්ථ හිංසනය යන්නට ඇතුළත් වේ. එනම් කායික වශයෙන්, මිනීමැරීම, තුවාල කිරීම, අයුතු අවහිරය, අයුතු සිරකර තැබීම, සාපරාධී බලහත්කාරය, අඩම්තේට්ටම් කිරීම, ස්ත්‍රී දුෂණය, අස්වාභාවික ලිංගික ක්‍රියා යනාදිය ද, මානසික වශයෙන් යම් තැනැත්තකු ඉලක්ක කොටගෙන සිදු කරනු ලබන අවමන් සහගත හෝ නින්දා සහගත හැසිරීම් රටාවන් ගෘහස්ථ හිංසනය ලෙස හඳුනාගත හැකිය. මෙය ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඕනෑම තැනැත්තකුට විය හැකි අපරාධමය වරදක් ලෙස පනත තුළින් හඳුනාගත හැකි වුවත් සමාජයේ ප්‍රායෝගිකව ගෘහස්ථ හිංසනයන්ට ගොදුරු වන බහුතරයක් දෙනා කාන්තාවෝ වෙති.
පීතෘ මූලික මතවාද, (උදා: Male breadwinner concept) ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන් ශ්‍රී ලාංකේය සමාජය තුළ මුල්බැසගෙන ඇති අතර එනිසාම කාන්තාවන්ට එරෙහි හිංසනය, ප්‍රචණ්ඩත්වය හුදෙක් සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකීම කනගාටුදායක ය. බොහෝ දුරට පවුල තුළ ස්ත්‍රිය හිංසනයට ලක්වේ. සිය අධ්‍යාපන මට්ටම, රැකියාවේ තත්ත්වය, සමාජ තත්ත්වය කවරක් වුවද බොහෝ කාන්තාවන් නිරන්තරයෙන් හිංසනයට ගොදුරු වන අතර, තම පවුල, දරුවන් රැක ගැනීමේ අවශ්‍යතාව මත තවදුරටත් හිංසනයට ගොදුරුවෙමින් ඒවා විඳ දරාගනිමින් ජීවිතය ගෙන යාමට හුරු ව තිබේ. එහිදී ක්‍රමයෙන් සිය ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හීනවීම, තමාට හිංසා කළ පුද්ගලයා සාධාරණීකරණය කරමින් තමා එවන් හිංසනයන්ට පාත්‍ර වීමට සුදුසු බවට විශ්වාසයක් ඇති කරගැනීම තුළින් එම හිංසනයන්ගෙන් මිදීමේ අවස්ථාව තමා විසින්ම අත හැර දමයි. රට තුළ කොතෙකුත් ආරක්ෂණ විධි විධාන පැවතිය ද මෙවන් තතත්ව නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු සමාජයට නිරාවරණය නොවන එහෙත් දිගින් දිගටම සිදුවන අපරාධයක් ලෙසින් පවතී.
මෙම තත්ත්වය හිංසනයට ලක්වන කාන්තාව කෙරේ ශාරීරික මෙන්ම මානසික බලපෑම් ඇති වීමෙන් නොනැවතී දරුවන්ගේ ජීවිතයට ද අහිතකර වූ බලපෑම් ඇති වීමට හේතු වේ. දරුවන්ගෙ මානසික අවපීඩන තත්ත්වයන්, භීතිය, කලහකාරී හැසිරීම්, ආත්මභිමානය බිඳවැටීම පමණක් නොව අනාගතයේ විවාහ ජීවිතයක් ගත කිරීමේ හැකියාවටද විශාල බලපෑමක් ඇති කරයි. තම ළමා කාලයේ ගෘහස්ථ හිංසනය අසා, දැක හෝ අත්විඳ ඇති දරුවන් වැඩිවියට පත්ව විවාහ වූ පසු තම කලත්‍රයා (විවාහක පාර්ශ්වය) හිංසනයට ලක්කිරීමේ නැඹුරුතාවයක් දක්වයි.
කාන්තා හිංසනය වළකමු
තමා කවරාකාරයකින් හෝ හිංසන ක්‍රියාවකට ගොදුරු වන්නේ නම් නිහඬව එය විඳ දරාගෙන සඟවාගෙන සිටීම යනු තමන්ටත්, තම දරුවන්ටත්, තම පවුලටත් තමා විසින්ම සිදුකරගන්නා හානියක් විය හැකිය. ඊට එරෙහිව ක්‍රියාත්මක වීම, එම ක්‍රියාවන්ගෙන් මිදීමට, වළක්වා ගැනීමට තමා විසින්ම කටයුතු කිරීම වැදගත් වේ. එවන් ක්‍රියාමාර්ගයකට යොමු වීමෙන් යළි ගොඩනැඟිය නොහැකි පරිදි තම පවුල් සබඳතා බිඳවැටෙනු ඇති බවට වැරැදි මතයක් සමාජය තුළ ගොඩ නැඟී ඇත. එය කිසිසේත්ම තමා විසින්ම තම පවුල කඩාකප්පල් කරගැනීමක් නොවේ. ඇතැම්විට හිංසනකාරී ක්‍රියා සිදුකරන තැනැත්තාගේ යම් මානසික ගැටලුකාරී තත්ත්වයක් ඊට හේතු වීමට ඉඩ ඇත. දෙපාර්ශවයක් අතර වන ආරවුල් විසඳා ගැනීමට හැකියාවක් නොමැති අවස්ථාවක තුන්වන පාර්ශ්වයක සහයෝගය, මැදිහත් වී ලබා ගැනීම බොහෝ දුරට සාර්ථක පියවරකි.
පවුල් උපදේශන සේවාවන්ට යොමු වීම, සමථකරණ ක්‍රියාදාමයට යොමු වීම තුළින් හිංසනයන්ගෙන් මිදීමට නොහැකි වන‍්නේ නම් නෛතික රැකවරණය වෙත යොමු විය හැක. 2005 අංක34 දරන ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත අනුව තමාට සිදුවන ඕනෑම ස්වරූපයක හිංසනයක් සිදු වී ඇති විට, සිදුවෙමින් පවතින විට හෝ සිදු වීමට ඉඩ ඇති අවස්ථාවකදී තමා වෙසෙන, තාවකාලිකව වෙසෙන හෝ හිංසනය සිදුවන ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණය වෙත තමාට සිදුවන හිංසනයට එරෙහිව අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය. තම විවාහක පාර්ශ්වය, හිටපු විවාහක පාර්ශ්වය, එක්ව දිවි ගෙවන සහකරු, මවුපියන්, දරුවන්, සහෝදර සහෝදරියන් ආදී පාර්ශ්වයන්ගෙන් ගෘහස්ථ හිංසනය සිදු වී තිබිය හැකි අතර අදාළ අයදුම්පත සලකා බලා අධිකරණය විසින් සුදුසු යැයි තීරණය කරන පරිදි අතුරු ආරක්ෂක නියෝග, ආරක්ෂක නියෝග නිකුත් කරනු ඇත.
දියුණු රටවල අයිතිවාසිකම්
තමාට හිමි අයිතීන් රැකගැනීමටත් ඒවා භුක්ති විඳීමටත් කටයුතු කළ යුත්තේ තමන් විසින්ම ය. නීතිය මත නිදා සිටින්නා නීතිය මඟින් ආරක්ෂා නොකරයි. යනුවෙන් ප්‍රකාශයක් ගොඩනැඟී ඇත්තේ එබැවිනි. තමාට හිංසනයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව නැඟී සිටීම සංස්කෘතියට එරෙහිවීමක් හෝ තමා විසින් තම පවුල විනාශ කරගැනීමක් නොවේ. හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම යනු තමාගේත් තම පවුලේත් සමස්ත සමාජයේත් අභිවෘද්ධිය පිණිස ක්‍රියාත්මක වීමක් බ ව සිහි තබා ගත යුතුය.
“බොහෝ සමාජවල කාන්තාවන්ට සලකන්නේ පහත් අය ලෙසයි. මෙය අද වෙනස් කළ නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. මේ නිසා නොදියුණු රටවල පමණක් නොව දියුණු රටවල පවා කාන්තාවන් දිගටම හිංසා පීඩාවලට ලක් වේ. කාන්තාවන්ට සිදු වන හිංසා ලෝක ව්‍යාප්තව පවතින ප්‍රශ්නයක්. මෙය සෑම සංස්කෘතියකම හා සමාජයකම දැකිය හැකියි. එමෙන්ම මෙම ප්‍රශ්නයට කාන්තාවන්ගේ පවුල් පසුබිම, පැමිණෙන සමාජය, ජාතිය හා කුලය වැනි කිසිම දෙයක් බලපාන්නේ නැහැ” කියා එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් පවසා තිබේ.
යශෝදා ඉන්දීවරී