Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අවර ගණයේ තේමා තෝරා නොගත් ඇරැව්වල

$
0
0
මාර් 7, 2018 01:00

ගැමි බව රැකගත් ලේඛකයකු ලෙස ඇරැව්වල හැඳින්විය හැකි ය. ඔහු ඉතා සරල මෙන් ම, නිහතමානී ගති පැවතුම්වලින් ද යුතු ලේඛකයෙකි. කිසිදු අයුරකින් කැපී පෙනීමට වෑයම් කළේ ද නැත. සිය නිර්මාණ ප්‍රසිද්ධියට පත් කිරීම සඳහාවත් ඔහු වෙහෙස වූයේ නැත.

නවකතාකරුවකු ලෙස වඩාත් ප්‍රකට වුව ද, ඇරැව්වල නන්දිමිත්‍රගෙන් කෙටිකතාව ජනප්‍රිය කිරීම සඳහා ලැබුණු දායකත්වය අතිමහත්ය. ලේඛකයකු ලෙස ඔහුගේ නිර්මාණ ජීවිතයේ එක් ප්‍රබල කාරණයක් වන්නේ ද එයයි. ලේඛන කාර්යයේදී ළාමක, බාල ගණයේ තේමා තෝරා නොගැනීම ඔහු කෙරෙන් පළ වූ තවත් විශේෂ ලක්ෂණයකි. සමාජ විසමතා, සාමාන්‍ය ජනයා මුහුණපාන්නා වූ දුඃඛිත තත්ත්ව, බොහෝවිට ඔහුගේ නිර්මාණවලට පාදක විය.

ඇරැව්වල නන්දිමිත්‍රගේ නවකතා මෙන් ම කෙටිකතාවලට ද පසුබිම් වූයේ ඔහුට සුපුරුදු ගැමි සමාජයයි. ඔහු ජීවත් වූ ඇරැව්වල ප්‍රදේශය අර්ධ නාගරික යැයි පැවසිය හැකි ය. එම පරිසරයේ සිටි දුගී දුප්පත්කමෙන් හෙම්බත් වූ චරිත මෙන් ම, එම චරිත සමඟ සෙල්ලම් කළ කිසිදු ගුණදහමක්, අණක් ගුණක් නැති චණ්ඩි මෙන් ම, අපරාධකාරයන් ඔහුගේ කතාවලදී අපට හමුවේ. ඔහුගේ බොහොමයක් කතාවලට පසුබිම් වන මේ චරිත හා පරිසරය ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණා මෙන් ම, ඔහු එය මනාව අධ්‍යයනය කර ද තිබේ. ඔහු සතුව ප්‍රබල අත්දැකීම් සමුදායක් මෙන් ම, එය ප්‍රකාශ කිරීමට ආවේගවත් වාග් මාලාවක්ද තිබිණි.

කෙටිකතාව ජනප්‍රිය කිරීම සඳහා කතාන්තරයට වැඩි බරක් තබමින් ඔහු එය ගොඩනැඟූ බව ඇරැව්වලගේ කෙටි කතා අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. කියැවීමේ රුචිය වැඩි කිරීම එහි අරමුණ විය. කෙටි කතාවේ මූලික ලක්ෂණ අනුව බැලීමේදී, ඒවා ඉක්මවා යාමක් සමඟින් මෙය සිදු විය. එසේම, ඔහුගෙන් කෙටිකතාව ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත් කිරීම සඳහා සිදු වූ සේවය අතිමහත් ය.

සිංහල කෙටිකතාව කලාත්මක නිර්මාණයක් හැටියට වර්ධනය වී විකාශය වූයේ මාර්ටින් වික්‍රමසිංහගේ කෘති මඟිනි. කෙටි කතාව බටහිරින් පැමිණි සාහිත්‍යාංගයක් ලෙස නොදැනුණේ ද, එය මනාව සිංහල සාහිත්‍යයේ මුල් බැසගන්නේ ද චිරන්තන ගද්‍ය සම්ප්‍රදායකට අප හිමිකම් කී බැවින් සහ මාර්ටින් වික්‍රමසිංහ අනින් එය දේශීය අනන්‍යතාවකින් හා ස්වාධීනතාවකින් යුතුව වර්ධනය වීමත් නිසා ය. ආකෘතිය හා කතා කලාව අතින් විදේශීය කෙටිකතාවල ආභාසය ලැබුව ද, චිරන්තන සිංහල සාහිත්‍යයෙන්, ජනශ්‍රැතියෙන් හා ජනවහරින් පෝෂණය වූ බසකින්, අප සමාජ රටාව පසුබිම් කරගත් මූලයන්ගෙන් ද, චරිතවලින් ද යුතු වූ එකී නිර්මාණ, ඔහුගේ ස්වාධීනතාව පළ කරයි.

මාර්ටින් වික්‍රමසිංහගේ කෙටි කතා ඓතිහාසික වර්ධනයේම අවස්ථාවක් හැටියටත්, එක ම සමාජ ආර්ථික බලවේගයේ ප්‍රතිඵලයක් හැටියටත් සැලකිය හැකි ය. එතැන් පටන් සිංහල කෙටිකතාව පෝෂණය කිරීම සහ එය පුළුල් කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ ඩබ්.ඒ.සිල්වා,හේමපාල මුනිදාස, ජී.බී.සේනානායක, ගුණදාස අමරසේකර, කේ.ජයතිලක, අජිත් තිලකසේන , සයිමන් නවගත්තේගම ආදී ලේඛකයන් අතරට ඇරැව්වල නන්දිමිත්‍ර ද එක් වේ. මාර්ටින් වික්‍රමසිංහ විසින් ගොඩනඟන ලද ස්වාධීන කෙටිකතා කලාව අන් මඟකට යොමු වීම ප්‍රංශ හා රුසියානු කෙටිකතාවලට ජී.බී.සේනානායක වඩාත් නැඹුරු වීම නිසා සිදු වූ බව සැලකිය හැකි ය.

කෙටිකතාවේ භාෂාව හා ආකෘතිය මනාව ඔපමට්ටම් කළ ජී.බී.සේනානායක, බටහිර කෙටිකතා කලාව දෙසට සිංහල කෙටිකතා කලාව යොමු කළේ ය. පසුකාලීන කෙටිකතාකරුවන් බොහොමයක් ආභාසයට ගත්තේ ජී.බී.සේනානායක මිස මාර්ටින් වික්‍රමසිංහ නොවේ.

ඇරැව්වල නන්දිමිත්‍ර ඉන් වෙනස් මඟක් ගත්තේ ය. ඔහු නිර්මාණකරණයේදී ඒ ආසන්නයේම සිටි ගුණදාස අමරසේකර හෝ ජී.බී.සේනානායකගෙන් ආභාසය ලැබුවේ නැති බව එම කෘති අධ්‍යයනයේදී පැහැදිලි වේ. එය ද ඔහුගේ නිර්මාණවල විශේෂ ලක්ෂණයකි. ඔහු කෙටිකතාවේ ශිල්ප ධර්ම හෝ න්‍යාය මත දැඩිව එල්බ සිටියේ නැත.

ගැමි බව රැකගත් ලේඛකයකු ලෙස ද ඇරැව්වල හැඳින්විය හැකි ය. ඔහු ඉතා සරල මෙන් ම, නිහතමානී ගති පැවතුම්වලින් ද යුතු ලේඛකයෙකි. කිසිදු අයුරකින් කැපී පෙනීමට වෑයම් කළේ ද නැත. සිය නිර්මාණ ප්‍රසිද්ධියට පත් කිරීම සඳහාවත් ඔහු වෙහෙස නොවීය. නව කෘති දොරට වැඩුම පවා ඔහු කළේ නැත. ප්‍රසිද්ධිය හෝ සම්මාන ගැන ඔහු තැකීමක් කළේ නැත. අද සිටින බොහෝ ලේඛකයන් සම්මාන අපේක්ෂාවෙන් වේගයෙන් සිය කෘති ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට ඇතත්, ඇරැව්වලට නිර්මාණ කාර්යයේදී එවැනි හදිසියක් නොවීය. සම්මාන සඳහා විවිධ නිර්නායක සලකා බලන හා ඒවා ප්‍රදානය කරන මණ්ඩල ගැන ද ඔහු උනන්දුවක් දැක් වූ බවත් නොපෙනේ. ඔහු කළේ ලිවීම පමණි. ඒ වෙනුවෙන් සම්මාන හෝ අන් කිසිවක් අපේක්ෂා කළේ නැත. සැබෑ ලේඛකයකු ලෙස ඔහු සමාජය කෙරෙහි ආදරයෙන් , භක්තියෙන් නිර්මාණකරණයේ යෙදිනි. එය ලේඛකයකු ලෙස ඔහු කෙරෙන් පළ වූ හොඳ ම ගුණයකි. සිය කෘති ඉදිරිපත් කිරීමේදී පෙරවදන්, පසුවදන් ගැනවත්, එම කෘති පිළිබඳ සිදු කෙරෙන විචාර ගැනවත් ඔහු එතරම් සැලකිලිමත් වූයේ නැත. ඔහු කළේ ලේඛකයාගේ කාර්යභාරය ඉටු කිරීම ය. ඉන් එහා යමක් ඔහු වැදගත්කොට සැලකූ බවක් නොපෙනේ. ඇරැව්වල හුදෙකලා ලේඛකයකු බව ද පෙනෙන්නට තිබිණි.

ලේඛක කාර්යයේ නියුතු අද පරපුරට ඇරැව්වල නන්දිමිත්‍රගෙන් ගත හැකි ආදර්ශ ගැන ඔවුන්ගේ අවධානය යොමුවිය යුතු ය. ඔහු සතු වූ සරල, නිහතමානී ගති පැවතුම් හැරුණුවිට, ඔහු ලේඛකයාගේ කාර්යභාරය ඉටුකළ ලේඛකයකු වීම, සම්මාන පසුපස හඹා නොගිය, සම්මාන අපේක්ෂාවෙන් හදිසියේ හා වේගයෙන් නිර්මාණකරණයේ යෙදුණු ලේඛකයකු නොවීම ආදිය ඒ අතර තිබේ.

(මේ ලිපිය සම්පාදනය කිරීමේදී මහාචාර්ය සෝමරත්න බාලසූරිය ගේ සංගෘහිත සිංහල කෙටි කතා කෘතියද පාදක කර ගැනිණි)

මහාචාර්ය සෝමරත්න බාලසූරිය


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>