වෙල් ලක්ෂයක් බිහිවූ බැවින් වෙල්ලස්ස නම් වූ ප්‍රදේශය ඉපැරණි වෙහෙර විහාර දාගැබ්වලින් පිරී තිබුණු බව වංශ කතා සහ අදටත් ශේෂව පවත්නා නෂ්ටාවශේෂ සාක්ෂි දරයි. රට එක්සේසත් කිරීමේ අරමුණින් දුටුගැමුණු මහ රජු රුහුණේ සිට රජරටට ගිය ගමනේදී මැදගම්උයන්තොට නම් ග්‍රාමයේ කඳවුරු බැඳ සිටි බව මහා වංශය කියයි. මේ මැදගම් උයන්තොට වර්තමානයේ බිබිල මැතිවරණ කොට්ඨාසයට අයත් මැදගම නම් ග්‍රාමයයි. පැවැති වටපිටාවක 1818 මහා ජාතික සටන සිහිපත් කරවීම වස් 2018 දී ජාතික උත්සවයක් වෙල්ලස්ස කේන්ද්‍ර කොටගෙන මොනරාගල නගරයේදී පැවැත්වීමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සැලසුම් කරයි. එහි එක් පියවරක් වශයෙන් එදා ඉංග්‍රීසින් විනාශ කළ වෙහෙර විහාර හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමටත් වැඩි දියුණු කිරීමටත් අධිෂ්ඨාන කරගෙන සිටී. එබැවින් එවැනි සිද්ධස්ථානවල පුරාවත සෙවීමට ගිය ගමනේදී “ගිරිතිම්බල තිස්ස පබ්බතාරාමය” නෙත ගැටුණි. වර්තමානයේ තිඹිරිය පුරාණ රජමහා විහාරය ලෙස මෙම පබ්බතාරාමය හඳුන්වයි.
මැදගම උයන්තොට අසලින් ගලා බසින “කුඩා ඔය” අසබඩ මනස්කාන්ත දර්ශනයක් අප නෙත ගැටුණි. ඒ මාලිගාතැන්න පුදබිමයි. එහි ඇති කුඩා දාගැබ “මල්වැස්සා වෙහෙරයි.” මෙහි ඉතිහාස කතාව අපට විස්තර කළේ මැදගම ප්‍රාදේශීය සභාවේ වසර 19 ක් සභාපති ලෙස කටයුතු කළ පියදාස වීරකෝන් මහතාය. ඒ මහතා පැවසූ කරුණු අනුව දුටුගැමුණු මහ රජතුමා මාලිගාතැන්න කුඩාඔය ගංතීරයේ කඳවුරු බැඳ විඩා හැරිය බවත් එසේ විඩා හරින දිනවල තමාට හා තම ෙස්නාවට වැඳුම් පිදුම් කිරීම සඳහා මෙම “මල්වැස්සාවල දාගැබ්’ කරවු බවත් පසුව එය ගිරිතිම්බල තිස්ස පබ්බතාරාමයට පූජා කළ බවත් එහි වැඩ විසූ මහරහතන් වහන්සේලා උදෙසා දාගැබ ඉදිරිපිට දිස්වන වී අමුණු 65 කින් යුත් මහා වෙල් යායක් කරවා පූජා කළ බවත් වංශ කතා සාහිත්‍යයේ සඳහන් වේ.
මහරහතන් වහන්සේලා වැඩ සිටි ගිරිතිම්බලතිස්ස පබ්බතාරාමයට අපි ගියෙමු. එහි වාහල්කඩ දුටුසැනින් එදා මහරහත් වහන්සේලා සක්මන් කරන අයුරු භාවනා කරන අයුරු විදහා දැක‍්වෙන චිත්‍ර රූප මැවුණි. අපි විහාරයට ගොස් එහි ලොකු හාමුදුරුවන් වහන්සේ මුණගැසුනෙමු. උන්වහන්සේ, එහි වැඩවසන පණ්ඩිත තම්පලාවෙල සුමනරතන හිමි හඳුන්වා දුන්හ. තම්පලාවෙන සුමනරතන ස්වාමීන් වහන්සේ වෙල්ලස්සේ රජ්ජුරුවෝ නමින් විරුදාවලිය ලත් මැදගම ශ්‍රී ආනන්දාරාම විහාරාධිපති ලෙස වැඩ විසූ ඌව වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පිටදෙනියේ ශ්‍රී රතනපාල නායක ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පූජ්‍ය තම්පලාවෙල ජිනරතන ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාය.
කුඩා කඳු ගැටයක පාමුලත් නොවන ඉහළත් නොවන තරමක උස් බිම් කඩක අපි නතර වුෙණමු. ගත සනසන සිසිල ඉහළින් හමා ආවේය. සල් මල් සුවඳ අප සැනසීය. එහි පැණි බීමට පැමිණ සිටි බිඟු රොදගේ හඬින් සවන් සැනසුණි.
පූජ්‍ය තම්පලාවෙල සුමනරතන ස්වාමීන් වහන්සේ ප්‍රතිසංස්කරණය වෙමින් පවතින පබ්බතාරාම දාගැබ අසලට අප කැටුව ගියහ. එය යෝජන ථූපයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විහාරස්ථානයට පැමිණ කරන ලද ගවේෂණවලදී හඳුනාගෙන ඇති බව උන්වහන්සේ කීහ. එය වක්‍ර එකක් උඩ එකක් තබා නිදන් ගල කරවා ඒ මත හතරැස් කොටුවද ඊට පසු කොත් කැරැල්ල ද චූඩා මාණික්‍ය ද දිස්වන අයුරින් නිර්මාණය කර තිබූ බව ගවේෂණවලදී තහවුරු වී ඇති බව උන්වහන්සේ පැවසූහ.
මෙම චෛත්‍යය 1818 ජාතික සටනින් පසු ඉංග්‍රීසින් විසින් බිමට සමතලා කර තිබුණි. 1977 බලයට පත්වූ රජය විසින් මෙම සමතලා වී තිබුණ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු එවක මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි වර්තමාන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාට පවරා තිබුණි. එතුමා 1989 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සිටියදී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව වසර 20 ක් විහාරස්ථ දායක සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ පියදාස වීරකෝන් මහතා කීවේය. දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද මෙම මහ විහාරය දුටුගැමුණු, සද්ධාතිස්ස, ලජ්ජතිස්ස සහ නිශ්ශංකමල්ල රජවරුන් විසින් පසුකලෙක ප්‍රතිසංස්කරණය කර ඇති බවට සාක්ෂි ඇත.
නිශ්ශංකමල්ල රජු විසින් ප්‍රතිස්ථාපිත කර ඇති සෙල්ලිපියක් අප නෙත ගැටුණි. එහි “අපේ රටට අත පෙවීමට එන්න එපා. එසේ කළොත් එම රට අප යටත් කර ගන්නවා” යනුවෙන් සඳහන්ව තිබීම අදත් අපිට සිහිගන්වන එක් කරුණක් ඇත. එනම් සිංහලයා ස්වාධීනව සිටීමට දැඩි කැමැත්තක් දැක්වූ බවයි. එය රාජ්‍ය නායකයාගේ ද අධිෂ්ඨානය වූ බවයි.
ගිරිතිම්බලතිස්ස පබ්බතාරාමයේ පැවති කඨින චීවර පූජාවට ලජ්ජතිස්ස රජු පැමිණි බවත් එතුමා එන විට කොඩියක් ලෙස සිවුරක් ලෙළ දුන් බවත් දැක ඇත. කොඩියක් ලෙස සිවුරක් ප්‍රදර්ශනය කිරීම නුසුදුසු යැයි රජු කී විට මහරහත් වහන්සේලා එයට මෙසේ පිළිතුරු දී ඇත. “මහරජ මෙම ප්‍රදේශයේ ජීවත්වන ඉතා මහලු දිළිඳු අම්මා කෙනෙක් මෙම සිවුර පූජා කළා. භික්ෂුන් වහන්සේලා පන්සිය නමකට පූජා කළ මෙම සිවුර තනි අයිතියකට ගැනීමට නොහැකි බැවින් මෙසේ ප්‍රදර්ශනය කර එහි වටිනාකම වැඩි කිරීම හේතුවෙන් එම පන්සිය නමම රහත් වූවා” රජතුමා ඉන් මහත් සතුටට පත්ව ඒ මහලු කාන්තාව සොයා ගොස් ඇයට ගම්වරයක් දුන් බවත් මහලු කාන්තාවට දුන් ගම මෑල්ලගම වූ බවත් පසුව එය වර්තමානයේ මැහැල්ගම නමින් හඳුන්වන බවත් සුමනරතන ස්වාමීන් වහන්සේ අප සමඟ කීහ.
සුමනරතන ස්වාමීන් වහන්සේ කුඩා පඩි පෙළක් හා ගල් කඳුවලින් වටවූ භූමිභාගයකට අප එක්කර ගෙන ගියහ. එහි නටබුන්ව ඇත්තේ පැරණි විහාර මන්දිරය බවත් එහි විශාල සෙල්මුවා, බුදුපිළිමයක් නිදන්ගතව තිබෙන බවත් කීහ. වර්තමානයේ වැඳුම් පිදුම් කරනු ලබන්නේ මහනුවර යුගයේ කරවන ලද විහාර මන්දිරයට බවත් අප දුටුවෙමු.
මෙම අතිපූජනීය වූත් රමණීය වූත් විහාරස්ථානයේ වැඩ විසූ මහ සඟරුවන සිත් පිත් නැති ඉංග්‍රීසින් විසින් 1818 දී යාපනය බන්ධනාගාරයට ගෙන ගොස් බන්ධනාගාර ගත කර මරා දැමූ බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. එපමණක්ද නොව කාලතුවක්කු වෙඩිවලින් විහාරස්ථානය පොළවට සමතලා කළහ. විහාරස්ථානය අබියස තිබූ මහ වැවද සුණුවිසුණු කළහ. මහරහතන් වහන්සේලා පන්සිය නමක් වැඩ සිටි බවට සාක්ෂි ඇති මෙම ස්ථානය ඌව පළාතේ ඉතාමත් පැරණි සශ්‍රීක ප්‍රදේශයක් බව විහාරස්ථානය ඉදිරියේ ඇති නටබුන්ව ගිය වැවෙන් සනාථ වේ. 1818 දී ඉංග්‍රීසින් විසින් මෙම විහාරස්ථානය සහ වෙල්ලස්සේ වෙහෙර දාගැබ් වැව් අමුණු විනාශ කර 2018 ට වර්ෂ 200 ක් පිරෙන මොහොතේ ජාතික සටන හා එහිදී දිවි පිදූ රණවිරුවෝ සහ එම රණවිරුවන්ගේ පවුල්වල ඇත්තෝ සිහිපත් කිරීම ජාතික යුතුකමකි. මේ අතිඋතුම් අවස්ථාව පාදක කරගෙන පූජ්‍ය තම්පලාවෙල සුමනරතන ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානයේ කුල දරුවන් සිය නමක් සසුන්ගත කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී. එය මේ රටේ බෞද්ධ චිරස්ථිතිය උදෙසා කරන උදාර ප්‍රත්‍ය ක්‍රියාවකි.
සාමණේර හිමිවරුන් සිය නමකට අවශ්‍ය වන ලැගුම් ශාලාවක් රුහුණු විශ්වවිද්‍යාලය විසින් මේ වනවිටත් සැලසුම් කර ඇත. එහි වියදම රුපියල් මිලියන තුනකි. එම වියදම් සුමනරතන ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ දායක කාරකාදීන්ගෙන් ලබාගත නොහැකි බව කී සේක. ඒ බව මෙම නිරීක්ෂණ චාරිකාවේදී අපට ද හැඟී ගිය එක් කරුණකි. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් මෙම රටේ බෞද්ධ ජනතාවගේ සිත් සතන් පහන් වේවා. පූජ්‍ය සුමනරතන ස්වාමීන් වහන්සේගේ අධිෂ්ඨානය මල්පල ගැන්වේවායි අප සිතුවෙමු.
සමුගැනීමට පෙර මේ සඳහා කිසියම් විමසීමක් කිරීමට අවැසි යැයි සිතුනු අපි සුමනරතන ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබා ගත්තෙමු. එය 072-6418130 ය. විහාරස්ථානයේ ලිපිනය - තිඹිරිය පුරාණ රජමහා විහාරය, තිඹිරිය, මැදගම වේ.
වෙල්ලස්සේ ගුණසේකර බණ්ඩාර
ඡායාරූප ශ්‍යාමන් පෙරේරා