Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බල අරගලය

$
0
0
මාර් 14, 2018 01:00
චතුමී පිටිපන

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

වර්තමානයේ රටේ ඇති වී තිබෙන අස්ථාවර දේශපාලන බල අරගලය මධ්‍යයේ රටේ ඉදිරි පැවැත්ම කෙසේද යන්න මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ.

වර්තමාන භාවිත ක්‍රමයට අනුව ග්‍රිනිච් වෙලාවෙන් රාත්‍රී 12ට දවස උදාවේ. මේ අනුව දින තුන්සිය හැට හතරක් හෝ හැට පහක් වශයෙන් සැලකෙන දොළොස් මසක් ගෙවීම තුළින් නව වසරක ප්‍රාරම්භක අවස්ථාව හැම වසරකම දෙසැම්බර් 31 දින රාත්‍රී 12 ට උදා වේ. එම සම්මුති ශාස්ත්‍රීය නියාමයනට අනුව 2017 දෙසැම්බර් 31 දින රාත්‍රී 12 ට රාජ වර්ෂ ක්‍රමයට අනුව නව වසර උදාවිය.

මෙදින රාත්‍රී 12 ට කන්‍යා ලග්නය උදාවී ලග්නයෙන් දෙවැන්න සිකුරු හිමි තුලා රැසෙහි ගුරු, කුජ ද, තෙවැන්න කුජ හිමි වෘශ්චිකයේ බුධ විෂමවද, බ්‍රහස්පති හිමි සිවුවැන්න රවි සිකුරු, සෙනසුරු ද, සඳු හිමි කටක රැසෙහි රාහුද, නව වැන්න වෘෂභ රාශිය වී එහි සඳුද ගෝචරව ගමන් කර ඇත. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව හිමි (ශ්‍රී) පිංගල පක්ෂියා ය. රටේ නායකත්වය හිමියාගේ මූලික නාමාක්ෂරයට අදාළව පිංගල පක්ෂියාට හිමි ව ඇත.

මේ අනුව පිංගල පක්ෂියා ගමන අවස්ථාවේද, එදින බල පැවැත් වූ මුව සිරස නැකත හිමි භේරුණ්ඩ පක්ෂියා නිදි අවස්ථාවේද, විධායක බල කාරකයාට හිමි කාක නාමික පක්ෂියා මරණ අවස්ථාවේ ද බල රහිත වී ඇත. මේ අවස්ථාවේ විශේෂයෙන් ශ්‍රී ලංකා කේන්දරය හිමි කුම්භ ලග්නයට අයත් සෙනසුරු රවි සිකුරු සමඟ බ්‍රහස්පති හිමි ධනු රාශිගතව සිවුවැන්නේය. අදාළ වෙලාවට අයත් කන්‍යා ලග්නය හිමි බුධ ග්‍රහයා අඟහරු හිමි වෘශ්චික රාශිගතව වික්‍රමස්ථානයේ විය.

මෙම ග්‍රහ තත්ත්වය අනුව හතර සහ හත අධිපති බ්‍රහස්පති සතුරුව තුලා රාශිගතව විෂම අඟහරු සමඟ ධනස්ථානයේය. මෙහිදී රාජ්‍ය කාරක රවිගේ බලය සිවු වැන්නෙහි දුර්වලය. රවී, ශනි, සිකුරු ත්‍රිග්‍රහ යෝග බලය මධ්‍යස්ථ ලෙස බලපානු ඇත. අයස්ථානගත රාහු කටක රාශියේ සතුරුව සඳු හිමි කටක රාශියේ ගමන් කරයි. මෙලෙස විෂම ගෝචර ගමන් සහිත අවස්ථාවක 2018 නව වසර උදාවී ඇත. මේ අවස්ථාව තුළ ශ්‍රී ලංකාව සහ රාජ්‍ය පාලන තන්ත්‍රය මෙහෙයවන නායකත්වයට අයත් නාමාරූඪ පක්ෂි බලය දුර්වලව ගමන අවස්ථාවක යෙදී ඇත.

වසර උදාවේදී බලපාන ග්‍රහ ශක්තීන් අනුව රටේ පරිපාලනයට අයත් කර්මස්ථානය අධිපති බුධ ග්‍රහයා දුර්වලව මුඩ වී වික්‍රමස්ථානගත වීම අහිතකර ලෙස බලපෑ හැකිය. මෙලෙස බලපාන විෂම ග්‍රහ කිරණ වගකිව යුතු නායක කාරකාදීන්ගේ සිත් සතන් අන්දමන්දවීමට පවා හේතු වේ.

රටේ ජාතික ප්‍රශ්න විසඳීම වෙනුවට පාලක පාලිත දෙපක්ෂයේම මානසික සිත් සතන් ඔද්දල් වී විරූපි වී විෂමාචාර විකෘති ක්‍රියා කිරීමට සිත් සතන්පෙළඹවීමට හේතු වනු ඇත.

සිවු වැන්නේ දී රවිගේ ගෝචර ගමන දුර්වල වේ. රවි සමඟ ශනි, සිකුරු මිත්‍රව ත්‍රී ග්‍රහයෝග බලයකින් යුක්ත වුවද සිවු වැන්නේ දී එහි මධ්‍යස්ථ ඵල මිස සුවිශේෂී ඵල හීන වේ. මෙම ග්‍රහ ගෝචරත්වයේ විෂමතාවය අනුව හේතු පාදක වන කර්මස්ථානය හිමි බුධ ග්‍රහයා වික්‍රමස්ථානයේ දුර්වලවීම සහ සිවු වැන්නේ පෙන්නුම් කරන ත්‍රී ග්‍රහ යෝගයේ ක්‍රියාකාරීත්වය දුබලවීම මත රටේ බාහිර සම්පත් ව්‍යසනකාරී බවට පත්වීමට හේතු වනු ඇත.

කර්මස්ථානය අධිපති බුධ ග්‍රහයා වික්‍රමස්ථානයේ මූඩත්වයෙන් ගතවීමේ ප්‍රතිවිපාක වශයෙන් පාලන තන්ත්‍රයන්හි වික්‍රමය, ගෞරවය, තේජස, අභිමානය, ජනවශීකෘතභාවය හීනවීමට හේතුවිය හැකිය.

සිකුරු ධනු රාශියෙත්, ගුරු තුලා රාශියෙත් ගෝචර ගමන සහ සඳු භාග්‍යස්ථානය වන වෘෂභ රාශියේ උච්ච මූල ත්‍රිකෝණ බලය පාලන තන්ත්‍රය ඇදී යාමට හේතු වේ. අබලන් වූ පරණ බර කරත්තයක් එක් පසෙකින් අදිමින් තවත් පසෙකින් තල්ලු කර යන්නාක් මෙන් රාජ්‍ය පාලන තන්ත්‍රය පවත්වාගෙන යෑමට හේතු වුවද එහි වේගය අනපේක්ෂිතව දුර්වලවීමත් සමඟ කඩා බිඳ හැලී අඩපණ වීමකට ඉඩ සැලසිය හැකිය.

මෙම විෂම ග්‍රහ ශක්තීන්ගේ බලපෑම මත පාලක මෙන්ම පාලිත පක්ෂයේ ද අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් විටින් විට අවුල් සහගත විය හැකිය. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දෙස අවධානයෙන් සිටින රටවැසියාගේ සිත් කම්පිත ප්‍රකම්පිත බවට පත් කරමින් මහා ව්‍යසනකාරී ක්‍රියාවල නියුතුවීමට හේතු වේ.

2018 වසර ප්‍රභාවාදී ෂෂ්ඨියේ විෂ්ණු විංසතියට අයත් විරෝධකෘත් නැමැති රෞද්‍ර විෂම වර්ෂයකි. හැට වසරකට වරක් උදාවෙන කාලීන වශයෙන් කාල විපත්තිකර අභාග්‍ය සම්පන්න කාල සීමාවන් අතර උදාවන මෙවැනි වර්ෂයන්හි මානව සිත් සතන් ක්‍රෝධාකාරී මානසික බල පැවැත්මෙන් යුක්ත වේ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවාසීනට පමණක් නොව ලොව පුරා වෙසෙන මුළු මහත් මිනිස් වර්ගයාටම බිහිසුණු විපත් අත්කර දෙන රුදුරු කාල පරිච්ඡේදයකි.

2018 වසර තුළ ග්‍රහ යුද්ධ දාහතරකි. පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙකකි. අර්ධ සූර්යග්‍රහණ තුනකි.

මෙවැනි කාලපරිච්ඡේදයන්හි මානව සිත් සතන් අන්ධානුකරණයට බරවේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අධම සිතුවිලි මහා සාගරයට හතර වටින් ගංඟා ගලා බසින්නාක් මෙන් මිනිස් සිත්වලට නිරන්තරව ගලා එයි.

“මෙය තමා දිව්‍ය ලෝකය, මේකෙ කරන්න ඕන සියලු දේ කර හමාර කළ යුතුය. අනෙකා සුන්නද්දූලි වී ගියත් කමක් නැත. තමන්ගේ අපේක්ෂාවන් ඉටු වුණොත් ඒ ඇති.” මෙවැනි විෂමාචාර සිතුවිලි මානව සිත් සතන් තුළ රජ කරවමින් අවස්ථාව ලද පමණින් අවස්ථාවාදී පුද්ගලයෝ තම අභිමතාර්ථයන් සපුරාගැනීමට ක්‍රියා කරති.

එලෙස බලපෑමේදී කාල විපත්තිකර සීමාවාස කාලවලදී එක් එක් පුද්ගලයින්ගේ කර්ම ශක්තියට අනුකාරව ඵල විපාක ලැබීමට හේතු වේ. ඒ අනුව රාජ්‍ය තන්ත්‍රය මෙහෙය වන්නන් ගනු ලබන තීරණ රටේ සුගතියට අගතියට හෝ ප්‍රගතියට අහේතුකව හෝ සහේතුකව බලපෑ හැකිය.

එහෙත් මෙවන් කාලවලදී පොදුවේ රටට පැමිණෙන විපත් කාටත් සාමුහිකව බලපෑමට හේතුවන අතර වර්තමානයේ පවතින රාෂ්ඨ ග්‍රහවේග ධාරාවල බලපෑම් වශයෙන් මිනිස් සිත් බලකාමයෙන් උද්ධෘතභාවයට පත්වීමට හේතුවේ. එබැවින් ප්‍රඥාගෝචරව කටයුතු නොකිරීමෙන් එකිනෙකා අතර ගැටීම් ආරවුල් ව්‍යසනකාරී බලවේග අනපේක්ෂිතව මතුවී මහා විනාශකාරී අවස්ථාවන් උදාවීමට හේතු විය හැකිය. මෙම විශ්ව ධර්මතාව තුළින් මානව සිත් තුළ ඇතිකරන ආවේග, රෞද්‍රභාවය, කෲරත්වය හේතුකොටගෙන රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ උග්‍ර ගැටීම් මතුවී පාලන බලය පවත්වා ගෙන යෑමේ ආකූල ව්‍යාකූල තත්ත්වයට පත්විය හැකිය.

වර්තමානයේ ගෙවී යන කාලය ව්‍යසනකාරී බල අරගලයකට බොහෝ දුරට හේතු වේ. එමෙන්ම රටේ දේශපාලන වශයෙන් ප්‍රබල දේශපාලනඥයින්, ගිහි පැවිදි ජාතික මට්ටමේ විද්වතුන් රාශියකටම මහත් අපලකාරී අවස්ථා උදාවීමට හේතුවන වාතාවරණයක් ඇතිවිය හැකිය.

මෙම වසර අවසන් භාගයේදී ගොඩනැගෙන ජන අරගල මගින් රාජ්‍ය තන්ත්‍රයෙහි පරිවර්තන විකාසිත කාල පරිච්ඡේදයක ආරම්භයක් ලෙස දැක්විය හැකිය.

2018 වසර රජයටත් රටවැසියාටත් අතිශයින් අහිතකරය. පාප ධර්ම කරපින්නාගෙන සිටින අයට තම සෙවණැල්ල තමා පසුපස හඹා එන්නාක් මෙන් අකුසල පව් පෙරටුකොට ප්‍රතිසන්ධි වශයෙන් විපාක දෙයි. මේ අනුව මෙම වසර කිවයුතු තරම් සුගතියක් රටට අත් නොවන අතර, 2019 මාර්තුවලින් පසු අනපේක්ෂිත හදිසි පරිවර්තනයකට අවකාශ සැලසීමට හේතු වේ. 2019 නොවැම්බර්වලින් පසු ක්‍රමයෙන් රටේ සුබ සිද්ධිය පිණිස ස්වාභාවිකවම අදාළ කටයුතු සැලසීමට හේතුවනු ඇත.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>