Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

නොදැකම නැතිවුණු “ෂෙල්ටන් සහ කාන්ති”

$
0
0
මාර් 15, 2018 01:00

 'දෙමෝදර පාලම'චිත්‍රපටය නිෂ්පාදනය කළ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා සමග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු තබා සිටි ධර්මසේන පතිරාජ, පසු කලෙක ඒ ගැන කුමක් කීවේදැයි මම ලක්ෂ්මන් මෙන්ඩිස්ගෙන් ඇසුවෙමි.

"කවදාවත් මට සෘජුව මොකුත් කීවෙ නෑ. නමුත් දුකක් තියෙන්න ඇති කියලා හිතනවා."

ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාණවලට අතගැසුවේ ලාභ ඉපයීමට නොවේ. ඔහුගේ බොහෝ නිර්මාණ, නිර්මාණාත්මක බවින් පොහොසත් වුවද, ආර්ථික වශයෙන් ඉතා සාර්ථක වූ බවක් කිව නොහැකිය. ඔහු රෝගාතුරව සිටියදී වුවද, කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ඔහුගේ පොත් දොරටවැඩීම් අවස්ථාවකදී කියා සිටියේ, තමන් කලා කටයුතුවල නිරතවුණේ මුදලාලිලා පොහොසත් කිරීමට නොවන බවයි. ඇතැම් විටෙක ඇතැමුන් ඔහු වෙනුවෙන් නිර්මාණ කටයුතු සඳහා මුදල් යෙදවීමට මැලිකමක් දැක්වීමට එයද හේතු වූවා වන්නට පුළුවන.

"මට මතක විදිහට පතී එක වෙලාවක අත්පිටපත් තියාගෙන නිෂ්පාදකයෙක් නැතිව අවුරුදු 13-15ක් විතර බලාගෙන හිටියා. පතීත් එක්ක ෆිල්ම් එකක් කරනවා කියන්නෙත් යම් අවදානමක්ද කියලා මේ වෙද්දි මටත් හිතෙනවා. ආර්ථික වාසියක් නැති බව ඒ අය දැනගෙන ඉන්න ඇති"ලකී අයියා ඒ පිළිබඳ උපේක්ෂා සහගත හැඟීමකින් බලයි.

"නිර්මාණාත්මක බවත් රැකගෙන ආර්ථික වශයෙනුත් යම් සාර්ථකත්වයක් අත්කර ගනීවි යයි හිතුණු නිර්මාණ පෙන්වන්න බැරි වුණා කියලා මට හිතනෙවා. "ෂෙල්ටන් සහ කාන්ති'වගේ චිත්‍රපටයක් පෙන්වන්න බැරිවුණු එක අපරාධයක්. 1983 දි ජූලි කලබල අස්සේ රූගත කරපුව තිබ්බෙ විජය ස්ටූඩියෝ එකේ. "සිරකඳවුර යි, 'ෂෙල්ටන් සහ කාන්ති'යි දෙකම ගිනිගත්තා. මං මැණික් වෙළෙන්දෙක් විදිහට බිස්නස්වලට රට පුරා ඇවිදිමින් සිටියදී 'සිරකඳවුරේ'ෂූටිං තිබ්බෙ පල්ලෙකැලේ. නුවර ලොජ් එකක තමයි කට්ටිය නවාතැන් ගෙන හිටියේ. මං ඉතිං මේ අය හම්බවුණාම ඒ ඒ තැන්වල නතර වෙනවා. ඒකෙ නිෂ්පාදන කණ්ඩායම දැක්කම පිස්සු හැදෙනවා. මං මේ රූගත කිරීම් බලන්න යනවා. එහිදී විශේෂ පුද්ගලයෙක් විදිහට උපාලි අත්තනායක හඳුනා ගන්න ලැබෙනවා. ඒ කාලෙ මං නළුවෙක් වෙලා නෑ."ලකී අයියා කියා සිටියි.

ලංකාවේ ටෙලි නාට්‍යය ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තැබූ නිර්මාණයක් ලෙස පතිරාජ අධ්‍යක්ෂණය කළ “කඩුල්ල” සැලකිය හැකිය. ප්‍රවීණ නිර්මාණකරුවෙක් මෙන්ම ගුවන්විදුලියේ දැවැන්ත චරිතයක් ද වූ තිලක් ජයරත්න විසින් තිර රචනය කරනු ලැබීමත් එහි සාර්ථකත්වයට හේතු වූවා විය හැකිය. 1992 පැවති 'උණ්ඩා සම්මාන උළෙලේ'දී සම්මාන 9කින් පිදුම් ලැබුවේ 'කඩුල්ල'යි. එහි ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වන්නට තමාට ලැබුණු අවස්ථාව පිළිබඳ ලක්ෂ්මන් අයියා අද දවසේද, ආඩම්බර වෙයි.

"ඒ වෙද්දි පතීගේ මාතංග ගීත නාටකයේ රඟපානවා. ගුවන්විදුලියේ හඬ කවනවා. ගුවන්විදුලියේ යූ ආරියවිමල්, දයා තෙන්නකෝන්, කේ.ඩී.කේ ධර්මවර්ධන, රංජිත් එදිරිසිංහ වගේ දැවැන්තයින් එක්ක ඉඳිද්දී දවසක් පතිරාජ කෙළින්ම කඩාගෙන ආවා පටිගත කිරීම් කරන ස්ටූඩියෝ එකේ කාර්මික ශිල්පීන්ගෙ කාමරයට. උදේ තමන්ගෙ නාට්‍යයක. හවසට ගුවන්විදුලියේ හඬකැවීමක. මාව එහෙම දකිද්දී ඒ විදිහේ සීරියස් වැඩකට සුදුසුයි කියලා පතීට හිතෙන්න ඇති. අනෙක් අතට දයා තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරපු 'මිරිදිය සුවඳ"ටෙලියෙත් මං ඒ වෙද්දි රඟපාලා. එතැනදි තමා මහේන්ද්‍ර

පෙරේරා හම්බවෙන්නෙ. අපි වැවේ මාළු අල්ලනවා. මම එයාගෙ අයියා හැටියට රඟපානවා. සිනෙවීඩියෝ එකෙන් තමා ඒවා නිෂ්පාදනය කළේ. ඒවා එඩිට් කරන්නෙ එතනම නිසා පතී එහිදීත් මගේ රඟපෑම් දකින්න ඇති."ඔහු මතකය ආවර්ජනය කරමින් කියයි.

ධර්මසේන පතිරාජ යනු අනුන් හෙළා තනිවම නැඟී සිටින්නට කල්පනා කළ පුද්ගලයෙක් නොවේ. බොහෝ අයට නොපැකිළිව අත හිත දුන් අයෙකි. එමෙන්ම තමා සමග සිටි මිතු ගොමුවේ බොහෝ දෙනකුට අවස්ථාව ලබාදෙමින් සාමූහිකව වඩාත් හොඳ නිර්මාණයක් දායාද කිරීමට වෙහෙසවූ අයෙකි. 'කඩුල්ල'තිරපිටපත ලියන්නට තිලක් ජයරත්නට අවස්ථාව දෙන පතී තවත් තිරපිටපතක් ලියන්නට සරත් කැල්ලපතට බාරදෙයි. දයා තෙන්නකෝන්ට 'මිරිදිය සුවඳ'අධ්‍යක්ෂණය කරන්නට බාරදෙන්නේ ද, පතීම ය. 'මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත ගැටලු'පදනම් කරගනිමින් නිර්මාණය වූ එම ටෙලි නාට්‍යය ද, අතරමගදී ඇණහිටි බැවින් නවමු අත්දැකීමක් ලැබීමට ප්‍රේක්ෂකයාට පැවති ඉඩ ඇහිරී ගියේය.

"මේ විදිහට රංගන ශිල්පියෙක් හැටියට හැකියා ප්‍රදර්ශනය කරමින් සිටිද්දී 'කඩුල්ලෙ ජුන්ඩයියා'ගෙ චරිතයට මාව තෝරා ගන්නවා. ඒකාංගික වාර්තාමය ටෙලියක් වූ 'මාලනීගේ සිහිනය'රූගත කරලා ඉවරවෙලා, 'ඇල්ල ළඟ වලව්ව'පොලිස් සැරයන්ට මාව තෝරාගන්නවා. ඊළඟ ටෙලියට රඟපාන්න යද්දි තෙන්නෙගෙ (දයා තෙන්නකෝන්) තාත්තගෙ අභාවය වෙනවා. 'තෙන්නෙට එන්න බැරි වුණොත් ඒ චරිතය කරන්න උඹ වරෙන් කියලා"පතී මට කියනවා. ඒත් මං ඒකට කැමති වුණේ නෑ.

'එහෙම කරන්න හදිස්සි වෙන්න එපා හත් දවස ඉවර වෙලා හරි ෂූටිං ගමු "මං කීවා. ඒ විදිහට මං ඒකට ගියේ නෑ. ඒත් පතීට මම ගැන තිබුණු ඇගයීම ඒකෙන් පෙනුණා."ලකී අයියා සිහිපත් කරයි. 'කඩුල්ල'ටෙලි නාට්‍යයට රංගනයෙන් පමණක් නොව තවත් විටෙක නිෂ්පාදන කළමනාකරු ලෙසද කටයුතු කරන්නට ලක්ෂ්මන් මෙන්ඩිස්ට සිදුවෙයි. ඒ එතෙක් එහි නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ නන්ද මුණසිංහට ආනන්ද ‍අබේනායකගේ පොහොය නාට්‍යයක කටයුත්තක් සඳහා හදිසියේම යාමට සිදුවූ නිසාය. මීට පෙරාතුව 'දෙමෝදර පාලම'චිත්‍රපටයේ නිෂ්පාදන සම්බන්ධීකාරක ලෙස කටයුතු කර තිබුණු නිසාම එකී අත්දැකීම්ද ඔහුට මෙහිදී ප්‍රයෝජනවත් විය.

"නන්ද මුණසිංහ හදිසියේම ගිය නිසා ළිඳුල ෂෙඩියුල් එකට තමා මට නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩකරන්න වුණේ. ඉතිං මං වෙලාවකට'ජුන්ඩයිය'ගෙ චරිතය රඟපානවා, අනික් වෙලාවට කේ.එම් මිල්ටන් පෙරේරා කලා අධ්‍යක්ෂවරයා සමග සම්බන්ධීකරණ කරනවා. එතැනදී ජැක්සන් ඇන්තනී, යශෝධා විමලධර්ම, පීටර් ඩි අල්මේදා වගේ අය අඳුරගන්නවා. ඒ කාලෙ නම් අපි හරි සමීපව එකට වැඩ කළා. "හදිසියේම නිහඬවූ ඔහු පතී විසින් කලා ක්ෂේත්‍රය තුළ තමාට ලබා දුන් අවස්ථා බොහෝ බැව් කල්පනා කරයි. යළි කතා කරයි.

"අද ආපහු හැරිලා බලද්දි මට තේරෙන්නෙ පතී ඒ ගොඩක් දේ කරලා තියෙන්නෙ මට උගන්වන්න. "ලකී අයියාගෙ හඬ බාලවී හැඟුම්බර වෙයි. අප කතා බස් කරමින් සිටියේ සුදර්ශියේ කොන්ක්‍රීට් බංකුවක වාඩිගෙනය. හැන්දෑ කළුවර කෙමෙන් දැඩි කළුවරක් දක්වා මෝදුවෙමින් තිබෙයි.

'කඩුල්ලෙ'මේ අයුරින් සම නිෂ්පාදන කළමනාකරුවෙක් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් මෙන්ඩිස්ට තනිවම එකී වගකීම ඉටුකරන ලෙස ලැබෙන්නේ චාල්ස් ඩිකන්ස්ගෙ 'ද ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් 'නව කතාව ඇසුරින් ඒ.ආර් එරත්න ලියූ 'ඔමාගේ වාසනාව'කෘතිය පාදක කරගනිමින් නිර්මාණය කළ 'සුභ අනාගතයක්'නම් ටෙලි නාට්‍යයටය. ඒ එම නාට්‍යයේද 1 වන සිරකරු ලෙස රඟපාමින් සිටියදීය. එහි 2වන සිරකරු ලෙස රංගනයෙන් දායකවූයේ මහේන්ද්‍ර පෙරේරාය. අවස්ථා දෙකකට රූගත කිරීම් සිදු කළ අතර පළමු කොටස් 14-15ක් පමණ රූගත කිරීමෙන්

ඉක්බිතිව මෙම කටයුත්තට දායකවූ ශිල්පීන්ට මුහුණදෙන්න‍ට සිදු වූයේ නොපැතූ ඇබැද්දියකටය.

"ප්‍රශ්න ගොඩක් මැද්දෙ පළවෙනි කොටසේ වැඩ ටික ඉවර කළා. ඊළඟ කොටස් තිහ ෂෙඩියුල් කරලා කරන්න යද්දී නඩුවක් වැටුණා. එරත්න මහත්තයගෙ බිරිය ඇතුළු පවුලේ අය ඒ වෙද්දි හිටියේ එංගලන්තයේ. ඒ අය එහේ සිටම අපට නඩු දාලා තිබුණා. එරත්න මහත්තයාගෙ පොතෙන් නිර්මාණයක් කරන්න ගියත් පවුලේ උදවියගෙන් ඒකට නීත්‍යනුකූලව අවසර අරන් නෑ කියලා තමයි චෝදනාව ආවෙ. මං හිතන්නෙ ඒකට අත ගැහුව'සිනෙ වීඩියෝ'එකෙන් එහෙම අඩුපාඩුවක් වෙන්න ඇති. කොහොම හරි වැඩේ අතරමග නවත්තන්න සිද්ධවුණා"ඔහු එම සිදුවීම සිහිපත් කරනු ලැබුවේ ද කනගාටුවෙනි.

එහෙත් මෙම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුර පතී සමග සිදුවූ වචන හුවමාරුවක් ගැන හෙතෙම සිහිපත් කරනු ලැබුවේ සිනාමුසු මුහුණෙනි. "දවසක් රූගත කිරීමට ෂෙඩියුල් එක දාලා තිබුණා. උදේ 6.30ට තමා කෝල් සීට් එක ඔන් කරලා තිබුණේ .ටික වෙලාවක් බැලුවා පතී නෑ. කැමරා ශිල්පීන් ලෑස්තියි. නළු නිළියන් මේකප් දාගෙන ඔහේ බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික පිරිස් නොසන්සුන් වෙනවා. කොහොම කොහොම හරි උදේ 10.30 වගේ වෙද්දි පතී ආවා. මට ඉතිං ටිකක් කේන්තියි. 'මොකද පතී කරන්නෙ. කීය‍ටද අපි වැඩ කරන්න වෙලාව වෙන් කළේ. දැන් කීයද? කියලා මං

ඇහුවා.'පතී මගෙ මූණ දිහා හොඳට බැලුවා. "උඹනේ ප්‍රොඩක්ෂන් මැනේජර්. කරන්නෙ මොකක්ද කියලා උඹ තීරණය කරපන්. උඹට ඕන දෙයක් උඹ කරපන්"කියලා එයත් තදින් කීවා". ලකී අයියා සැහැල්ලුවෙන් කතා කරයි.

මෙම වචන හුවමාරුවෙන් පසු දෙදෙනාම මොහොතකට නිහඬ වූහ. කුමකින් කුමක් සිදුවේදැයි අවට සිටි කිහිපදෙනාද නිහඬව බලා සිටියහ. රූගත කිරීමක කළමනාකරුවා හා අධ්‍යක්ෂවරයා අතරවන වචන හුවමාරුවකදී කණ්ඩායමක වෙනත් කිසිවෙක් කොයි පැත්තකට හෝ අලගු තබන්නට යන්නෙ නැත.

'පතීගේ කතාවේ 06 'ලක්ෂ්මන් මෙන්ඩිස් සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු ලිපි මාලාවේ පළමුවැන්න ඉකුත් මාර්තු මස 12 වන සඳුදා පළකිරීමේදී'ගඟුලෙන් එගොඩට'පළමු රූගත කිරීම ලෙස 'ශ්‍රියන්ත මෙන්ඩිස් හා හයිසින්ත් විජේරත්න'ගේ රංගනයෙන් යුතු නාට්‍යයක ඡායාරූපයක් පළ වූයේ අත්වැරදීමකිනි. මෙයින් පාඨකයින්ටත්, අදාළ කලාකරුවන්ටත් යම් අපහසුතාවක් සිදුවුණි නම් ඊට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.

හෙට - ළමා ජාවාරම රිදී තිරයට

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>