නීතිය හා සාමය අමාත්‍ය ධුරය වෙනස්වීම සහ ඊට අදාළ කැබිනට් සංශෝධනය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නැඟෙන චෝදනාව, මහනුවර සිද්ධිය, ෆේස්බුක් තහනම ආදී කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිහමුවට එක්වේ.
* මට තනතුරු දෙනවට හොරු කැමැති නැහැ
* රනිල්ගේ නායකත්වයට විකල්පයක් නැහැ
* හොරුන්ට දඬුවම් දෙන්න එජාපය සූදානම්
මෙවර කැබිනට් සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඔබට ලැබේවි යැයි බොහෝදෙනා විශ්වාසය පළ කළා. ඒත් ඒ අපේක්ෂා බිඳ වැටීම ගැන ෙමාකද හිතෙන්නේ?
ඔව්. අපේ පක්ෂයෙන්, එක්සත් ජාතික පක්ෂයෙන් මාව යෝජනා කළා. පක්ෂයේ සියලුදෙනාමත් බලාපොරොත්තු වුණා. දැන් පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කළ යුතු නිසා ජනතා අදහස් උදහස් අනුව මෙවැනි දේ සිදුවිය යුතුයි කියලා. පක්ෂය ඇතුළෙත් ආණ්ඩුව ඇතුළෙත් ඒ මතය ආවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඔබට මේ ඇමැති ධුරය ලැබෙනවාට විරුද්ධ වූ බවයි කියන්නේ. එහෙම විරුද්ධ වෙන්න ඇත්තේ ඇයි?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය කියන ඇමැතිවරු අතරේ තුන් හතර දෙනෙක් ඉන්නවා මහින්ද රාජපක්ෂ සමඟ ගනුදෙනු කරන අය. ඒ අය ඊළඟ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ නෑ. පොහොට්ටුවෙන් තමයි එයාලා ඡන්දය ඉල්ලන්නේ. දෙපැත්තේ කකුල තියාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මට ඒ දවස්වල දුරකථනයෙන් කතා කළා. එයා කිව්වෙත් මේ ඇමැති ධුරය මං වගේ කෙනෙකුට හම්බවෙන්න ඕනෑ කියලා. ප්‍රසාදයෙන් කතා කළා. සන්ධානයේ මහලේකම් අමරවීර මහත්තයත් කිව්වා ඔයාට මේ ඇමැති ධුරය දෙනවට අපේ නම් විරුද්ධත්වයක් නෑ කියලා. ශ්‍රී.ල.නි.ප. තව හුඟ දෙනෙක් සුබවාදීව කතා කළා. මහින්ද රාජපක්ෂ ළඟ ඉන්න චීවර ධාරින් හතර පස්දෙනෙක් මට විරුද්ධව ජනපතිවරයාට කතා කරන්න ඇති.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඔබට ලබාදෙනවාට පොලිසියේ පිරිසක් විරුද්ධ වූවා යැයි කියන කතාව ඇත්තක්ද?
මට කිව්වේ ඩී.අයි.ජී.ලා පිරිසක් විරුද්ධයි කියලා. ඩී.අයි.ජීලා ගත්තහම අදටත් ඉන්නවා එක්කෙනෙක් එල්ලුම්ගස් නියම වෙච්ච. තව ඩී.අයි.ජී.ලා දෙන්නෙක් රිමාන්ඩ් එකේ ඉන්නවා. එක්කෙනෙක් මිනීමරුවෙක් ස්ත්‍රි දූෂකයෙක් ආරක්ෂා කරලා. අනිත් කෙනා අල්ලස් අරන්. තවත් ඩී.අයි.ජී.ලා ඉන්න පුළුවන් අරක්කු බෝතලයට, විස්කි බෝතලයට, මස් රාත්තලට යටවෙලා ඉන්න කට්ටිය. ඔය ෙපාලිසියේ පොලිස්පති ඇතුළු ඩී.අයි.ජීලා විශාල පිරිසක් මං යටතේ වැඩ කරලා තියනවා. ඒ දවස්වල ක්‍රියාන්විත ප්‍රදේශවල. දක්ෂ නිලධාරින් මං දන්නවා මේකට විරුද්ධ වෙන්නේ නෑ. දූෂිත නිලධාරින්, හොරු අල්ලනවාට කැමැති නැති අය හොරුත් එක්ක ජීවත්වෙන අය අනිවාර්යෙන්ම මේ වගේ තනතුරක් දෙනවාට විරුද්ධ වෙන්න එපැයෑ. ඒ වගේ අයගේ මතයට ගරු කරලා අපේ කකුලෙන් අදිනවා නම් ඒ ක්‍රියාදාමය මං හෙළා දකිනවා.
පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචාවලට සම්බන්ධ වූ කිසිවෙක් තවම අත්අඩංගුවට අරන් නෑ. ඒ අතරම දෙපාර්ශ්වය අතර ‘ඩීල්’ දේශපාලනයක් ගැනත් කියනවා. මේ හොරු අත්අඩංගුවට ගන්න බැරි ‘ඩීල් දේශපාලනය නිසාද?
එක්සත් ජාතික පක්ෂය ‘ඩීල්’ දේශපාලනයක් කරනවා කියලා මං විශ්වාස කරන්නේ නෑ. එජාපයට විශාල අවශ්‍යතාවක් තියනවා ෙහාරුන්ට දඬුවම් කරන්න. හොරුන් අවභාවිත කළ මුදල් නැවත ජනතාවට ලබාදීමට. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා අද වනවිට ප්‍රශ්න සහගතයි. ඒ පක්ෂය ජනවාරි 08 න්‍යාය පත්‍රයේම අදත් ඉන්නවාද කියලා මට සැකයක් තියනවා. එතැන මහින්ද රාජපක්ෂ එක්ක ඩීල් එකක් යනවා කියන එක මාත් විශ්වාස කරනවා.
මේ ඇමැති ධුරය දුන්නොත් ඔබ විරුද්ධවාදීන්ගෙන් පළිගන්න බවටත් චෝදනාවක් එල්ල වුණා. ඔබ විරුද්ධවාදීන්ගෙන් පළිගන්න කෙනෙක්ද?
එතකොට විරුද්ධවාදීන් හොරකම් කරලා තියනවා නම් ඒ ගොල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණොත් ඒක පළිගැනීමක්ද? කොයි කෙනා වුණත් වැරදි කරලා තියනවා නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. විරුද්ධවාදියෙක් නිසා එයාට නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයිද? මගේ විරුද්ධවාදියෙක් වීම හොරෙක් ආරක්ෂාවීමට හේතුවක්ද?
අම්පාරේදී මහනුවරදී ඇති වූ ජාතිවාදී කෝලාහල යළි ඇති නොවීමට ආණ්ඩුව ගත යුතු පියවර කුමක්ද?
ඒ අවස්ථාවේ අවශ්‍ය නායකත්වය ආ යුතු තැනින් ආවා කියලා පිළිගන්න පුළුවන්කමක් නෑ. නිසි උපදෙස් කලට වේලාවට ගියේ නෑ. උදාහරණයක් විදියට මට විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගන්න ලැබුණා. හමුදාවට අහසට වෙඩි තියන්න උපදෙස් දුන්නාලු. හමුදාවට අහසට වෙඩි තියන්න අණ දෙන්නේ කොයි රටේද මොන ලෝකෙද. මං අවුරුදු හතළිහක් හමුදාවේ හිටියා. අපිට එහෙම නියෝග කවුරුවත් දීලා නෑ. අහසට වෙඩි තියන්න අපි හමුදාවට පුරුදු කරළත් නෑ. ගත යුතු පියවර කලට වේලාවට අවශ්‍ය ජවයෙන් අරන් නෑ. ඒකයි ප්‍රශ්නය ඔඩු දිව්වේ. මේක නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්නයක්.
මහනුවර සිද්ධිය පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම ගැන ඔබේ මතය මොකක්ද?
මේ තීරණය ගන්න කලින් කැබිනට් ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කළා. සමහරු කැමැති වුණා. තව සමහරු කැමැත්තක් අකමැත්තක් පෙන්නුවේ නෑ. මගේ පුද්ගලික මතය නම් තාක්ෂණයෙන් දියුණු මේ ලෝකේ මාධ්‍ය ජාලා නැතිව ඉදිරියට යන්න බෑ. එදිනෙදා පරිපාලන කටයුතු වගේම රටක් පාලනය කරන්නත් බෑ. රටක ව්‍යාපාර වාණිජ කටයුතු කරන්නත් බෑ. මේ වගේ වකවානුවක මාධ්‍ය ජාලා අවහිර කිරීම සම්පූර්ණයෙන් වැරදියි. මේකෙන් මේ රටේ ජනතාවට විශාල පීඩාවක් ඇතිවුණා. ටික දෙනෙක් වැරැද්දක් කරහම මුළු රටේම ඉන්න ලක්ෂ දෙසීයටම දඬුවම් කරලා හරියනවද?
ආණ්ඩුවට එරෙහිව එන ජනමතය පාලනය කිරීමට මේ වගේ දෙයක් කළා කියන චෝදනාවක් තියනවා නේද?
මොකක් ගැන ජන මතයක්ද?
ෆේස්බුක්වලින් ආණ්ඩුවට එරෙහිව එන ජනමතය.
ඔව් ඉතින් මේ වගේ වැරදි තීරණයක් ගත්තහම ඒ වගේ චෝදනා එන එක වළක්වන්න බෑ.
දූෂණ වංචා අඛණ්ඩව විභාග කිරීමට පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණවලට නීතිඥ සංගමය විරෝධය පළකර තිබෙනවා. ඔවුන් කියන්නේ නීතිපතිට අල්ලස් කොමිසමේ සභාපතිට හිතෙන හිතෙන විදියට නඩු දාන්න බෑ කියලයි.
මෙලෙස දඬුවම් කිරීම් අපේ න්‍යාය පත්‍රයේ තිබුණ දෙයක්. 2015 ජනවාරි 08 ඊට ජන වරමක් ලැබුණා. මේ අයට වෙනම න්‍යාය පත්‍ර තිබෙනවා. සමහරු රාජපක්ෂවාදීන් සමඟ ගනුදෙනු කරනවා. ඒ අයට හෙළා දකින්න පුළුවන්. ඒත් රටට ආදරය කරන නීතිය රකින හොරකමට විරුද්ධ අය මේ ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මේක තමයි ඉල්ලා සිටින්නේ.
මහනුවර සිද්ධියේදී පොලිසියටත් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වුණා. ඇත්තටම පොලිසිය තම වගකීම් පැහැර හැරලා තියනවද?
සමහර ප්‍රදේශවල රාජකාරි කළ සමහර නිලධාරින් නිසි පරිදි රාජකාරි නොකළ බවට චෝදනා තියනවා?
යුද හමුදාපතිවරයා පවා එක අවස්ථාවක කිව්වා.
යුද හමුදාපතිවරයාට එහෙම කියන්න අයිතියක් තියනවද එයා රටේ හිටියේ නෑ. ඉන්දියාවේ සංචාරයකට ගිහින් හිටියේ. සුනාමිය එනකොට මං හමුදාවේ දෙවැනියා. ඒ වෙනකොට මගේ සල්ලිවලින් පුද්ගලික සංචාරයකට මා අමෙරිකාවට ගිහින් හිටියා. රටේ ව්‍යසනයක් නිසා මං නිවාඩුව අවලංගු කරලා පැය 24 කින් ලංකාවට ආවා. මේක දීර්ඝ සංචාරයක්. සාමාන්‍යයෙන් පළමු දින දෙක තුන තුළදී හමුදාපතිවරුන් හමුවී වැදගත් කටයුතු සිදුවී අවසන්. ඊට පස්සේ ඔය වටේ බලන්න යන්නයි තියෙන්නේ. මේ වගේ සිද්ධියකදී ගන්න පියවර තියනවා. මෙහෙයුම් කමිටු පත්කරලා සම්බන්ධීකරණ නිලධාරින් පත්කරලා. මෙහෙයුම් මධ්‍යස්ථාන ඇති කරලා. ඒ වාගේ අවශ්‍ය ලිපි ලේඛන චාට් ආදිය හදලා සංගණන පවත්වලා පිළිවෙළකට මෙහෙයුම් කරන්න ඕනෑ. මෙතනදි එහෙම එකක් වුණේ නෑ. කොළඹ ඉඳගෙන නියෝග දෙනවා. ඒ නියෝග කටින් කට පල්ලෙහාට ගියහම අන්තිමට ඉන්ස්පැක්ටර් කෙනෙක් ළඟට යනවා. එයා එයාට පුළුවන් විදියට කරනවා. එහෙම නෙවෙයි මේවා කෙරෙන්න ඕනෑ.
හදිසි නීතිය කවදද ඉවත් කරන්නේ?
දැන් හදිසි නීතිය ඉවත් කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඉවරයිනේ. ජනතාවට බාධා සිදුවන සියලු කටයුතු දැන් ඉවත් වෙන්න ඕනෑ.
ජපන් සංචාරය නිමකර ජනපතිවරයා යළි දිවයිනට පැමිණි පසු විද්‍යාත්මක අමාත්‍යාංශ සංශෝධනයක් කරන බව කියනවා. එය එජාපයටත් වලංගු වේවිද?
කවුද කරන්නේ ජනපතිවරයාද?
ඔව් ජනපතිවරයා තමයි.
කරලා ඉවරවුණාම තමයි විශ්වාස කරන්න පුළුවන්.
පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයටත් අභියෝග එල්ල වුණානේ. ඇත්තට එජාපය තුළ ඉදිරියේදී මොකක් සිදුවෙයිද?
දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්. අපි ඉන්නේ ආණ්ඩු කාලයේ මැද්දේ. මේ වෙලාවේ නායකයා ඉවත් කිරීම කාලෝචිත නෑ. අනික් අතට එජාප නායකයා ඉවත් කරනවා නම් අපිට තියන විකල්පය ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රවීණත්වය, අත්දැකීම් සමඟ සන්සන්දනය කරන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්නවා කියලා ඒ පුටුවේ වාඩිවෙන්න මේ වෙලාවේ මං නම් විශ්වාස කරන්නේ නෑ. මාත් කිව්වා නායකතුමාට මේ අවස්ථාවේ ඔබ ඉවත්විය යුතු නෑ. ඒත් ඔබගේ සමහර ආකල්ප වෙනස්විය යුතුයි කියලා.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඟිල්ල දිගු කරන්නේ ඔබටයි. ඔහුට ඔබ දෙන පිළිතුර කුමක්ද?
ගෝඨාභය රාජපක්ෂයි, මහින්ද රාජපක්ෂයි මං හිරේ දාලා ඉන්නවිටත් උපරිම උත්සාහ කළා මේක මගේ කරපිටින් යවන්න. අර බ්‍රිගේඩියර් කැප්පිටිවලාන කියන අහිංසක දක්ෂ නිලධාරියෙක් අරගෙන ගිහින් මාස හතරක් හිරේ දාලා වද දුන්නා. මං ලසන්ත මැරුවා කියලා එයා ලවා කියවන්න හැදුවා. මට බෝම්බ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ මගේ ආරක්ෂාවට පන්සීයක් විතර හිටියා. එතන හිටි බුද්ධි අංශ නිලධාරින් දාහත් දෙනෙත් මාස හයක් විතර හිරකරගෙන මේ ඝාතනය මං කළා කියලා ඒ අය ලවා කියවන්න. මේ හමුදා නිලධාරින්ට ගෝඨාභය ඉතා නින්දිත විදියට වද දුන්නා. එයාට කවදාවත් ඔය බොරු චෝදනාව මගේ පිටින් දාන්න ලැබෙන්නේ නෑ. මට සියයට සීයක්ම විශ්වාසයි ගෝඨාභය රාජපක්ෂයි අර කපිල හෙන්දා විතාරණ කියලා හිටපු පුද්ගලයකුයි තමයි එක එක ප්‍රහාර කළේ. එයා හිටියේ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා විදියට. මෙයාලා ඉස්සරවෙලාම නීතිඥ වැලිඅමුණගේ ගෙදරට බෝම්බයක් ගැහුවා. එතැනින් තමයි පටන් ගත්තේ. මේ බෝම්බය ගහන්න කලින් ගෝඨාභය මට කතා කරලා කිව්වා මේ වැලිඅමුණ කියන පුද්ගලයා ඕනෑවට වඩා උඩ පනිනවා. කවුරු හරි කට්ටියක් යවලා මේ මිනිහට පාඩමක් උගන්වන්න කියලා. මං කිව්වා ඒ වගේ වැඩ මං කරන්නේ නෑ. මට ඔය වැඩේට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඒ කියලා දවස් දෙකක් යන්න බැරිවුණා වැලිඅමුණගේ ගෙදරට බෝම්බ ගැහුවා.
ටිරාන් අලස්ගේ ගෙදරටත් බෝම්බ ගැහුවා. ඒ කණ්ඩායම තමයි ලසන්ත ඝාතනයට, මාධ්‍යවේදීන්ට පහරදෙන්න, සුදුවෑන්වලින් කට්ටිය උස්සන්න එක්ලැනිගොඩ ඝාතනය කරන්න යෙදෙව්වේ. මොකද එක්නැලිගොඩ ඝාතනය කළෙත් එතකොට මමද? එයා ඝාතනය කළේ ඇයි? මේ වැඩවලට සමහර පොලිසියේ අයත් සම්බන්ධ වුණා. එයා මට ඇඟිල්ල දික්කළාට කර්මය කැරකිලා ඒවි. කවදා හරි මේවා නීත්‍යානුකූලව ඔප්පු වෙනවා.
යුද්ධය නිමකළ සරත් ෆොන්සේකාට ජනතාවගේ විශාල ආදරයක් ගෞරවයක් තියනවා. ඔබ හිතන්නේ ජනතාව වඩාත් ඇලුම් කරන්නේ යුද හමුදාපති සරත් ෆොන්සේකාටද? එහෙම නැතිනම් දේශපාලනයේ නියුතු සරත් ෆොන්සේකාටද?
මම යුද්ධය නිමකළෙත් දේශපාලනය කරන්නෙත් එකම අරමුණකින්. යුද්ධය නිමකළේ රටට තියන ආදරේට රටේ ජනතාවට ආරක්ෂාව සැපයිය යුතු නිසා. ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කළ යුතු නිසා. ගෝඨාභයලා පොත් ලිව්වට අපි යුද්ධය නිමකරන්න විශාල කැප කිරීමක් කළා. අවදානමක් දරාගෙනයි ඒක කළේ. මං දැන් දේශපාලනය කරන්නෙත් ඒ මානසිකත්වයෙන්ම ඉඳගෙනයි. විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඉන්නවට වඩා දේශපාලනයට ඇවිත් මේ රට වෙනස් කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි මගේ උත්සාහය.
ලබන ජනපතිවරණයට එජාපයෙන් නව අපේක්ෂකයෙක් ගේන බව දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා කියා තිබෙනවා. කවුද මේ අපේක්ෂකයා?
අදට තියන වාතාවරණය අනුව නම් එජාප අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ නායකයායි. පක්ෂය ඇතුළේ තියන තත්ත්වය මේකයි. මේ තත්ත්වය 2020 වනතුරු පවතියි කියලා තමයි මං නම් හිතන්නේ. 2020 වනවිට එජාප නායකයා ඉදිරියට ඒවි. මේක සාත්තරයක් බලනවා වගේ හරියටම කියන්න බෑ. මං නම් හිතන්නේ එජාප නායකයා 2020 දී ඉදිරියට ඒවි කියලයි.
ගාමිණී බණ්ඩාරනායක