Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

විෂයමාලා වික්‍ර­මය

$
0
0
මාර් 20, 2018 01:00

“ටොම්සන් මහත්තයා මොකද කියන්නේ මේ ඉස්කෝලේ ළමයි අර මුහුණු පොතෙන් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරලා පොලිස් අත්අඩංගුවට අරන් කූඩුවට දැම්ම එක ගැන...” කියා උන්නැහේ උදේ ඇසුවේ රූපවාහිනියෙන් දවසේ පුවත්පත් ගැන කරන විස්තරය අසා ගෙන සිටින ගමන්ය.

“ඇයි එහෙම කූඩුවට දැම්ම එක වැරදිද වැරැද්දක් කළා නම් ඉස්කෝලේ ළමයි කියලා අහක් කරන්න බෑ නේ... ඒකට දඬුවම් ලැබෙන්න ඕනෑ...” කියා කියමින් ඇම්බන් මහත්තයා ද එතැනට ආවේය.

“දැන් ඉතින් ඔය ඉස්කෝලේ ළමයින්ට දඬුවම් දීපුවම මේ ප්‍රශ්නේ ඉවර වෙයිද ටොම්සන් මහත්තයා...” කියා උන්නැහේ ඇසුවේය.

“ඉවර වෙයිද පටන් ගනියිද කියලා අහන්න ඕනෑ අර පායේ ලේකම් මහත්තයාගෙන්...” කියා ටොම්සන් මහත්තයා කියන විට උන්නැහේ හක හක ගා සිනහසෙන්නට පටන් ගත්තේය.

“ඇයි ටොම්සන් මහත්තයා... මේක පායට අයිති ප්‍රශ්නයක්ද මට නම් තේරෙන්නේ නෑ... ”

“පාය ගැන අහලා නැද්ද? ඒකේ ලේකම් මහත්තයාගෙන් තමයි මේ ගැන අහන්න ඕනෑ... අපි අහලා බලමුකෝ මේ ගැන...” කියා ටොම්සන් මහත්තයා සිය ජංගම දුරකථනයෙන් පායේ ලේකම් මහත්තයාට කතා කළේය.

“දැන් ඔය ලේකම් මහත්ත, ජාතිවාදී අදහස් මුහුණු පොතෙන් ප්‍රකාශයට පත් කළා කියලා ඉස්කෝලේ ළමයිනුත් අත්අඩංගුවට අරන් තියෙනවා නේ... ”

“ඔව්.. ඉතින් ඒකේ ඇති වැරැද්දක් නෑ නේ... ඒක නීතියනේ..” කියා ලේකම් මහත්තයා උත්තර බැන්දේය.

“ඒක නම් එහෙම තමයි.. ඒ වුණාට ඔය මුහුණු පොත විතරක් නෙවෙයි නේ... ඉස්කෝලේ ළමයින්ට විවිධ ප්‍රශ්න ඇති කෙරුවේ.. ඇයි ජංගම දුරකථනය... ඒ ප්‍රශ්නේ කොහොමද විසඳුවේ...” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“අපි එහෙම ප්‍රශ්න විසඳන්නේ නෑ ටොම්සන් මහත්තයා... ඔය වගේ ප්‍රශ්න අහන්න එපා.. ඒ දවස්වල ඔය ජංගම දුරකථනයේ විවිධ ප්‍රශ්න තිබුණා තමයි.. අපි තහනම් කෙරුවා ජංගම දුරකථනය ඉස්කෝලෙට ගේන එක.. එච්චරයි...”

“එතකොට ඔය ඉස්කෝලේ ඇරුණු ගමන්ම ළමයි ළඟ ජංගම දුරකථන තියෙන්නේ කොහොමද?” කියා ටොම්සන් මහත්තයා ආපිට ඇසුවේය.

“ආ... ඒක අපට අයිති ප්‍රශ්නයක් නෙවෙයි නේ...”

“ඒ කියන්නේ ඒ විදිහට බැලුවාම ඔය මුහුණු පොතේ සිද්ධියට ඉස්කෝලේ ළමයි අත්අඩංගුවට ගත්ත එක මුන්නැහේට ප්‍රශ්නයක් නෙවෙයිද?” කියා උන්නැහේ උස් හඬින් ඇසුවේ දුරකථනයෙන් ඇසෙන්නටය.

“මුන්නැහේ කවුද මේ එහෙන් මෙහෙන් කට දාන්නේ.. මේකයි කෙටිම උත්තරේ.. ඕක අපට අදාළ නෑ.. අදාළ නම් අපි මේ ගැන චක්‍රලේඛයක් ගහනවානේ... ඉස්කෝලේ ළමයින්ට මුහුණු පොත තහනම් කරලා... ”

“ඉතින් ඇයි එහෙම නොගහන්නේ... එහෙම කළා නම් ඉවරයි නේ...” කියා උන්නැහේ දුරකථනය අතට ගෙන ඇසුවේය.

“එහෙම හොඳ ඇති.. ඒ වුණාට තවම එහෙම චක්‍රලේඛයක් හදලා නෑ.. හැදුවාම මං අත්සන් කරලා දෙන්නං... අත්සන් කරන එක ඒ තරම් දෙයක්ද? ” කියා ලේකම් මහත්තයා ඇසුවේය.

“එහෙම නෙවෙයි... ලේකම් මහත්තයා.. මේ කාරණේ ටිකක් අධ්‍යාපනික විදිහට හිතන්න බැරිද... ”

“අපොයි ඒක නම් කොහොමටවත් බෑ.. මොකද මං දන්නේ නැති දේත් ඒක නේ... එහෙනම් බායි...” කියා ලේකම් මහත්තයා දුරකථනය විසන්ධි කළේය.

“ඕක තමයි ඇත්ත තත්ත්වේ... අපි කතා කරලා බලමුද අර විෂයමාලා ලොකු නෝනාට... එයා ඔය එංගලන්තෙන් ලොකු ලොකු උපාධි ගත්ත කෙනෙක් නේ... හලෝ විෂයමාලා නෝනා නේද අපි මේ අහන්නේ දැන් ඔය මුහුණු පොත, ජංගම දුරකථනය ආදී දේවල් ගැන ඉස්කෝලේ ළමයිට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නේද... ”

“ප්‍රශ්න... ඒ ගැන නම් අහන්න ඕනෑ ප්‍රශ්න හදන කන්තෝරුවෙන්... ”

“එහෙමත් අහමු.. ඒක නෙවෙයි නෝනා මං මේ අහන්නේ... ඔය එක එක නඩු දානවට වඩා හොඳයි නේද ඉස්කෝලේ ළමයින්ට ඔය මාධ්‍ය පරිහරණය කරන එක ගැන කියලා දෙන එක.. ඒක ගැන කල්පනා කරලා බැලුවේ නැද්ද? ”

“අනේ ටොම්සන් මහත්තයා.. මේ දවස්වල මගේ කල්පනාවත් හොඳ නෑ.. එක එක විෂයමාලා හදන්න වෙලා නේ.. දැන් මේ දවස්වල අර දොළහ දහතුන වෘත්තීය විෂයමාලාවක් හදනවා නේ.. ඒකේ එරිලා මං ඉන්නේ... ඒවා හරි වුණත් වැරදුණත් මං ඒවා හදලා දෙන්න ඕනැ නේ.. තව සාමාන්‍ය පෙළ විෂයමාලාව හයට කපන්න ඕනෑ... මට ඉතින් නිදා ගන්නවත් වෙලාවක් නෑ නේ.. හීනෙනුත් පේන්නේ ඔවා තමයි..” කියා විෂයමාලා නෝනා නාහෙන් අඬන්නට පටන් ගත්තාය.

“අනේ අඬන්න එපා නෝනා.. එතකොට මටත් ඇඬෙනවා.. මං මේ නිකමට අහන්නේ.. ඔය වෘත්තීය විසේ මාලාවේ තියෙනවා නේද පොදු විෂයමාලාවක්.. මං හිතන්නේ ඒවා නවයක් තියෙනවා නේ... ඉතින් ඕකට දාන්න ඕනැ නැද්ද ඔය මාධ්‍ය පරිහරණය කරන්නේ කොහොමද කියලා විෂයමාලාවක්.. ඕකට හොඳ නමකුත් තියෙනවා මාධ්‍ය සාක්ෂරතාව කියලා...”

“හැබෑ නේන්නම්.. මාත් ඕක අහලා තියෙනවා.. අර පහු ගියදා නවත්තපු උසස් පෙළ සන්නිවේදනය විෂයමාලාවෙන් ඔය මාධ්‍ය සාක්ෂරතාව පාඩම අයින් කළා නේ... මට ඕක තේරුණෙත් නෑ.. ඇත්තම නේන්නම්.. අපි මේක මේ ඉස්කෝලේ ළමයින්ට උගන්නන්න ඕනැ නේ..”

“එතකොට විෂයමාලා නෝනා... අර පුරවැසි අධ්‍යාපනය කියලා එකකුත් තියෙනවා නේ.. ඒකේ තියෙනවා ද මාධ්‍ය පරිහරණය කරන්නේ කොහොමද මාධ්‍ය පරිහරණයේ දී පුරවැසියකුගේ වගකීම හා යුතුකම මොකක්ද වාගේ පාඩම්... ”

“හපොයි.. හපොයි.. මේ ටොම්සන් මහත්තයා මාව කන්නමයි හදන්නේ... ඒවා හදන්නේ වෙන වෙන මහත්තුරුයි ඒ ගොල්ලන්ගේ යාළුවොයි නේ.. ඉතින් ඔය කියන ඒවා නැති වුණත් අපේ මණ්ඩලෙන් ඒවා අනුමත කරලා දෙනවා නේ.. ඇත්ත කතාව නම් ඒ ගොල්ලන්ටත් ඒවා තේරෙන්නේ නෑ නේ... ඒවා තමයි ඔය ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්නේ...”

“අන්න නෝනා හරි තැනට ආවා...” කියා උන්නැහේ මහත් සන්තෝසයෙන් කීවේය.

“මොකක්ද හරි තැන... මටත් තාම හොයා ගන්න බැරි වෙච්චි කොට...” කියා විෂයමාලා නෝනා කොචොක් පාරක් දැම්මාය.

“නෑ... මං කියන්නේ අද වාගේ මාධ්‍ය පිරුණු සමාජයක ඒවා පරිහරණය කරන්න ශික්ෂණයක් ඉස්කෝලේ ළමයින්ට ලබා නොදෙන කොට මේ ළමයි ඔය වගේ වැරදි වැඩ කරන එක අහන්නත් දෙයක්ද... එතකොට ඒ වැරදි කළාම ඒ ළමයි අත්අඩංගුවට ගන්නවා... ඒක හරිද? ” කියා උන්නැහේ ඇසුවේය.

“ඇයි මොකද ඒක වැරදි වෙන්නේ...” කියා විෂයමාලා නෝනා සැරෙන් ඇසුවාය.

“වැරදි වෙන්නේ මෙහෙමයි නෝනා... ඔය මුහුණු පොත් ගැන, ජංගම දුරකථන ගැන, ඔය අනික් සමාජ මාධ්‍ය ගැන හරි අවබෝධයක් ඔය විෂයමාලාවෙන් ලබා නොදීම ගැන ඒවා හදපු අයනේ අත්අඩංගුවට ගන්න ඕනෑ.. මේ අහිංසක ළමයි නෙවෙයි නේ...”

විෂයමාලා නෝනා දඩාස් ගා රිසීවරය දුරකථනය මතට දැමුවාය.

බන්දුල පී දයා­රත්න


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>